Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
පසුගිය සතියේ ආණ්ඩුව ඡන්ද දෙකකට මුහුණ දුන්නේය. මාර්තු 27 වැනිදා ජිනීවාහිදී ඇමෙරිකාව ඉදිරිපත් කළ මානව හිමිකම් යෝජනාව සම්මත කර ගැනීමේ ඡන්දය එකකි. අනෙක 29 වැනිදා බස්නාහිර සහ දකුණ පළාත් සභා ඡන්දයයි. මේ ඡන්ද දෙකම තමන් ජයග්‍රහණය කළ බව ආණ්ඩුවේ තර්කයයි.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් කඩවීම් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය යැයි ඇමෙරිකාව ගෙනා යෝජනාව ඇමෙරිකාව ජයගත්තේ ඡන්ද 23 කට 12 ක් වශයෙනි. මෙහිදී තවත් රටවල් 12 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ඒ අනුව වැඩි ඡන්ද 11 කින් යෝජනාව සම්මත විය. දැන් උගත්පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධව සොයා බැලූ 2002 පෙබරවාරි මස 22 දින සිට 2009 මැයි 19 වැනිදා දක්වා වූ කාලයේදී ශ්‍රී ලංකා රජයත් එල්.ටී.ටී.ඊ. යත් මානව හිමිකම් කඩ කළේද, ඒවායේ ප්‍රමාණයන් කොතරම්ද කියා සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමකට අවස්ථාව හිමිවේ. එහිදී එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියට මේ කණ්ඩායම පත් කිරීමටත් එම පරීක්ෂණය කිරීමටත් බලය හිමිව තිබේ.
මෙම පරීක්ෂණයේ ප්‍රතිඵලය ලබන වසරේදී එළිදැක්වෙන අතර, මානව හිමිකම් කඩවී ඇතියැයි තීරණය වුවහොත් ඉදිරි කටයුතු තීරණය කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට එම වාර්තාව යොමු කරනු ලැබේ. එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව යම් තීරණයක් ගැනීමට ආරක්ෂක මණ්ඩලයට අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකා රජය බියකින් හෝ සැකයකින් තොරව සිටින්නේ ආරක්ෂක මණ්ඩලයේදී චීනයත් රුසියාවත් තමන්ට සහාය පළ කරන බව දන්නා හෙයිනි. ඒ සඳහා මේ වසරේදී ඔවුන් තරහකර නොගෙන සිටින්නට අපට සිදුවනු ඇත. චීනය සමග අත්සන් කරන නිදහස් වෙළෙඳ ගිවිසුම හේතුවෙන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට චීනයේ උදව්ව ලැබෙනු ඇත. එහෙත් ක්‍රයිමියා ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියාවේ පැත්ත ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකිය. එසේ වුවහොත් එය ශ්‍රී ලංකාවට පාරාවළල්ලක් විය හැකිය. එහෙයින් ඒ සම්බන්ධයෙන් කතා නොකර සිටීමට උත්සාහ කිරීම වැදගත්ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්බාධක පැනවීමක් නොකළද මෙම වාර්තාව නිකුත් වූ පසු එම වාර්තාවේ කරුණු මත පදනම්ව ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පනවන්නට අදාළ රටවලට හැකිය. විශේෂයෙන්ම ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව පැහැදිලිය. මානව හිමිකම් කවුන්සලයේදී යුරෝපයේ රටවල් 13 ක් තනි ඒකකයක් ලෙස කටයුතු කිරීම නිසා යුරෝපීය සංගමය ගන්නා තීරණය මෙම රටවල් 13 ම ක්‍රියාත්මක කරන්නට ඇති ඉඩ වැඩිය. දෙමළ ඩයස්පෝරාව ශක්තිමත්ව ක්‍රියාත්මක වන මෙම කලාපයේදී එවැනි තීරණයක් ගැනීමට යුරෝපීය සංගමය යොමු නොවෙතැයි සිතීම අපහසුය.
