Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
මීතොටමුල්ලේ ඛේදවාචකයෙන් පසුව කසළ සම්බන්ධව රට තුළ සංවාදයක් ඇතිවී තිබේ. එම පසුබිම තුළ වාමාංශික දේශපාලන ඇසකින් මෙම ගැටලුව දිහා බලන ආකාරයත්, ඒ සඳහා කුමන විසඳුමක් ඉදිපත් කරන්නේද යන්න පිළිබඳවත් විමසීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සම්බන්ධකර ගතිමු.
කසළ ප්‍රශ්නයක් ඇතිවීම
දැනට නිෂ්පාදනය වන කසළ ප්‍රමාණය වැඩියි. එම ප්‍රමාණය අඩුකර ගන්න හැකියාව තිබුණත්, එය සමාජ ප්‍රශ්නයක් නොවන විදියට කළමනාකරණය කරගන්න ආණ්ඩුවට බැරිවෙලා තිබෙනවා. මෙම ප්රශ්නය අපේ ආර්ථිකය සමග බැදී තිබෙන දෙයක්. අතීතයේ ආර්ථිකයේ තිබුණේ සුළු පරිමාණ නිෂ්පාදන. එවැනි වටපිටාවකදී නිෂ්පාදනය කරන ස්ථානය ආසන්නයේම පරිභෝජනයත් සිදුවුණා. එවිට කුණුකසළ ගොඩගැසීම අඩු වෙනවා.
නමුත් මේ වන විට මහා පරිමාණ නිෂ්පාදනය සමග සියුම් දවටන, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය කසළ වශයෙන් එකතු වෙනවා. එවිට කසළ ගොඩවල් වැඩි වෙනවා. වර්තමාන සමාජයේ නිෂ්පාදනයේ අරමුණ ලාභය නිසා සමාජයට අවශ්‍ය තැනින් නිෂ්පාදනය නතර වෙන්නෑ. අවශ්‍ය වන්නේ 10ක් නම් 40ක් පමණ නිෂ්පාදනය කරනවා.
සෑමවිටම ලාභය අරමුණු වුණු නිසා අධි නිෂ්පාදනයක් තිබෙනවා. මේ අධි නිෂ්පාදනයත් කසළ වශයෙන් ගොඩගැහෙනවා. ඊට අමතරව මිනිස්සුන්ට හදලා තිබෙනවා අධි පරිභෝජන ජීවන රටාවක්. එවැනි තත්ත්වයකදී මිනිස්සු අවශ්‍ය ප්‍රමාණයට වඩා පරිභෝජනය කරනවා. ඒ නිසාම කුණු ගොඩගැසීම වැඩි වෙලා තිබෙනවා.
බහුල වශයෙන් මෙය සිදුවන්නේ නාගරික ප්‍රදේශවල. ලංකාවේ සාමාන්‍ය ඒකපුද්ගල කසළ ජනනය ග්‍රෑම් 800යි. නමුත් කොළඹ නගරය ඇතුළේ ඒක කිලෝ දෙකක් තුනක් පමණ වෙනවා. රටේ අනිත් පළාත්වලට වඩා කොළඹ කසළ ජනනය වැඩිවෙන්න බලපාල තියෙන්නේ නාගරිකව හදලා තියෙන පරිභෝජන රටාව.
ගොඩගැහෙන කුණු ටික පරිසරයට හා මිනිස් ජීවිතවලට හානියක් නොවන විදියට කළමනාකරණය කිරීම අතින් මේ පාලකයන් සම්පූර්ණයෙන්ම අසමත්. කුණු කොහේ හරි ගිහින් ගොඩගහනවා මිසක කසළ ප්‍රයෝජනවත් විදියට කළමනාකරණය කරගන්න ඔවුන් අසමත් වෙලා තිබෙනවා.
විසඳුම වශයෙන් වැඩපිළිවෙළක්
මේ කෙරෙන නිෂ්පාදනය හා පරිභෝජනය ගැන මීට වඩා විචාරශීලීත්වයක් අවශ්‍යයයි. දැන් සිදුවන්නේ අවශ්‍ය පරිභෝජනයක්ද කියලා සිතා බැලිය යුතුයි. උදාහරණයක් විදියට ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය මහා පරිමාණ නිෂ්පාදනය එක්ක වැඩිවෙලා තිබෙනවා. අතීතයේ සිල්ලර වෙළෙඳාම කුඩා කඩවලින් සිදුවෙද්දි සීනි දෙසිය පනහ, තේකොළ ටික කඩදාසි ගොටුවකට දාලයි දුන්නේ.
කරවල කෑල්ල දෙන්නේ කඩදාසියකින් ඔතලා ගෝනි නූල් කෑල්ලකින් ගැටගහලා. නමුත් මේ වන විට සිල්ලර වෙළෙඳාම සුපිරි වෙළෙඳසැල් හරහා මහා පරිමාණ සමාගම් අතට ගිහින් ඇති නිසා සීනි දෙසීයක් ගත්තත් පොලිතින් බෑග් එකක් දෙනවා. සබන් කෑල්ලක් ගත්තොත් ඒකටත් ග්‍රොසරි බෑග් එකක් තියෙනවා. හැම එකටම වෙන වෙනම ෂොපින් බෑග් දෙනවා.
මේ විදියට අධික පොලිතින් සහ ප්ලාස්ටික් ප්‍රමාණයක් පරිසරයට එකතු වෙනවා. මේකට විසඳුමක් සඳහා මුළු සමාජය ඇතුළේම වැඩපිළිවෙළක් සහ සාකච්ඡාවක් අවශ්‍යයයි. කොළඹ නගරයට රැකියා කිරීම සඳහා දිනකට ලක්ෂ 10ක් එනවා. මේ අය කෑම පෙට්ටියක් පාවිච්චි කරන්නේ නැතිව ලන්ච් ෂීට්වල කෑම ඔතාගෙන ආවොත් දවල් කෑම වෙලාවට දවසකට ලක්ෂ 10 ගානේ කොළඹ ලන්ච් ෂීට් එකතු වෙනවා. මේවා ගැන විචාරයක් අවශ්‍යයයි.
ලංකාවේ තමයි කසළ කියන එක සමාජ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. තමන්ගේ රටට කසළ මදි නිසා වෙනත් රටවලින් කසළ ආනයනය කරන ලෝකයේ සමහර රටවල් තිබෙනවා. සාමාන්‍යයෙන් වීදුරු, ප්ලාස්ටික් වැනි දේවල් ප්‍රතිචක්‍රිකරණය කරන විට අලුතින් හදනවාට වඩා වියදම ඉතා අඩුයි. ගොඩක් රටවල් තමන්ගේ අවශ්‍යතාවය හදාගන්නේ කසළ ප්‍රතිචක්‍රිකරණය කිරීමෙන්. දිරන ඓන්ද්‍රීය කාබනික කසළවලින් ජීව වායුව නිෂ්පාදනය කරනවා.
එම ජීව වායුවෙන් විදුලි බලය නිෂ්පාදනය කරන්න පුළුවන්. විදුලි බලය නිෂ්පාදනය කිරීමෙන් පසුව අවසානයේ කොම්පෝස්ට් පොහොර ඉතුරු වෙනවා. එම පොහොර වගා කටයුතු සඳහා පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඓන්ද්‍රීය පොහොර මෙට්‍රික් ටොන් 600කින් මෙගා වොට් 15-20 විදුලි බලයක් ජනනය කරන්න පුළුවන්. ලංකාවේ සමහර නගරවලට ජාතික විදුලි බල පද්ධතියෙන් විදුලිය ගන්න අවශ්‍ය නැහැ. තමන්ගේ කසළ වලින් මේක කරගන්න පුළුවන්.
එවැනි කිසිම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකර තැන් තැන්වල කසළ ගොඩගහන එකයි, ඒ කසළ ගොඩගහනවට මිනිස්සු විරුද්ධ වෙනකොට මර්දන නීති සම්මත කරන එකයි තමයි දැනට පාලකයෝ කරල තියෙන්නේ. මීතොටමුල්ලේ ජනතාවගේ 2012 ඉඳලා තිබුණු හැම උද්ඝෝෂණයකටම ගැහුවා.
ඊට පස්සේ නාය ගියාට පස්සේ කිඹුල් කඳුළු හෙලනවා. එහෙම කිඹුල් කඳුළු හෙලන ගමන් දොම්පේ, කරදියානේ, කොටිකාවත්තේ, ජාඇල, ඒකල ජනතාවගේ කරපිට කුණු ගොඩගහන්න යනවා. ඒකට එම ජනතාව විරුද්ධ වෙනකොට ගැසට් නිවේදන ගහනවා කුණු දැමීම අත්‍යවශ්‍ය සේවාවක්, කුණු දැමීමට විරුද්ධ කට්ටිය අත්අඩංගුවට ගන්නවා කියලා. මේ විදියට මේ ප්රශ්නය විසඳන්න බැහැ.
කසළ ප්‍රශ්නයට සමාජවාදයෙන් උදාහරණ
සමාජවාදී රටවල්වල කුණු ප්‍රමාණය ඉතා අඩුවෙන් තිබුණේ. නිෂ්පාදනයේ සහ පරිභෝජනයේ තාර්කික ක්‍රමවේදයන් ඒ සඳහා බලපෑවා. කිසිම සොයා බැලීමකින් තොරව පරිභෝජනය කරනවා වෙනුවට පරිභෝජනය කරන එකේ යම් සීමාවක් පවත්වාගත යුතුයි. එම සීමාව තිබෙන්නේ අපි සමාජයට, පරිසරයට, අපේම ශරීර සෞඛ්‍යට වග කියනවා නම් පමණයි.
එසේනම් අධි පරිභෝජනය වැරදියි. එවිට වග කියන තැනින් අපි පරිභෝජනය සීමා කරනවා. උදාහරණයක් විදියට අපිට සීනි කන්න නිදහස තිබෙනවා කියලා සීනි අධික වශයෙන් කෑවොත් ලෙඩ රෝග සෑදෙනවා. ඒ නිසා ශරීර සෞඛ්‍ය ගැන හිතනවා නම් සීනි පාලනය කරන්න ඕන. අනෙකුත් පරිභෝජනයත් එහෙම තමයි. අපිට පරිසරය ගැන වගකීමක් තිබෙනවා කියලා හිතනවා නම් අපි ප්ලාස්ටික් වගේ දේවල් සීමා කරන්න ඕන.
සමාජවාදයේදී කෙරෙන්නේ පරිසරය ගැන, සමාජය ගැන, ශරීර සෞඛ්‍යය ගැන, අනිත් මිනිස්සු ගැන, සංස්කෘතිය ගැන වගකීම් සහගත වෙන එක. ධනවාදයත් ඉක්මවා ගිය ක්‍රමයක් ලංකාවේ තියෙන්නේ. සිංගප්පූරුවේ, ස්විට්සර්ලන්තයේ, ස්වීඩනයේ, යුරෝපා රටවල කුණු ප්‍රශ්න නැහැ. පැරිස් හරි ලන්ඩන් හරි නගරයක් ගත්තොත් මොනතරම් ජනතාවක් එහේ ඉන්නවද? කොළඹ නගරයේ ඉන්නවා වගේ කී ගුණයක් ඉන්නවද ඒ නගරවල. එතරම් අධික ජනගහනයක් ඉන්න නගරවල වුණත් ලංකාවේ වගේ ප්‍රශ්න පැනනැගිලා නැහැ.
මේක ඇත්තටම ධනවාදය විසින්ම විසඳපු ප්‍රශ්නයක්. ඒකවත් විසඳගන්න බැරිව මේ අය ඉන්නේ. සමාජවාදයේදී කසළ ප්රශ්නය විසඳීමේදී බලන්නේ ගෙන එන කුණු ටික ප්‍රතිචක්‍රීකරණය කරන්නේ කොහොමද කියන එක නෙවෙයි, කසළ ගොඩගැසීම අවම වන විදියේ නිෂ්පාදන හා පරිභෝජන රටාවක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක පිළිබඳවයි. අතීතයේත් කසළ කියල ජාතියක් තිබුණා. නමුත් එම කසළ කාටවත් ප්‍රශ්නයක් වුණේ නැහැ.
ගෙදරක කුණු වළ කියලා එකක් තිබුණා. ගෙදර එකතු වන කසළ ටික එම කුණු වළට දැම්මා. ගම්වල තවමත් තමන්ගේ කසළ තමන්ම බේරගන්නවා. නගරවලට වන්නට තමයි මේක බහුල වශයෙන් පැනනැගිලා තියෙන්නේ. මේ නගර සැලසුම් කරලම තියෙන්නේ මේ විදියට ප්‍රශ්න බේරගන්න තමයි. එකතැනක ගොඩගැහෙන කසළ ටික තව තැනක ගොඩගහන්න තමයි නගර සැලසුම් කරලා තියෙන්නේ. නගර සැලසුම් කරන විදිය ගැන හිතන එකේ පූර්ණ වෙනසකින් තමයි ඒ ප්රශ්නය විසඳන්න වෙන්නේ.
කසළ වලට විරුද්ධ අරගලය
මීතොටමුල්ලේ ජනතාව සමග අපි අවුරුදු පහක් අරගල කළා. එම කාලය තුළදී මේ වගේ විශාල ජීවිත ප්‍රමාණයක් විනාශ වෙන්න ඉඩ තිබෙනවා කියල අපි කියද්දී පාලකයෝ අපිට කිව්වේ කොරහේ කිඹුල්ලු දකින්න එපා කියලා. හැබැයි අපි කොරහේ කිඹුල්ලු දැක්කෙ නැහැ, අපි කිව්ව අවදානම ඇත්ත කියලා මේ සිද්ධියෙන් ඔප්පු කරලා තිබෙනවා. මීතොටමුල්ල වෙනුවෙන් අපි සටන් කළේ ඇයිද කියන එක හරි පැහැදිලියි.
මීතොටමුල්ල නිරීක්ෂණය කරන්න ආපු ජපන් විශේෂඥයන් කියා තිබෙනවා අපි හිතනවටත් වඩා මේකෙ අවදානම වැඩියි කියලා. කුණු කන්ද අවට වාතයේ මීතේන් ප්‍රතිශතය සියයට තිහක් පමණ ගන්නවා. ඒ නිසා සියලු දෙනා ලෙඩ වෙන්න ඉඩ තිබෙනවා. පුංචි ගිනි පුපුරකින් පවා මහා විනාශයක් වෙන්න ඉඩ තිබෙනවා. ජපන් විශේෂඥයන් ඇවිත් කියන්න කලින් අපි ඒ ප්රශ්නය කිව්වා. කරදියානේ, ජාඇල, දොම්පේ ජනතාවගේ අරගලවලටත් අපි සහය පළකරනවා.
එම සහය පළකරද්දිත් අපි කියන්නේ මේ කරුණම තමයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා මීතොටමුල්ලට යන වෙලාවේ නහය වහගෙන ගියේ. මැති ඇමතිවරු එතැනට ගියෙත් නහය වහගෙන. ඒගොල්ලො ඉන්න විනාඩි දහයට නහය ඇරගෙන ඉන්න බැහැ. හැබැයි මේ මිනිස්සු පැය විසිහතරම දවස් තුන්සිය හැටපහම ඔය ගඳේ තමයි ඉන්නේ. ඒ අයත් මිනිස්සුනේ. පාලකයෝ ඒ ප්‍රදේශවල ඉන්න මිනිස්සු මිනිස්සු කියලා සලකන්නෙ නෑ. සත්තු කියලා තමයි හිතාගෙන ඉන්නේ.
අපේ සටනින් ඔප්පු කරන්න හදන්නේ අනිත් මිනිස්සුන්ට ගෞරවනීය ජීවිතයක් ගතකිරීමට තියෙන අයිතිය ඒ මිනිස්සුන්ටත් තිබෙනවා කියල පෙන්වන්නයි. කුණු ගොඩවල්වලට යටවෙලා සත්තු වගේ මැරෙන්න ඕන පිරිසක් නෙවේ එම ප්‍රදේශයේ ජීවත් වෙන්නේ කියලා මුලින්ම පිළිගන්න ඕන.
ඒ මිනිස්සුන්ට හිමි ගෞරවයයි, ඒ මිනිස්සුන්ගේ ජීවිතයේ තියෙන්න ඕන කොන්දේසියි පිළිගත්තට පස්සේ ඉතුරු ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා ඊට පස්සෙ කතා කරන්න පුළුවන්. මීට අමතරව සමරහර තැන්වලට අපි විරුද්ධ වෙලා තියෙන්නේ පාරිසරික හේතු මත. පුත්තලමේ අලුක්කාලුවලට කුණු කන්ද ගෙනිහින් දානවට අපි විරුද්ධ වුණේ පාරිසරික හේතූන් මත.
දැන් මුතුරාජවෙලට දානවටත් අපි විරුද්ධ පාරිසරික හේතුන් මත. අපි හිතනවා මිනිස්සුන්ට විතරක් නෙවෙයි, සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තිබෙන්න ඕන කියලා. මිනිස්සු ගැන තියෙනවා වගේම සත්තු ගහකොළ ගැනත් වගකීමක් අපිට තිබෙනවා.
උද්ඝෝෂණ වල ඉන්න බලවේග
කුණු කන්ද කඩාවැටෙන්න කලින් තමයි මිනිස්සු උද්ඝෝෂණ කළේ. කුණු කන්ද කඩා වැටුණට පස්සේ මිනිස්සු කවුරුවත් උද්ඝෝෂණ කළේ නැහැ. මිනිස්සු ඉන් පීඩාවට පත්වෙලා නෑදෑයෝ අහිමිවෙලා දුකේ තාම ඉන්නේ. දැන් උද්ඝෝෂණ වලට සම්බන්ධවෙලා ඉන්න සංවිධාන හැම එකකම මැදපාන්තිකයෝ හිතනවා නගරයේ පරිධියේ ජීවත් වෙලා ඉන්න පහළ පාන්තික මිනිස්සු මිනිස්සු නෙවෙයි කියලා. කුණු ටික කොල්ලුපිටියට හරි බම්බලපිටියට හරි ටොරින්ටන්වලට හරි ගේන්න කවුරුවත් යෝජනා කරන් නෑ.
හැමෝම යෝජනා කරන්නේ කුණු ටික බ්ලුමැන්ඩල්වලට ගෙනියමු, කරදියානට ගෙනියමු ,මීතොටමුල්ලට ගෙනියමු කියලා. එතකොට මෙතන පන්ති ප්‍රශ්නයක් තිබෙනවා. දුප්පත් මිනිස්සු ඉන්න පැතිවල තමයි කුණු ගොඩගහන්නේ. මිනිස්සු ඒවට යටවෙලා මැරුණට පස්සේ දැන් කිඹුල් කදුළු හෙලාගෙන ගොඩක් අය එනවා.
හැබැයි ඒ එද්දි ඊළඟට මීතොටමුල්ලෙන් අයින් කරලා දොම්පේ දාමු, මුතුරාජවෙලට දාමු වගේ කතා කියනවා. මේ ප්‍රශ්නයට ඇත්ත උත්තරයක් හොයන්න නම් ඒ ප්‍රදේශවල ඉන්න ජනතාවට පක්ෂපාතී දේශපාලනයක් ඕන. අපි හිතන්නේ වාමංශිකයෝ තමයි පහළ පාන්තික ජනතාවට වග කියන්නේ කියලා. ඒ ජනතාව මිනිස්සු කියල හිතන්නේ වාමාංශිකයෝ විතරයි. ඒක කුණු කන්දේ ප්රශ්නය ඇතුළු තවත් බොහෝ ප්රශ්නවලදී ඔප්පු වෙලා තිබෙනවා.
අරගල ඉදිරියටත්
මීට කලින් මීරියබැද්දේදී, මාවනැල්ල සාමසර කන්ද නාය ගිය වෙලාවේදී, සාලාව යුද හමුදා කඳවුර පුපුරා ගිය අවස්ථාවේදී වන්දි දෙනවා, ගෙවල් දෙනවා කියල පාලකයෝ පොරොන්දු වුණා. හැබැයි ඒ පොරොන්දු ඉටුවෙලා නැති විත්තිය අපි පැහැදිලිව දන්නවා. එම පොරොන්දු ඉටුකර ගැනීම සදහා අපි අදටත් ඒ තැන්වල අරගල කරමින් ඉන්නවා.
දැන් ඛේදනීය හා සංවේදී සිද්ධියක් මීතොටමුල්ලේ වුණාට පස්සෙ අච්චර දෙනවා මෙච්චර දෙනවා කියලා ආණ්ඩුව එක එක ජාතියේ සුරංගනා කතා කියනවා. නමුත් දැනටමත් ආරංචි වෙලා තියෙනවා සතියක් දෙකක් ඇතුළත එම පොරොන්දු කඩකර තිබෙන විත්තිය. අනිත් ප්‍රදේශවල ජනතාවට වුණු අසාධාරණය අපි මීතොටමුල්ලේ ජනතාවට වෙන්න ඉඩ තියන්නෑ. අපි අනිවාර්යෙන්ම මේ පිළිබඳව රටේ මතයක්, බලයක් සහ උදඝෝෂණයක් ගොඩනගනවා මේ මිනිස්සුන්ට පොරොන්දු වුණු ටික හරි අඩුම ගානෙ දෙන්න කියලා.
කුණු ප්රශ්නය මෙතෙක් කල් කාටවත් පේන්නැතිවයි හිටියේ. කොළඹ නගරයේ ඉන්න සමහර මැද පාන්තිකයෝ හිතාගෙන හිටියෙ කුණු කියන්නේ එක්තරා මොහොතකින් පසුව අතුරුදන් වෙන දෙයක් කියලා. ඒ අයගේ ගෙවල්වල කුණු තියෙනවා, නගරසභාවේ වාහනය සතියකට දවසක් එනවා, ඊට පස්සෙ කුණු අතුරුදන් වෙනවා කියලා ඒ අය හිතාගෙන හිටියෙ.
ඒ අයට කිසි වගකීමක් තිබුණෙ නැහැ කුණුවලට. ඊට පස්සෙ මොකද වෙන්නේ, ඒවා කොහේද ගොඩගහන්නේ, ගොඩගහන තැන්වල ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ, සත්තුන්ට මොකද වෙන්නේ කියලා ඒ අයට ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. හැබැයි මීතොටමුල්ල කුණු කන්ද හරහා දැන් කාටත් තේරිලා තියෙනවා කුණු කියන්නේ අතුරුදන් වෙන ජාතියක් නෙවෙයි, ඒවා අපේ ලෝකෙම තව පැත්තක ගොඩගහලා මිනිස්සු මරන එකක් කියලා.
කුණු කඳු විසින් මිනී කඳු ඇතිකරනවා කියලා දැන් තේරිලා තියෙන්නේ. මේ සිද්ධිය ලොකු ඛේදවාචකයක් තමයි. හැබැයි ඒ සිද්ධිය හරහා රටේ සංවේදීතාවයක් ඇතිවෙලා තිබෙන නිසා කුණු ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් සෙවීම සඳහා මේ ඇතිවෙලා තියෙන සංවේදීතාවය උපයෝගී කරගන්න ඕන කියලා අපි හිතනවා. ඒකට අපි රටේ ජනතාවත් එක්ක සාකච්ඡාවක්, සංවාදයක්, උද්ඝෝෂණයක් හා ප්‍රචාරයක් ගෙනයමින් ඉන්නවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd