කාලයක් සිට පවතින ලංකා විදුලිබල අර්බුදය අද සමාජ අර්බුදයක් තරමටම ප්‍රසාරණය වී ඇත. ඒ හේතුවෙන් එක් පැත්තකින් විදුලි නිෂ්පාදනයේ හා අනෙක් පැත්තෙන් පරිපාලන තත්ත්වයේ විශාල ගැටලු රාශියක් පැනනැගී ඇත. මේ සියලු අභියෝග විසඳා ගනිමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ඉදිරි ගමන කුමන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා 'අද'ට සම්බන්ධ කර ගත්තෙමු.
මේ සම්බන්ධව ප්‍රථමයෙන් අවධානය යොමුකළේ ප්‍රධාන වශයෙන් විදුලි නිෂ්පාදනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයට අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පිළිබඳවය. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙලෙස පැවසීය.
''අද වනවිට ජල විදුලියෙන් නිෂ්පාදනය කරන විදුලි ධාරිතාව 35.7%ක ප්‍රමාණයක්. ඒ නිසා ඉතිරි පිරිවැය ගල්අඟුරු සහ තාප බලාගාරවලින් පුරවා ගැනීම කරන්නෙ. විශේෂයෙන් නොරොච්චොලෙ බලාගාරයෙන් මෙගාවොට් 800කට වැඩි ප්‍රමාණයක් ලබාගන්නවා. ඊට අමතරව විදුලිබල මණ්ඩලය සතු තාප බලාගාරයෙන්ද අවශ්‍යතාව පිරිමසා ගන්නවා.
මේවාද ප්‍රමාණවත් නොවුණහොත් අප විදුලිය මිලදී ගැනීම සිදුකිරීමෙන් අවශ්‍ය කරන බලශක්ති කළමනාකරණය කරගැනීමට සිදුකරනවා. මෙලෙස අපි විදුලිය මිලදී ගැනීම් සිදු කරන්නෙ විවෘත ජාත්‍යන්තර ලන්සු කැඳවීමකින් අනතුරුව. මෙගා වොට් 60ක් අපි අරගෙන තිබෙනවා. මේ වනවිට එය දිවයින පුරා තුලනය වන ආකාරයට කුරුණෑගල, හම්බන්තොට සහ මාතර ප්‍රදේශවලට ලබාදී තිබෙනවා. අප හැමවිටම මේ මිලදී ගැනීම් සිදුකරන්නෙ අවශ්‍යතාව අනුවයි.
අපි හිතමු අද දවසේ ජනනය වන විදුලි ප්‍රමාණය අඩු වුවහොත් පමණයි මෙවැනි මිලදී ගැනීමක් වෙත අප යොමුවන්නෙ. දිනපතා මිලදී ගැනීමක් නැහැ. අවශ්‍යතාව මත තමයි අපි මේ මිලදී ගැනීම් සිදුකරන්නෙ. මේ අර්බුදකාරී තත්ත්වය නිසා අපිට විකල්ප ක්‍රම වෙත අවධානය යොමුකරමින් අද වනවිට එයින් බොහොමයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණා. එයින් ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස 'සූර්යබල සංග්රාම' ව්‍යාපෘතිය හඳුන්වන්න පුළුවන්. ඒ යටතේ විශාල සංග්‍රාමයක් සිදුවෙනවා.
මෙහිදී සෝලා බලය ඔස්සේ නිවාසවල වහලය මත බලාගාර (Top sola) ඉදිකරන්න කටයුතු කළා. මෙයට ජනතාවගෙන් ලැබෙන සහයෝගයද අද වනවිට ඉහළ මට්ටමක පවතිනවා.
ඒ වගේම මේවා මිලදී ගැනීමට අප ජනතාව සහයෝගය ලබාදීමටද කටයුතු කර තිබෙනවා. පසුගිය අයවැයෙන් සහන ලබාදෙන්න කටයුතු කර තිබෙනවා. ඒ යටතේ සුළු ආදායම්ලාභීන්ට වහල මත නොමිලේ සවිකර ඒ මුදල වසර 07ක් ඇතුළත අයකර ගන්නා වැනි සහනදායී ක්‍රමවේදයක් අපි ජනතාවට ලබාදී තිබෙනවා. මේ ණය පහසුකම් ලබාදීමට ලංකා විදුලි පෞද්ගලික සමාගමත්, ලංකා විදුලිබල මණ්ඩලයත්, ඒ වගේම රාජ්‍ය බැංකු කිහිපයක්ද කටයුතු කරනවා.
මීට අමතරව අප උදම් බලයෙන් (wave energy) විදුලිය ලබාගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති, පින්ලන්ත රජය මේ සඳහා අපට සහයෝගය ලබාදී තිබෙනවා. එහිදී මෙගාවොට් 10ක ව්‍යාපෘතියක් මාතර සහ හම්බන්තොට මුහුදු සීමාවේ ඇතිකිරීම සඳහා ශ්‍රී ලංකා සූර්ය ශක්ති බල අධිකාරියත්, පින්ලන්ත ජනරජයක් මේ වනවිට කටයුතු කරනවා. දැනට එය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කර ඇති නමුත් ඉදිරියේදී එම ව්‍යාපෘතිය දීර්ඝ කාලීනව ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.''
ඒ වගේම අප මෙහිදී අමාත්‍යවරයා වෙත තවත් ප්‍රශ්නයක් යොමුකළේය. ඒ විදුලිය අරපිරිමැස්ම සම්බන්ධව ජනතාවගේ තිබෙන දැනුවත්භාවය ප්‍රමාණවත් නොවන හෙයින් එයට යොදා ඇති ක්‍රියාමාර්ග සම්බන්ධවය. එහිදී අමාත්‍යවරයා මෙසේ පැවසීය.
''පසුගිය සමයේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතය සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් සිදුකළා. නමුත් ලක්ෂ 55ක් වන පාරිභෝගිකයන් ඉන්න අපේ රටේ පිරිසගෙන් මේ වැඩසටහනට සහභාගි වුණේ 356 වැනි ඉතා සුළු ප්‍රමාණයක්. එය 0.0006%ක් වැනි ප්‍රමාණයක්. ඒනිසා මෙවැනි වැඩසටහන් මාර්ගයෙන් දැනුවත් කිරීම ප්‍රායෝගික තත්ත්වයක් නොවන බව අපි වටහාගත්තා. ඒ නිසා අප තීරණය කළා ලංකාවේ බලශක්ති කළමනාකරුවන් දසලක්ෂයක් සෑම නිවසකටම යවන්න. මේ සඳහා අපි යොදාගන්නෙ පාසල් දරුවන්ව.''
විදුලිබල මණ්ඩලයේ පහළ ශ්‍රේණිවල සේවයේ ඇතිවී තිබෙන වැටුප් විෂමතාවන් සම්බන්ධව අමාත්‍යවරයා මෙසේ පැවසීය.
''පසුගිය ආණ්ඩුවේ අවසාන සමයේ තමයි මේ ගැටලුව සිදුවෙන්න ගත්තෙ. නමුත් කෙසේ වෙතත් අපට සේවකයන් ඉතා වැදගත්. මේ ගැටලුව මාස 06ක සීමාවකදී එයට ස්ථිරසාර විසඳුමක් ලබාදෙන්න අප තීරණය කරනවා. ජනාධිපතිතුමා ලබාදුන් පොරොන්දුවට අනුව අපි 7,000කට ආසන්න මෑන්පවර් සේවකයො ස්ථිර කළා. එසේ ස්ථිර කළ එකම ආයතනය ලංකා විදුලිබල මණ්ඩලයයි. ඒ නිසා පැහැදිලිව කියන්න ඕන, අපි සෑම විටම ඉදිරියේදී මේ සම්බන්ධව සාධාරණයක් ඉටුකරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.''
මේ අයුරින් විදුලිබල ක්ෂේත්රයේ පවතින සියලු ගැටලුවලට ක්‍රියාමාර්ග ගන්නා බවද රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා පවසා සිටියේය.