රජයේ රැකියා සොයමින් කල්ගත නොකර තම උත්සාහයෙන් ගොවිපොළක් ආරම්භ කරමින් ජීවිතය ජය ගැනීමට වෙහෙස දරන උපාධිධාරියෙකු පසුගියදා තංගල්ල, පළතුඩුව ග්‍රාමයේදී අපට මුණගැසිණි. කේ.එච්. මහින්ද වන ඔහු රුහුණ විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂිවිද්‍යා පීඨයට ඇතුළත්ව 2002 වසරේදී කෘෂිකර්ම විශේෂවේදී උපාධියක් ලබාගෙන ඇත. විශ්වවිද්‍යාල ජීවිතයෙන් සමුගත් ඔහු රජයේ රැකියාවක් ලැබෙන තුරු නිවසට වී නිකරුණේ කාලය ගත නොකර තම දැනුම උපයෝගී කර ගනිමින් ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට කටයුතු කර තිබූ අතර, එය අද වන විට සාර්ථක වී තිබේ. ඒ ඔහුගේ නොපසුබට උත්සාහය තුළ කරන ලද කැප කිරීම තුළින් ලබාගත් ජයග්‍රහණයකි. මේ කතාබහ ඔහු සමගය.
රජයේ රැකියාවක් ලැබෙන තුරු බලා හිටියේ නැහැ
‘ඇත්තටම මම රජයේ රැකියා ලැබෙන තුරු බලාගෙන හිටියේ නැහැ. මම උපාධියක් ගත්ත නිසා රජයේ රැකියාවකටම යන්න ඕනම කියලා මගේ හිතේ අදහසක් තිබුණෙත් නැහැ. විශ්වවිද්‍යාල ජීවිතයෙන් සමුගත් ගමන්ම මම මුලින්ම රැකියාවක් විදියට කළේ කුකුළු මස් තොග වශයෙන් අරගෙන ගිහින් වෙළෙඳ සැල්වලට බෙදා හැරීම. එහෙම ඒ කටයුතු කරගෙන යන අතරතුරේ මම විවාහ වුණා. ඉන් පස්සේ මගේ බිරිඳ මේ ව්‍යාපාරය කරගෙන යෑමට අකැමැති වුණා. ඇය කිව්වේ ඒක පව්කාර වැඩක් කියලා.
මගේ බිරිඳ කළේ රජයේ රැකියාවක්. ඒ නිසා ඇයට පත්වීම ලැබුණේ බණ්ඩාරවෙල ප්‍රදේශයට. ඒ නිසා මටත් එයත් එක්ක ඒ පළාතේ පදිංචියට යන්න වුණා. පස්සෙ මම බණ්ඩාරවෙල, බෙරගල ප්‍රදේශයේ වර්ග අඩි 6000ක පමණ පොලිතින් ගෘහ දෙකක %බෙල්පෙපර්^ කියන මිරිස් වර්ගය හා සලාද පිපිඤ්ඤා වගාව සාර්ථකව අවුරුද්දක් පමණ කරගෙන ගියා.
දැඩි සුළඟක් හමායෑම නිසා මට ලක්ෂ 50කට අධික පාඩුවක් සිදුවුණා
‘මගේ තියෙන අවාසනාවකට ඔහොම ඉන්න අවස්ථාවක දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් මගේ මේ වගාවන් හා ගෘහ දෙකම සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා. ඒ නිසා මට රුපියල් ලක්ෂ 50කට අධික පාඩුවක් ලබන්න සිදුවුණා. මේ මුදල් හොයා ගත්තෙත් මම ඉතා අමාරුවෙන්. ඒ කියන්නේ අපේ ගෙදර පාවිච්චි කරපු පරණ කාර් එක විකුණන්න සිදුවුණා. ගෙදර තිබුණු බිරිඳගේ රත්‍රං බඩු ටික විකිණුවා. ඊට අමතරව ළඟ තිබුණු සල්ලිත් දාලා තමයි මේ ව්‍යාපාරය කරන්න පටන් ගත්තෙ. ඒත් එක පාරටම මේ ඇති වූ විනාශය නිසා මම ඉතා අසරණ තත්ත්වයකට පත්වුණා. මේ නිසා මම මාස හයක කාලසීමාවක් විතර කරන්න දෙයක් නැතිව මොනවා කරනවද කියලා කල්පනා කරමින් හිටියේ.
ගමේ ඇවිත් වඩු මඩුවක කුලියට වැඩ කළා
‘පස්සෙ ආපසු ගමට ඇවිත් මම වඩු මඩුවක කුලියට වැඩ කරන්න ගියා. හැබැයි මට ඒ සඳහා හොඳ පුහුණුවක් තිබුණේ නැහැ. මම වැඩ දන්න විදියට කෙරුවා. ඒකට මට කුලියක් ගෙව්වා. එතකොට මම ගමේ නැවතිලා හිටියේ අපේ අක්කාගේ ගෙදර. ඔහොම ඉන්නකොට ඒ අක්කාගේ පුතා ගෙනාපු පත්තරේක මම දැක්කා දැන්වීමක් දාලා තියෙනවා පේර පැළ විකුණන්න දඹුල්ල පැත්තේ තැනක තියෙනවා කියලා. ඒකත් එක්කම මට හොඳ අදහසක් ආවා මම ඉගෙන ගත්ත දේත් එක්ක පේර වගාවක් තංගල්ල පැත්තෙත් කරන්න පුළුවන් කියලා. පේර වගාවෙන් අස්වැන්න මුළු අවුරුද්ද පුරාම ලබාගන්න පුළුවන්කමක් තියෙන බවත් මම දැනගෙන හිටියා.
ඊට පස්සෙ මට ආපු ලොකුම ගැටලුව තමයි මේ ටික කරගන්න මුදල් නොමැතිකම. පස්සෙ මට මතක් වුණා මගේ දෙමවුපියන්ගේ උරුමයෙන් ලැබුණු අක්කරයක පමණ ඉඩමේ තියෙන කොහොඹ ගස් ටික ගැන. මම ඒ ටික ගන්න කිව්වා මගේ අක්කාගේ පුතාට. එතැන ගස් 54ක් තිබුණා. ඒකෙන් මට රුපියල් දෙලක්ෂ පනස්දාහක් ගන්න පුළුවන්කම ලැබුණා. ඒ කොහොඹ ගස් ටික කපපු අක්කරයෙම තමයි මම පේර පැළ ගෙනැල්ලා හිටෙව්වේ. අක්කරයකට පේර පැළ 400ක් පමණ යනවා. පැළ ගෙනැල්ලා හිටවලා මාස දෙකක්, තුනක් යනකොට මල් පිපෙන්න පටන් ගත්තා. ඒක දැකලා මට ඇති වුණේ පුදුම සතුටක්. මට ඒ තුළින් ලොකු ශක්තියක් ආවා මේ වගාව ඉදිරියටම කරගෙන යන්න ඕන කියලා.
නැවතත් මගේ උත්සාහය නිසා අතමිට සරුකර ගන්න පුළුවන් වුණා
‘පැළ හිටවලා මාස 05කට පමණ පසුව පේර වගාවෙන් පළමු අස්වැන්න ගන්න හැකිවුණා. ඒ අස්වැන්න කොළඹ මැනිං මාකට් එකට තමයි මම මුලින්ම අරන් ගියේ. ඒ විකිණීම තුළින් මගේ මහන්සියේ ප්‍රතිඵල ලැබුණා. පස්සෙ මම මෙහෙම අවුරුදු එකහමාරක් විතර කරගෙන යනකොට මේ පේර ගස්වල හොඳ වර්ධනයක් දුටුවා. ඊට පස්සේ මට හිතුණා මගේ ආදායම තවත් වැඩිකර ගන්න මේ පේරගස් මව් ශාක විදියට තියාගෙන පැළ තවානක් ආරම්භ කරන්න ඕන කියලා.
දැන් මම මාස හයකට විතර ඉස්සෙල්ලා ඒ පැළ තවානත් ආරම්භ කෙරුවා. දැන් ඒකේ මේ වෙන කොට මව් ශාකවලින් මුල් අද්දවා සකස් කරගත් පේර පැළ දහදාහක විතර පැළ තවානක් තියෙනවා. දැනටමත් පැළ දාහක් විතර මම අලෙවි කරලා තියෙනවා. පේර පැළයක් මම දෙන්නෙ රුපියල් සීයක මුදලකට. හැබැයි මම මුලින්ම පැළ ගත්තේ මීට අවුරුදු එකහමාරකට විතර ඉස්සෙල්ලා පැළයක් රුපියල් 200 ගාණෙ දීලා.
අලුත් දේවල් ගැන සිත යොමු කළා
‘පේර පැළවල පරතරය අඩි දහයෙන් දහයට තියෙන නිසා පැළ හතරක් අතරට ගස්ලබු ගහකුත් දැම්මොත් හොඳයි කියලා මට හිතුණා. දැන් මගේ පේර වගාව අතර ගස්ලබු වගාවකුත් දාලා තියෙනවා. ඒ තුළිනුත් දැන් මට හොඳ ආදායමක් ලබා ගන්න හැකියාවක් ලැබිලා තියෙනවා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බටඅත ගොවිපොළේ බීජ සහතික කිරීමේ සේවය හරහා මම වැඩිදුර උපදෙස් ලබා ගත්තා. ඒ උපදෙස් එක්ක මට හිතුණා තවත් අලුත් දෙයක් කරන්න ඕන කියලා. ඒ අනුව මම බද්ධ අඹ පැළ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ග්රාහක පැළ ලබා ගැනීම සඳහා කටයුතු කළා. දැන් මේ වෙන කොට අඹ ඇට විසිපන්දහසක පමණ පැළ තවානක් දාලා ඒ පැළ පැකැට්වලට ගනිමින් පවතිනවා.
හැම ගැටලුවකටම මම නිර්භයවම මුහුණ දුන්නා
‘පස්සෙ මට ආපු ලොකුම ගැටලුව තමයි මේ ගේන අඹ ඇටවල වටේ තියෙන පොතු සුද්ද කරන්න දන්න කියන අය මේ පළාතේ හිටියේ නැති එක. පස්සේ ගෙනාපු අඹ ඇට ආපසු ගෙනියන්න සිදුවුණා වැල්ලවාය ප්‍රදේශයට. ඒ ගෙනිහිල්ලා අඹ ඇටයක් රුපියලක මුදලකට සුද්ද කරල තමයි ආපහු මෙහාට ගෙනාවේ. මේවා ප්‍රවාහනය කරන්න මට මගේ කියලා වාහනයක් තිබුණේ නැහැ. මග යන බස්වල දමාගෙන ගිහිල්ලා තමයි මං වැඩ කෙරුවේ. සමහර වෙලාවට මේ අඹ ඇට ගෝනි බස්රථවලට පටවන්න ගිහිල්ලා බැනුම් අහපු අවස්ථා අනන්තවත් තියෙනවා. ඒ කෙතරම් කරදර, බාධක ආවත් මම මගේ උත්සාහය අතහැරියේ නෑ. දැන් මගේ මේ ගොවිපොළේ කාන්තාවන් පස් දෙනෙකුටද රැකියා අවස්ථා ලබාදී තිබෙනවා.
මේ සඳහා රජයේ අවධානය යොමු වෙනවා නම් හොඳයි
‘දැනට මට තිබෙන ලොකුම ගැටලුව තමයි අඹ බද්ධය සඳහා අවශ්‍ය වන 'ටොම්ජේසි' ප්‍රභේදයේ අනුජ (අතු රිකිලි) ලබා ගැනීමට තැනක් නොමැති වීම. ඒ වගේම කියන්න ඕන මම මේ මුල් අද්දවා පැළකර ඇති පේර පැළ මිලදී ගැනීම සඳහා රජය මැදිහත්වීමක් සිදුකර හෝ ක්‍රමවේදයක් සකස් කර දෙනවා නම් එය අපට ලොකු ශක්තියක් වෙනවා.
අද මම හොඳ ආදායමක් ලබා ගන්නවා
‘මම මගේ උපාධිය ගැන හිතහිතා රජයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් හිටියා නම් සමහර විට මම තාමත් හරිහැටි ආදායමක් නොමැතිව නිකරුණේ කාලය ගත කරමින් ඉන්න තිබුණා. හැමදේටම උත්සාහ වන්ත වෙන්න ඕන. ලොකු කැපකිරීමක්, අධිෂ්ඨානශීලී බවක් තියෙන්න ඕන.
අවසාන වශයෙන් මෙම කටයුතු සාර්ථකව කරගෙන යෑම සඳහා මට උදවු උපකාර කළ අය ගැන මතක් කරන්න ඕන. හුංගම බටඅත ගොවිපොළේ බීජ සහතික කිරීමේ ස්ථාන භාර නිලධාරී ටී.පී. වීරසේකර, එම ගොවිපළේ කෘෂිකර්ම උපදේශක කේ.ඒ. චමින්ද යන මහත්වරුනුත්, තංගල්ල කෘෂිකර්ම උපදේශක උදේශ් මහතාත් සිහිපත් කරන්න ඕන.
සටහන හා ඡායාරූප - හම්බන්තොට රෝහණ ආරියරත්න