පොලිතින් තහනමත් සමග ඊට විකල්ප ලෙස ස්වාභාවිකව ජෛව හානියට ලක්වන ඇසුරුම් පිළිබඳව අද අවධානය යොමු වුවද තවමත් එම නිෂ්පාදන ජනතාව අතර භාවිත වීම සහ ව්‍යාප්ත වීම නිසි ආකාරයෙන් සිදුවී නොමැත. 'අද' මෙම සටහන ගෙන එන්නේ මෙරට තුළදීම මීට වසර 10කටත් පෙර ස්වාභාවික ජෛව හානියට පත්වන එපමණක් නොව එය පරිසරයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් කොම්පෝස්ට් බවට පත්වන පොලිතින් සඳහා සාර්ථක ආදේශකයක් පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි.
මේ සඳහා අප සමග කතාබහට එක්වූයේ මෙම පරිසර හිතකාමී පොලිතින් ආදේශකය හඳුන්වාදුන් 'Plastic Packaging (Pte) Ltd ' ආයතනයේ සභාපති මර්වින් ඩයස් මහතාය. 'මේ ඇසුරුම් වල කිසිම ආකාරයකින් පොලිතින් අඩංගු වෙන්නේ නැහැ. මේ ආයතනය අපි ආරම්භ කරලා දැනට අවුරුදු 31 ක් පමණ වෙනවා. අපේ ආයතනය මගින් සිදුකරන්නේ පොලිතින් නිෂ්පාදන යුරෝපීය රටවලට අපනයනය කිරීමයි. ඉන් 98% කම ප්‍රමාණයක් අපනයනය කරන්නේ එංගලන්තයට. පොලිතින් රහිත ජෛව හානියට ලක්වී කොම්පෝස්ට් වන මෙම ඇසුරුම් විශේෂය නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ මීට වසර දහයකට පමණ පෙරයි. අපිට අවශ්‍ය වුණා භාවිතය පහසු පොලිතින් නොවන ඇසුරුම් නිෂ්පාදනය කරන්න. ඒ අනුව පොලිතින් රහිතව පරිසර හිතකාමී ඇසුරුම් නිෂ්පාදනය කළ හැකි අමුද්‍රව්‍යයක් ඉතාලියෙන් අපිට සොයාගත හැකි වුණා. එම අමුද්‍රව්‍ය අපි මෙරටට ගෙන්වලා වසර 3 ක් විතර පර්යේෂණ සහ අත්හදා බැලීම් සිදුකළා. අවසානයේ එහි ප්‍රතිඵලයක් විදියටයි ස්වාභාවිකව ජෛව හානියට ලක්වන කොම්පෝස්ට් බවට පත්වන ඇසුරුම් විශේෂයක් හඳුන්වා දෙන්න අපිට හැකියාව ලැබුණේ. ඒ අනුව මේ වෙද්දි අපි පොලිතින් වලට ආදේශක ලෙස ලන්ච්ෂීට්, බෑග් වර්ග නිෂ්පාදනය කරනවා.
මේ ඇසුරුම් සම්පූර්ණයෙන් සියයට සියයක්ම පරිසර හිතකාමියි වගේම සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් නැහැ. විශේෂත්වය තමයි මෙම ඇසුරුම් ස්වාභාවිකව ජෛව හානියට පත්වනවා විතරක් නෙවෙයි කොම්පෝස්ට් බවටත් පත්වෙනවා. සතුන් හෝ ක්ෂුද්‍ර ජීවීන් මේවා ආහාරයට ගත්තත් කිසිදු හානියක් නැහැ. මේ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය වල පොලිතින් අඩංගු වෙන්නේ නැහැ. ඒ වගේම පරිසරයට හානිකර රසායනික, බැර ලෝහ වැනි දේවලුත් අඩංගු නැහැ. එය විද්‍යාත්මක පර්යේෂණ මගිනුත් තහවුරු කරගන්න අපිට හැකිවෙලා තිබෙනවා. ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය නිකුත් කරපු වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා මේ ඇසුරුම් වල කිසිම ආකාරයකින් පොලිතින් අඩංගු නොවන බව. ඒ වගේම මේ ඇසුරුම් වල මුද්‍රණය කිරීමේ කටයුතු කරන්න අපි භාවිත කරන්නෙත් කිසිදු අහිතකර රසායනිකයක් නොමැති ජලයෙන් යොදන විශේෂිත තීන්ත වර්ගයක්. තිරිඟු පිටි මිශ්‍ර අමුද්‍රව්‍ය කිහිපයක් තමයි මීට භාවිත වෙන්නේ. මුල් කාලයේ මේ ඇසුරුම් නිෂ්පාදනය කරන්න විශාල වෙහෙසක් දරන්න අපිට සිදුවුණා. තාක්ෂණික වශයෙන් එහි ඝනකම අඩු කරන්න මඳක් අපහසු තත්ත්වයක් දකින්න ලැබුණා. ඒ වගේම මීට භාවිත කරන අමුද්‍රව්‍යත් සාමාන්‍ය නොදිරන පොලිතින් නිෂ්පාදනය කරන්න යොදාගන්න අමුද්‍රව්‍ය වලට වඩා මිල අධිකයි.
