මෙරට දිගම ගඟ වන්නේ මහවැලි ගඟය. එහි ප්‍රධාන අතුගංගාවක් වන ලොග්ගල්ලා ඔය ආරම්භ වන්නේ බදුල්ල පස්සර ප්‍රදේශයෙනි. කුඩා දියකදුරු රැසකින් පෝෂණය වී කිලෝමීටර් කිහිපයක් පහළට ගලායද්දී විශාල ජලකඳක් බවට පත්වන ලොග්ගල්ලා ඔය, කුඩා සහ මහා පරිමාණ වාරිමාර්ග රැසකටම දියවර සපයමින් ගොඩ, මඩ අක්කර දසදහස් ගණනකට දියවර සපයන අතර, මහියංගනය, කරමැටිය ප්‍රදේශයේදී සිය ගමන අවසන් කරන්නේ මහවැලියේ ප්‍රධානතම ජලාශයක් වන ලොග්ගල්ලා ඔය ජලාශය නිර්මාණය කරමිනි.
මහවැලි ගංගාවේ අතු ගංගාවක් ලෙසත්, වාරිමාර්ග රැසක පෝෂණ ගංගාවක් ලෙසත් ලොග්ගල්ලා ඔය පිළිබඳව බොහෝ දෙනෙකු අසා දැනගෙන සිටියද, ඓතිහාසික කරුණු රැසකට පසුබිම් වූ ලොග්ගල්ලා ඔයේ අලකොළගොඹ තොටුපළ නම්වූ සුන්දර ඉසව්ව පිළිබඳ තතුවිත්ති දන්නේ ඉතා සීමිත පිරිසකි. තවමත් සංචාරක ආකර්ෂණයට ලක්නොවූ ලොග්ගල්ලා ඔයේ පිහිටි මෙම සුන්දර ඉසව්ව දැකබලා ගැනීමට පසුගිය දිනෙක අපි එහි ගියේ බලගොල්ල, අලකොළගොඹ පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කන්දකැටියේ සුගතනන්ද හිමියන් විසින් කරන ලද දැනුවත් කිරීමක් අනුවය.
බදුල්ල - මහියංගන මාර්ගයේ බදුල්ල සිට කිලෝමීටර් 25ක් පමණ ගමන් කර දකුණු පසට විහිදගිය බලගොල්ල - අලකොළගොඹ මාර්ගයේ තවත් කිලෝමීටර් දෙකක් පමණ ගමන්කළ විට බලගොල්ල ඓතිහාසික පුරාණ විහාරය හමුවෙයි. විහාර බිම පසුකර මීටර් හත්අට සියයක් පහළට ගමන් ගනිද්දී සුන්දර දසුන් පෙළක් මවාපාමින් පහළට ගලායන ලොග්ගල්ලා ඔය හමුවෙයි.සුවිසල් ගල් තලාවකින් මෙන්ම තැනතැන පිහිටි විවිධ හැඩගත් ගල්කුළුවලින්ද කිසිවෙකු විසින් ගලමත කරන ලද විවිධ සලකුණුවලින්ද සමන්විත අලකොළගොඹ තොටුපළ පිහිටා ඇත්තේ මේ ඉසව්වේය.
මෙම තොටුපළට මෙන්ම විහාරස්ථානයේ නමේ මුලටද අලකොලගොඹ යන්න භාවිත කිරීම පිළිබඳව මත දෙකක් පවතින බව අප කළ විමසුමකදී විහාරාධිපති සුගතනන්ද හිමියෝ පවසා සිටියහ.
‘‘ඔතන ඔය අයිනේ ඉස්සර විශාල අලකොළගාලක් තිබිල තියෙනවා. ඒ නිසා මේ නම යෙදෙන්න ඇති කියල තමයි සමහරු කියන්නෙ.
ඒ වගේම ඔයේ ගල් අතරින් ජලය පහළට ගලද්දි අල කොළයකට වතුර වැටෙනව වගේ ගල මත ජලය නොරැඳීම නිසාත් මේ නම භාවිත කළා කියලා තවත් කතාවක් තියෙනවා" යනුවෙන් සුගත හිමියෝ අපව දැනුවත් කළහ.
මෙම ඉසව්ව පිළිබඳව සුගත හිමියෝ තවත් අපූරු කතාවක් කීහ.
