මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය පීඨය අහෝසි කිරීමටත්, ඒ වෙනුවට ලාභ නොලබන ආයතනයක් බිහි කර දැනට අධ්‍යාපනය ලබන සුදුසුකම් සහිත සිසුන් එයට අනුයුක්ත කිරීමට රජය තීරණය කර ඇත. රජය මේ තීරණය ගෙන ඇත්තේ සයිටම් ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ යෝජනා සැලකිල්ලට ගනිමිනි. නමුත් රජය සහ අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය අතර මේ සම්බන්ධව පවතින අදහස තවමත් මතභේදාත්මකය. එහෙයින් මේ පිළිබඳ විවිධ පාර්ශ්ව දරන අදහස් පිළිබඳ විමසීමට අපි තීරණය කළෙමු.
සයිටම් අහෝසි කරනවා කියලා කරලා තියෙන්නෙ නම වෙනස් කිරීමක්
-මංගල මද්දුමගේ- වැඩ බලන කැඳවුම්කරු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය
ඇත්තටම මෙතනදි සිදුවෙලා තිබෙන්නෙ සයිටම් අහෝසි කරනවා කියලා නම වෙනස් කිරීමක්. සයිටම් ආයතනය නෙවිල් ප්‍රනාන්දු මහතාගෙන් ඉවත් කරලා වෙන සමාගම් කිහිපයකට පැවරීමක්. එතනදි සිදු කරන්නෙත් උපාධි මුදලට විකිණීමක්. සයිටම් ආයතනය අහෝසි කරන්න කියලා අපි ඉල්ලුවේ උපාධිය මුදලට විකුණන එක නතර කරන්න කියලා. නමුත් ඊට අදාළ කිසිම යෝජනාවක් රජය ගත් මේ තීරණයේදී සිදු වෙලා නැහැ.
ආණ්ඩුව කියන්නෙ ලාභ නොලබන රාජ්‍ය නොවන පෞද්ගලික ආයතනයකට පවරනවා කියලා. අපි මෙතනදි අහන්න කැමතියි ලාභ නොලබන ව්‍යාපාර ආරම්භ කරන්න ඉන්න සුපින්වත්තු කවුද කියලා. මොකද ලාභ ලබන්නෙ නැතිව ව්‍යාපාර ආරම්භ කරන්නෙ නැහැ කවුරුවත්ම. ඒ නිසා තේරෙනවා ආණ්ඩුව මේ සිදු කරන්නෙ තනි බොරුවක් බව. සයිටම් ආයතනය වහලා දාන්නෙ නැතිව, අධ්‍යාපනය මුදලට විකුණන්නෙ නෑ කියන තීරණය ගන්නෙ නැතිව ව්‍යාජ විසඳුම් ගෙනල්ලා මේ අරගලය නතර කරන්න බැහැ. මේ සිදු කරන සත්යග්රහ, උපවාස නතර වෙන්න නම් ආණ්ඩුව කරන්න ඕන උපාධි මුදලට ලබාදෙන එක නතර කිරීම.
ඒ වගේම අපි ඉදිරියට ගන්න ඉන්න ක්‍රියාමාර්ග දැඩි කරනවා. ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා වෙන වෙන ව්‍යාජ විසඳුම් දීලා මේ රටේ ජනතාව ගොනාට අන්දන්න හදනවා නම් අපි කියනවා ආණ්ඩුවට බලාගමු කියලා. මොකද මේ රටේ ජනතාව හැමදාම ගොනාට අඳින්න ලෑස්ති නැහැ. වහාම සයිටම් ආයතනය වහලා දාන්න තීරණය ගේන්න. එහෙම නැත්නම් විරෝධතා, උද්ඝෝෂණ ඉදිරියට වැඩි වෙයි. වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපිය සංගමය තීරණය කරලා තිබෙනවා මරාන්තික උපවාසයකට යන්න. ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ජයග්‍රහණය දක්වා ගෙන යන්න. ඒ නිසා ආණ්ඩුවට වෙන්නෙ අවසානයෙ අපිව මරන්න හරි, සයිටම් දිගටම පවත්වාගෙන යන්න හරි. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ දෙකෙන් කැමති දෙයක් තෝරගන්න කියලා.
මේක නිකම් මාධ්‍ය ප්‍රචාරයක් පමණයි
- රත්කරව්වේ ජිනරතන හිමි - වැඩබලන කැඳවුම්කරු අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය
සයිටම් අහෝසි කරන්න කියන දැවැන්ත අරගලය සිදු කරන්නෙ කාලාන්තරයක් තිස්සෙ. දැනට අවුරුදු 09කට පමණ ආසන්න කාලයක පටන් කරන දැවැන්ත අරගලයක්. මේ වනවිට මේ අරගලය වටා මුළු රටේම මිනිස්සු එකතු වෙලා ඉන්නවා. ආණ්ඩුව විතරයි සයිටම් වෙනුවෙන් පෙනී ඉන්නෙ. ආණ්ඩුව විතරයි නෙවිල් ප්‍රනාන්දු මහත්තයාගේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී ඉන්නෙ. මේ අවස්ථාවේදී ආණ්ඩුව කරලා තිබෙන්නෙ කලින් කළා වගේම බොරු විසඳුමක් ගෙනත් තිබෙනවා සයිටම් එක අහෝසි කළා කියලා. මේ අවස්ථාවේදී වෙලා තිබෙන්නෙ සයිටම් අහෝසි කළා කියලා නිකන් මාධ්‍ය ප්‍රචාරයක් කිරීම පමණයි. ඒ හැරෙන්න වෙන කිසිම දෙයක් සිදු වෙලා නැහැ. වෙනස් වෙලා තිබෙන්නෙ සයිටම් එකේ නම විතරයි. සයිටම්හි ව්‍යුහය ඒ විදියටම තියාගෙන සයිටම් එක වෙනත් පෞද්ගලික ආයතනයකට සම්බන්ධ කරනවා කියන එකයි මේ දුන් විසඳුමේ තිබෙන්නෙ. නමුත් ඒ කිසි දෙයක් ජනතාව බලාපොරොත්තු වුණ දේ නෙවෙයි. සයිටම් අහෝසි කරලා නැහැ. සයිටම් තවම තිබෙනවා. මේකත් රජය මෙතෙක් කල් දුන් බොරු විසඳුම් වගේ තවත් එක විසඳුමක් විතරයි.
ඇත්තටම මේ අවස්ථාවේ සකාච්ඡා මාර්ගයෙන් විසඳනවා කියන්නෙ බොරු වැඩක්. අපි ජනාධිපති, අගමැති මේ සියල්ල එක්ක මේ ගැන සාකච්ඡා කරලා තිබෙනවා. අපි මේ සයිටම් ප්‍රශ්නයට දෙන්න ඕන යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ජනතාව විදියට, ශිෂ්‍ය ව්‍යාපාරය විදියට ඒ යෝජනා ඉදිරිපත් කළා. දැන් ආණ්ඩුවට තිබෙන්නේ ඒ දේවල් ක්‍රියාවට නංවන එක. තවදුරටත් ආණ්ඩුව මේ විදියට අධ්‍යාපනය විකුණගෙන කනවා නම්, ජනතාව රවට්ටන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් අපි හිතන්නෙ නැහැ තවදුරටත් සාකච්ඡා කරලා ඵලක් වෙයි කියලා. පහුගිය කාලයෙ ආණ්ඩුව කියපු දේ තමයි ශිෂ්‍යයො එක්ක, වෛද්‍යවරු එක්ක සාකච්ඡා නෑ කියන එක. ශිෂ්‍ය නායකයො සිරගත කරලා, ජනතාව මර්දනය කරලා මේ සටන් යටගහලා, අධ්‍යාපනය විකුණන, ජනතා විරෝධී වැඩපිළිවෙළ තවදුරටත් ගෙනයන්න තමයි ආණ්ඩුව මේ උත්සාහ කරන්නෙ. ඒ නිසා ඉදිරියේදී ආණ්ඩුවත් සමග තියෙන්නෙ සාකච්ඡා ක්‍රියාමාර්ගයක් නෙමෙයි ජනතා බලවේග පාරට බස්සවන, ජනතා බලවේග මගින් දැවැන්ත විරෝධයක් ආණ්ඩුව වටා ගොඩනැංවීම තමා ඉදිරියට ගන්න තිබෙන්නෙ. මොකද සයිටම් එක අහෝසි කළේ නැත්නම් නිදහස් අධ්‍යාපන අයිතිය, නිදහස් සෞඛ්‍ය අයිතිය ජනතාවට නැති වෙන්න නියමිතයි. සයිටම් තමයි එහි නියමු ව්‍යාපෘතිය. ඒ නිසා සයිටම් ආහෝසි කරන්න ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න ශිෂ්‍ය ව්‍යාපාරයක් විදියට අපි සූදානම්.
අපට නෙවිල් ප්‍රනාන්දු හිරේ දාන්න බැහැ
- ආචාර්ය හර්ෂ ද සිල්වා -
මෙහිදී සයිටම් අහෝසි කරනවා කියන්නෙ සම්පූර්ණයෙන්ම නෙවිල් ප්‍රනාන්දු මහත්මයාට තිබෙන අයිතිය ඉවත් කිරීමක්. ඊට පස්සෙ ලාභ ලබන ආයතනයක් විදියට තිබුණු ව්‍යුහය අහෝසි කිරීමක් සිදු කරනවා. ඊට වඩා අපට කරන්න පුළුවන් දෙයක් නැහැ. අපිට නෙවිල් ප්‍රනාන්දු හිරේ දාන්න බැහැනෙ. මෙහිදී අහෝසි කරනවා කියන්නෙ කොටස් හිමිකාරීත්වය අහෝසි කරනවා කියන එක සහ කළමනාකාරීත්වය අහෝසි කිරීම. ඊට වඩා දෙයක් කරන්න බැහැ.
ඒ වගේම සයිටම්හි කොටස්, වගකීම්, වත්කම්, කාර්යමණ්ඩලය සහ ශිෂ්‍යයො රජයේ නොවන, ලාභ නොලබන ආයතනයකට එකතු කරන්න ඕන කියලා. එතනදි නෙවිල් ප්‍රනාන්දුලගේ අයිතිවාසිකමක් නැහැ. මෙතනදි සයිටම් කියන එක අහෝසියි. අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයට අවශ්‍ය වෙන්නෙ ඒක නෙමේ නම් අපි දන්නෙ නෑ වෙන මොකක්ද කියලා. අහෝසි කරනවා කියන දෙයින් මීට වඩා ආණ්ඩුවට කරන්න පුළුවන් දෙයක් නැහැ. අහෝසි කරනවා කියන්නෙ ගොඩනැගිල්ල කඩලා දාන්න කියන එකද? ඒ කියන්නෙ බුල්ඩෝසරයක් අරන් ගිහින් මේක කුඩු කරන්න කියලද?