සිංහල අලුත් අවුරුද්දට ඉතිරිව ඇත්තේ සති දෙකකටත් අඩු කාලයකි. යහපාලන ආණඩුවේ ආර්ථික ක්‍රියාකාරකම් සහ පාරිභෝගිකයන්ට සැලකීමේ ක්‍රමවේදය තුළ අලුත් අවුරුද්දත් හාමතේ සිටින්නට වේදැයි ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ජනතාව පවසන දේ ආණ්ඩුවේ වගකිවයුත්තන්ට ඇසිය යුතුය. උදාවන සිංහල අවුරුද්දට පසුව නොව දෙසතියකට පෙරවත් ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් දැන්වත් සකස්කර දිය යුතුය.
අඩු මිලට දෙනවා යැයි කියූ සහල් පිළිබඳ කුස්සියට ඇත්තේ ප්රශ්නයකි. අඩු කළ බඩු මිල ගැන කියන කට මිරිස් ගලේ උලාගන්න එක එයට වැඩිය හොඳ යැයි කුස්සිය පැත්තෙන් මැසිවිල්ලකි. මේ ජරමර අස්සේ උගුර තෙමා ගත් කහට කෝප්පයට අල්ල ලෙව කෑ සීනි ඇටයේ මිලත් රුපියල් 17.00 න් ඉහළ ගොස් ඇතැයි නැතිබැරි ඇත්තන්ගේ විළාපයකි.
අවසානයේ එය පාලන මිලෙන්ද ඉවත්කර වෙළෙන්දා අතට වාසිය ලබාදී සූරාකෑමට භාග්‍යය ලබාදුන්නේ යැයි තවත් චෝදනාවකි. කුකුල්මස් කිලෝවත් පාලන මිලෙන් ඉවත්ව රුපියල් පන්සියය ඉක්මවා තිබේ. ආඬි හත්දෙනොගේ කැඳහැලිය වැනි කිරිබතකින් අලුත් අවුරුද්ද ගෙවිය යුතුදැයි වසරකට වරක් යෙදෙන අවුරුද්දට ඇඟිලි ගනින ජනතාව අසති.
මේ හැමදෙයම සිදුවන්නේ ජනජීවිතය සුඛිතමුදිත කිරීම වෙනුවෙන් මහින්දලා ගෙදර එළවා දමා පත්කර ගත් යහපාලන ජාතික ආණ්ඩුව යටතේ බව දැනෙන ජනතාවගෙන් නැගෙන කෝපයේ ගිනි පුපුරුවල උණුසුම රට කරවන පාලකයන්ටද දැනිය යුතුය.
ගතවූ නත්තල් සමයේ රට පුරා හාල් අර්බුදයක් ඇතිවන බව රජයේ වාර්තා දෙමසකට පෙර අනාවරණය කළේය. හිඟයක් ඇති නොවන තරම් අඩු මිලට හාල් බෙදනවා යැයි කී රටේ කුසගින්නට පෝලිම්වල සිටි ජනතාවටද ඒ හාල් ලැබුණේ නැත. නත්තලට තබා අඩුම තරමින් රටින් ඇණවුම් කළ හාල් ලැබුණේ නැතැයි වික්ෂය ඒ වාසියද තමන්ගේ ගිනුමට එකතුකර ගත්තේය. ආණ්ඩුවට දෙයියින්ගේ හාල් කැවිලා යැයි ජනතාව කීවේ හිත හදා ගැනීමට මිස වෙනත් කළයුතු යමක් නොවූ හෙයිනි.
නත්තලට තබා ජනේරුවටත්, නව වසරක උදාවටත්, කිරිබතක් පිසගත යුතු හාල් ඇටයටත් වැඩේ දුන්නා යැයි බත් කන මිනිසුන් යහපාලකයන්ට ඇඟිල්ල දිගු කළද කිසිවෙකුට එය ඇසුණේ නැත. දැන් මාස තුනක් ගෙවී බක් මාසය එළැඹි විට ඇසෙන්නේද හාල්, සීනි, පරිප්පු මිල පිළිබඳ අර්බුදය පමණි.
සිංහල අවුරුද්ද හදිසියේ කඩා වැටෙන ජාතික දිනයක් නොවේ. එසේම එම දිනයේ වැදගත්කම පිළිබඳ ආණ්ඩුවේ නායකයන්ද නොදන්වා විය නොහැක. කුකුළු මස් කිලෝවක් මාළු කෑල්ලක් වෙනුවෙන් පවතින ඉල්ලුම තේරුම් ගත යුතුය. පරිප්පු ඇටයේ සිට මුංඇට, සැමන් ටින් එක ලූනු ගෙඩියට මේ දිනවල තිබෙන ඉහළම ඉල්ලුම ආණ්ඩුව වටහා නොගන්නේ නම් අවුරුදු දෙසතිය තුළ වෙළෙඳපොළ තුළ ඇතිවන හිඟය සහ වෙළෙඳුන්ට අවශ්‍ය පරිදි මිල පවත්වාගෙන යාමේ වාසිය ආණ්ඩුවේ ආර්ථික විශේෂඥයන්ද, ඇමතිවරුන් සහ තීරණ ගන්නා මැතිඇමතින් මෙන්ම නිලධාරීන්ටද ඇසිය යුතුය.