ඒ නිසා නිෂ්පාදන පිරිවැය යම් මට්ටමකින් වැඩියි. නමුත් අපි දීර්ඝ වශයෙන් පර්යේෂණ සහ අත්හදා බැලීම් සිදුකරලා සාමාන්‍ය පොලිතින් නිෂ්පාදන වල මට්ටමටම නැතත්, සැලකිය යුතු අඩු මිලකට වගේම අඩු මයික්‍රෝන ප්‍රමාණයකට මෙම ඇසුරුම් නිෂ්පාදනය කරන්න සමත් වුණා. ඊට සමගාමීව කිසිම ආකාරයකින් මෙහි ප්‍රමිතියේ අඩු වීමක් හෝ ශක්තිමත් බවේ අඩුවක් සිදුවුණේ නැහැ. 2006 වසරේදී පමණ තමයි ස්වාභාවික ජෛව හානියට ලක්වන ඇසුරුම් නිෂ්පාදනය අපි ආරම්භ කළේ. ඊට පස්සේ අපි එංගලන්තයේ සිටින ගැනුම්කරුවන්ට දැනුම් දුන්නා මේ ආකාරයේ නිෂ්පාදනයක් අපි ළඟ තියෙනවා කියලා. ඔවුන් එක්වරම මෙය මිලදී ගත්තේ නැහැ. ඔවුගේ රසායනාගාර වල මේ ඇසුරුම් විවිධ තත්ත්වයන් සහ නිර්ණායක යටතේ පරික්ෂාවට ලක් කළා. මෙමගින් පරිසරයට, සතුන්ට හෝ ක්ෂුද්‍ර ජීවීන්ට හානියක් වෙනවාද සහ නිසි ආකාරයට මේවා කොම්පෝස්ට් බවට පත්වෙනවාද කියන දේ සම්බන්ධයෙන් ඔවුන් සොයා බැලුවා
. ඒ පර්යේෂණ සිදුකළේ යුරෝපයේ ප්‍රධානතම තත්ත්ව පර්යේෂණ ආයතනයක් වන %වින්කොට්^ (VINCOTTE) ආයතනය මගින්. ඔවුන් නිකුත් කරන තත්ත්ව සහතිකයේ නිර්ණායක එකක් හෝ සම්පූර්ණ කරන්න නොහැකි නම් අපිට යුරෝපා රටවලට මේ නිෂ්පාදනය අලෙවි කරන්න බැහැ. අපිට හැකිවුණා ඒ සෑම නිර්ණායකයක්ම හොඳින්ම සම්පූර්ණ කරලා ඔවුන්ගේ සියලුම තත්ත්ව සහතික ලබාගන්න. ඒ අනුව මේ වෙද්දි යුරෝපා රටවල් වල අපේ මේ නිෂ්පාදනය ඉතාමත් සාර්ථකව අලෙවි වෙනවා. ඉදිරියේදී බෙල්ජියම, මාලදිවයින සහ ඉතාලිය කියන රටවලටත් මෙම ඇසුරුම් අපනයනය කරන්න සූදානම් වෙලා තිබෙනවා. මේ අතරවාරයේදී පොලිතින් තහනමටත් පෙර මෙරට ආයතන කිහිපයක්ම ජෛව හානියට ලක්වන පොලිතින් නිෂ්පාදන ඔවුන්ටත් සපයන ලෙසට ඉල්ලා සිටියා. ඒ අනුව අපි ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් ජෛව හානියට ලක්වන ඇසුරුම් සැපයීම සිදුකළා. අද වෙනකොට ඒ ආයතන බහුතරයක් සම්පූර්ණයෙන්ම පොලිතින් භාවිතය නතර කරලා මේ ඇසුරුම් භාවිතයට යොමුවෙලා තිබෙනවා.
ඒ වගේම මේ වන විටත් සුපිරි වෙළෙඳසැල්, ඔසුසැල්, හෝටල් ආදියෙන් විශාල ලෙස ඇණවුම් ලැබෙමින් පවතිනවා. සාමාන්‍ය පොලිතින් ඇසුරුමක් දිරාපත් වෙන්න වසර 100-500ත් අතර කාලයක් ගතවෙනවා. නමුත් අපේ අත්හදා බැලීම් අනුව මේ පරිසර හිතකාමී ඇසුරුම් දිරාපත් වෙලා කොම්පෝස්ට් බවට පත්වීමට ගතවෙන්නේ මාස 04කටත් වඩා අඩු කාලයක්. කාර්මික කොම්පෝස්ට් මාධ්‍යයක් තුළ දින 180කදී කොම්පෝස්ට් කරගන්න හැකියාව තිබෙනවා. ඒ අනුව අපිට පුළුවන් වෙලා තියෙනවා කාලීන ගැටලුවකට අපේ රටෙන්ම ස්ථිරසාර විසඳුමක් සපයන්න'