Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
ලෝකවාසී බොදුනුවන් සිය වන්දනාමය ආමිස පූජාව සඳහා බුදු පිළිමය මූලික කරගෙන තිබේ. බුදු පිළිමයක් නොමැති බෞද්ධ නිවසක් මෙන්ම ගමක්, පන්සලක් නොමැති තරම්ය. ක්‍රි:පූ: පළමුවැනි ශත වර්ෂයේ ඉන්දියාවේ කනිෂ්ක රජ සමයේදී බුද්ධ ප්‍රතිමා නිර්මාණය ඇරඹුණු බව ඉතිහාසයේ සඳහන් වේ.
ඉන්දියාවේ මථුරා දේශයේ මෙන්ම ගාන්ධාර දේශයේද එම අවධියේ බුදු පිළිම කලාව ආරම්භ වී ඇති අතර, මෙම සම්ප්‍රදායන් දෙකම අනුගමනය කරමින් දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා දේශයේ අමරාවතී සම්ප්රදාය නමින් නව බුද්ධ ප්‍රතිමා නිර්මාණ කලාවක් ඇරඹී තිබේ. ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා නිර්මාණයට මෙම සම්ප්රදාය බෙහෙවින් ඉවහල් වී ඇතැයි ඉතිහාසඥයන්ගේ මතයයි.
කෙසේ වුවද වසර දෙදහස් පන්සියයක් වූ බොදු සංස්කෘතික ඉතිහාසයක් ඇති අපේ රටේ සුපිරිසුදු ථේරවාදී බුදු දහම සංකේතවත් වන අයුරින් නිර්මාණය වූ විශිෂ්ට ඝනයේ බුද්ධ ප්‍රතිමා ලෝක බෞද්ධ උරුමයන් ලෙස සුරැකී තිබේ.
මේ සියවසේ ආරම්භයත් සමග මෙරට තුළ නව බෞද්ධ ප්‍රබෝදයක් ඇතිවිය. එයට පාදක වූයේ උගත්, නැණවත් භික්ෂූන් වහන්සේලා පෙළක් සාම්ප්‍රදායික ධර්ම දේශනයෙන් ඔබ්බට යමින් සමස්ත සමාජය හමුවේ පවතින ගැටලු පිළිබඳව විමර්ශනාත්මකව ධර්ම විග්රහයක යෙදෙමින් මිනිස් සන්තානයේ නැගෙන ගින්න බුදු සිසිලෙන් නිවාළිය හැකි බව මැනවින් පෙන්වාදීමය. එබැවින් බොහෝ තරුණ පිරිස් අමතක කර දමා තිබූ විහාරස්ථානයට නැවත සමීප වන්නට විය.
ධර්මයේ අර්ථය නිසි ලෙස වටහා ගත් ඔවුන් විවිධ පිංකම්හි යෙදෙන්නට විය. මේ වනවිට මෙරට විහාරස්ථානයන්හි මෙන්ම ගමක්, නගරයක් මංසන්ධියක් පාසා බුද්ධ ප්‍රතිමා ඉදිවී ඇත්තේ ඒ තරුණ බෞද්ධ ප්‍රබෝදයේ ප්‍රතිඵලය නිසාය.
කඩුවෙල, කොරතොට රාජමහා විහාරයේ දැවැන්ත කඳු මුදුනේ ආශ්චර්යමත් සමාධි බුදුරුව ඉදිවෙන්නේද තරුණ භික්ෂූන් වහන්සේ නමකගේ අධිෂ්ඨානාත්මක අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ සඳහා උන්වහන්සේට ශක්තිය ලබාදී ඇත්තේද විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති වහන්සේ හා දායක දායිකාවන් මෙන්ම විහාරස්ථානය සමග නිබඳව බැඳී සිටින ප්‍රදේශවාසී තරුණ පිරිසය.
කොරතොට රාජමහා විහාරය කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරලය නමින් හැඳින්වෙන පුරාණයේ මායා රාජධානිය වූ කැලණි පුරවරයට අයත් කැලණි ගංගා මිටියාවතේ වම් ඉවුරේ පිහිටි කඩුවෙල නගරයත්, අතුරුගිරිය නගරයත් අතර පිහිටි කොරතොට කඳු පාමුල පිහිටි ඓතිහාසික ලෙන් විහාරයකි. මෙම විහාරස්ථානයේ පුරාවෘතය පිළිබඳව 'අද' සමගින් සිය අදහස් දක්වන්නේ වර්තමාන විහාරාධිපති හේවාගම් කොරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය හබරකඩ සෝභිත ස්වාමීන් වහන්සේය.
කොරතොට රාජමහා විහාරය වළගම්බා රජ සමයෙහි සඟ සතු කරන ලද බවට ජනප්‍රවාදයෙහි සඳහන් වෙතත් විහාරාධිපති නායක හිමියෝ තර්කානුකූලව මතයක් මෙහිදී ඒ සඳහා ප්‍රකාශ කර සිටිති. උන්වහන්සේ ඒ පිළිබඳව පවසන්නේ මෙලෙසිනි. ''විහාර කන්දේ ඇති එක් සෙල්ලිපියක මහ රජුගේ දියණිය වූ 'මහබි' විසින් පිදූ ලෙනක් ලෙසටත්, අනෙක් සෙල්ලිපියේ 'පරුමක සුමන'ගේ පුත් පරුමක සුමන පිදූ බවත් සඳහන් වෙනවා. 'මනා පදස්සන' යනුවෙනුයි එම ලෙන හැඳින්වෙන්නෙ.
මෙම සෙල්ලිපිවල අක්ෂර පරිණාමය අනුව ක්‍රි:පූ: 03 වන හෝ දෙවන ශතවර්ෂවලට අයත් බවට සෙනරත් පරණවිතාන මහතා පවසා තිබෙනවා. ඒ අනුව මේ ප්‍රදේශයේ ඉපැරණි ජනාවාස තිබූ බවට අපට නිගමනය කළ හැකියි. නමුත් මෙම සෙල්ලිපියේ මහ රජ කෙනෙකු ගැන සඳහන් වුණත් ඒ කිනම් රජුද යන්න නම සඳහන් නොවීම හේතුවෙන් අපට ඒ පිළිබඳව යම් නිගමනයකට එළැඹීමට නොහැකිය. මෙම රජු අනුරාධපුරයේ රජකළ අයෙකු නොවන බව පෙනීයනවා. මන්ද මෙවැනි ලෙනක් පූජාකිරීමට එම රජතුමාගේ දියණිය මෙතරම් දුරක් පැමිණෙතැයි අපට තීරණය කළ නොහැකි නිසයි.
අපට මෙහිදී කැලණි රාජධානියේ ඉතිහාසය පිළිබඳව මහාවංශයේ විසි දෙවැනි පරිච්ඡේදයේ දැක්වෙන විස්තරයට අවධානය යොමුකළොත් එහි ගාමිණී කුමරුගේ උපත ගැන ලියන මහාවංශ කතුවරයා කැලණියේ රජකළ තිස්ස රජුගේ දියණිය වන විහාරමහා දේවිය ගැමුණු කුමරුන්ගේ මව බවට සඳහන් කරනවා. කැලණිතිස්ස රජු ගැන මහාවංශයේ විවිධ කතා පුවත් ඇතත්, අනුරාධපුර රාජධානිය හා ඔහු අතර සම්බන්ධතාවක් තිබූ බවට එහි සඳහන් වන්නේ නැහැ.
කැලණි රාජධානිය හා කොරතොටට ඇති දුර අතර පරතරය අනුව බලන කළ කොරතොට විහාරස්ථාන ලෙන් ලිපි කැලණි තිස්ස රාජ සමයට අයත් යැයි නිගමනයකට එළඹිය හැකිව තියෙනවා. ඒ අනුව මෙම ලෙන් පූජා කරන ලද්දේ එම රජතුමාගේ දියණියක හෝ බිසවක විසින් වීමටද හැකිය. කෙසේ වුණත් හිටපු පුරා විද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ නිගමනය අනුව පැවසෙන්නේ නම සඳහන් නොවූ රජු ක්‍රි.පූ.76 - 62 රජ කළ මහාචූලක මහා තිස්ස රජු බවයි.
අප විහාරස්ථානයට අයත් කඳු මුදුනේ බුදු පිළිමයක් ප්‍රතිෂ්ඨාපනය කරන්න හබරකඩ සුමනසාර පොඩි හාමුදුරුවන් තුළ පැවැති අදහස මා සමග පවසපු වෙලාවේ මම ඒ සඳහා යායුතු නිවැරදි මගපෙන්වා දෙමින් අනුශාසනා ලබාදුන්නා. ඒ වගේම දායකසභාව වගේම ප්‍රදේශවාසීන්ගේ කැපවීම උනන්දුව මත ඉතා කෙටි කාලයකින් කඳු මුදුනේ අඩි 120 උසට සමාධි පිළිම වහන්සේ නිර්මාණය කරන්න හැකිවීම අපේ බුදු බණේ කියා දෙන අධිෂ්ඨානය හා විර්යය පාරමිතාව සිහිපත් කරවනවා.''
සියම් මහා නිකායට අයත් කොරතොට සඟ පරපුර ආරම්භය සනිටුහන් වන්නේ ගිනිගත් පිටියේ හිමිපාණන්ගෙනි. උන් වහන්සේගේ ඇවෑමෙන් මහගොඩ ඥාණිස්සර හිමි, මාකොළ රේවත හිමි, කොරතොට සෝභිත හිමි, බියන්විල සෝමානන්ද හිමි, පනාගොඩ සෝමරත්න හිමි සහ වත්මන් විහාරාධිපතීන් වහන්සේ මෙම අගනා පුණ්‍යභූමිය බොදු සැදැහැවතුන්ගේ වන්දනාව උදෙසා සංරක්ෂණය කිරීම සඳහා ප්‍රසංශනීය සේවයක් ඉටුකර තිබේ.
සිය ගුරු හිමිවරුන්ගේ මග යමින් තරුණ භික්ෂූන් වහන්සේ නමකගෙන් සසුනට සිදුවිය යුතු කාර්යය මැනවින් වටහාගත් වත්මන් තරුණ භික්ෂු පරපුරට ආදර්ශයක් ලබාදුන් අධිෂ්ඨානයෙන් හා ධෛර්යයෙන් සියලු අභියෝග ජයගත හැකි බව ක්‍රියාවෙන්ම පෙන්වා දුන් කොරතොට උතුර ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී විහාරස්ථ ග්‍රාම සංවර්ධන දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය හබරකඩ සුමනසාර හිමි කඳු සිරසේ සිය ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වූ අයුරු පැවසූවේ මෙලෙසිනි.
''මම පැවිදි වෙනකොට වයස අවුරුදු දහහතරයි. ඒ අවදියේ ඉඳලා මගේ හිතේ ඇතිවුණු අදහසක් තමයි පන්සලේ කන්ද මුදුනේ බුද්ධ ප්‍රතිමාවක් හැදුවොතින් එය ඈතට කෙතරම් ලස්සනට පෙනේවිද, එය එලෙස සිදුවුවහොත් සැදැහැතියන් දහස් ගණනින් ඇවිත් වන්දනාමාන කරයිද යන්න මට හිතුණා. ඒ සිතුවිල්ල දිනෙන් දින මෝදුවුණා. මගේ අධ්‍යාපන කටයුතුවලින් පසුව විහාරස්ථානයේ වගකීම් බොහොමයක් මාවෙත පැවරුණා.
ඒ නිසා මට ප්‍රදේශවාසී සැදැහැවතුන් සමග කටයුතු කරන්න පුළුල් අවස්ථාවක් ලැබුණා. මගේ අදහස ක්‍රියාත්මක කරන්න අවස්ථාව පැමිණ ඇති බව මෙහිදී මට වැටහී ගිය නිසා මගේ ගුරු හාමුදුරුවන් වූ වත්මන් විහාරාධිපති වහන්සේට මගේ අදහස පැවසුවා. උන් වහන්සේ ඒ අදහසට එක සිතින් ආශිර්වාද කරමින් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුටම මේ අදහස ඉදිරිපත් කළා.
මේ කාලවකවානුවේදී විදුලි සන්දේශ ආයතන කිහිපයකින්ම සිය පණිවුඩ හුවමාරු කුලුනු කඳු මුදුනේ තැනීමට නිතර පැමිණ ඉල්ලීම් කළත් මා සිත තුළ පැවැති අදහස නිසාම ඒවා ප්‍රතික්ෂේප කළා. මුලින්ම අප කළේ දායකසභාව කැඳවා මේ අදහස ඔවුන්ට ඉදිරිපත් කිරීමයි. 2010 සැප්තැම්බර් 25 වැනිදා පැවැති එම සාකච්ඡාවේදී ඔවුන් මෙම කාර්ය ක්‍රමවත්ව ක්‍රියාවට නැගීම සඳහා වෙනම සමිතියක් පිහිටුවා ගනු ලැබුවා.
ඔවුන්ගේ යෝජනාවක් අනුව අප මුලින්ම කළේ දැනට සදා නිමකර ඇති ප්‍රධාන පෙළේ බුදු පිළිම නිරීක්ෂණය කළ යුතු බවයි. ඒ අනුව අප කුරුණෑගල, මහියංගනය, මාතලේ, රම්බඩ ගල්ල, අලුත්ගම කන්දේ විහාරය, මාතර වෙහෙරහේන ආදී දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි නෙළා ඇති බුදු පිළිම වහන්සේලා බලා අවසානයේදී සියලු දෙනාගේම එකඟත්වයෙන් කුරුණෑගල හා මහියංගන පිළිම නිර්මාණ කළ සුප්‍රකට මූර්ති ශිල්පී රෝහණ ධර්මසේන මහතාට මෙම නිර්මාණ කාර්යය පැවරුවා.
2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කර ගනිමින් 2011 පොසොන් පුර පසළොස්වක පොහෝ දින මුල්ගල තැබීමෙන් ආරම්භ කළ මෙම සත්කාරය වසර හතරක් වැනි කෙටි කාලයකින් නිමකිරීමට හැකිවුණේ ගමේ තරුණ, වැඩිහිටි. කාන්තා යන මේ සියල්ලන්ගේම කැපවීමත්, දානපතියන්ගේ සහ දේශපාලඥයන්ගේ මෙන්ම ප්‍රභූවරුන්ගෙන් ලැබුණු නොමසුරු ආධාරයත් නිසයි.
විශේෂයෙන් සඳහන් කළ යුතුම කරුණක් තිබෙනවා. තද බෑවුම් සහිත කටු අකුළින් ගහන කඳු මුදුනට ළඟා වීම සිතීමට පවා අපහසුව පැවැති භූමි ප්‍රදේශයක් ඉදිකිරීම් කටයුතු සඳහා ක්‍රමවත්ව සකස් කිරීමට විවිධ කාලගුණික අපහසුතාවන්ද නොතකමින් ප්‍රදේශවාසී බොහෝදෙනා දැක්වූ නොමසුරු වෙහෙස මිල කළ නොහැකියි. එපමණක් නොව මෙම දැවැන්ත කාර්යයේ නිර්මාණ ශිල්පියා නිර්මාණයේ අවසන් අදියරේදී හදිසියේම අප අතරින් වියෝවීමද අපට අමතක කළ නොහැකි සංවේගාත්මක කරුණක් වුණා.''
මෙහි තවත් සුවිශේෂී ඉදිකිරීමක් වන්නේ සම්පූර්ණයෙන්ම දැවයෙන් නිමකරන ලද අලංකාර ධාතු මන්දිරයයි. අඩි පහක් උසැති ධාතු කරඬුවේ තැන්පත් කිරීම සඳහා ලාහුගල නීලගිරි සෑයේ කැණීම්වලින් හමුවූ මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා කිහිපනමක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ලැබී ඇත. මෙය මෙම උත්තම කාර්යය සඳහා පිරිනැමුණු පූජනීය පරිත්‍යාගයකි.
කොරතොට රාජමහා විහාරය යනු ලෙන් විහාරයකි. එම ලෙනෙහි දහඅට රියන් සැතපෙන බුදු පිළිමයක්, සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාගේ පිළිම හා ලෙනෙහි දකුණු පස ඉපැරණි විෂ්ණු දේව ප්රතිමාවක්ද වේ. බොහෝදෙනා සිය කාර්යය සාධනය සඳහා බාරහාර වීමට වසර ගණනාවක් මුළුල්ලේ මෙම දෙවොල කරා පැමිණෙති. මෙයට දශකයකට ඉහත කාලයේදී කොරතොට සෞම්‍ය දේශගුණයකින් යුත් ප්‍රදේශයක් විය.
කොරතොට පන්සල් කන්ද සහ ඒ සමීපවම ඇති බැලුම්ගල කන්ද වෘක්ෂලතාවන්ගෙන් සපිරි තෙත් කලාපීය වනගහනයෙන් යුත් ප්‍රදේශයක් විය. බැලුම්ගල ඓතිහාසික වටිනාකමකින් යුක්ත වූවකි. පළමු වැනි රාජසිංහ රජතුමා පෘතුගීසීන් පිළිබඳව ඔත්තු බැලුවේ මෙහි සිට බව ජනප්‍රවාදයෙහි සඳහන් වේ.
කෙසේ වුවද වර්තමානයේ මෙම බැලුම්ගල මෙන්ම අවට පිහිටි දේවාල කන්ද, අනදොළ කන්ද ව්‍යාපාරික ගල් රකුසන්ගේ බිල්ලක් බවට පත්ව තිබේ. මේ හේතුවෙන් මේ ප්‍රදේශයේ පැවැති ස්වාභාවික දිය උල්පත් සිඳීගොස් ඇති අතර, පැවැති සෞම්‍ය දේශගුණික තත්ත්වය මුළුමණින්ම පහව ගොස් ඇත. සංවර්ධනයේ මුවාවෙන් ස්වාභාවික සම්පත් මෙසේ විනාශ කිරීමේ පාපකර්මයට අද මුළු රටම ගොදුරු වී ඇත්තේ මේ අයුරිනි.
කොරතොට රාජමහා විහාරයේ මැද මහලේ පිහිටි බෝමළුවේ හිමිදිරියේදී අපූරු දසුනක් නැරඹිය හැකිය. ඒ බුදු සිරිපා සිප ගත් සමනළ කඳු මුදුනය. එය එපරිද්දෙන්ම බුදු රුව පිහිටි උඩ මළුවටද දිස්වන බව පොඩි හාමුදුරුවෝ මා සමග පැවසූහ. විශේෂයෙන් වළාකුළු රහිත සුපැහැදිලි දිනවලදී මෙම අපූරු දසුන දැකගත හැකියැයි උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියහ.
කොරතොට කඳු මුදුනේ බුදු රුවෙන් දැක්වෙන්නේ අසමසම බුදු ගුණ පමණක් නොව කුඩා මිනිසුන් පිරිසකගේ අධිෂ්ඨානයේ ප්‍රාතිහාර්යයයි. ඔවුන් අද කඳු මුදුනේ බුදුරුව දෙස බලා විඳින්නා වූ නිරාමිස සතුට නිවන දක්වාම පවතිනු ඇත.
සමනල ගිරි හිසින් පායන තරිඳූ
නැමද බබළවයි කොරතොට බෝ සමිඳු
කොළොම්තොටට බුදු රැස් තෙද විහිදූ
කොරතොට බුදු රුව වඳිනෙමු සාදු
සටහන - අතුල රංජිත් වෙදමෙස්ත්රිගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd