කසළ කළමනාකරණ අර්බුදය පසුගිය කාලවකවානුවේ බොහෝ ආන්දෝලනයකට පත්විය. ඒ නිසාම මේ වනවිට විවිධ ව්‍යාපෘති ඔස්සේ ඊට විසඳුම් සෙවීමට රජය උත්සාහ දරමින් සිටියි. ඒ යටතේ කසළ මගින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති සහ පොහොර නිෂ්පාදන ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, දැනට ශ්‍රී ලංකාවේ පාලිත බිම් පිරවුම් ව්‍යාපෘති අතරින් සාර්ථක ලෙස ක්‍රියාත්මක කරදියාන ව්‍යාපෘතියේද නව වැඩසටහන් කිහිපයක් ආරම්භ විය. මේ පිළිබඳව කතාබහ කිරීමට අපි කරදියාන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ කළමනාකාර ධනුක විජේරත්න මහතා 'අද' වෙත සම්බන්ධකර ගතිමු.
'කරදියාන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියට දෛනිකව අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 500ක ප්‍රමාණයක් බැහැර කරනවා. විවෘත බිම් පිරවුමකට භූමියක් භාවිත කළ හැකි කාලසීමාවක් තිබෙනවා. ඒ අනුව තවදුරටත් කරදියාන භූමිය වසර 5ක වැනි කාලයක් තමයි භාවිත කරන්න හැකියාව තිබෙන්නේ. ඒ නිසා මේ සඳහා තිරසාර විසඳුමක අවශ්‍යතාව තිබෙනවා. දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ මිහිසරු කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘතිය. නමුත් ඊට ගැනෙන්නේ කසළ මෙට්‍රික් ටොන් 45ත් 50ත් අතර ප්‍රමාණයක් පමණයි. එය තවදුරටත් පුළුල් කරන්න මේ ව්‍යාපෘති භූමියේ පවතින වපසරිය ප්‍රමාණවත් නැහැ. ඒ අනුව 2019 වසරේදී අවසන් කිරීමට නියමිත කසළ මගින් විදුලිය සහ පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම්වල වැඩකටයුතු සිදුකරගෙන යනවා. ඒ ව්‍යාපෘතිය සක්‍රීය වුණාට පස්සේ දිනකට මෙට්‍රික් ටොන් 500ක පමණ කසළ ප්‍රමාණයක් ජීවවායු නිෂ්පාදනයටත්, විදුලිය නිෂ්පාදනයටත්, දියර සහ කාබනික පොහොර නිෂ්පාදනයටත් යොදාගන්න හැකියාව තිබෙනවා.
මේ ගැටලුවට තිරසර විසඳුම් යෙදීමේ තවත් එක් පියවරක් විදිහටයි. දැනට මූලික අදියරේ ව්‍යාපෘතියක් විදිහට M.R.F කියන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන විශේෂ යන්ත්‍රයක් ජපානය විසින් අපට පරිත්‍යාග කළේ. රුපියල් මිලියන 100ක වටිනා මේ යන්ත්‍රය අපට පරිත්‍යාග කළේ ජපන් මිත්‍රත්ව සහයෝගීතා සංවිධානයේ මැදිහත්වීම මත ජපානයේ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ පෞද්ගලික ආයතනයකින්. මේ යන්ත්‍රයෙන් දිනකට මිශ්‍ර කසළ මෙට්‍රික් ටොන් 25ක ප්‍රමාණයක් වෙන් කිරීමේ හැකියාව තිබුණත් කරදියාන ව්‍යාපෘතියට දිනකට කසළ මෙට්‍රික් ටොන් 500ක ප්‍රමාණයක් ලැබෙන නිසා එය ප්‍රමාණවත් අගයක් නෙවෙයි. නමුත් මේ රටේ බොහෝ පළාත් පාලන ආයතන තිබෙනවා දිනකට මෙට්‍රික් ටොන් 25ක් හෝ ඊට අඩු ප්‍රමාණවලින් කසළ එකතු වෙන. එවැනි ස්ථානවලට මේ යන්ත්‍රය මගින් විශාල ප්‍රයෝජනයක් අත්වෙනවා. ඒ නිසයි මෙය දැනට අපි මාස 10ක අධ්‍යයන ව්‍යාපෘතියක් විදිහට සිදුකරගෙන යන්නේ.
M.R.F කියන්නේ දැනට ජපානය විසින් කසළ කළමනාකරණය සඳහා භාවිත කරන සාර්ථක ක්‍රමවේදයක්. මේ අධ්‍යයන ව්‍යාපෘතිය මගින් අධ්‍යයනය කරනවා මේ තාක්ෂණය ශ්‍රී ලංකාවට කොතෙක් දුරට ගැළපෙනවාද ඒ ගැළපෙන ආකාරයට යන්ත්‍රයේ කුමන ආකාරයක වෙනස්කම් කළ යුතුද මේ ක්‍රමය ශ්‍රී ලංකාවට ලාභදායීද කියලා. දැනටමත් ඒ යටතේ හඳුනාගත් වෙනස්කම් කිහිපයක්ම තිබෙනවා. ඒ මාස 10ක කාලය ඇතුළත ලබන සාධනීය මට්ටම මත ඉදිරියට කොයි විදිහටද කටයුතු කරන්නේ කියලා තීරණය කෙරෙනවා.
පැය 5ක කාලය ඇතුළතයි කසළ මෙට්‍රික් ටොන් 25ක ප්‍රමාණය කළමනාකරණය කිරීම සිදුවෙන්නේ මිශ්‍ර කසළ මේ යන්ත්‍රයට ඇතුල් කළාට පස්සේ යන්ත්‍රය මගින් මේ කසළවල තිබෙන තෙත ස්වභාවය ඉවත් කරමින් කුඩා කොටස් බවට පත්කරනවා. ඉවත් කරලා දිරාපත් වන කාබනික අපද්‍රව්‍ය වෙනමත් දිරාපත් නොවන ප්‍රතිචක්‍රීකරණයට ලක්කළ හැකි ද්‍රව්‍ය වෙනමත් යන්ත්‍රය මගින් ස්වයංක්‍රීයව වෙන් කරනවා. සාමාන්‍යයෙන් අපි මෙහි තිබෙන කොම්පෝස්ට් ව්‍යාපෘතියෙන් කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්න මාස 3ක පමණ කාලයක් ගතවෙනවා. ඊට හේතු වෙන්නේ ඒ සඳහා වෙන් කරන කසළ අතර පොල්කෝම්බ, විශාල අතුකැබලි, කුඩාපොලිතින් සහ ප්ලාස්ටික් කොටස් අඩංගු වීම. නමුත් මේ යන්ත්‍රය මගින් කළස නිසි ආකාරයකට වෙන් කරමින් කුඩා කොටස් බවට පත්කරන නිසා දිනකදි කොම්පෝස්ට් මෙට්‍රික් ටොන් 5ක් හෝ 6ක් නිෂ්පාදනය කරගන්න හැකියාව තිබෙනවා. යන්ත්‍රයෙන් වෙන් කරගන්නා ජලය කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා යොදාගන්න හැකියාව තිබෙනවා. ප්‍රතිචක්‍රීකරණයට යොදාගත හැකි කොටස් වෙන් කරගත්තට පස්සේ ඉතිරිවන මෙට්‍රික් ටොන් 10ක ප්‍රමාණය විවෘත බිම් පිරවුම සඳහා යැවෙනවා.
අලුතින් බැහැර වෙන කසළ සඳහා මේ ආකාරයෙන් විවිධ ව්‍යාපෘති ඔස්සේ විසඳුම් ගෙන එද්දි මීළඟට තිබෙන්නේ පවතින කුණුකඳු සඳහා විසඳුම් සෙවීම. ඒ සඳහා ලෝකයේ තිබෙන ප්‍රධානතම ක්‍රමවේදයක් (ආර්.ඩී.එෆ්) R.D.F කියන්නේ. එම ක්‍රමවේදයේදී සිදුකරන්නේ කසළ සමග තිබෙන පොලිතින් සහ ප්ලාස්ටික් වෙන්කරගෙන අධික උෂ්ණත්වයකට ලක් කරලා දියරයක් බවට පත්කිරීමෙන් R.D.F කියන භූමිතෙල් වැනි බාල තත්ත්වයේ ඉන්ධනයක් නිෂ්පාදනය කිරීමයි. නමුත් ඒ ක්‍රමවේදය ලාභදායී ක්‍රමවේදයක් නෙවෙයි. ඒ නිසා රජය විසින් එය යම් කාලයකට ව්‍යාපෘතියක් ලෙස කළයුතු වෙනවා. ඒ වෙනුවට ක්‍රියාත්මක කරන්න පුළුවන් තවත් ක්‍රමවේදයක් තමයි මේ කසළ කඳු නිසි ක්‍රමවේදයකට සකසලා ඒ මත කොම්පෝස්ට් ස්ථර යොදලා ශාක වැඩෙන්න හැරලා පරිසරයේම කොටසක් බවට පත්කිරීම. එමගින් නාගරික වනඋද්‍යානයක් ලෙස මේ භූමිය භාවිත කරන්න හැකියාව තිබෙනවා. මේක බොහෝ රටවල් භාවිතා කරන ක්‍රමවේදයක්.
කරදියානට කුණු බැහැර කිරීම සිදුවෙලා තිබෙන්නේ 1985 වසරේ ඉඳලා. 2010 වසරේදී තමයි විධිමත් ආකාරයට මෙය පවත්වාගෙන යන්න අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරයට පැවරෙන්නේ. එතෙක් කාලයක් කුණු බැහැර කරන්න විධිමත් ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඒ නිසා විශාල පාරිසරික හානියක් තිබුණා. නමුත් අපිට හැකිවෙලා තිබෙනවා ඒ තත්ත්වය විශාල ප්‍රමාණයකින් පාලනය කරන්න. මුල සිටම විධිමත් නොවූ නිසයි 100෴ක්ම පාලනය කරන්න හැකියාවක් නැත්තේ. මේ වෙනකම් කරදියාන කුණුකඳු ගිනි ගැනීමක් හෝ කුණුකඳු කඩා වැටීමක් සිදුවෙලා නැහැ. හදිසියේ හෝ එවැනි තත්ත්වයක් මතු වුණොත් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සියලුම ආරක්ෂක ක්‍රමවේද අප සතුව තිබෙනවා. ඒ යටතේ කරදියාන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති භූමියේ අපි කාලගුණ මධ්‍යස්ථානයක් පිහිටුවලා තිබෙනවා. ගිනි ගැනීමක් ඇති වුණොත් සුළඟේ දිශාව හඳුනාගැනීමට හැකියාව, මේ අවට ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනය හඳුනාගෙන පැතිබැම් සකස් කිරීම ආදිය කාලගුණ දත්ත ලබාගැනීම හරහා පහසුවෙනවා.'