ගුදය ආශ්‍රිතව හටගන්නා සියලුම රෝග ශල්‍යකර්ම තෙක් දුරදිග යෑමට නොදී වහා ප්‍රතිකාර ගත යුතුය. ඒ මක්නිසාද යත් ශල්‍යකර්මයක් සිදුකොට ගුද පේශි කැපී ගිය විට ඒවායේ තානය අඩු වී වයස්ගත වනවිට මළ පිටවීම අපහසුතාවට පත් වන නිසාය.භගන්දරා රෝගයද එසේය. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මේ සඳහා ඇති ප්‍රතිකාරය වන්නේ ශල්‍යකර්මයයි. එහිදීද මෙවැනි දේට මුහුණ දීමට සිදුවේ. නමුත් කිසිදු අතුරු ආබාධයකින් තොරව මෙම රෝගය නිට්ටාවට සුව කළ හැකි බව මේ වනවිට කැලණිය විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යා අංශය මගින් කළ පර්යේෂණයකින් හෙළිවී තිබේ. ඒ සම්බන්ධ පර්යේෂණ වාර්තාව පසුගියදා එළිදැක්විණි.ඒ නිසා භගන්දරා රෝගය සම්බන්ධව ඔබ දැනුවත් කිරීම වැදගත් බව 'අද' අපි තීරණය කළෙමු.
ගුද මාර්ගය ආශ්රිත රෝගයක් ලෙස ආයුර්වේදයේ භගන්දරා රෝගය හඳුන්වනු ලැබේ. මෙහිදී ගුද මාර්ගයේ සිට විහිදෙන නාළ සමූහයක් මාංශමය පටක අතරින් ගමන් කර පශ්චාත් ප්‍රදේශය ආශ්‍රිතව සම මතුපිටට පැමිණීමක් සිදුවේ. මෙම නාළ තුළින් සැරව, තෙතමනය සහිත විනාශ වූ පටක සහ මළ ද්‍රව්‍ය සම මතට ගැලීම සහ නාළ තුළ අපද්‍රව්‍ය රැඳීම හේතුවෙන් බැක්ටීරියා වර්ධනය වීම යනාදිය හේතුකොට ගෙන රෝගියාට අධික වේදනාවක් සහ එම ප්‍රදේශය කැසීමක් සිදු වේ. එසේම සමාජයට ඉදිරිපත් වීමේදී විශාල අපහසුතාවක් ඇති වේ.
බටහිර වෛද්‍ය විද්‍යාවේ එය 'Anal pustule' ලෙස හැඳින්වෙන අතර, මෙම රෝගයෙන් වයස අවුරුදු 40ත් 50ත් අතර පිරිසගෙන් 54%ක් පමණ පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව රෝගය සුව කිරීමට ශල්‍යකර්මයක් මගින් හානියට පත් පටක ඉවත් කළ යුතුය. එසේ ඉවත් කළද රෝගී පටක සෑදීම නැවත නැවත සිදුවීම හේතුවෙන් රෝගය සුව වීම සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු විය නොහැකිය. ඒ හේතුවෙන් එම ක්‍රමය එතරම් සාර්ථක ක්‍රමයක් නොවේ.
මෙම රෝගය සුව කිරීමට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මගින් විශේෂ ක්‍රමවේදයක් යොදාගෙන තිබේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව නිපදවා ඇති ක්ෂාරසූත්ර නමින් හැඳින්වෙන ඖෂධීය හුයක් ගුද මාර්ගයේ සිට විහිදෙන කුඩා නාළ තුළට ඇතුළත් කිරීම මෙහිදී සිදුකෙරේ. මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය බුද්ධ වර්ෂ 800දී පමණ හඳුන්වා දුන් වෛද්‍ය ක්රමයකි. ඒ වගේම මෙම ප්‍රතිකාරයෙන් රෝගීන් 98%ක් 100%ක් දක්වා සුවපත් වන අතර, නැවත නැවත රෝගයට ගොදුරු වීමක්ද සිදු නොවේ.
මෙම ප්‍රතිකාර ක්‍රමයේදී සිදු කරන්නේ බෙහෙත් ගල්වන ලද නූලක් මෙම කුඩා සිදුරු අතරින් ගමන් කිරීමට සලස්වා පසුව එය ක්‍රමානුකූලව ඉවත් කිරීමය. මෙම ප්‍රතිකාරය සඳහා රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගැනීම අවශ්‍ය නැත.මෙම පර්යේෂණයේදී මේ රෝග තත්ත්වය යටතේ තිබෙන නාළ තුළ කෙතරම් ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණයක් සහ බැක්ටීරියා වර්ධනයක් තිබෙනවාද යැයි පරීක්ෂා කිරීමක් සිදුකර තිබේ.. එහිදී හඳුනා ගැනීමට හැකිව ඇත්තේ බැක්ටීරියා වර්ග 60ක් පමණ ඇති බවයි. ඉන් ව්‍යාධිජනක බැක්ටීරියා විශේෂ 04ක් වන 'Escherichia coli, Staphylococcus aureus, Pseudomonas aeruginosa, Streptococcus agalactiae' පර්යේෂණාගාරයේ වගාකර මෙම ප්‍රතිකාර ක්‍රමයේදී භාවිත කරන ක්ෂාරසූත්ර ඖෂධීය හුයෙහි අඩංගු ප්‍රතිජීවක ඖෂධ ගුණය නිසා විනාශ වන බව මෙම පර්යේෂණයේදී සොයාගෙන ඇත. ඇත්තෙන්ම එය බටහිර වෛද්‍ය ක්රමයේ භාවිත කරන ඇමොක්සිලින් වැනි ප්‍රතිජීවක ඖෂධවලට වඩා වැඩි ප්‍රවණතාවකින් එම බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව තිබෙන බව මෙහිදී සොයා ගැනීමට හැකිව තිබේ.
මෙම ක්ෂාරසූත්ර නිෂ්පාදනය සඳහා ලබාගන්නා ද්‍රව්‍ය පිළිබඳ රසායන විද්‍යාත්මක ක්‍රමයක් විශ්ලේෂණය කර මෙම පරීක්ෂණයේදී සොයාගෙන තිබේ. එමෙන්ම සායනවලදී මෙම ප්‍රතිකාරය ලබාදී රෝගීන් සුව කිරීම සම්බන්ධවද අධ්‍යයන මේ වනවිට සිදුකර ඇත. දැනට මෙම ප්‍රතිකාරය කැලණිය විශ්වවිද්‍යාලයේ ආයුර්වේද විද්‍යා ආයතනය සමග සම්බන්ධ වී යක්කල ආයුර්වේද රෝහලේදී සිදුකරන අතර, අද වනවිට වෛද්‍ය සිසුන්ද මේ සඳහා පුහුණු කරමින් පවතී. ඒ හේතුවෙන් මෙය වර්තමානයේ අඛණ්ඩව ගෙනයන ප්‍රතිකාර ක්රමයකි. ශල්‍ය වෛද්යක්රමවලට පරිබාහිරව නිට්ටාවට සුව කිරීමේ හැකියාව තිබේ. මෙම පර්යේෂණය අද වනවිට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන තත්ත්වයක පවතී.
මෙම අවස්ථාවේදී මෙම පර්යේෂණය සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වීමට මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සහභාගි වූවාය. එතුමිය අදහස් දැක්වූයේ මෙසේය.
"රසායන විද්‍යාත්මකව බැලූ විට ශරීරයට අත්‍යවශ්‍ය ලෝහ ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය රසායන ද්‍රව්‍ය පවතිනවා. මෙහිදී ක්ෂාරසූත්ර සඳහා යොදා ගන්නා ද්‍රවයේ රසායනික විශ්ලේෂණයක් සිදුකළා. ලෝහ ද්‍රව්‍ය ගැන කතා කළාම ශරීරයට අතවශ්‍ය සහ ශරීරයට විෂවන ලෝහ ද්‍රව්‍ය තිබෙනවා. ශරීරයට අවශ්‍ය ලෝහ ද්‍රව්‍ය ලෙස සින්ක්, අයන්, කැස්ලියම්, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම් වගේ ලෝහ ද්‍රව්‍ය හඳුන්වන්න පුළුවන්. ශරීරයට අහිතකර ලෝහ ලෙස ලෙඩ්, කැඩ්මියන්, මර්කරි වගේ දේවල් පවතිනවා.
මේ විශ්ලේෂණයේදී කළේ ක්ෂාරසූත්ර සංයෝගයේ තිබෙන ලෝහ ද්‍රව්‍ය සහ ඊට අමතරව රෝගියාගේ එම තුවාල සනීප කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ක්ෂාරසූත්රයට ඇතුළත් කළ යුතු ද්‍රව්‍ය පිළිබඳව මෙහිදී සැලකිලිමත් වුණා. එහිදී ක්ෂාරසූත්ර සඳහා ඇතුළත් කරන ද්‍රව්‍යවලට කිසිම රසායන ද්‍රව්‍යක් ඇතුළත් නොකර ස්වාභාවික ද්‍රව්‍ය පමණක් අප ඇතුළත් කිරීමට කටයුතු කළා. මෙතැනදී අපට සොයා ගන්නට ලැබුණා ක්ෂාරසූත්ර යන සංයෝගය තුළ ශරීරයට අත්‍යවශ්‍ය වන මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම් වගේම විශේෂයෙන් සින්ක් සහ කොපර් කියන ලෝහ වර්ග ශරීරයට අත්‍යවශ්‍ය ලෝහ වර්ග.
විශේෂයෙන් සින්ක් සහ කොපර් තුවාල සුව වීමට අත්‍යවශ්‍ය ලෝහ දෙකක් ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවේ සොයා ගෙන තිබෙනවා. ඒ නිසා ක්ෂාරසූත්රවල ස්වාභාවික අඩංගු වන මේ ලෝහ වර්ග දෙක පවතිනවා. මෙහිදී රෝගියාට අපහසුතාවක් ඇති නොවෙන්න වේදනා නාශක ද්‍රව්‍ය සියල්ල ස්වාභාවිකව ක්ෂාරසූත්ර තුළ ඇතුළත් වෙනවා. ඒ නිසා මෙය ශරීරයට අහිතකර දෙයක් නෙමේ. ශල්‍යකර්මවලට භාජනය කළත් මේ රෝගය නැවත නැවත හටගැනීම සිදුවෙනවා. නමුත් ක්ෂාරසූත්ර ක්‍රමය ඔස්සේ නිට්ටාවට සුව කිරීමේ හැකියාවක් පවතින බව මේ පර්යේෂණයේදී අප සොයා ගනු ලැබුවා."
මෙහිදී තවදුරටත් අදහස් දැක්වීමට ෛවද්‍ය ඒ.ඒ.ජේ. පුෂ්පකුමාර මහතා සහභාගි විය. හෙතෙම මෙය නිෂ්පාදනය සහ භාවිත කරන අයුරු විස්තර කළේය.
"මේ ක්‍රමය දැනට අවුරුදු 3000කට පෙර භාවිත කළ ක්‍රමයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කාලයක් පුරා භාවිත වුණත් මේ සම්බන්ධව විද්‍යාත්මක අධ්‍යනයක් සිදුවෙලා තිබුණෙ නැහැ. අපේ මූලික පරමාර්ථය තමයි මේ වගේ දෙයක් සමාජගත කරනවා නම් මේ පිළිබඳ සියලුම දේවල් සොයාගත යුතුයි. මෙහිදී රසායනික පැත්ත සහ ප්‍රතිජීවක සම්බන්ධව සහ අතුරු අබාධ තියෙනවාද කියා සොයා බලන එක. සාමාන්‍යයෙන් කියනවා ආයුර්වේදයේ අතුරු ආබාධ නැහැ කියා. නමුත් අපි මෙහිදී එය ඔප්පු කර පෙන්නුවා. ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යතුමා සම්බන්ධ කර ගනිමින් මේ ක්‍රමය හරහා රෝගීන් සුවපත් කිරීමේදී ඔවුන්ට යම්කිසි හානියක් වෙනවාද යන්න විද්‍යානුකූලව සොයා බැලුවා. ඒ සියලුම පර්යේෂණවලදී පැහැදිලි වුණා මෙහිදී එවැනි තත්ත්වයක් ඇතිවෙන්නෙ නැහැ කියා.
නමුත් බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව සුවපත් කිරීමේදී නැවත නැවත රෝගය ඇතිවෙනවා. එයට ප්‍රධාන හේතුව වන්නේ pustule මාර්ගය සම්පූර්ණයෙන් කපා ඉවත් කළ නොහැකි වීම. එහෙම කළොත් මළ පිටවීම පාලනය කරන්න බැරි වෙනවා. ඒ නිසා බටහිර වෛද්‍ය විද්‍යාවට මෙය විශාල අභියෝගයක්. නමුත් ක්ෂාරසූත්ර ප්‍රතිකාර කුමයෙන් මෙය සුව කිරීමේ හැකියාවක් තිබෙනවා.
අද වන විට චීනය, ජර්මනිය වගේ රටවල් ගණනාවක් මේ ක්‍රමය අත්හදා බලමින් ඉන්නවා. මේ නූල සෑදීම සඳහා ප්‍රධාන වශයෙන් ඖෂධ වර්ග තුනක් භාවිත කරනවා. ඒ කහ, කරල් ඇබ සහ දලුක් ගෙඩි යන ඖෂධයන්ය. විසිඑක් වරක් මේ නූල ඔතා භගන්දර මාර්ගය හරහා මේ නූල ගැටගැසීමකට ලක්කර සතියකට වරක් මාරු කිරීම සිදුකරනවා. මේ සඳහා රෝහල්ගත වෙන්න අවශ්‍ය නැහැ. ඉන් පසු රෝගියාට තමන්ගේ දෛනික වැඩ කටයුතු කර ගැනීමේ හැකියාව තිබෙනවා."
ඔබ මෙම රෝගයෙන් පෙළෙන අයෙකු නම් මේ සඳහා වැඩි විස්තර පහත දුරකථන අංකයෙන් ලබාගත හැකිය. 077- 4384766 (ෛවද්‍ය ඒ.ඒ.ජේ. පුෂ්පකුමාර මහතා)