ආණ්ඩුව විසින් පැරණි හොරුන් සහ අලුත් හොරුන් යන දෙපාර්ශ්වයම ආරක්ෂා කිරීම තුළ අවසානයේ එහි 'බිල්ල' බවට රවි කරුණානායක මහතා පත් වූ බවත්, ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම ආණ්ඩුවේ ජයග්‍රහණයක් කර නොගෙන සමස්ත ක්‍රියාවලියම පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති කොමිසමෙන් ඉල්ලා සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) පවසා සිටියේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර සිටියේ 2016 මහ බැංකු වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමිනි.
කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීම මුවාවෙන් තමන් ශුද්ධවන්තයන් යැයි යම් පිරිසක් සිතනවා නම් එය නිෂ්ඵල සතුටක් බව සඳහන් කළ මන්ත්‍රීවරයා, පසුගිය සමයේ දූෂණ, වංචා අනාවරණය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව වෙත ජනවරම ලැබුණද එය එසේ නොවී සොරුන් ආරක්ෂා වීම පමණක් සිදුවන බවටද එහිදී චෝදනා කර සිටියේය.
පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි සුනිල් හඳුන්නෙත්ති මහතා,
“අද දිනයේ අපි විවාදයට ලක්කරන මාතෘකාව මහ බැංකුව සහ මහ බැංකුවේ මූල්‍ය ප්රකාශනය වන මහ බැංකු වාර්තාව පිළිබඳවයි. 2016 අවුරුද්දේ මහ බැංකු වාර්තා සහ මහ බැංකුවේ ක්රියාකාරීත්වයන් මේ රටේ ජනතාවගේ විශේෂ අවධානයට ලක්වුණ කාලවකවානුවක්. ඒක මේ අද දවසේ පාර්ලිමේන්තුවේදී සිදුරු වෙමින් තිබෙන දේවල්වලිනුත් ඔප්පු වෙන දෙයක්.
විශේෂයෙන්ම මේ වාර්තාව මූල්‍ය කටයුතු පිළිබඳ කාරක සභාවටත්, ආංශික අධීක්ෂණ කාරක සභාවටත් ඉදිරිපත් වුණ වෙලාවේ මම කරුණු දැක්වූවා මෑත කාලයේ මහ බැංකු වාර්තාවක් පිළිබඳ. මහ බැංකුවේ ලේඛන පිළිබඳ සමාජයේ ඇති වෙච්ච විශ්වාසය බිඳවැටීමක් තියෙනවා.
බරපතළ විදිහට ඒ විශ්වාසය බිඳ වැටීමේ තත්ත්වයට යම් ප්‍රමාණයකින් හරි මහ බැංකුවේ අදාළ ආංශික අධීක්ෂණ සමීක්ෂණ අංශයත්, විශේෂයෙන්ම මේ වාර්තාව සකස් කිරීමේ කටයුතුවලට මැදිහත් වෙච්ච අයත්, වර්තමාන මහ බැංකු අධිපතිවරයාත් යම් සාධාරණත්වයක් ඉටුකර තිබෙනවා කියන එක මම කියන්න කැමතියි.
මොකද ඒකට හේතුව 2016 අවුරුද්දෙත් 2015 අවුරුද්දෙත් ආර්ථිකය පිළිබඳ ඇත්ත තත්ත්වය දේශපාලන වාර්තාවක් බවට පත් නොවී යම් ප්‍රමාණයකට හරි ඉදිරිපත් කරන්න මහ බැංකුව කටයුතු කරලා තිබුණා. යම් තරමකට විශේෂයෙන් මම කොටස් කිහිපයක් උපුටා දක්වනවා.
මුලින්ම මෙහි ඔවුන් සඳහන් කරනවා ආර්ථිකය පිළිබඳව 'අපේ ආර්ථිකය තුළ රටේ තියෙන දිගුකාලීනව පැවතගෙන එන ව්‍යූහාත්මක ගැටලුවලට උත්තරයක් දෙන්නේ නැතිව ආර්ථිකයේ ඉස්සරහට යන්න බෑ' කියලා. මේ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි.
අපි මෙතෙක් රටක් හැටියට විශේෂයෙන් එ.ජා.ප.යත් ශ්‍රී.ල.නි.ප.යේත්, හවුල් ආණ්ඩුවලත් තනි ආණ්ඩුවලත් තියෙන නොවෙනස් ප්‍රතිපත්ති නිසා තමයි රට අසාර්ථක වෙලා තියෙන්නේ කියන එක ඉතා පැහැදිලිව මහ බැංකු වාර්තාවේ පෙන්වලා තියෙනවා. ඒක ඉතාම බරපතළ කාරණාවක්.
මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නෙ මහ බැංකුවේ වත්මන් අධිපතිතුමාටත් එහි කාර්යමණ්ඩලයටත් වර්තමාන ක්‍රියාකාරීත්වය තුළ ඔවුන් ඒක ඉතා හොඳින් දැකලා තියෙන නිසා. මහ බැංකු වාර්තාවේ 03 වෙනි පිටුවේ සඳහන් කරනවා ලෝක අපනයනවලින් ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රතිශතය අඛණ්ඩව පහත වැටීම තුළින් පෙන්නුම් කෙරෙන ආර්ථිකයේ තරගකාරීත්වය අඩුවීම හා මෙරට අපනයන වෙළෙඳාම තුළ පවතින දුර්වලතා හේතුවෙන් ශුද්ධ විදේශීය ඉල්ලුම නාමික වශයෙන් 9.6%කින්, මූර්ත වශයෙන් 22.5%කින් අඩු වී ඇති බව. මින් ඉතා පැහැදිලිව පේනවා මේ ආණ්ඩුව මොනවා කිව්වත් ලෝක අපනයන තත්ත්වයන් තුළ අපේ අපනයන පංගුව 22.5%කින් සැබෑ ලෙස උද්ධමනය අඩු කළාට පසු 22.5%කින් අඩුවෙලා තියෙනවා කියලා.
ඒ වගේම 09 වෙනි පිටුවේ කියනවා කෘෂිකාර්මික හා කාර්මික අපනයන ආදායම පහළ යාම හේතුවෙන් 2010 වසරේදී අපනයන ආදායම අඛණ්ඩව 02 වැනි වසරටත් අඩු වෙලා කියලා. ඒ විතරක් නොවෙයි රටේ අපනයන ආදායම අඩු වෙනකොට, ආර්ථිකයට ලැබෙන ආදායම අඩු වෙනකොට, ජනතාවගේ ජීවන මට්ටම බිඳ වැටෙනවා. ජනතාවගේ අතට එන ආදායම තමයි අඩු වෙන්නේ.
නමුත් ආණ්ඩුව කරන්නේ ජනතාවගේ අතට එන ආදායමෙන් ආණ්ඩුවේ පැවැත්මට බදු ගහලා, දඩ ගහලා, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දැමීම. ඒ නිසා මේ වාර්තාවේ පැහැදිලි කරනවා 2015 තිබුණ 3.8 උද්ධමනය 2016 වනවිට 4% දක්වා ඉහළ ගිය බව. ඒක සංසන්දනය කරනවා නම් 2014 වසරත් එක්ක 2.2 ඉදලා තමයි 4% දක්වා දෙගුණයකින් අවුරුදු 02 ක් ඇතුළත උද්ධමනය වැඩි වෙලා තියෙන්නේ.
වඩා බරපතළම දේ තමයි (වාර්තාව උපුටා දක්වමින්) 'මූලික වශයෙන් රජයේ විදේශ ණය ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් 2010 වසර තුළදී විදේශ ණය ප්‍රමාණය ඉහළ ගියේය. නොපියවූ මුල් විදේශ ණය ප්‍රමාණය 2015 වසරේදී අවසානයේ පැවැති ඇ.ඩො. මිලියන 44.8 දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 55.7%ක සිට 2016 වසර වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 46.6 ක් දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 58.3%ක් දක්වා ඉහළ ගියා.
ඒ වගේම තව දෙයක් තියනවා 2016 දී නොපියවූ විදේශ ණය සඳහා සිදුකළ පොලී ගෙවීම, 2015 වසරේදී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1190 සිට ඩොලර් බිලියන 1209 දක්වා ඉහළ ගියේය. 2016 වසරේ ස්ටර්ලින් පවුම් හැර අනෙකුත් ප්‍රධාන මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම සිදු විය.'
මං මේ කාරණා කිහිපය ගත්තේ කියන්න, මහ බැංකු වාර්තාවක් පිළිබඳ විවාදයක් කරන්නේ ආර්ථිකයේ ඇත්ත ස්වරූපය පාර්ලිමේන්තුව තුළ හරියට විග්රහ කරගැනීමට. මේ ව්‍යූහාත්මක ගැටලුවලට පාර්ලිමේන්තුව උත්තර හොයන්නේ නැත්නම් රට ඉදිරියට යන්නේ නෑ කියලා මේ වාර්තාවේ සඳහන් වෙනවා.
මුදල් අමාත්‍යවරයා ඉල්ලා අස්වීම ගැන අපි කැමතියි. මුදල් අමාත්‍යවරයා කියන විදිහට එතුමාගේ පැත්තෙන් යම් පූර්වාදර්ශයක් දී තිබෙනවා. මොකටද මෙවැනි චෝදනාවක් එල්ල වුණාම ඉල්ලා අස්වීම නිසා. නමුත් චෝදනාව එතුමා දන්න නිසා, විශ්වාසභංගයක් ළඟටම එන්නේ නැතුව ඉන් පරාජය වීම සහතික වූවාට පසු ඉල්ලා අස්වෙනවාට වඩා හොඳකම තිබුණෙ කලින්ම ඉල්ලා අස් වුණා නම්, ආණ්ඩුවෙත් ඇප බේරගෙන තමන්ගෙත් නම්බුව බේරාගෙන.
නමුත් නිධානයට බිල්ල වුණේ එතුමා වුණාට නිධානය කොහෙද කියලා අපි හොයාගෙන නෑ. නිධානය මංකොල්ලකෑවද කියලා හොයලා නෑ. ප්රශ්නය තියෙන්නේ මේ මුළුමහත් ක්‍රියාවලිය ඇතුළෙ ආර්ථිකයට එල්ල වුණු පාඩුව එතුමාට එල්ල වුණු ඉලක්කම නොවෙයි. ඇත්තටම තියෙන්නේ මිනීමැරුමක් හොයන්න ගිහිල්ලා පරීක්ෂණ කණ්ඩායමට ස්ත්‍රී දූෂණයක් හම්බ වුණා වගේ වැඩක්.
මිනීමැරුම ගැන පරීක්ෂණය තවම ඉවර නෑනේ. ඒකට වගකිව යුත්තන් කවුද කියලා හොයලා නෑනේ. ඒ නිසා දැන් මිනීමැරුම ගැනත් හොයන්න ඕනේ. එහෙම නැතුව මුළුමහත් ක්‍රියාවලියම මේකෙන් අවසන් කියලා නෙවේ. හැබැයි එතුමා පූර්වාදර්ශයක් දීලා තියෙනවා මෙහෙම කළොත් ඊළඟ ඇමති මණ්ඩලයටත් මෙහෙම වෙනවා කියලා.
හැබැයි මේකත් කියන්න ඕනේ. දැන් ආණ්ඩුවේ ඇමති කෙනෙක් ඉල්ලා අස්වුණා, ඒ හින්දා අපි දැන් කවුරුත් වංචනිකයෝ, හොරු නෙවේ හරිම ශුද්ධවන්තයෝ කියලා තවත් පිරිසක් සතුටු වෙනවා නම් ඒ ජොලිය ගන්න එක තේරුමක් නැති වැඩක්. හේතුව මේ රටේ ජනවරම ආණ්ඩුවට ලැබිලා තියෙන්නේ මේ රටට වුණ හානි, දූෂණ, නාස්තිය හෙළිදරව් කරලා දඬුවම් දෙන්න.
ඒ දඬුවම් දීමේ ක්‍රියාවලිය නීත්‍යනුකූලව ආණ්ඩුව කරන්නේ නෑ. ආණ්ඩුව පරණ හොරුයි, අලුත් හොරුයි දෙගොල්ලොම ආරක්ෂා කරනවා. ඒකෙ අවසානයේ බිල්ල බවට පත්වුණේ රවි කරුණානායක ඇමතිවරයා. නමුත් අපි කියන්නෙ මේ මුළු ක්‍රියාවලියම පරීක්ෂාවට ලක්වෙන්න ඕනේ. එය රටට අනාවරණය විය යුතුයි.
ජනාධිපති කොමිසමෙන් අපි ඉල්ලා සිටිනවා දැන් මේක ආණ්ඩුවේ ජයග්‍රහණයක් නොකරන්න කියලා. යහපාලනය කියන්නේ විශ්වාසභංගය එනකොට ඉල්ලා අස්වීම නොවෙයි. රාජිත ඇමතිවරයාගෙන් අහන්න කැමතියි මේක ලූනු බිකක් නම් ලූනු ගෙඩියෙ තරම කොච්චරද කියලා. ගෙඩි නෙවේ ලූනු ගෝනියක්ම ඇති.
රාජිත ඇමතිතුමාගේ මෝදර ධීවර ගනුදෙනුවෙ තරම කොච්චරද කියලා හොයන්න ඕනේ. මේක පාර්ලිමේන්තුව ලැබූ ජයග්‍රහණයක්. මේ රටේ ජනතාව ලබපු ජයග්‍රහණයක්. කෝප් කාරක සභාව හැටියට අපි ඉතා දුෂ්කර කාර්යයක් කරලා ඉදිරිපත් කළ වාර්තාව ඉන් ඉදිරියට ගිහිල්ලා තමයි මේ ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ* යැයිද පෙන්වා දුන්නේය.