ලබන්නා වූ අවුරුද්ද යස ඉසුරෙන් පිරි වාසනාවන්ත එකක් වේවායි, ජනපති අගමැති ඇතුළු විවිධ නායකයන් රූපපෙට්ටිය හෝ ගුවන් විදුලියෙන් සුභපතනු ඇත. එහෙත් හාල් ඇටයේ සිට මාළු කෑල්ල දක්වාම තමන්ට හිතෙන පරිදි විකුණාගෙන කන මුදලාලිට පමණක් අවුරුදු උදාකර දෙන්නට අත යටින් සිහින මවන සමයක් නම් ජනතාවට සිදුවන්නේ ලබන්නා වූ අලුත් අවුරුදු උත්සවයත් නැති බැරිකම පිරුණු අග හිඟකමෙන් පෝසත් වූ තවත් එක් දවසක් බවට පත්කර ගැනීමකි.
අපට පාරිභෝගික අධිකාරියක් ඇත. එයත් ලංකාවේ ආයතන අතරින් ඔහේ යන තවත් එක් ආයතනයක් යැයි වෙළෙඳුන්ගේ ග්‍රහණයට ලක්වූ ජනතාව පවසති. ජනතාව පවසන්නේ යම් අසාධාරණයකදී “අපට ඇති බලය සහ සීමාවන් තුළ කළ හැක්කේ මෙපමණකැයි” යනුවෙන් වෙළෙන්දාට වාසිය තබා පාරිභෝගිකයාට සිදුවන අසාධාරණයට තවත් කෙනහිලිකම් එකතු කිරීම බවට මැසිවිල්ලකි.
ලිඛිත පැමිණිල්ලක් ලැබුණොත් විභාග කරන්නම් හෝ සොයා බලන්නම් කීවද වෙළෙඳපොළ හැමදාමත් දූෂිතය. අධිකාරියක් සහ නිලධාරීන් සිටින රටක එවැන්නක් විය නොහැකිය. ලිඛිත පැමිණිලි මිස දුරකථනයෙන් ලැබෙන පැමිණිලිවලට පරීක්ෂණ පැවැත්වීමේ තාක්ෂණ සංවර්ධනයක් එම අධිකාරියට නැතැයි ජනතාව පෙන්වා දෙති.
පදික වේදිකාවේ සිට සුපිරි වෙළෙඳසැල දක්වාම කල්ඉකුත් වූ භාණ්ඩ, නරක්වූ සහ බාල භාණ්ඩ, අඩු බරට කිරුම් මිනුම් අපමණය. ජනතාවට කළ හැක්කේ පාඩුව විඳදරා ගැනීම හෝ වරද පෙන්වා දුන් විට වෙළෙන්දාගෙන් ඇසෙන “අධිකාරියට ගිහින් පුළුවන් කෙහෙම්මලක් කරනවා” යනුවෙන් ලැබෙන සරදමට අවනත වීම පමණි. කෝපයට පත් ජනතාව පවසන්නේ 2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරි පනත පරණ පත්තර කඩයකට පරණ කඩදාසිවලට වත් විකිණිය නොහැකි බවට කතාවකි.
අධිකාරිය පවසන්නේ පාරිභෝගිකයාද කල්පනාකාරී විය යුතු බව සහ නිලධාරී හිඟය නිසා උත්සව සමයේ කූඨ වෙළෙඳුන්ගෙන් බේරෙන ලෙස කතාවකි. ජනතාව අසන්නේ උත්සව සමයේ කූඨ ව්‍යාපාර බහුලව සිදුවන්නේ නම් ඒවා අත්අඩංගුවට ගැනීමද ජනතාවට පවරා නිලධාරීන් වැටුප් ලබාගැනීමට පමණක් සීමා වීම සුදුසුද යන ප්රශ්නයකි.
අනෙක පාරිභෝගික අධිකාරියේ නීති සම්පාදනය සහ කෙටුම්පත් අංශ මෙන්ම විමර්ශන අංශයන්ටද ඇත්තේද යම් සීමාසහිත බලයකි. එනිසාම ජනතාවට ලැබෙන පිළිතුරද සීමා සහිතය. නීති අංශයෙන් විමසුවොත් පවසන්නේ ''ඉක්මනින් කියන්න. අපට වැඩ තියෙනවා'' යනුවෙනි. විමර්ශන අශය පවසන්නේ අධ්‍යාපන අංශයෙන් දැනුවත් වන ලෙසය. අධ්‍යාපන අංශය අසරණ වන්නේ ජනතාවගේ තර්කවලට පිළිතුරු දීමට තරම් ප්‍රමාණවත් ප්‍රතිපාදන ඔවුන් වෙත නොමැති හෙයිනි.
තමන් වෙළෙඳපොළ සම්බන්ධයෙන් අධිකාරිය අමතන ලිපියක් ලැබූ බව හෝ නොදන්වන බව පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධානය වරක් මාධ්‍යයට පැවසීය. එය එසේනම් පාරිභෝගිකයාත්, අධිකාරියත් අතර පවතින දුරස්ථ බව අධිකාරිය වටහාගත යුතුය. නිලධාරීන්ගේ හිඟයට විකල්පයක් ලෙස ජනතාවගේ සහයෝගය ලබාගැනීමට තරම් ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් සහ සහයෝගයක් ලබාගැනීමට අධිකාරිය අසමත් වී ඇති බව එයින් පැහැදිලි බව ජනතාව පෙන්වා දෙති.
අධිකාරිය පවසන්නේ පාරිභෝගික කව පිහිටුවා ජනතාව දැනුවත් කරමින් සිටින බවට කතාවකි. සූරාකෑමත්, ගසාකෑමත් පිළිබඳ ජනතාව දැනුවත්ය. ඔවුන් චෝදනා නඟන්නේද ඒ දැනුවත්භාවය ඔවුන්ට ඇති හෙයිනි. එහෙත් ලිපි ලියමින් ලියාපදංචිය සමග පැමිණිල්ලක් වෙනුවෙන් රුපියල් දෙතුන්සියයක් වැයකරමින් තවදුරටත් කාලකන්නි වීමට නොහැකි යැයි අසාධාරණයට ගොදුරු වූ පාරිභෝගිකායෝ පවසති.
තමන්ගේ සේවා සම්පාදනය සහ ක්‍රියාකාරීත්වයත්, යාන්ත්‍රණයත් ශක්තිමත් නම් වෙළෙන්දාට හිතන පරිදි පාරිභෝගිකයා මට්ටු කළ නොහැකි බව අධිකාරිය සිතන්නේ නැත. ප්‍රශ්නයෙන් පැන යාම වෙනුවෙන් උත්තර සපයනවා වෙනුවට අර්බුදය තේරුම් ගෙන විසඳුම් යෙදීමට අධිකාරියට ඇති නොහැකියාව පිළිබඳ ජනතාව පවසන්නේ වගකිව යුත්තෝ ලැජ්ජා විය යුතුයි යන අවලාදයකි.
උත්සව සමයේ වෙළෙඳපොළ 90%ක්ම දූෂිත බව රහසක් නොවේ. ජනතාවට වෙළෙඳපොළ මට්ටු කළ නොහැකිය. ආණ්ඩුවත් පාරිභෝගික අධිකාරියත් විසින් ජනතාව ඒ සටකපට සේරිවාණිජලාගේ ග්රහණයෙන් මුදා නොගන්නේ නම් පාරිභෝගික අයිතිය ගැන කතා කිරීමද යහපාලනයට කැප නැති බව ජනතාව පෙන්වා දෙති.
නමුත් වෙළෙදුන් මත යැපෙන ආණ්ඩුවක්ද, නිලධාරීන්ද, මැති ඇමැත්තන්ද සිටින රටක නිලධාරීන් සොච්චමක් තබාගෙන දෙකෝටියක ජනගහනයක් වෙනුවෙන් කෝටියකට ආසන්න වෙළෙඳපොළ සහ සේවා සැපැයීම් නියාමනය කළ හැකිද යන්න කෙළ කෝටි ගණනින් වටිනා සුපිරි වාහන සහ අමාත්‍යාංශ ගොඩනැගිලි නොමැතිව සේවය කළ නොහැකි යැයි පවසන මැති ඇමැත්තන්ද, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වෙළෙඳුන්ට කඩේ යන අධිකාරියේ ඇත්තන්ද සිතිය යුතු බවද සඳහන් කළ යුතුය.
අඩුම තරමින් අලුත් අවුරුදු දෙසතිය තුළ හෝ හාල්, සීනි, පරිප්පු, කුළුබඩු මිල ජනතාවට දැනෙන තරමට අඩු කරනවා නම් එයද හැමදාමත් බඩ පිරෙන්නට පොලීසියෙන් කඳුළු ගෑස්, ජල බැටන් ප්‍රහාර ලබන ජනතාවට ජාතික ආණ්ඩුවේ යහපාලනය යටතේ බඩ පිරෙන්නට අවුරුදු දුන්නා යන සිතිවිල්ල ඇතිකරනු ඇත.