පෙරදිග මාතෘභූමිය තුළ අනුලංගනීය සත්ත්වයෙකු ලෙස අලියා විටෙක ආගමික වත්පිළිවෙත්, චිත්‍රපට, විවිධ ක්‍රියාකාරකම් සඳහාද භාවිත කරන ලදී. කෙසේනමුත් මෙවන් අයුරින් අප සංස්කෘතිය තුළ ජීවත් වූ වන අලියා හා මිනිසුන්ගේ සම්බන්ධතාවය දුරස් වී අද එය අලි මිනිස් ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ .
පසුගිය වසර කිහිපයක කාලයක සිට ඇරඹි මෙම අලි මිනිස් ගැටුම ඇතිවීමට මූලික හේතු ගැන අවබෝධයකින් තොරව වගකිවයුත්තන් ක්‍රියාකිරීම නිසාම මෙම තත්ත්වය උග්‍ර වී තිබේ. ඉරුණු කලිසමක් සඳහා අණ්ඩ දැමීමක් මෙන් අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට යෑම තුළින් සිදුවන්නේ තවත් විනාශයකි.
සංවර්ධන කටයුතු වලට හා නීතිවිරෝධීව සිදුවන වන සංහාරය නිසාම අලි මිනිස් ගැටුම මේ වන විට ඉතා උඝ්ර තත්ත්වයකට පත්ව තිබේ. ඉහත කරුණු වලින් දැක්වෙන පරිදි බලධාරීන් විවිධ අවස්ථා වලදී අලි මිනිස් ගැටුමට පිළිතුරු සෙවීමට කටයුතු කළත්, වන අලීන් තුළ ඇති විද්‍යත්මක කරුණු හා ඔවුනට ආවේණික පුරුදු කෙරෙහි නිසි අවධානයක්, අවබෝධයක් නොමැතිව කටයුතු කරන බවක් පෙනේ. හුදු දේශපාලන අරමුණු වලින් පමණක් ක්‍රියා කිරීම තුළ වන අලීන්ගෙන් මිනිසුන්ට මෙන්ම වගාවන්ට සිදුවන හානිය වැඩි වී ඇත.
මෙලෙස ලංකාවේ අලි මිනිස් ගැටුම උග්‍ර වී ඇති දිස්ත්‍රික්ක කීපය අතරින් හම්බන්තොට දිස්ත්‍රික්කය ප්‍රධාන වේ. එයට මූලික හේතුව වී ඇත්තේ මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවර්ධන කලාප බවට පත්කර තිබෙන්නේ වනසතුන් බහලව ජීවත් වූ ප්‍රදේශ වීමයි.
වන අලි යනු හුදෙක් ස්වභාවයෙන්ම සංචාරක සත්ත්වයෙකු වනවා සේම ඔවුන් ගමන් කරන්නේ ඔවුනට ආවේණික පුරුදු මාර්ග ඔස්සේය. සංවර්ධන කටයුතු සඳහා වන අලීන්ගේ භූමි හෙළි පෙහෙළි කරගත්තද ඔවුන්ගේ සංචරණ භූමි අත්හැරීමට වන අලින් කටයුතු නොකරයි.
මේ ආකාරයෙන් වන අලීන්ගේ ස්වාභාවික සංචරණ භූමි අහිමි වීමත්, ඔවුන් එක් ප්‍රදේශයකට කොටු වීමත් යන කාරණා හේතුවෙන් නිරන්තරයෙන් ගම් වැදීම් සිදුවේ. එබැවින් මේ වසර තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි පහර දීම් තුළින් මිනිස් ජීවිත තුනක් පමණ අහිමි වී තවත් දේපළ, වගා විනාශයන් නිරන්තරයෙන් සිදුවිය.
මිට ආසන්නම සිදුවීම වාර්තා වන්නේ සුරියවැව, වැවේගම ප්‍රදේශයේදී වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මිය යාමයි. ඉන් අනතුරුව ජනතාවගේ විරෝධතා දැක්වීම් වලට අනුව දේශපාලන වාසි තකා දේශපාලනඥයන් වන අලියා අල්ලා වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට අණ කරයි. ඒ ආකාරයෙන් 'මිනීමරු අලියා' කියන අනුවර්ත නාමයක් දමා ගනිමින් මේ වනවිට එම වන අලියා ඇල්ලීමේ මෙහෙයුමක් සඳහා වනජීවී නිලධාරින් හට වැවේගම කඳවුරු ලාගෙන සිටීමට සිදුව තිබේ.
මිනිස් ක්‍රියාකාරකම් තුළින් වන අලින්ගේ වාසභූමි හා වන අලින්ගේ ජීවිත විනාශ වෙද්දී දේශපාලනඥයන් මුනිවත රකිනවා පමණක් නොව කැළෑ හෙළි කරමින් විවිධ සංවර්ධන ව්‍යාපෘතිද ක්‍රියාත්මක කරමින් වන ඝාතකයන්ට ඒ දෙය මැනවින් සිදුකර ගැනීම සඳහා රැකවරණයද සලසා ඇත .
දවසින් දවස මේ ආකාරයෙන් හම්බන්තොට දිස්ත්‍රිකයේ වන අලින් වෙසෙන ප්‍රදේශයන් මහා පරිමාණයෙන් හෙළිවෙද්දී තවත් පිරිසක් අනවසරයෙන් කැලෑ හෙළි පෙහෙළි කරයි. එලෙස සූරියවැව වැවේගමට වන අලින් පැමිණ මිනිස් ජීවිත විනාශ කිරීමටද බලපා ඇත්තේ ඒ අවට වනාන්තර හෙළි කිරීමයි. ඒ ආකාරයෙන් මේ වනවිට වැවේගමට ආසන්න මහවැලියට අයිති කැලෑ ප්‍රදේශයක් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයටද අයිති උස්ගල ප්‍රදේශයේද අක්කර 12කට අධික භූමි ප්‍රමාණයක් හෙළිකර ගිනි තියනතුරු මහවැලි නිලධාරීන් නොදැන සිටීම අරුමයකි.
1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින අංක 772/22 දරණ ගැසට් නිවේදනයට අනුව අක්කර 2.5කට වඩා විශාල වනාන්තරයක් එළිකර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා වුවද යොදාගැනීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතුය. නමුත් යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහවැලි අධිකාරියේ මැදිහත් වීමෙන් සිදුකෙරෙන සියලු සංවර්ධන කටයුතු මේ පනත් උල්ලංඝනය කරමින් සිදුකළද ඒ සඳහා නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද?
‘හම්බන්තොට වන අලින්ගෙන් තොර කලාපයක් බවට පත් කිරීමට දේශපාලනඥයින් කටයුතු සම්පාදනය කරමින් සිටින බවට හොදම නිදසුන වන්නේ යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම සිදු නොකිරීමයි.
හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීමට ප්‍රථමයෙන් සකස් කළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවල පැහැදිලිව සඳහන් කර ඇත්තේ මේ සංවර්ධන කටයුතු සමග අවතැන් වන අලි - ඇතුන්ට රැකවරණය සැලසීම සඳහා හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කළ යුතු බවය. නමුත් එය එම වාර්තාවලට පමණක් සීමාකර දැනට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය අවිධිමත් හම්බන්තොට සංවර්ධනයේ පමණක් නොව වන ඝාතකයන්ගේද දැවැන්ත ගොදුරක් බවට පත්ව තිබේ.