ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු කුමක් ද ?
ඕනෑම රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු එම රටේ ක්‍රියාත්මක වන මුඛ්‍ය නීති පද්ධතිය අඩංගු කිසිවෙකුටත් අභියෝග කළ නොහැකි උත්තරීතර ලේඛනයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයකි. ඒවා පහත පරිදි වේ.
1. ජනතාවගේ අයිතිවාසිකම් සහතික කිරීම සහ ඒවා ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදය හඳුන්වා දීම.
2. ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලතල ක්‍රියාත්මක කළ යුත්තේ කවුරුන් විසින් හා කෙසේ ද යන්න නිර්ණය කිරීම.
3. රාජ්‍ය විසින් නොයෙකුත් ක්ෂේත්‍ර පිළිබඳ අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති මොනවා ද යන්න නිර්ණය කර තිබීම.
4. රාජ්‍ය විසින් පවත්වාගෙන යා යුතු ආයතන හා ඒවායේ බලතල නිර්ණය කිර තිබීම.
මෙහිදී රාජ්‍යයේ ස්වභාවය කුමක් ද යන්න ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු අතර, රට තුළ අසමානතාවකින් තොර ව නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම ද තහවුරු විය යුතු ය. ‘රටේ වෙසෙන පාලිතයන් පමණක් නොව නීතිය හදන පාලකයන් ද නීතියට යටත් ය’ යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිගත් මූලිකම සංකල්පයකි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
වර්තමානයේ දක්නට ලැබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ ඉතිහාසය තුළ මුලින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ස්වරූපයක් ගත් ප්රතිසංස්කරණයක් ලෙස හඳුන්වා දිය හැක්කේ 1833 කෝල්බෲක් - කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා ය. මධ්‍යගත පාලන ක්‍රමය, ව්‍යවස්ථාදායක, විධායක සභා ස්ථාපිත කිරීම, රාජ්‍ය සිවිල් සේවය ස්ථාපිත කිරීම, අධිකරණ ක්‍රමය නියමානුකූල කිරීම ඊට ඇතුළත්ය. පසුව 1911 මැකලම් ප්‍රතිසංස්කරණ යෝජනාවලිය මගින් එය වඩාත් විධිමත් වූ අතර, 1920 මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ තුළින් ව්‍යවස්ථාදායකයේ බලය තරමක් ශක්තිමත් විය. පසුව 1931 ඩොනමෝර් ආණ්ඩුක්රමය සමග සර්වජන ඡන්ද බලය ශ්‍රී ලාංකිකයන්ට හිමි විය. 1948 ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් අපට ලැබුණේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි.
පළමු ජනරජ ව්‍යවස්ථාව
ශ්‍රී ලංකාව පූර්ණ ස්වෛරීභාවයකින් යුත් රාජ්‍යයක් බවට පත් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලාංකිකයන්ට තිබුණේ වුව ද එවැනි නිදහස් තත්ත්වයක් තහවුරු කර ගැනීම පිණිස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා සෝල්බරි ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට බලයක් දී නොතිබුණි. සමගි පෙරමුණු සන්ධානය 1970 මහ මැතිවරණයේ දී පූර්ණ ස්වාධිපත්යයකින් යුත් ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා ජනවරමක් ඉල්ලා සිටින ලදී. එම මැතිවරණයෙන් ලද ජයග්‍රහණයත් සමග සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරිය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ආරම්භ කළ අතර, ඊට නායකත්වය ලබා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක ඇමති ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ය.
නීතිය පිළිබඳ පැවති හසල දැනීම හා බුද්ධිය අනුව පාර්ලිමේන්තුව තුළ සිට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට බලයක් නොමැති බව වටහාගත් ඔහු පාර්ලිමේන්තු සභිකයන් පාර්ලිමේන්තුවෙන් පරිබාහිර තැනක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් (Constitutional Assembly) ලෙස රැස් වී නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම ආරම්භ කළේ ය. එම මණ්ඩලය රැස් වූයේ කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහල පරිශ්‍රයේ ය. එසේ සම්පාදනය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 1972 මැයි 22 වැනි දින එය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත්හ. එවක පටන් පාර්ලිමේන්තුව වෙනුවට ජාතික රාජ්‍ය සභාව ආදේශ විය. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට අවකාශ නොමැති කම නිසා එසේ අනුගමනය කළ ක්‍රමය, විප්ලවකාරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් කිරීමේ ක්‍රියාදායමක් විය.
1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 වන ව්‍යවස්ථාව අනුව එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවලංගුකොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා නෛතික අධිකාරිය ජාතික රාජ්‍ය සභාව වෙත පැවරී ඇති අතර, අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ද එහි දක්වා ඇත. 1977 මැතිවරණයෙන් 5/6 ක බලයක් ලබාගත් ජේ.ආර්. ජයවර්ධන අගමැතිගේ ආණ්ඩුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ බාධාවක් නොවූයේ 1972 ව්‍යවස්ථාවේ ඉහත කී ප්‍රතිපාදන සලසා තිබීම නිසාවෙනි. ඒ අනුව ඔහු 1978 වසරේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත්තේ ය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 සහ 82(2) ව්‍යවස්ථා අනුව එම ව්‍යවස්ථාව අවලංගු කොට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා බලය පාර්ලිමේන්තුව වෙත පැවරී ඇත. එම බලය ක්‍රියාත්මක කළ යුත්තේ සහ කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූලව පමණි. ඒ අනුව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට බලයක් ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මුල පටන් නීතිවිරෝධී එකකි
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ දී පාර්ලිමේන්තුවෙන් පිට ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවාගෙන කටයුතු කරනු ලැබුවේ පාර්ලිමේන්තුව තුළ එවැනි කටයුත්තකට නීතියෙන් ඉඩ නොමැති නිසා ය. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කොට 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත් කිරීමේ වගකීම ජේ.ආර් ජයවර්ධන ඔහුගේ මිතුරෙකු වූ දේශපාලන විද්‍යා මහාචාර්ය ඇල්ෆ්‍රඩ් ජයරත්නම් විල්සන් මහතාට පැවරීය. ඔහු සම්පාදනය කළ කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය අනුමත කිරීමෙන් පසු 1972 ව්‍යවස්ථාවේ 51 ව්‍යවස්ථාව අනුව ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් විය. 1978 ව්‍යවස්ථාවේ ද ඊට සමාන ප්‍රතිපාදන 82 වන ව්‍යවස්ථාවේ පවතින හෙයින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ බාධාවක් නැත. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් පාර්ලිමේන්තුව තුළ පත් කිරීමට 1978 ව්‍යවස්ථාවේ කිසිදු අයුරකින් බලයක් පාර්ලිමේන්තුවට ලබා දී නොමැත. නව ව්‍යවස්ථාවක් සකසා ගැනීමට ආණ්ඩුවට අසීරු කාරණයක් වන්නේ නම් ඒ සඳහා සහාය ලබා ගැනීමට ආණ්ඩුවට කළ හැක්කේ ස්ථාවර නියෝග අනුව තේරීම් කාරක සභාවක් පත් කරගෙන ඒ මගින් නිර්දේශ ලබා ගැනීමය. ඒ අනුව දැනට පාර්ලිමේන්තුව විසින් පත් කොට ගෙන ඇති ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සහ මෙහෙයුම් කමිටුව මුල පටන්ම සහ එනයින්ම අවලංගු හා බලශූන්‍ය වේ.
ව්‍යවස්ථාදායක මණ්ඩලය බල ශූන්‍ය බව ප්‍රකාශ කිරීමට අධිකරණයට බලය ඇත්තේය
ව්‍යවස්ථාදායකය ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනයක් වන අතර, එහි කටයුතු සම්බන්ධව නඩු විමසීමට හෝ තීන්දු දීමට අධිකරණයට බලයක් නැත. එය ලොව පුරා ප්රජාතන්ත්රවාදී රාජ්‍යයන් තුළ පිළිගත් සම්ප්රදායක් වන අතර, ඒ පිළිබඳව මීට පෙර අධිකරණය හා පාර්ලිමේන්තුව විසින් තීරණ ගෙන ඇත. පාර්ලිමේන්තුව මෙන්ම පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන තේරීම් කාරක සභා, ස්ථාවර තේරීම් කාරක සභා, විශේෂ කාරක සභා සහ පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා යන ආයතනවලට ද මෙම වරප්‍රසාදය හිමි වෙයි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කිසිදු ආකාරයකට පිළි නොගත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හා ස්ථාවර නියෝග මාලාව මගින් ආවරණය නොවන බැහැර වූ ආයතනයක් බැවින් එය නීතියෙන් බලශූන්‍ය වේ. එය පාර්ලිමේන්තු වරප්‍රසාද මගින් ආරක්ෂා නොවන්නකි. එවන් වූ පරිබාහිර ආයතනයක වලංගුභාවය පිළිබඳව තීරණයක් ගැනීමට අධිකරණයට කිසිදු බාධාවක් නොමැත. නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ ක්‍රියාදාමය 78 සහ 82 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මගින් සකසා තිබියදී ඉන් බාහිරව මණ්ඩල පත් කිරීම ව්‍යවස්ථා විරෝධී වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය බල රහිත එකක් වන හෙයින් එම මණ්ඩලය මගින් පත් කරන්නට යෙදුණු මෙහෙයුම් කමිටුව එනයින්ම බල රහිත වන්නේ ය. එමෙන් ම මෙහෙයුම් කමිටුව විසින් සකසා ඇති 2017 සැප්තැම්බර් 21 දිනැති අතුරු වාර්තාව ද නිරායාසයෙන්ම අවලංගු හා බලශූන්‍ය ලේඛනයකි. මහජන මත විමසීම සඳහා පත්කළ කමිටුවටද කිසිදු නීතිමය වලංගු භාවයක් නොමැත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම
ප්රජාතන්ත්රවාදී පාලන ප්‍රවාහය තුළ ජනතාව සිය අභිමතය අනුව මන්ත්‍රීවරු තෝරා ගන්න