ශ්‍රී ලංකාව සුපුරුදු ප්‍රතිචාරය දැක්වූයේ මෙම යෝජනාව පිළිගන්නේ නැතැයි කියමිනි. ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීම රටක ස්වෛරීභාවයට ඍජුව අභියෝග කිරීමකි. මේ නිසා මෙවැනි පරීක්ෂණයකට එකඟ වීමට කිසිදු රටකට නොහැකිය. එහෙත් මෙම යෝජනාවෙන් කියවෙන්නේ ශ්‍රී ලංකා රජය පමණක් නොව එල්.ටී.ටී.ඊ.යද කළ මානව හිමිකම් කඩවීම් ගැන සොයා බැලිය යුතු බවයි. නවනීදන් පිල්ලේ පවසන්නේ රජයේ මානව හිමිකම් කඩවීම් නිසා අපහසුවට ලක්වූවන් මෙන්ම එල්.ටී.ටී.ඊ.යේ මානව හිමිකම් කඩවීම් නිසා අපහසුවට ලක්වූවන්ද සාධාරණයක් බලාපොරොත්තු වන බවයි.
මෙම ප්‍රකාශය වැදගත් වෙන්නේ මෙය එක් අරමුණක් සිතේ තබාගෙන කරන කටයුත්තක් නොවන්නේ යැයි අර්ථ ගැනීමක් ඒ අනුව ඇති නිසාය. අන්තර්ජාතික පරීක්ෂණ කමිටුව එය කෙසේ කරයිද යන්න ගැන වද වෙනවාට වඩා එල්.ටී.ටී.ඊ.යෙන් මානව හිමිකම් කඩවූවන් රැස් කර නිවැරදි තොරතුරු ලබාදෙන්නට රජයට හැකියාවක් ඇත. එහිදී කරුණා අම්මාන් රැකගැනීම, කේ.පී. රැකගැනීම රජයේ කාර්යය වන්නට ගියහොත් අපට පාඩු සිදුවනු ඇත. අනෙක් අතින් ජාත්‍යන්තර පරීක්ෂණයක් මෙන්ම දේශීය පරීක්ෂණයක් ගැනද සම්මත වූ යෝජනාවේ තිබීම නිසා ඒ සම්බන්ධයෙන් වඩාත් දැනෙන ආකාරයෙන් කටයුතු කරන්නට ශ්‍රී ලංකාවට අවස්ථාවක් තිබේ.
ඉන්දියාව මහ මැතිවරණයක් අතේ තබාගෙන මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටියේය. එය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් මහා කාරුණික පියවරක් වන්නේ නැත. එයට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ධීවරයන් නිදහස් කරන්නට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අණ කළේය. මෙය ඉක්මන් වීමකි. ඉන්දියාව අත ඉස්සුවේ නැත්තේ ඇයිද යන්න වඩාත් ගැඹුරින් සිතිය යුතුය.
මෙම යෝජනාවට අනුව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා හමුදාව කළ කටයුතු සම්බන්ධව පමණක් නොවේ. එල්.ටී.ටී.ඊ.යේ කටයුතුද සොයා බැලෙයි. මෙම කටයුතු ගැන සොයන්නට ගියහොත් දකුණු ඉන්දියාව ගෑවීම නතර කරන්නට බැරිය. පාලක කොංග්‍රසයට තමිල්නාඩුවේදී මේ කතාව කියා ගැලවෙන්නට හැකිය. එසේම එල්.ටී.ටී.ඊ.යට හානියක් විය හැකි බැවින් මෙම යෝජනාවට පක්ෂ වූයේ නැතැයි පොකට් මීටින්වලදී කටේ තොලේ නොගෑවී කියා දමන්නට කොංග්‍රසයට හැකිය. ජයලලිතා හෝ කරුණානිධි පාලක කොංග්‍රසය ඡන්දය නොදීම දිගින් දිගටම විවේචනය කරන්නට ගියහොත් ඌරාගේ මාළු උගේ පිටේම තබා කපන්නට අවස්ථාවක් කොංග්‍රසයට මේ සමග උදාවෙයි.
අනෙක් අතින් ජාත්‍යන්තර පරීක්ෂණයකට කැමැත්ත පළ කරන්නට වුවහොත් ඉන්දියාවේ අභ්‍යන්තරිකව නිර්මාණය වෙමින් පවතින මානව හිමිකම් කඩවීම් සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන්ද පරීක්ෂණ ඉල්ලීමට ඉඩ තිබේ. විශේෂයෙන් කාශ්මීරයේ තත්ත්වය ගැන පාකිස්තානය යෝජනාවක් ගෙනාවොත් ඉන්දියාව ගිරයට හසුවන පුවක් ගෙඩියක් වන්නේය. මේ නිසා ඉන්දියාව අවස්ථාවට නිසි පරිදි මුහුණදී රැවුලත් කැඳත් බේරා ගත්තේය. මේ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කළ උදව් මතක තබාගැනීමේ ගුණය මේ අවස්ථාවේදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රියාත්මක නොකළාට කමක් නැත. මන්ද එසේ වුවහොත් උතුරේ නොව රට වටාම මාළු ඇල්ලීමට තමිල්නාඩු ධීවරයන් පැමිණිය හැකි බැවිනි.
ආණ්ඩුවේ තර්කය ජිනීවා ඡන්දය දිනුම් බවයි. ඒ යෝජනාවට විරුද්ධ වූ පිරිස සහ ඡන්දය පාවිච්චි නොකළ පිරිස යන දෙපිරිසම යෝජනාවට විපක්ෂ බව කියමිනි. එහෙත් ඡන්දය පාවිච්චි නොකරන්නේ විපක්ෂ නිසා නොවේ. යම් යෝජනාවක් සම්බන්ධයෙන් තමන්ගේ අකැමැත්තක් වේ නම් කළ යුතු වන්නේ එම යෝජනාවට විරුද්ධ වී එය පරාජය කිරීමයි. එහෙත් නිහඬව සිටීමෙන් පෙන්වන්නේ තමන්ගේ අකැමැත්තක් නොවන බවයි. මේ නිසා ඇත්ත වශයෙන්ම ජිනීවා ඡන්දය ආණ්ඩුව පරාදය.
මේ අතර ආණ්ඩුවේ ප්රචාරක යාන්ත්‍රණය යෝජනාවට පක්ෂ වූ රටවල්වල ජනගහනය එකතු කරමින් බිලියන ගණනින් යෝජනාව ප්‍රතික්ෂේප කළේ යැයි සුරංගනා කතන්දර කියමින් යයි. මෙවැනි ළමා කතා වර්තමානයේ දරුවන්ට කිව්වත් 'බොරු කියන්න එපා තාත්තේ' යැයි කියනු ඇත. චීනයේ ජනගහනයෙන් ලංකාවට එරෙහි යෝජනාවක් ගැන දන්නේ කී දෙනාදැයිද කියා ඇසුවොත් එය කෝච්චියක දමන්නට හැකි ප්‍රමාණයකට අඩු මිසක් වැඩි නොවනු ඇත. වෙනකක් තියා ශ්‍රී ලංකාවේද ජිනීවා මානව හිමිකම් යෝජනා ගැන දැන සිටින්නේ සාපේක්ෂව අඩු පිරිසකි. පිටි පැකට් එක අඩු වනතුරු බලා සිටින මිනිස්සුන්ට මොන ජිනීවාද? එහෙයින් බිලියන ගණනින් කතා කරන්නට නොගොස් යථාර්ථයට මුහුණ දිය යුතුය.
මේ යෝජනාව සම්මත වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු නම් ඔවුන්ගේ මානව හිමිකම් සමුළුවේදී සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කරන්නට ඉඩදීමට අපි බැඳී සිටිමු. දැන් අවශ්‍ය වන්නේ ඔවුන්ගේ පරීක්ෂණයේදී අප වැඩියෙන් ලකුණු ලබාගැනීම මිස ඔවුන්ගේ අඩුපාඩු කියවමින් සිටීම නොවේ. එම කටයුත්ත දේශීය වශයෙන් ආණ්ඩුවට හොඳ වුවත් ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ට මෙය බරපතළ තත්ත්වයක් නිර්මාණය කරමින් සිටින බව පැහැදිලිය.
බස්නාහිර දකුණ පළාත් සභා ඡන්දය පැවැත්වෙන්නේ ජිනීවා පරාජයෙන් පැය 48 කට පසුවය. මේ ඡන්දයේදී ආණ්ඩුව විදුලි පුටු හෝ වෙනත් කතා ගැන වැඩියෙන් කියන්නට ගියේ නැත. එසේවන්නේ නැති බව මේ පළාත් දෙකේ මිනිස්සු හොඳින්ම දන්නා නිසා ආණ්ඩුව ඊට වඩා උපායශීලී විය. ආණ්ඩුව ජාත්‍යන්තර බලවේගවලට එරෙහිව ඉදිරියට එන්නැයි ජනතාවට කියන්න ගියේද නැත. ඔවුන් මේ ඡන්දය යොදා ගත්තේ ජිනීවා ගැන කතාන්දරය මිනිසුන්ට අමතක කර දැමීම සඳහාය. එය උපාය මාර්ගික කටයුත්තක්ද නැද්ද කියා ආණ්ඩුවවත් ආරම්භයේදී දැන නොසිටින්නට ඇත. එහෙත් මේවන විට එය ආණ්ඩුවට වාසි සහගත අයුරින් නිර්මාණය වී තිබේ.
බස්නාහිර සහ දකුණින් ආණ්ඩුවට මන්ත්‍රී ධුර 17 ක් අහිමි වීම බරපතළ තත්ත්වයක් නොවේ යැයි ආණ්ඩුවේ මතයයි. 2009 දී යුද්ධය දිනා විපක්ෂයක් නොමැතිව ලබාගත් ජයග්‍රහණය සමග මේ ජයග්‍රහණය සම කරන්නට එපා යැයි ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා ඉල්ලයි. එය නිවැරදිය. එහෙත් ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාවලිය අස්සේ යන දූෂණය හෙළිකිරීම ඡන්ද ලැබීමට හේතුවක් වී ඇති බව ප්රජාතන්ත්රවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් මන්ත්‍රී ආසන අනුව පෙනී යයි. මේ පක්ෂ දෙකම ආණ්ඩුවේ දූෂණ ගැන එළිපිට කතා කළේය.
එක්සත් ජාතික පක්ෂයද එය කළද එය සුජාත කරන්නට ඔවුන්ට හැකිවන්නේ නැත. හේතුව වර්තමානයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යනු එදා ජේ.ආර්.ගේ සහ ප්‍රේමදාසගේ එක්සත් ජාතික පක්ෂයම වීමයි. මේ වනවිට දියවී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මේ නිසා යූ.ඇන්.පී. කාරයන්ද ඡන්දය දෙන්නේ සන්ධානයටය. හේතුව ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ ආර්ථික ඉලක්ක සපුරන්නේ සන්ධානය වීම නිසාය. ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායකගේ පැමිණීමෙන් උත්තේජනයක් ලබා ගත් බව පැහැදිලිය. එහෙත් ජ.වි.පෙ.ට මහා බලයක් දෙන්නට තවමත් ජනතාව සූදානම් නැති බව මේ ප්‍රතිඵලය පෙන්නුම් කරයි.
මේ නිසා මේ ඡන්දයේ සැබෑ ජයග්‍රහණය හිමිකර ගත්තේ සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය බව පැහැදිලිය. එහෙත් එය වාසියක් කරගන්නට නම් පක්ෂයේ නායකයා වඩාත් බුද්ධිමත්ව සහ ඉවසිල්ලෙන් වැඩ කටයුතු කළ යුතු බව පැහැදිලි වෙමින් තිබේ.
මේ පසුබැස්ම ගැන දේශපාලන විචාරකයන් කියන්නේ 'ආණ්ඩුවේ උද්දච්ඡකම'ට ජනතාව දුන් උත්තරයක් බවයි. එය නිවැරදිම විග්රහයයි. මේ උද්ධච්ඡකම නිසා අපට ඕනෑම දෙයක් කරන්නට හැකියි යන මතය ආණ්ඩුව ඇති කරගෙන තිබෙන අතර, කිසිවෙකු කියන දෙයක් අසන්නට වුවමනාවක්ද ආණ්ඩුවට නොවීය. මේ නිසා ජනතාව මේ කරන්නේ මේ ආණ්ඩුව ඉවත් කරන්නට උත්සාහ කිරීම නොව ආණ්ඩුවේ උද්ධච්ඡකම නැති කිරීමට ක්‍රියා කිරීම බව පැහැදිලිය. යූ.ඇන්.පී.ය සහ ආණ්ඩුව අතර වෙනසක් නැති නිසා යූ.ඇන්.පී.ය බලයට ගෙනෙන්නට කියා විශාල අවශ්‍යතාවක් ජනතාවට නැත.
එය වැඩි වෙන්නේ ආණ්ඩුව උද්ධච්ඡකමේ උපරිමයට ගොස් ජනතාව අමතක කළ විටය. ඊට පෙර හැදෙන්නට අවස්ථාවක් ජනතාව ආණ්ඩුවට ලබා දී ඇති බව මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනේ. බහුතර මතයට ඉඩ දීම ප්රජාතන්ත්රවාදයේ ලක්ෂණය නම් ඡන්දය ප්‍රකාශ කරන්නට නොපැමිණි පිරිස ගැන නොසිතා ඡන්දය ප්‍රකාශ කළ බහුතරයේ කැමැත්තට අනුව සන්ධානය පළාත් සභා දෙක පාලනය කරනු ඇත. එය නිවැරදි සහ ප්රජාතන්ත්රවාදී ක්‍රමයයි. මේ අනුව බස්නාහිර සහ දකුණ ආණ්ඩුව දිනුම්ය. එහෙත් රතු එළි දැල්වී තිබේ.
ජිනීවා ආණ්ඩුව පරාදය. එහිදීද රතු එළි දැල්වී තිබේ. මේ නිසා පසුගිය සතියේ ආණ්ඩුව මුහුණ දුන් ඡන්ද දෙකෙන් ජාත්‍යන්තර ඡන්දයෙන් පැරදී දේශීය ඡන්දය ජයගත් බව පිළිගත යුතුය. එහෙත් ජිනීවා ඡන්දය දිනුම් යැයි ආණ්ඩුව කියන්නේ නම් තමන් පළාත් සභා පරාජය වූ බව ආණ්ඩුවට පිළිගන්නට සිදුවනු ඇත.
මේ රතු එළි දෙකෙන්ම පෙන්වා දෙන්නේ දේශීයවත් ජාත්‍යන්තරවත් ආණ්ඩුවේ 'උද්ධච්ඡකම' නැති කර ගැනීමට කාලය පැමිණ තිබෙන බවයි.
එසේ නොකළහොත් ආණ්ඩුවට ගෙදර යන්නට වෙන දිනය ඉක්මන් වන අතර, රටක් වශයෙන් ජාත්‍යන්තරයේ අපට විඳින්න වෙන අපහසුතාවයන්ද වැඩි වෙන්නට පටන් ගන්නා බවයි. ඒ අනුව දකුණ සහ බටහිර ජයග්‍රහණයක් ලෙස ගෙන එම පළාත් සභා දෙකෙන් ජනතාව දුන් පණිවුඩය කියවීමත්, ජිනීවා පරාජයක් ලෙස ගෙන එම පරාජයට හේතු වූ කාරණා නිවැරදි කර ගැනීමත් ආණ්ඩුව කළ යුතුය. එසේම පරීක්ෂණයකට ශක්තිමත්ව මුහුණ දීමට රට සූදානම් කිරීමද ආණ්ඩුව ඉතාම ඉක්මනින් කළ යුතුය.
සූදානම් කිරීම යනු රට රැක ගැනීමට බෝධි පූජා තැබීම හෝ පිල්ලේ වශී කරගන්නට ගුරුකම් කිරීම නොවේ. ජාත්‍යන්තර පරීක්ෂණයක ස්වභාවය කුමක්ද යන්න තම රට වැසියාට කියා දීමයි. එබඳු පරීක්ෂණයකදී තොරතුරු ප්‍රභවයන් බවට පත්වන ජනතාවට නිවැරදි, පිළිගත හැකි තොරතුරු අනාවරණය කිරීමේ වැදගත්කම කියා දීමයි. නවනීදන් පිල්ලේ වදයක් ලෙස නොව අපේ අනාගතයට ශක්තියක් කර ගන්නේ කෙසේද යන්න ගැන සැලසුම් හැදීමයි.
ජනතාව බුද්ධිමත් බවත්, වේදිකාවේ ගී ගැයුවාට පමණක් ඡන්දය නොදෙන බවත්, ආණ්ඩුවට දැන්වත් තේරුම් යා යුතුය. එසේ වූවා නම් ජ.වි.පෙ.ට සහ ප්රජාතන්ත්රවාදී පක්ෂයට එකම මන්ත්‍රී ධුරයක්වත් ලැබෙන්නේ නැත. මේ නිසා ජනතා නියෝජිතයන් තෝරා ගැනීමේ වැදගත්කම ජනතාව තේරුම් ගනිමින් සිටින බවත්, ඔවුන් තවදුරටත් සබුද්ධික වීම හරහා මායාවෙන් මිදෙන බවත් ආණ්ඩුව තේරුම් ගත යුතුය. දැන් කළ යුත්තේ ඔවුන්ව මායාවට ඇද දැමීම නොව ආණ්ඩුව මායාවෙන් මිදී බුද්ධියෙන් වැඩ කටයුතු කිරීමයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd