ගතවූ කාලය තුළ මහත් ආන්දෝලනාත්මක පුවත් මැවූ කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ ගිවිස ගත් කාලය අවසන් වී යැයි ඇතැම් වාර්තා දක්වයි. තවදුරටත් එම ගොඩනැගිල්ල මාසිකව කෝටි ගණනාවක ධනස්කන්ධයක් වැයකර පවත්වාගෙන යන්නේදැයි ගොවි ජනතාව විමතියෙන් බලා සිටිති. නව ඇමතිවරයා පැවසුවේ තමන් පැරණි ගොඩනැගිල්ලට යාමට කැමති කතාවකි.
එහෙත් මාසික කුලියට ගොඩනැගිලි ලබාගෙන ගොවියා කොළඹට ගෙන්වා කාලකණ්ණි කිරීම වෙනුවට අමාත්‍යාංශය ගමට යාමේ ක්‍රමය බතින් බුලතින් වීයෙන් සහලින් අටුකොටු පුරවන රටක ප්‍රතිපත්තිය කළ නොහැකිද?
වසර දෙදහස් පන්සියයක් ඈතට දිවෙන ශ්‍රී ලාංකේය ජනජීවිතය කෘෂිකර්මාන්තය සහ සත්ත්ව පාලනය පදනම් කරගත් ශිෂ්ටාචාරයකට උරුමකම් කියන වංශ කතාව අමුතුවෙන් විවරණය කළයුතු යමක් නොවේ. එහෙත් එකී කෘෂි ආර්ථිකය ස්වයංපෝෂිත වූ රටක් වෙනුවෙන් ක්‍රියාත්මක වීමේදී මේ වන විට ගොවියා වෙනුවෙන් නොව දේශපාලකයන්ගේ මනදොළ සපුරන ආර්ථික ගොදුරුක් කරගත් පුවත් නිතර ඇසුණි.
කෘෂි අමාත්‍යාංශය ගමට යාම
ගොවියන් සිටින ප්‍රදේශවලින් දුරස්ව කෘෂිකර්ම අමාත්‍යාංශය කොළඹ ස්ථාපනය නොවිය යුතුය යන මතය ජනාධිපති ප්‍රේමදාස මහතා සමයේ සිට අවධාරණය කළ කරුණකි. එකලද කෘෂිකර්ම අමාත්‍යාංශය මහනුවර හෝ අනුරාධපුර කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපනය වීමේ අවශ්‍යතාව අවධාරණය විය. ඇතැම් දේශපාලකයන් සහ නිලධාරීන්ගේ කෙනහිලිකම් නිසා එම යෝජනාව හමස් පෙට්ටියට ගියේ යැයි ගොවි ජනතාව අදටත් චෝදනා කරති.
උදාහරණයක් ලෙස වී වගාකරුවන් මධ්‍යම, සබරගමුව, රජරට, අම්පාර, මඩකලපුව වැනි ප්‍රදේශවල බහුතරයක් වෙසෙන්නේ නම් ඔවුන්ට මහනුවර කේන්ද්‍ර කරගත් තැනක තම අමාත්‍යාංශය පිහිටුවීමේ වැදගත්කම එම ගොවියෝ පෙන්වා දෙති. එය දවස කාලකණ්ණි කරන සහ අතේ මුදල නැති නාස්ති කරවන සහ කොළඹට පැමිණීමට වඩා පහසු කටයුත්තක් බවද ඔවුහු අවධාරණය කරති.
එපමණක් නොව ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, රාජකීය උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව වැනි කෘෂිකර්මාන්තය හෝ වගාව සමග බැඳෙන ආයතනද මේ තුළ පවතින හෙයින් මෙවැනි ස්ථානයක අමාත්‍යාංශය ස්ථානගත වීමේ අවශ්‍යතාව ගොවියෝ අවධාරණය කරති.
එමගින් තමන්ට වඩාත් සමීප වෙනත් ආයතන ගණනාවක් සමග කටයුතු කිරීමට ඇතිවන හැකියාවද වගාකරුවෝ පවසති.
නමුත් එහිදී දකුණු පළාතේ ගොවියන්ගේ පැත්තෙන් දක්වන්නේ වෙනත් අදහසකි. ඔවුන් පවසන්නේ අමාත්‍යවරයා හමුවීමට එසේනම් කොළඹට අමතරව තවත් කිලෝමීටර එකසිය විස්සකට ආසන්න දුරක් ගෙවමින් මහනුවරට හෝ රජරටට අමතර පැය හතරක පමණ අතිරේක කාලයක් ගත කළයුතුද යන පැනයකි.
විකල්ප යෝජනා
එහිලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළව මධ්‍යම පළාත සීමාවක් ලෙස සලකා අංශ දෙකක් හෝ උපරිම තුනක් ලෙස කෘෂිකර්ම අමත්‍යාංශය අනු මූලස්ථාන වශයෙන් ප්‍රාදේශීය මට්ට්ම දක්වා ගෙන යා හැකි ක්රමයක හැකියාව තතු දන්නෝ පෙන්වා දෙති.
අනෙක කෘෂිකර්මය පොදු භාවිතයක් වුවද එය කලාපීය වශයෙන් ඒ ඒ වගාවන් සහ දේශගුණික තත්ත්වයන් සහ වෙනත් පාරිසරික සමාජ දේශපාලන අර්බුද හමුවේ මුහුණ දෙන ගැටලු විසඳීමට මෙවැනි ස්ථානගත කිරීම් වඩාත් ඉවහල් වනු ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.
ඒ අතර තවත් පිරිසක් පෙන්වා දෙන්නේ ඇමතිවරුන් නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරුන් මෙන්ම පළාත් කෘෂිකර්ම ඇමතිවරුන්ගේ දායකත්වයද මෙහිදී පහසුවෙන් ලබාගත හැකි බවට යෝජනාවකි. එහිදී අදාළ ඇමතිවරයෙකු අනු මූලස්ථානයේ සතියකට එක් දිනක් ගත කිරීමෙන් ගොවි ජනතාවට තමන්ගේ අර්බුද පහසුවෙන් සාකච්ඡා කරගත හැකි බවද ගොවියෝ අවධාරණය කරති.
උදාහරණයක් ලෙස මහනුවර විමසීමේදී පේරාදෙණිය, සරසවි උයන, ගන්නෝරුව ආදී වශයෙන්ද, මාතලේ මහඉලුප්පල්ලම වැනි ස්ථාන කෙරෙහිද ඔවුහු මෙවැනි කාර්යාල ස්ථාපනය කිරීමට ඇති ඉඩකඩ පිළිබඳ යෝජනා කරති. අදටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු මූලස්ථානය පේරාදෙණියේ ස්ථාපනය කර ඇත. අධ්යක්ෂ ජනරාල්වරයා ඇත්තේද එතැනය. ගන්නෝරුවේ එයට අදාළ සහ සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් විවිධ පර්යේෂණාගාර පිහිටා තිබේ. එසේනම් එය කෙතරම් අනුබලයක්දැයි ගොවියා අසන පැනය ගොවිතැන නොදන්නා ඇමතිවරුන්ට සහ පාලකයන්ට දැනෙන්නේ නැතැයි ගොවියෝ පවසති.
එසේම රජරට පැත්තේද අවශ්‍ය තරම් ගොඩනැගිලි සහ භාවිතයට නොගෙන අතහැර ඇති ඇතැම් ස්ථාන කෙරෙහිද තතු දන්නා කෘෂිකර්ම ක්ෂේත්රයට අදාළ ඇතැමෙකු තොරතුරු දක්වති. දකුණු පළාතේද මෙම පහසුකම් සපයාගත හැකි බව එම ගොවි ජනතාව අවධාරණය කරති.
අතිවිශාල කුලියකට කොළඹින් ගොඩනැගිලි ලබා ගැනීමේ රහස කුමක්ද?
කථානායකවරයාගේ ඉල්ලීම පිට කෘෂිකර්ම අමාත්‍යංශයට පැවරූ ගොඩනැගිල්ල ලබාගෙන ඇති බව නව අමාත්‍ය මහින්ද අමරවීර ගිය සතියේ පළමුවරට අනාවරණය කළේය. හිටපු අමාත්‍ය දුමින්දගෙන් ජනමාධ්‍ය මේ සම්බන්ධයෙන් වරින්වර ප්‍රශ්න කළේය. ඔහු පසුව පිළිතුරු දෙන්නම් යැයි එයින් මගහැර ගිය ආකාරය තුළ සැඟවුණු පිළිතුර මෙයදැයි ගොවි සංවිධාන විමසති. කාගෙ කාගේත් කිල්ලෝටවල චුට්ටක් හෝ මොන මොනවා හරි තිබිය හැකි යැයි ජවිපෙ පවසන්නේ, එදා අගමැතිවරයගේ නමද මෙම ගනුදෙනුවට සම්බන්ධව තිබූ හෙයිනි. (මෙයට පෙර බන්ධනාගර පුනරුත්ථාපන අමාත්‍යාංශය සම්බන්ධයෙන්ද මෙවැනි චෝදනාවක් වාර්තා විය.)
කුලී මුදල වෙනුවට රජයේ මුදලින් නව ගොඩනැගිල්ලක් ඉදි කළ නොහැකිද?
මාසිකව රුපියල් ලක්ෂ දෙසිය පනහකට වැඩි මුදලක් ගෙවා ලබාගත්තද කිසිදු වැඩක් නොගෙන මාස ගණනාවක් කුලිය පමණක් ගෙවමින් වැය කළද එසේ ගත කළ කාලය තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් රජයේ භූමියක ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමට තිබූ හැකියාවද යහපාලනයට මොරදෙන දේශපාලකයන්ට දැනිය යුතු යැයි ගොවියෝ පවසති. (වසරකට කුලිය රුපියල් ලක්ෂ 3000 කි.)
කෘෂිකර්ම අමාත්‍යංශයට පැවරූ ගොඩනැගිල්ලේ මාසික කුලිය රුපියල් ලක්ෂ 250කටත් වැඩි යැයි පැවසේ. එය නැවත තමන්ට අවශ්‍ය පරිදි ප්‍රතිනිර්මාණය කිරීමටද ආණ්ඩුව තවත් මිලියන ගණනාවක් වැය කළේය. එයට අවශ්‍ය සුඛෝපභෝගී ආම්පන්න වෙනුවෙන්ද තවත් මිලියන සිය ගණනාවක් වැය කරමින් විදෙස් රටවලට නියෝජිතයන් යැවීය.
එහෙත් මේ හැමදෙයක්ම කළේ රටේ කෘෂිකර්මාන්තය නැංවීම හෝ මඩ සෝදා ගත් ගොවියා රජ කරවීමට නොවන බව ගොවියා පවසති. නොමනා ගනුදෙනුවක් හරහා මැති අමැතිවරුන්, කථානායකවරුන්, අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ට තම දේශපාලන අභිප්රායයන් ඉටුකර ගැනීමට මඟක් සලසා ගත්තේදැයි අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසු ජනතාව අතර ඇසෙන නවතම පුවත් විවරණය ගොවි ජනතාව අසති.
අර්බුදය හරහා කප්පාදුවට ලක්වන ගොවියා
අව්වේ වැස්සේ තෙමෙමින් වේලෙමින් රට වෙනුවෙන් දහදිය හෙළන ගොවියාට නිෂ්පාදනයට නිසි මිලක් නොලැබෙන බවට හැමදාමත් මැසිවිල්ලකි. ඔවුන් වීදි බසින්නේද ඒ සාධාරණය ඉටුකර ගැනීම වෙනුවෙනි. එහෙත් නියං ගංවතුර පොහොර සහනාධාර කපා දමා සිදුවන්නේ සුපිරි පවුල් අතර අධි සුපිරි ගනුදෙනු නම් එය දූෂණයට අනුගත වීමක් යැයි නීති විශාරදයෝද අවධාරණය කරති.
එනිසා පවතින රාජ්‍ය සම්පත් පාවිච්චියට නොගෙන ඒ වෙනුවට කුඹුරකට නොබැස ඇති ව්‍යාපාරිකයන්ගේත්, දේශපාලකයන්ගේත්, අතරමැදි බ්රෝකර්වරුන්ගේත් මනදොළ පිරවීමේ ආණ්ඩුවේ පහත් නිවට නියාලු ප්‍රතිපත්තිය තුළ ගොවියාගේ ආර්ථික සුරක්ෂිතභාව තහවුරු කළ හැකිදැයි මෙහිලා ගොවි සමිති සංවිධාන නිලධාරීන් නඟන චෝදනාවද බැහැර කළ නොහැකිය.
වගකිවයුත්තන් නව වෙනසකට අකමැතිද?
ඇමතිවරුන්ට වාහන, දුරකථන, කාර්යමණ්ඩල පහසුකම් සියල්ල ජනතාව ලබාදී තිබේ නම් සහ පොලීසිය යොදා මහමගත් පිරිසුදු කර දෙන්නේ නම් කොළඹ සිට මහනුවර පැත්තට හෝ අනුරාධපුරයට නැතහොත් ගාල්ල දෙණියාය පැත්තට පැය දෙකකින් යාමට කෘෂිකර්ම ඇමතිවරු සහ අනෙක් නිලධාරීන්ට බැරිකමක් නැත. (බෙල්ල හෝ තුනටිය අමාරුව නැතිනම්)
එසේම ඇමතිවරයා හමුවීමේ දිනයක් පුවරුවේ දක්වා ඇතත්, එදාටත් දෙණියායේ සිට හෝ මඩකලපුවේ නැත්නම් යාපනයේ සිට පැමිණෙන ගොවියාට හිස් අතින් යාමට සිදුවන්නේ නම් කොළඹ එම ගොඩනැගිල්ල තුළ අමාත්‍යාංශය පවත්වාගෙන යන්නේ ජනතාවට තවත් සිනමා ශාලාවක් ලෙසදැයි ජනතාව අසන පැනය ගොවි පුතෙකු වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද තේරුම් ගතයුතු බව ගොවියෝ අවධාරණය කරති.
එසේ නොවන්නේ නම් මුහුද අහලකවත් නැති මහනුවර හෝ නුවරඑළියට ධීවර අමාත්‍යාංශය ගෙන ගොස් එහි හෙංචයියෙකුගේ මහල් ගොඩනැගිල්ලක් කුලියට ගෙන එම අමාත්‍යාංශ ස්ථාපනය කිරීමේ සදොස් පූර්වාදර්ශයන්ද ගොවියෝ පෙන්වා දෙති.
එසේම ඇමතිවරුන්ටද සිය හෘදසාක්ෂියට අවංකව කෘෂිකර්මය නඟාසිටුවිය යුතු යැයි හැඟෙන්නේ නම් කළයුත්තේ අනවශ්‍ය ආකාරයෙන් ගොඩනැඟිලිවලට කෙරෙන මුදල් කාබාසිනියා කිරීම නොවේ. ඒ වෙනුවට කාලීන වශයෙන් මතුවන අර්බුද වටහා ගනිමින් කෘෂිකර්ම අමාත්‍යංශයට පැවරූ මන්දිර තුළ නොව ගමේ පොල්අතු මඩුවේ සිට හෝ තම රාජකාරිය පවත්වාගෙන යාමට හැකි ක්‍රමවේද සැකසීම බවට ගොවියන් කරන අනතුරු ඇඟවීමද මෙහිදී සිහිපත් කළ යුතුමය. එය හැම අමාත්‍යාංශයකටම පොදු ප්‍රතිපත්තියක් කළ යුතුය.
එසේම ගොවියා වෙනුවෙන් මහපොළවේ පය ගසා ගමට යා නොහැකි සුපිරි ඇත්තන්ට ගෙදර යන ලෙස නියෝග කරනතුරු කොළඹ හතේ සිට ගමේ කුඹුරු වගාකිරීම කළ නොහැකි බවද ගොවියෝ පෙන්වා දෙති.
ගොඩමඩ දෙකම සරුසාර කිරීමට උදැල්ල කරට ගත් මිනිසුන්ට අවශ්‍ය සබීතා මහල් නොව තමන්ගේ දුක්ගැනවිලි අසන්නට ගොම මැටි පොළවේ පය ගැසූ මැති ඇමත්තන් සහ ජනාධිපතිවරයෙකු හෝ අගමැතිවරයෙකු බවට ජනතාව කියන කතාව ඉතිරි අවුරුදු දෙක තුළ හෝ යහපාලන ආණ්ඩුව වටහාගත යුතුය.
ගොවියාට සහ ගොවිතැනට වෙන්කරන මුදල් කොමිස් ගැසීමට හෝ බලුකපුටන්ගේ ආර්ථික උත්පාදන ක්‍රියාවක් හෝ අවභාවිතයට ඉඩ නොතැබිය යුතුය යන්න පොදු ජනතාවගේද මතය බවට පත්ව ඇත.
මේ නාස්ති කරන්නේ ගොවියාට බීජ පොහොර සහනාධාර අලාභ පාළු සහ පුහුණු හෝ දිරිගැන්වීම් සඳහා වෙන්කරන ජනතා මුදල් බවද බත් කන ජනතාව සිහිපත් කරති.
(සැකසුම- කෘෂි ක්ෂේත්රයට අදාළ නිලධාරීන්, ගොවියන් සහ විද්වතුන්ගේ අදහස් ඇසුරෙනි.)