‘‘ඔය අලකොළගොඹ තොටුපළට එහා පැත්තේ තියෙන්නෙ කරදගහමඩ මැදමහ විහාරය. ඒක කරවලා තියෙන්නේ වළගම්බා රජ්ජුරුවෝ. වළගම්බා රජ්ජුරුවෝ පරසතුරන්ගෙන් ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා ඌව පළාතේ සෑහෙන කාලයක් ගතකරල තියෙනවා. එතුමා මේ සඳහා තෝරගෙන තියෙන්නේ ගල්ගෙවල්.
මේ පන්සලට කිලෝමීටර් හතඅටක් එහායින් තියෙන ලුණුගල වළගම්බා ගිරිලෙන් විහාරබිමෙත් එතුමා කාලයක් හැංගිලා ඉඳල තියෙනවා. ඒ කාලේ තමයි රජතුමා මේ කරදගහමඩ විහාරය හදල තියෙන්නෙ. ඉතින් ඔය කාලෙ එතුමාගේ බිසවක් වූ සෝමාදේවි මේ තොටුපළේ දිය කෙළින්න ආව ගමනකදී තමයි ඔයෙන් එගොඩ පැත්තේ පිහිටි මේ තැනිතලා බිම දැකලා මේ පන්සල හදල තියෙන්නෙ. ඒ නිසා මේ පන්සල වගේම එම තොටුපළත් ඓතිහාසික කතා රැසකට පාදකවුණු ස්ථානයක් විදියට තමයි හඳුනාගෙන තියෙන්නෙ.‘‘
අපි උන්වහන්සේගෙන් සමුගෙන ලොග්ගල්ලා ඔයේ මේ සුන්දර ඉසව්ව බැලීමට ගියෙමු. සැබැවින්ම එහි ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි අපූරු වටපිටාවකි.
අක්කර ගණනාවක් පුරාවට පැතිර ඇත්තේ සුවිසල් ගල්තලාවකි. එකයායට පැතිර ගිය ගල්තලාව මැද්දේ ස්වභාවිකවම ඉදිවූ සුවිසල් ජලතටාක කිහිපයකි. ගල්තලාව මැද පිහිටි මෙම එක් ජල තටාකයකට ජලය වැටෙන මුවදොර අපූරු එකකි. ඉහළ සිට පැමිණෙන ජලකඳ තටාකයට වැටෙන්නේ එහි වූ ගල්කුළක වැදී එක්වරම ඉහළ විසිවී විශාල අපූරු සිත්තමක් මවා පාමිනි. තටාකයේ දියනෑමට පැමිණෙන බොහෝ පිරිසක් මෙම ජල මල යටට රිංගා විනෝද වීමට පුරුදුව සිටිති. ඒ හිසට ඉහළින් ජල කඳ ගලා ගියද එය යටට වී නොතෙමී සිටීමෙන් ලැබෙන අපූරු ආස්වාදය විඳදරා ගැනීමටය.
එතරම් ගැඹුරක් නොමැති විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගිය මෙම ජල තටාකය තුළ විශාල පිරිසකට එහාමෙහි පිහිනා යෑමට හැකි අතර, ඇතැම් විට සෝමාදේවිය දිය නාන්නට ඇත්තේ මෙම තටාකයේ වන්නට ඇතැයිද සිතීමට පුළුවන.හිරුරැස් විඳිමින් දියනෑමටත් එසේ නැතහොත් දැවැන්ත කුඹුක් ගස් සෙවණකට වී දිය නෑමටත් මෙහි ඇති තරම් පහසුකම් ඇත. එපමණක් නොව ස්වභාවිකව ගඟ හරහා වැඩී ගිය කුඹුක් කඳන් මතට නැග ඔන්චිලි පැදීමට හැකිවීමද මෙහි පැමිණෙන්නන්ට විඳගන්නට ලැබෙන අපූර්වතම අත්දැකීමකි.
මෙම ප්‍රධාන නාන තටාකයට පහළින් මෙන්ම ඉහළින්ද තවත් ජල තටාක කිහිපයක්ම පිහිටා ඇති අතර, පහළින් පිහිටි එක් ජල තටාකයක ගැඹුර අඩි 45ක් පමණ වන බවත්, එම ස්ථානයේ දියනෑම ඉතා භයානක බවත් මේ ගමනට එක්වූ මීගහකිවුල බදුල්ලේ ගෙදර ඩී.එම්. පුංචිබණ්ඩා මහතා අපව දැනුවත් කළේය.
අලකොළගොඹ තොටුපළේ සුන්දරත්වය පිළිබඳව සේම බොහෝ ඓතිහාසික කරුණු ගැනද විශාල දැනුමක් ඇති පුංචිබණ්ඩා මහතා, ඒ ගැන මෙසේ විස්තර කළේය.
"මෙතැන හරිම වටින තැනක්. ඒ වගේම ඓතිහාසික ස්ථානයක්"
ගල්තලාවේ පහළට වන්නට පිහිටි සුවිසල් ගල්කුළු කිහිපයක් පෙන්වමින් පුංචිබණ්ඩා මහතා විස්තර කළේය.
පුංචිබණ්ඩා මහතා පෙන්වූ එක් ගල්කුළක ලංකාවේ පැරණි සිතියමක් හා කඩුවක් සලකුණු කර තිබී ඇති අතර, වසර කිහිපයකට පෙර මෙහි කඩාවැදුණු නිධන් හොරු පිරිසක් විසින් එම සලකුණු ඇති ගල්කුළ කඩා දමා ඇතැයිද ඔහු පැවැසුවේය.
එම ගල්කුළ අසල විශාල ගැඹුරක් ඇති දිය වළකි. මෙම දියවළ තුළ අඩි ගණනාවක් කිමිදී ගියවිට එළිමහනට ගොස් අව්ව තැපිය හැකි අපූරු උමංමගක් තිබෙන බවද මෙහිදී හමුවූ තරුණ පිරිසක් පුංචිබණ්ඩා මහතාට පවසා තිබේ.
ගල් තලාවේ ඇවිද යද්දී එහි ස්ථාන කිහිපයකම කිසියම් ගල් වඩුවෙකු විසින් ගල මත එක පෙළට කොටා ඇති අඩි සලකුණු රැසක්ද හෙතෙම අපට පෙන්වීය. ‘‘මේ බලන්න මේවා හරියටම පාසටහන් වගෙයි. ඉස්සර මේක කවුරු හරි ආ ගිය පාරක් කියලා තමයි අපට හිතෙන්නෙ‘‘ ඔහු කීවේය.
අඩි සලකුණු ඔස්සේ ඉහළට ගිය අපට කුඹුක් ගස් සෙවණේ වූ ගල්තලාව මතද දැක ගැනීමට ලැබුණේ කිසිවෙකු විසින් එක්තරා පිළිවෙළකට අනුව ගලමත හාරන ලද සුවිසල් ගල් කටාරම් කිහිපයකි. ඔයේ වතුර ගලාගෙන යෑමත්, ගල් ඇතිල්ලීමත් හේතුවෙන් මේ වනවිට ඒවා බෙහෙවින්ම සුමට වී ඇති අතර, ඇතැම් ගල් කටාරම්වල මිනිසෙකුට හෝ දෙන්නෙකුට සැඟවී සිටීමටද තරම් ඉඩ පහසුකම් තිබේ.
ඒ ගල් කටාරම් පසුකළ අපට දක්නට ලැබුණේ තවත් විශේෂ ස්ථානයකි. එහි දක්නට ලැබුණේ ගල මත සමාන දුරකින් අඩි බාගයක් තරම් ගැඹුරට හා අඟල් හයක් පමණ දිගින් හා පළලින් යුතුව හාරන ලද සමචතුරස්‍රාකාර වළවල් රැසකි. වළවල් හාරා ඇති හැඩය දෙස බලද්දී වළවල් පිහිටා ඇත්තේ ෂඩස්‍රාකාර සැලසුමකටය. එය පැරන්නන් පවසන අන්දමට පිරිත් මණ්ඩපයක සලකුණක් විය හැකි යැයි පුංචිබණ්ඩා මහතා අවධාරණය කළේය. ඊට තරමක් නුදුරින් වූයේ විශාල ගල් ආසනයකි.
මේ ආකාරවූ විවිධ ඓතිහාසික නිර්මාණවලින්ද, නෙතට රසඳුනක් වූ දර්ශන පෙළකින්ද සමන්විත වූ අලකොළගොඹ තොටුපළට පැමිණෙන බොහෝ දෙනෙකු එයින් සමුගන්නේ ආපසු යන ගමනේදී තවත් කිහිපවතාවක්ම හැරිහැරී ඒ දෙස බලමිනි. ඒ තරමටම මේ ඉසව්ව පැමිණෙන්නන්ගේ නෙත්සිත් වසඟයට ගන්නේය.
එන්.කේ. නිශ්ශංක