වර්තමානයේ ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් මෙන්ම ජාතික වශයෙන්ද අර්බුද රාශියකට මුහුණදෙමින් සිටී. ආර්ථික වශයෙන් උග්‍ර අර්බුදයකට ලක්ව සිටින ශ්‍රී ලංකාව ඉන් ඔබ්බට ගොස් සාමාජීය වශයෙන් මෙන්ම පාරිසරික වශයෙන් අර්බුද රැසකට මැදිව විසඳුම් සොයාගැනීමට දුෂ්කර වූ මාවතකට යොමුව සිටී. මෙම සියලු අර්බුද හමුවේ රටේ පාලක ප්‍රජාව මෙන්ම සමස්ත ජනතාව නිවැරදි මාවතකට යොමුකොට ගැනීමේ වඩාත් නිවැරදි වූ වැඩපිළිවෙළක් තවමත් සැකසී නොමැති අතර, ඒ සඳහා වූ මාවතක් පේන මානයක හෝ දක්නට නොලැබේ. මෙවැනි තත්ත්වයක් තුළ අප රටේ උගත් හා බුද්ධිමත් ප්‍රජාව සිදුකළ හැකි සහ ඉටුකළ යුතු අතිමහත් වූ වගකීම් රාශියක් හඳුනාගත හැකි අතර, එය අප රටේ අනාගත පැවැත්ම තහවුරු කරනු ඇතැයි විශ්වාස කළ හැකිය.
ශ්‍රී ලංකාව තුළ දුප්පත්කම, ඉහළ ආදායම් විෂමතාව, විරැකියාව, මත්ද්‍රව්‍ය උවදුර, බෝ නොවන රෝග, කෘෂි රසායන භාවිතය සහ ආහාර විෂ සහිත වීම, නියඟය සහ පානීය ජලය හිඟවීම, අලි මිනිස් ගැටුම, පරිසර දූෂණය, සංස්කෘතික හා මිනිස් වටිනාකම් පිරිහීම, අපරාධ ඉහළ යාම, රිය අනතුරු හා ජාතික සමගිය, වන පහරවැදීම් ආදී වූ අර්බුද රාශියක් දිනෙන් දින ඉහළ යමින් පවතී. එසේම මෙම අර්බුද වෙනුවෙන් ජනතාව මෙන්ම පාලක ප්‍රජාව විටින් විට මාධ්‍ය හරහා යම් හඬක් නැඟුවද රටේ උගත් ප්‍රජාව මේ වෙනුවෙන් කරනු ලබන ක්‍රියාකාරී මැදිහත් වීම ප්‍රමාණවත් නොවන බව මාගේ හැඟීමයි. එසේ රටේ උගත් ප්‍රජාව ප්‍රමාණවත් මට්ටමින් මෙම අර්බුද වෙනුවෙන් ක්‍රියාකිරීම සඳහා උද්දීපනය නොවීමට විවිධ වූ හේතූන් බලපෑ හැකි අතර, උගතුන් හා බුද්ධිමතුන් දායක කරගැනීම සඳහා විධිමත් වූ වැඩපිළිවෙළක් සැකසී නොමැතිකම එක් ප්‍රධාන හේතුවක් වශයෙන් සැලකිය හැකි වේ.
රටේ උගතුන් නිර්මාණය කරනු ලබන ප්‍රධාන මාධ්‍ය වනුයේ ශ්‍රී ලංකා පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල පද්ධතියයි. ඊට අමතරව වෘත්තීය අධ්‍යාපන ආයතන මෙන්ම අනෙකුත් පෞද්ගලික අධ්‍යාපන ආයතන රාශියක්ද දක්නට ලැබේ. මෙම මාධ්‍ය අතුරින් වඩා වැදගත් සහ ප්‍රධානතම මාධ්‍ය වනුයේ රජයේ විශ්වවිද්‍යාල පද්ධතියයි. ඊට ප්‍රධාන හේතුව වනුයේ උගතුන් සහ බුද්ධිමතුන් ප්‍රධාන වශයෙන් කේන්ද්‍රගත වී සිටිනුයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වීමයි.
විවිධ වූ අවස්ථාවල ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල මගින් ශ්‍රී ලංකාව මුහුණදී සිටින සමාජීය හා පාරිසරික අර්බුද විසඳීම වෙනුවෙන් යම් යම් වැඩසටහන් ඉදිරිපත් වුවද එය උගතුන් උද්දීපනය කිරීම උදෙසා හෝ රටේ ජනතාවට හැඟෙන දැනෙන බලපෑමක් කිරීම සඳහා ප්‍රමාණවත් මට්ටමක නොපවතින බව මගේ හැඟීමයි. අද බොහෝ විට විශ්වවිද්‍යාල පද්ධතිය මගින් එදිනෙදා පාඨමාලා පවත්වාගෙන යෑම කෙරෙහි පමණක් තම අවධානය යොමුකොට තිබෙන අතර, සමාජය සමග බැඳෙමින්, එහි ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් සෙවීමට තම දැනුම් සම්පත උකහාගැනීම, ඇල්මැරුණු ස්වභාවයකට පත්ව තිබේ. එහෙයින් විශ්වවිද්‍යාල සමාජයෙන් හුදෙකලා නොවූ ආයතන බවට පත් කිරීමට යම් වැඩපිළිවෙළකට අවශ්‍යතාව මතුව තිබේ. ඒ හරහා අප රටේ උගතුන් හා බුද්ධිමතුන්ගේ දැනුමේ සාරය රටේ පොදු මහජනතාවට බෙදාහරිමින් ඔවුන් මුහුණදී සිටින අර්බුදයන්ගෙන් මුදාගැනීමට අවස්ථාව සැලසේ.
මේ සඳහා විශේෂයෙන්ම රටේ පාලක ප්‍රජාවට මා යෝජනා කිරීමට බලාපොරොත්තු වනුයේ විශ්වවිද්‍යාල මගින් ඉටුකළ යුතු සමාජ මෙහෙවර පුළුල් කිරීම උදෙසා මුල් අදියරක් ලෙස විශ්වවිද්‍යාල කේන්ද්‍රකොට තිබෙන ප්‍රදේශවල ජනතාව මුහුණදී තිබෙන ගැටලු සහ ප්‍රශ්න හඳුනාගැනීම, සමාජ කතිකාවතක් ගොඩනැගීම, ජනතාව වෙනුවෙන් විශ්වවිද්‍යාල මගින් කළහැකි වැඩසටහන් සිදු කිරීම, රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදී දායක කරගැනීම සහ රටේ පවතින අර්බුද පිළිබඳ පුළුල් වූ අවබෝධයක් ජනතාව තුළට කාන්දු කිරීම එමගින් ජනතාව තුළ වඩාත් යහපත් වූ ආකල්ප ගොඩනැගීම සදහා වෙන් වූ ඒකකයක් සියලුම විශ්වවිද්‍යාල තුළ ස්ථාපිත කිරීමයි. මෙම නව අදහස සඳහා ජනාධිපතිවරයා ප්රමුඛ නව රජයේත්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේත්, විශ්වවිද්‍යාල පද්ධතිය තුළ බලධාරීන්ගේත් අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කරමි.
කථිකාචාර්ය ඒ.ඒ.ඩී.පී. බණ්ඩාර
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය