පුරා වසර 30ක කාලයක් බෙදුම්වාදයෙන් බැට කෑ අපි, 2009 වසරේ යුද්ධය අවසන් වූ දිනයේ සිට අද දක්වාම හුදෙක් මාධ්‍ය සන්දර්ශනයන්ගෙන් තොරවූ සැබෑ සංහිඳියාව ජීවමාන වන අවස්ථාවක් හෝ ස්ථානයක් සොයමින් සිටිමු. මෙතෙක් කාලයක් අප සොයමින් සිටි ඒ සැබෑ සංහිඳියාව මේ මහපොළොව මත යථාර්ථයක් කිරීමට මේ වන විට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සමත්ව සිටියි. මෙම සටහන ගෙන එනුයේ සැබෑ සංහිඳියාව ගොඩනැගීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉටු කළ එම මෙහෙවර පිළිබඳවය.
යාපනය, මුලතිව් සහ විශේෂයෙන්ම කිලිනොච්චිය යනු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම් දැඩි ලෙස පැවැති ප්රදේශයන්ය. සිහින ඊළාම් රාජ්‍යයේ අගනුවර හෙවත් හදවත වූයේද කිලිනොච්චි ප්රදේශයයි. 2009 වසර වනතෙක්ම වසර ගණනාවක් එහි ජනතාව වාසය කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනයට අනුගතවය. එම කාලය පුරාවට ඔවුන්ට නායකත්වයක් ලැබුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් පමණි. මේ නිසා යුද්ධයෙන් අනතුරුව රජයේ ආරක්ෂක අංශ සමග එම ප්‍රදේශයේ ජනතාව පසු වූයේ එතරම් යහපත් සබඳතාවකින් නොවේ. වසර ගණනාවක යුද මානසිකත්වයේත්, එල්.ටී.ටී.ඊ.යේ සහ උතුරේ ජාතිවාදී දේශපාලනයේත් මොළසේදීම් ක්‍රියාවලියේ ප්‍රතිඵලය එයයි.
කෙසේ නමුත් මෙම ජනතාව අතර සංහිඳියාව ගොඩනගමින් ඔවුන් ප්රජාතන්ත්රවාදී ප්‍රවාහය වෙත එක්කර ගැනීම එවකට පැවැති රජයේ සැලසුම වූ අතර, ඒ අනුව එල්.ටී.ටී.ඊ. පාලන සමයේ එම සංවිධානයේ මූල්‍ය කටයුතු සහ ජාත්‍යන්තර සබඳතා මෙහෙයවූ කිලිනොච්චියේ විශ්වමඩුහි කස්ත්‍රෝ බේස් කඳවුර පිහිටි භූමියේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන අණදෙන මූලස්ථානයක් ස්ථාපනය කිරීමට කටයුතු සම්පාදනය සඳහා සැලසුම් සකස් විය. ඒ අතරවාරයේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පොදුවේ මෙම ප්‍රදේශවල තරුණ පිරිස් පිළිබඳ සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ පිරිස් පිළිබඳ අධ්‍යයනයක් සිදු කිරීමට කටයුතු කරන ලදී. එහිදී මෙම පිරිස්වලට ලැබිය යුතු නායකත්වයේ රික්තකයක් තිබෙන බවට පෙනීගිය අතර, ඒ අනුව විශ්වමඩුහි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මූලස්ථානය පිහිටුවීමෙන් අනතුරුව එහි අණදෙන නිලධාරියා ලෙස ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා ඇතුළු දක්ෂ නිලධාරීන් කිහිපදෙනෙකු අනුයුක්ත කරන ලදී.
ලුතිනන් කර්නල් රත්නප්‍රිය මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම එම ප්‍රදේශවල ජනතාවගේ සහ පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන්ගේ ජන ජීවිතය පිළිබඳ කළ පැය 72ක අධ්‍යයනයකින් පසුව සොයාගත් කරුණක් වූයේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි තරුණ තරුණියන් විශාල පිරිසක් විරැකියා ගැටලුවකින් පීඩිතව සිටින බවයි. එම ගැටලුව සමස්ත උතුරටම බලපා තිබේ. එල්.ටී.ටී.ඊ.යේ සාමාජිකයන්ව සිටින සමයේ ඔවුන්ව වීරයන් කළ කිසිවෙකු පුනරුත්ථාපනය ලැබූ පසු ඔවුන්ට රැකියාවක් ලබාදීමට මැදිහත්ව නොමැත. එවැනි තත්ත්වයක් යටතේ ඔවුන් තවත් සමාජ විරෝධී කටයුත්තකට යොමුවුණොත් ඇතිවන භයානක තත්ත්වය පිළිබඳ වහාම රජය දැනුවත් කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පියවර ගන්නා ලදී. ඒ අනුව රජයේ අනුමැතිය ඇතිව අවට සිටි පුනරුත්ථාපනය වූ සාමාජික සාමාජිකාවන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරිණි.
නමුත් මෙය උතුරේ තවමත් වෙසෙන අන්තවාදී පිරිස්වලට සහ උතුරේ ජාතිවාදී අධම දේශපාලඥයන්ට ඉවසුම් නොදෙන්නක් විය. විශ්වමඩු ගම්වාසීන් පවසන ආකාරයට එම කාලයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේතුවට තරුණ තරුණියන් එක්වීම වැළැක්වීමට නොයෙක් අසත්‍ය කටකතා සහ විරෝධතා ගෙන යන්නට මෙම පිරිස් රාජ්‍ය නොවන සංවිධානවලද සහාය ඇතිව කටයුතු කර තිබේ. අදටත් එම තත්ත්වය එසේමය. දැඩි කැපවීමෙන් සහ උත්සාහයෙන් එම අභියෝගයන්ට මුහුණ දුන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අද වන විට පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් 3,500ක පමණ පිරිසක් බඳවා ගැනීමට සමත්ව තිබේ.
අද වන විට වී වගාව, බඩඉරිඟු, රටකජු, කුරක්කන්, කවුපි, මුං ඇට, උඳු, මිරිස්, තල, එළවළු වර්ග ආදී කෘෂි ව්‍යාපෘති සහ හස්ත කර්මාන්ත ව්‍යාපෘති පවත්වාගෙන යමින් මෙම පිරිස උතුරේ ආර්ථික සංවර්ධනයට සුවිසල් මෙහෙවරක් ඉටුකරති. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පිරිස් සඳහා ස්ථිර පත්වීම් ලබාදීමත් සමග මෙම පිරිසත් රජයේ විශ්‍රාම වැටුප් හා අනත්දරු වැටුප් සමග හොඳ වැටුපක් ලබන අභිමානවත් වෘත්තිකයන් පිරිසක් බවට පත්ව තිබේ. එම නිසා අද වන විට උතුරේ ජනප්‍රියතම රාජ්‍ය ආයතනය බවට පත්ව ඇත්තේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවයි. උතුරේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන නොමිලේ අධ්‍යාපනය ලබාදෙන පෙරපාසල් 261ක් පමණ තිබෙන අතර, එහි නිසි පුහුණුවලත් ගුරුවරියන් 550 දෙනෙක් පමණ සේවය කරති. ඔවුන් තමන්ට සිංහල භාෂා පුහුණුව ලබාදෙන ලෙස අදාළ අංශවලින් ඉල්ලා සිටින්නේ සිංහල භාෂා දැනුම දරුවන්ටත් ලබාදීමෙන් අනාගත පරපුරට සංහිඳියාවේ දායාදය ලබාදීමේ අභිලාෂයෙනි.
මෙම සංහිඳියා වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ විශ්වාසනීයත්වය හා බැඳුණු ක්රියාවලියකින්ය. සිංහල නිලධාරීන් සිටිනුයේ 10කට ආසන්න ප්‍රමාණයක් පමණි. ඉතිරි සියලු දෙනා ද්‍රවිඩ තරුණ තරුණියන්ය. එහි ඇති විශේෂත්වය වන්නේ මේ කිසිදු සිවිල් ආරක්ෂක බළකා කඳවුරක හෝ ගොවිපළක ගිනිඅවි භාවිත නොවීමය. අඩුම තරමින් නිලධාරියෙකු හෝ පෞද්ගලික ආරක්ෂක ගිනිඅවියක් භාවිත නොකරයි. එතරම්ම මෙය සංහිඳියාවේ තෝතැන්නක් බවට පත්ව තිබේ. මෙම කටයුතු ඉදිරියට ගෙන යෑමට නිරතුරුවම කටයුතු කරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම, සුබසාධන හා සෞන්දර්ය කටයුතු අධ්යක්ෂ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මේජර් වජිර කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය මෙහිදී පැසසිය යුතුය.
උතුරේ උග්‍රව ඇති විරැකියාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කෙරෙහි ඇතිවී තිබෙන විශ්වාසය හමුවේ තවත් ද්‍රවිඩ තරුණ තරුණියන් 15,000ක පමණ පිරිසක් සිවිල් ආරක්ෂක සේවයට එක්වීමට අයදුම්පත් යොමුකර තිබේ. මේ වනතුරු ඔවුන් බඳවා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් තමන්ව එක් කරගන්නා ලෙස බලකරමින් දෙවරක්ම දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මකව තිබේ. දැනගැනීමට ලැබෙන තොරතුරු අනුව බඳවා ගැනීම් අත්හිටුවා ඇත්තේ බඳවා ගැනීමේ පටිපාටියක් මේ වන විට දෙපාර්තමේන්තුව සතුව නොමැති බැවිනි. උතුරේ බරපතළම ගැටලුව විසඳමින් සංහිඳියාව ඇති කිරීමට මෙතරම් වටිනා අවස්ථාවක් ලැබී තිබියදීත්, සංහිඳියාව පිළිබඳ උදේහවා බණ දෙසන වත්මන් රජය ඒ පිළිබඳ අවධානයක් යොමු නොකරන්නේ කුමන හේතුවක් නිසාදැයි රැකියා අපේක්ෂිත උතුරේ තරුණ තරුණියෝ ප්‍රශ්න කරති.
අපිවයි, සිංහල ජනතාවයි වෙන් කළේ උතුරෙයි, දකුණෙයි ඉන්න ජාතිවාදයෙන් යැපෙන දේශපාලඥයන් - රාමලිංග කුමාර්,
මම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කොටි බුද්ධි අංශ සාමාජිකයෙක් විදියට 2009 වසර වනතෙක් සේවය කළා. පුනරුත්ථාපනයෙන් පස්සේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට එකතු වුණා. අද මම ඇත්තටම පසුතැවෙනවා මගේ අතීතය ගැන. අපිවයි, සිංහල ජනතාවයි වෙන් කළේ උතුරෙයි, දකුණෙයි ඉන්න ජාතිවාදයෙන් යැපෙන දේශපාලඥයන්. ප්රභාකරන් කියන්නේ එයාලගෙ එක ඉත්තෙක් විතරයි. මෙහේ දේශපාලඥයන් කවදාවත් අපට සිංහල මිනිස්සු ගැන හොඳක් හිතන්න ඉඩදීලා නැහැ. ඒක අදටත් එහෙමමයි, හෙටටත් එහෙමයි. මම ඉල්ලන්නේ එක දෙයයි. පුනරුත්ථාපනය වෙලා තාමත් රස්සාවක් නැතුව ඉන්න අපේ අනිත් සහෝදරයන්ටත් රැකියා දෙන්න. මොකද මේ තත්ත්වේ හැටියට එයාලා නැවතත් අයහපත් දේවල්වලට යොමුවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. එයාලා ගොඩක් අසරණයි.
යුද්ධෙ තවත් ඇදුණා නම්, අද පසුතැවෙන්නත් අපි ජීවතුන් අතර නැහැ - කෝකිලා දේවි,
මම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ භාෂා පරිවර්තිකාවක් විදියට මුහුදු කොටි නායක සුසෙයි යටතේ වැඩ කළා. මම සංවිධානයට බැඳුණේ වයස 18දී. පුනරුත්ථාපනය වුණාට පස්සේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බැඳිලා දැන් තිරිවියාරු හස්ත කර්මාන්ත ව්‍යාපෘතියේ වැඩ කරනවා. හොඳ රස්සාවක් දැන් ලැබිලා තියෙනවා. මම දැන් කසාද බැඳලා හොඳ ජීවිතයක් ගත කරනවා. ඇත්තටම මේ මහත්වරුන්ට ගොඩක් පිං සිදු වෙන්න ඕන මේ වගේ ජීවිතයක් අපට දුන්නට. යුද්ධෙ තවත් ඇදුණා නම්, අද පසුතැවෙන්නත් අපි ජීවතුන් අතර නැහැ.
සටහන - නඳුන් ශ්‍යාමාල් / ඡායාරූප - ප්‍රදීප් පතිරණ