Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
මින් එක් කරුණක් නම් ශ්‍රී ලංකා රජයේ 2013 අංක 31 දරන සංශෝධිත විදුලිය පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) විසින් 2018 - 2037 කාල පරාසය සඳහා පිළියෙල කරන ලද දිගු කාලීන අවම පිරිවැය ජනන සැලැස්ම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් (ම.උ.කො) සභාව විසින් අනුමත නොකිරීමයි. පනතට අනුව ම.උ.කො සභාවේ අනුමැතිය නොමැතිව ජනන සැලැස්මක් ක්‍රියාත්මක කළ නොහැකිය. අනෙක් කරුණු නම් මීට පෙර අනුමත කරන ලද බලාගාර ඉදිකිරීමේ දක්නට ලැබෙන දිගු ප්‍රමාදය සහ ඊට අවශ්‍ය නව ඉන්ධනයක් වන ස්වාභාවික වායුව (ස්වායු) (ද්‍රව අවස්ථාවෙන්) ආනයනය කිරීමේ මූලික වැඩකටයුතුවල දක්නට ලැබෙන දිගු ප්‍රමාදය වේ. නමුත් මේවා පිළිබඳව මෙහිදී සාකච්ඡා නොකරනු ඇත.
මෙම පළමු ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුව ඇත්තේ ලංවිමටත්, ම.උ.කො සභාවත් බලශක්ති අමාත්‍යාංශයත් වන්නේය. නමුත්, පසුගිය මාස 6 තුළ ඔවුන් අතර මේ සඳහා විවිධ මට්ටමේ සාකච්ඡා පවත්වනු ලැබූවද තවම නිසි විසඳුමක් ලැබී නොමැති බව පෙනේ. මේ කාලය අතර තුර ලංවිමයේ ඉංජිනේරු සංගමය (ඉං.සං.ය) මෙම ප්‍රශ්නයට මැදිහත්වී ඊට ඔවුන්ට පිළිගත හැකි විසඳුමක් නොලැබෙන්නේ නම් ඔවුන් විසින් වෘත්තීමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට බල සහ පුනර්ජනනීය ශක්ති (බ.පු.ශ) ඇමතිතුමා වෙත යොමු කරන ලද ලිපියක පවසා ඇත. ඔවුන්ගේ මෙම ප්‍රකාශය කෙතරම් යුක්ති සහගතද? කිසියම් ආකාරයකින් විදුලිබල සැපයුම බිඳ වැටුණහොත් සිදුවිය හැකි ප්‍රතිවිපාක ගැන අමුතුවෙන් කිව යුතු නොවේ.
ඇත්තෙන්ම මෙම ප්රශ්නය මෙතෙක් දුරදිග ගිය යුතු එකක් විය යුතුද? නිසැකවම නැත. එම නිසා ඒ පිළිබඳ තවදුරටත් විස්තර සොයා බැලීම වටියි.
ලංවිමය විසින් 2018-37 වූ වසර 20ක කාල පරාසය සඳහා ජනන සැලැස්මක් පිළියෙල කර ම.උ.කො සභාව වෙත ඔවුන්ගේ අනුමැතිය පිණිස පසුගිය වසරේදී ඉදිරිපත් කරන ලදී. ඉදිරි වසර 20 තුළ බලාපොරොත්තු විය හැකි ඉල්ලුමට සරිලන අවම පිරිවැයෙන් යුතුව පද්ධතියට සම්බන්ධ කළ යුතු විවිධ වර්ගයේ ජනන යන්ත්‍රවල ධාරිතාවන් සහ ඒවා සම්බන්ධ කළ යුතු කාලසීමාවන් මෙම සැලැස්මේ දැක්වේ. තවද, විවිධ තත්ත්වයන් යටතේ පිළියෙල කරන ලද සැලසුම් කිහිපයක් මෙහි අඩංගුය. එහි මූලික සැලැස්මෙහි 2023-35 අතර කාලය තුළ මුළු ධාරිතාව මෙගාවොට් 2700ක් වූ ගල් අඟුරු බලාගාර 6ක් ඉදිකිරීමට නියමිතය. මීට අමතරව ස්වාභාවික වායුවෙන් (ස්වායු) බලගැන්වෙන මුළු ධාරිතාව මෙගාවොට් 1500ක්වූ ද්වි-චක්‍රීය වායු ටර්බයින (ද්වි-චක්‍රීය) බලාගාර 5ක්ද තවත් තාප බලාගාර කිහිපයක්ද පුනර්ජනනීය බලාගාර ගණනාවක්ද මෙම සැලැස්මෙහි අඩංගු වී ඇත. නමුත් ගැටලුව වී තිබෙන්නේ මෙම සැලැස්ම දෝෂවලින් යුක්ත වීමය.
පළමු වැන්න නම් ඉදිරි වසර 20 තුළ අවම පිරිවැයෙන් යුතු ජනනය සැලසුම් කර ඇත්තේ මීට වසර කිහිපයකට පෙර පැවති ඉන්ධන මිල ගණන් අනුවය. මේ අනුව ගල් අඟුරු ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් (ඇ.ඩො.) 70කට ආසන්න අගයක ඉදිරි වසර 20 තුළම පවතිනු ඇතැයි උපකල්පනය කර ජනන පිරිවැය ගණන් බලා ඇත. මෙය මුළුමණින්ම දෝෂ සහගත බව කාට වුවද වැටහෙනු ඇත. ලෝක වෙළෙඳ පොළේ දැනට ටොන් එකක මිල ඇඩො 110ය ඉක්මවා ගොසිනි. දිගු කාලීන ජනන සැලසුම් පිළියෙල කිරීමේදි එසේ ඉන්ධන මිල ගණන් ස්ථාවරව පවත්වාගෙන යාම ජාත්‍යන්තර ක්‍රමවේදය බව ලංවිමයේ පිළිතුර වේ. නමුත්, ජාත්‍යන්තර ක්රමවේදයක්වූ නිසාම දෝෂ සහගත ක්‍රමවේදයක් පිළිගැනීම කළ යුතුද? එක් එක් වසරකදී සම්බන්ධ කළ යුතු ධාරිතාව පමණක් සැලැස්මෙන් ලබාගෙන සම්බන්ධ කළ යුතු වූ බලාගාර වර්ගය ඒ ඒ කාලයේදී පවතින ඉන්ධන මිල ගණන් අනුව තීරණය කිරීම වඩා යෝග්‍ය නොවන්නේද?
දෙවැන්න නම් අවම පිරිවැය ගණන් බැලීමේදී ආර්ථික පිරිවැයද ඇතුළත් කළ යුතු බව පැහැදිලිවම 2013 විදුලිය පනතෙහි සඳහන්ව ඇත. විදුලිය ජනනය කිරීමේදි ආර්ථිකයට බලපාන කරුණු නම් පාරිසරික හානියන් හා මහජන සෞඛ්‍ය හානිය නිසා ඇති වන්නා වූ බාහිර පිරිවැය වේ. නමුත් මෙවැනි පිරිවැය දිගු කාලීන සැලැස්මට ඇතුළත් කර නොමැත. ශ්‍රී ලංකාවට අදාළව මෙම බාහිර පිරිවැය තමන් නිවැරදිව නොදන්නා බැවින් එය ඇතුළත් නොකළ බව ජනනය වාර්තාවෙහිම සඳහන් කර ඇත. එනම් මෙම දිගුකාලීන සැලැස්ම පනතට අනුකූල නොවන අතර ඒ නිසාම එය නීතියට පටහැණි සැලැස්මකි. එවැනි සැලස්මක් ක්‍රියාත්මක කිරීමට නීතියෙන් ඉඩක් තිබේද?
ඉහත සඳහන් හේතූන් නිසා ලංවිමයේ දිගුකාලීන සැලැස්ම පිළිගත නොහැකි බව පවසා ම.උ.කො සභාව විසින් ඊට විකල්ප දිගුකාලීන සැලැස්මක් පසුගිය ජූලි මාසයේදී ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කරන ලෙස ලංවිමට නියෝග කර ඇත. 2013 විදුලිය පනතට අනුව ලංවිමට මෙසේ නියෝග දීමට ම.උ.කො සභාවට බලයක් ඇත. නමුත් මෙය ඉං.සං.යේ නොසතුටට හේතු වී ඇති බව පෙනේ. මෙම විකල්ප සැලැස්ම මුළුමනින්ම ස්වායු බලාගාරවලින් යුක්ත වන අතර, ඊට මෙගාවොට් 150ක් ධාරිතාවෙන් යුත් ද්වි-චක්‍රීය බලාගාර 6ක් සහ මෙගවොට් 300 ධාරිතාවෙන් යුත් එවැනි බලාගාර 13ක් වශයෙන් මුළු ධාරිතාව මෙගාවොට් 4800කින් යුත් සැලැස්මකි.
මෙම ප්රශ්නය පැන නැගුණේ ලංවිම පාලක මණ්ඩලය මෙන්ම එහි ඉංසංය විසින් ම.උ.කො සභාවේ විකල්ප සැලැස්ම මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම නිසාවෙනි. ඊට හේතූන් වශයෙන් ඉංසංය ප්‍රකාශ කර සිටියේ, ස්වායුවෙන් විදුලිය ජනනය කිරීම ගල් අඟුරුවලින් විදුලිය ජනනය කිරීමට වඩා අධික මිලෙන් යුක්ත බවත්, මුළුමණින්ම ස්වායු බලාගාර ස්ථාපනය කිරීමෙන් ජනන සංයුතිය ඉතා අවදානම් තත්ත්වයකට (dangerously manipulate the generation mix) පත්වන බවත්ය.
නමුත් මෙම තර්ක දෙකම පිළිගත හැකි ඒවා නොවේ. වඩා ආර්ථික වශයෙන් වාසිදායක වන්නේ ගල් අඟුරු බලාගාරද, ස්වායු බලාගාරද යන්න නිවැරිදව තීරණය කළ හැකිවන්නේ කාර්යක්ෂමතාව සහ පරිසරය දූෂණය වීමට හේතු වන්නාවූ විමෝචනයන්ගේ පිළිගත හැකි පිළිවෙළින් අවම සහ උපරිම මට්ටම් සහිත පිරිවිතර ප්‍රකාශ කර බලාගාර දෙවර්ගයම සඳහා පිළිගත් ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට අනුව මිල ගණන් කැඳවීමෙන් පසුවය. එසේ නොමැතිව, වසර කිහිපයකට පෙර තිබූ මිල ගණන් අනුව කරන ලද ඇස්තමේන්තු අනුවවත් දෝෂ සහිත ක්‍රමවේදයන් භාවිතයෙන්වත් නොවේ.
ම.උ.කො සභාවෙ විකල්ප සැලැස්ම නිසා ජනන සංයුතිය අවදානමට පත්වන බවට ඉං.සං.ය විසින් කරනු ලබන තර්කය පිළිගත නොහැක්කේ ලංවිමයේ දිගු කාලීන සැලැස්මෙහිම ගල් අඟුරු බලාගාර කිසිවක් නොමැති මුළුමනින්ම ස්වායු බලාගාර ඇතුළත් කර පිළියෙල කරන ලද වෙනත් සැලැස්මක් %අනාගතයේ ගල් අඟුරු බලාගාර නොමැති තත්ත්වය^ යටතේ (ඇමණුම 7.8) ඇතුළත් කර තිබීමයි. මෙම සැලැස්මට අනුව 2019 - 2036 අතර කාලය තුළ මුළු ධාරිතාව මෙගාවොට් 4800ක් වන ලෙස මෙගාවොට් 300ක ධාරිතාවෙන් යුත් ද්වි-චක්‍රීය බලාගාර 16ක් ස්ථාපනය කිරීමට නියමිතය.
මුළු ධාරිතාව අනුව ම.උ.කො සභාවෙ සැලසුම සහ ලංවිමයේ සැලසුම එක සමාන වේ. වෙනසකට ඇත්තේ ලංවිම සැලැස්මේ සියලු බලාගාර මෙගාවොට් 300ක ධාරිතාවෙන් යුක්ත වන අතර, ම.උ.කො සභාවෙ සැලැස්ම මෙගාවොට් 300ක ද්වි-චක්‍රීය බලාගාර 13කින්ද, මෙගාවොට් 150ක එවැනි බලාගාර 6කින්ද සමන්විත වීමය. එමනිසා මුළුමනින්ම ස්වායු බලාගාර පිහිටුවීම නිසා ජනන සංයුතිය අවදානම් තත්ත්වයකට පත්වන බවට ඉදිරිපත් කරන ලද තර්කය පිළිගත නොහැකිය. මන්ද ලංවිම විසින්ම එවැනි සැලැස්මක් පිළියෙල කර තිබීම නිසාවෙනි. තවද ජනන සංයුතියේ ඇතිවිය හැකි අවදානම කුමක්දැයි පැහැදිලි කර නොමැත.
ගල් අඟුරු බලාගාරවලින් සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා ඉහළ තාක්ෂණයෙන් යුත් ගල් අඟුරු බලාගාර ඉදිකිරීමට යෝජිත බව ලංවිම පවසයි. නමුත් එවැනි බලාගාරයකින් පිට වන්නාවූ වාතය දූෂණය කෙරෙන වායූන්ගේ ප්‍රමාණයන් සහ අළු පිටවීම සුළු වශයෙන් අඩු වුවද ඉන් සිදුවන පරිසර හානිය එලෙසම පවතියි. මෙම අළුවල රසදිය, ආසනික්, කැඩ්මියම්, සින්ක්, ක්‍රෝමියම් ආදී සෞඛ්‍යයට අහිතකර බැර ලෝහ ගණනාවක් මෙන්ම විකිරණශීලී ද්‍රව්‍යයන්ද අඩංගු වේ. පසුගිය වසර ගණනාවක් තුළ ලංකාවේ ගල් අඟුරු බලාගාර ක්‍රියා කළද ඒවායින් පිටවිය හැකි සෞඛ්‍යයට හානිකර අපද්‍රව්‍ය පිළිබඳ කිසිදු අධ්‍යයනයක් නොකිරීමෙන් ලංවිමය සිය වගකීම පැහැර හැර තිබේ.
මෙම අළුවල අඩංගු ක්ෂුද්‍ර අංශු සුළඟට ගසා ගොස් වාතයට මුසුවීම නිසා තමන්ගේ සෞඛ්‍යයටද හානි සිදුව ඇති බව පුත්තලම බලාගාරයේ සේවකයන් දැනටමත් පැමිණිලි කර ඇත. ගල් අඟුරු බලාගාරයකින් පිට වන අංශු ප්‍රමාණය අවම කරගැනීමට විද්‍යුත් පෙරණ භාවිත කළද බොහෝ විට මෙම පෙරණ උපකරණ අක්‍රීය වීම නිසා අංශු ඉතා අධික ප්‍රමාණයක් වාතයට මුදාහැරේ. මෑතකදී ද මෙවැනි අවස්ථාවක් සිදුවූ බවට මාධ්‍යයන්හි වාර්තා පළ විය. ස්වායු බලාගාරවලින් අළු කිසිවක් පිට නොවන නිසා මෙවැනි ගැටලු කිසිවක් ඇති නොවේ.
ගල් අඟුරු බලාගාරයකින් විමෝචනය වනු ලබන සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) වායුවද නයිට්රජන් ඔක්සයිඩ් (NO2) වායුන්ද ක්ෂුද්‍ර අංශුද අවට පරිසරයට සහ මහජනයාගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානු ඇති අතර, එමගින් විමෝචනය වනු ලබන කාබන් ඩයොක්සයිඩ් (CO2) වායුව ගෝලීය පරිසරයට හානි පමුණුවයි. නමුත් ස්වායු බලාගාරයකින් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව හෝ ක්ෂුද්‍ර අංශු කිසිවක් පිටවන්නේ නැති අතර නයිට්රජන් ඔක්සයිඩ් වායූන්ද පිටවන්නේ සුළුවෙනි. කාබන් ඩයොක්සයිඩ් වායුවද පිටවන්නේ ගල් අඟුරු බලාගාරයකින් මෙන් 50෴ කටත් වඩා අඩු ප්රමාණයකිනි. එමනිසා ගල් අඟුරු බලාගාරයකින් සිදුවන පරිසර හානිය අවම කරගැනීමට වැය කළ යුතු අධික මුදලද ස්වායු බලාගාර භාවිතයෙන් ඉතිරි කරගත හැකිය.
ස්වාභාවික වායු භාවිතයෙන් ලැබිය හැකි ආර්ථික වාසි
ලංවිමයේ ප්‍රකාශන අනුව වසර 2016දී කැලණිතිස්ස මෙගාවොට් 165ක ද්වි-චක්‍ර බලාගාරයට ඉන්ධන සඳහා රුපියල් කෝටි 1600ක් වැය කර ඇත. තෙල් ඉන්ධන වෙනුවට ස්වායුවෙන් මෙම බලාගාරය ක්‍රියාකරනු ලබන්නේ නම්, වසරකට ඉන් අඩක් පමණ එනම් රුපියල් කෝටි 800ක් පමණ ඉතිරි කරගත හැකිය. ධාරිතාව මෙගාවොට් 163ක සහ 300 ක්වූ අනෙකුත් ද්වි-චක්‍ර බලාගාර දෙකත් එසේ ස්වායුවෙන් ක්‍රියා කරනු ලබන්නේ නම්, ඉතිරි කරගත හැකි මුළු මුදල වසරකට රුපියල් කෝටි 3000ක් ඉක්මවනු ඇත. තවද අඩු පිරිවැය නිසා මෙම බලාගාර දෙක පද්ධතියට සම්බන්ධ වීමේ ප්‍රතිශතය ඉහළ යාහැකි නිසා එමගින් ඉතිරි කර ගත හැකි මුදල තවත් වැඩිවනු ඇත. මෙසේ ස්වායු භාවිතයට නොගෙන තෙල් ඉන්ධන මගින් පමණක් ද්වි-චක්‍ර බලාගාර ක්‍රියාකිරීමෙන් වසරකට සිදුවන පාඩුව බැඳුම්කර වංචාවෙන් ලද පාඩුව මෙන් කිහිප ගුණයකි.
දැනට පවතින ඉන්ධන මිල ගණන් අනුව ස්වායුවෙන් විදුලිය ජනනය කිරීම වඩා මිල අඩු බව ලියුම්කරු විසින් මේ පිළිබඳව ම.උ.කො සභාව විසින් 2017 ජුනි 15 දින පවත්වන ලද මහජන අදහස් විමසීමට කැඳවන ලද රැස්වීමේදී ප්‍රකාශ කර සිටියේය. විශේෂයෙන්ම, පනතේ සඳහන් පරිදි බාහිර පිරිවැයද සැලකිල්ලට ගත් කළ ස්වායුවේ සහ ගල් අඟුරුවල සෑම මිල අගයන්ම සඳහා ස්වායුවෙන් විදුලිය ජනනය කිරීම ගල් අඟුරුවලින් ජනනය කිරීමට වඩා ආර්ථිකව වාසිදායක බව ඔහු පෙන්වා දුන්නේය. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් මෑතකදී පුවත්පතකට කරන ලද ප්‍රකාශයක් අනුව යෝජිත මෙගාවොට් 300ක ද්වි-චක්‍රීය බලාගාරය සඳහා ලැබූ අඩුම ලංසුව වූයේ විදුලි ඒකකයකට රුපියල් 15 ක්වූ ලංසුවය. ලියුම්කරු විසින් ම.උ.පො සභාවට ඉදිරිපත් කරන ලද පත්‍රිකාව අනුව ගල් අඟුරු ටොන් එකක් ඇ.ඩො 110 වනවිට විදුලි ඒකකයකට අදාළ සමස්ත පිරිවැය (levelied generation cost) රුපියල් 18කි. මෙම බලාගාරයෙන් වසරකට ගිගාවොට් 2000ක පමණ විදුලියක් ජනනය කිරීමට හැකි නිසා ගල් අඟුරු බලාගාරය වෙනුවට යෝජිත ද්වි-චක්‍රීය බලාගාරය භාවිතයෙන් ඉතිරිවන මුදල වසරකට රුපියල් කෝටි 600ක් පමණ වනු ඇත. සාමාන්‍යයෙන් වසර මැදදී ස්වායු මිල අඩුවන නිසා ඇණවුම් කරන කාලය අනුව මීටත් වඩා වැඩි වාසියක් ලබාගත හැකිය.
ලංවිම ඉංජිනේරු සංගමයේ අරමුණ සහ අභිමානයට එල්ලවූ අභියෝගය
පුත්තලම බලාගාරය ක්‍රියාත්මක කිරීමෙන් ලද අත්දැකීමෙන් ගල් අඟුරු බලාගාරයක් පවත්වාගෙන යෑමේදි පැන නගින තාක්ෂණික ගැටලු මොනවාදැයි ලංවිමයේ ඉං.සං.ය හොඳාකාර දනිති. මොහොතින් මොහොත සිදුවන ඉල්ලුමෙහි විචලනයන්ට අනුව මෙන්ම පුනර්ජනනීය ප්රභවයන්ගේ විචලනය වන්නාවූ දායකත්වය අනුව ජනනය වෙනස් කිරීමට ස්වායු බලාගාරයකට මෙන් ගල් අඟුරු බලාගාරයකට නොහැකි බවද ඔවුහු දනිති. වැසි කාලයේ ජලවිදුලි බලාගාර ආශ්රිත ජලාශ පිරී ඉතිරී ගියද ගල් අඟුරු බලාගාර අවම මට්ටමකින් ක්‍රියාකළ යුතු හෙයින් ජල විදුලිය උපරිම ලෙස ජනනය කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවද ඔවුහු දැනුම්වත්ව සිටිති. පුත්තලම ගල් අඟුරු බලාගාරයේ සේවය කරන්නාවූ තම සහෝදර ඉංජිනේරුවන්ට එහි පවතින වායු දූෂණය නිසා මුහුණ පාන්නට සිදුව ඇති සෞඛ්‍ය ගැටලු ගැනද ඔවුහු දනිති. තවද මෙම බලාගාරය අවට වෙසෙන ගොවි සහ ධීවර ජනයාට බලාගාරය නිසා සිදුව තිබෙන්නාවූ ගැටලු පිළිබඳවද ඔවුහු හොඳාකාර දනිති. පුත්තලම බලාගාරයේ වසරක් තුළ එකතු වන්නාවූ අළු ටොන් ලක්ෂ ගණනාවක් ආරක්ෂා සහිතව බැහැර කිරීම ලංවිමට හිසරදයක් බවද ඔවුහු දනිති. එම සා මෙරටට වඩා සුදුසු හෝ නුසුදුසු හෝ බලාගාරය කුමක්දැයි ඉං.සං.ය හොඳින් දන්නා කරුණකි.
කරුණු මෙසේ තිබියදී මෙවැනි ගැටලු කිසිවක් නොමැති ආර්ථික වශයෙන් වාසිදායක වෙනත් විකල්පයක් අබියස ගල් අඟුරු බලාගාරම ඉදිකළ යුතු යැයි ඉං.සං.ය රජයට බල කර සිටින්නේ වෙනත් අරමුණකින් බව පැහැදිලිය. ඇත්ත වශයෙන්ම මෙහිදී සිදුව ඇත්තේ තාක්ෂණ කරුණක් පිළිබඳ ගැටලුවක් නොව තම අභිමානය පිළිබඳ ගැටලුවකි. 2013 නව විදුලිය පනත ක්‍රියාත්මක කිරීමට පෙර රටේ විදුලිය ජනනය කිරීමේ ඒකාධිකාරිය ලංවිම සතුව පැවතුණි. නමුත් දැන් සිදුව ඇත්තේ ලංවිමයේ සැලැස්ම ම.උ.කො. සභාව විසින් ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට විකල්ප සැලැස්මක් ඔවුන් විසින් ඉදිරිපත් කිරීමයි. එය තමන්ගේ අභිමානයට එල්ලවූ අභියෝගයක් ලෙස ඉං.සං.ය විසින් සලකනු ඇත.
ලංවිමයේ ඉං.සං.ය ගල් අඟුරු බලාගාර කෙරෙහි මෙතරම් ඇල්මක් දැක්වීමට හේතු විය හැකි තවත් කරුණක් නම් විදුලිය ජනනය කිරීමේ පාලනය තමන් සතු කරගැනීමට තිබෙන අවශ්‍යතාව විය හැකිය. ගල් අඟුරු බලාගාර තෝරා ගත් කළ එය මිලට ගැනීමත් ක්‍රියා කරවීමත් සහ ඒ සඳහා අවශ්‍ය ගල් අඟුරු මිලට ගැනීමත් ආදිය සියල්ල කෙරෙහි වගකීම පැවරෙන්නේ ලංවිමය වෙතටය. අනෙක් අතට ස්වායු බලාගාර සඳහා දැනට පෞද්ගලික අංශය තෝරාගෙන තිබෙන නිසා ඒ සියලු කාර්යයන්හි වගකීම පැවරෙන්නේ පෞද්ගලික අංශය වෙතටය. ධාරිතාව මෙගාවොට් 300 වන ගල් අඟුරු බලාගාරයකට අවශ්‍ය ප්‍රාග්ධන පිරිවැය ඇඩො කෝටි 70ක් හෝ රුපියල් කෝටි 1000ක් පමණ වේ. ස්වායු බලාගාරයකට මෙම පිරිවැය ඉන් අඩක් පමණ වේ. වෙළෙඳ නියෝජිතට අවම වශයෙන් මින් 10෴ හෝ රුපියල් කෝටි 100ක කොමිස් මුදලක් ගල් අඟුරු බලාගාරයක් සඳහාද රුපියල් කෝටි 50ක් ස්වායු බලාගාරයක් සඳහාද ලැබෙනු ඇත. නමුත් මෙය එක් වරක් පමණක් ලැබෙන මුදලකි.
බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ආනයනටද මේ සාවිශාල මුදලක් වාර්ෂිකව වැය කිරීමට සිදු වේ. වාර්ෂික ගිගාවොට් 2000ක විදුලිය ජනනය සඳහා දැන් පවතින මිල ගණන් අනුව ගල් අඟුරු ටොන් 700,000 ක් ආනයනය සඳහා ඇඩො කෝටි 7.7ක් හෝ රුපියල් කෝටි 1200ක් පමණ වාර්ෂිකව වැය කිරීමට සිදු වේ. ස්වායු බලාගාරයකින් එම විදුලිය ප්‍රමාණය ජනනය කිරීම සඳහා ද්‍රැව ස්වායු ටොන් 250,000ක් ආනයනයට ඇඩො කෝටි 12ක් හෝ රුපියල් කෝටි 1800ක් පමණ වාර්ෂිකව වැය කිරීමට සිදු වේ. එවිට ගල් අඟුරු නියෝජිතගේ වාර්ෂික ආදායම අවම වශයෙන් රුපියල් කෝටි 120ක්ද ස්වායු නියෝජිතගේ වාර්ෂික ආදායම රුපියල් කෝටි 180ක් පමණද වනු ඇත. විදුලිය ජනනය සඳහා මෙතරම් විශාල මුදලක් වාර්ෂිකව සංසරණය වීමේදී ඉන් ප්රතිලාභ ලැබීමට විවිධ පාර්ශ්ව උත්සුක වන බව නොරහසකි. එනිසා මෙවැනි අවස්ථාවක් තමන්ගෙන් ගිලිහී වෙනත් අයට පැවරීමට කැමති වන්නේ කවුරුන්ද?
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් රටේ විශිෂ්ටයන් ලෙස සමත්ව ඉංජිනේරුවන් ලෙස වෘත්තීයේ යෙදී සිටින විටද විශිෂ්ටයන් ලෙස රටට සේවය කරන්නේ නම් එය උතුම් ක්‍රියාවකි. එමනිසා මෙම ප්රශ්නය පිළිබඳ තමන්ගේ ස්ථාවරය පදනම් රහිත බවත් තම ඉල්ලීම්වල සැඟවුණ අරමුණක් තිබීමට හැකියාවක් තිබෙන බවත් දැන්වත් වටහා ගෙන තම ඉල්ලීම් පසෙකළා වෘත්තීයේ ගෞරවයද තම ආයතනයේ ගෞරවයද රැකගෙන ලංවිමයේ ඉංජිනේරු සංගමය, ම.උ.කො සභාව සමග සහයෝගයෙන් කටයුතු කර ඉදිරියේදී සිදුවිය හැකි විදුලි අර්බුදය මගහරවා ගන්නා ලෙස ඔවුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd