Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
මෙහි ආසන්නතම සිද්ධිය වන්නේ පරිසරයට, සතා සිවුපාවාට දැඩි ලෙස ආදරය කරන බව සඳහන් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාර්තු 22 වැනිදා රටට අතිශය වැදගත් තීරණයක් ගත්තේය.
ඒ ලංකාවේ සුවිශේෂී පරිසර පද්ධතියක් පිහිටි මුතුරාජවෙල අභය භූමිය තුළ සිදුකළ සියලුම කැලෑ විනාශ කිරීම්, පස් කැපීම්, ගොඩකිරීම් සහ නිවාස ඉදිකිරීම තහනම් කර දැමීමය.
මේ නිසා රටට සහ පරිසරයට ආදරය කරන බොහෝ දෙනෙකු ජනාධිපතිවරයාගේ ක්‍රියාව ඇගයීමට ලක්කළේය.
එහෙත් එම තීන්දුව ගෙන මාසයක් ගතවීමටත් පෙර මුතුරාජවෙල අභය භූමියේ ගස්කොළං විනාශ කර පොල් පැළ සිටුවීමේ කටයුත්තක් සිදුකරමින් තිබෙන බව පරිසර සංවිධාන සඳහන් කරයි.
මාර්තු 22 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුතුරාජවෙල අභය භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන්නේ ඒ වනවිට අක්කර 406ක භූමියක් පුරා නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සිදුකරන පරිසර විනාශය දැක බලා ගැනීමටය.
අදාළ සංචාරය තුළදී පරිසරයට සිදුකර තිබෙන විනාශය දැක එම භූමිය ඇතුළු සමස්ත මුතුරාජවෙල භූමිය තුළම සංවර්ධන කටයුතු සිදුකළ නොහැකි ලෙසට නීතියක් පැනවීමට කටයුතු කළේය.
එහෙත් අද දවස වනවිට පොල් පැළ සිටුවමින් තිබෙන්නේ නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා නීතිවිරෝධී ලෙස වෙන්කරගත් භූමියේය.
මේ අනුව පෙනී යන කාරණය වී තිබෙන්නේ රටේ විධායක ජනාධිපතිවරයා ලබාදෙන තීන්දු තීරණ කඩකරමින් වැඩ කිරීමට හැකි පිරිස් රට තුළ සිටිනවා යන්නය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් විධායක ජනාධිපති බලතල අඩුකළ බව සඳහන් කළද, දැනට විධායක බලතලවලින් ප්‍රධාන වශයෙන් කප්පාදු වී තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබූ බලය හා අගමැතිවරයා ඉවත් කිරීමට තිබූ බලය පමණි. ජනාධිපතිවරයා ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම තිබෙන්නේ ශ්‍රී ලංකා පොලීසියටය.
මීට අමතරව මහපොළොවේත්, පරිසරයේත් ආරක්ෂාව වෙනුවෙන් සහ සතා සීපාවාගේ සහ මනුෂ්‍යයන්ගේ සෞඛ්‍ය ගැන සිතා දිරාපත් නොවන පොලිතින්, ලන්ච් ෂීට්, ආහාර අසුරන රිජිෆෝම් පෙට්ටි භාවිත කිරීම සහ ආනයනය කිරීම ජනවාරි පළමු වැනිදා සිට තහනම් කෙරිණි. ඒ අනුව දිරාපත්වන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම, අලෙවි කිරීම සහ බෙදාහැරීම මේ අනුව නීතියක් බවට පත් විය.
මෙම නීතියට අනුව මෙරට නිෂ්පාදකයෝ දිරාපත්වන අමුද්‍රව්‍ය යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි ආකාරයට කර්මාන්ත ශාලා සකස් කිරීමටද කටයුතු කළහ.
එහෙත් අද වනවිට දිරාපත් නොවන ලන්ච් ෂීට් සහ ෂොපින් බෑග් බහුල ලෙස වෙළෙඳ පොළට පැමිණෙමින් ඇතැයි ව්‍යාපාරිකයෝ සඳහන් කරති. පරිසර හිතකාමී භාණ්ඩ නිෂ්පාදනය කළයුතු බවට නීතියක් පැනවීමට කටයුතු කළත්, ඒ සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය සඳහා බදු සහන ලබා නොදීම නිසා දිරාපත්වන ලන්ච් ෂීට් එකක් අලෙවි වන්නේ රුපියල් එකයි පනහත්, දෙකත් අතර මුදලකටය. එහෙත් දිරාපත් නොවන ලන්ච් ෂීට් එකක් අලෙවි වන්නේ ශත 20ක් වැනි මුදලකටය.
දිරාපත්වන ෂොපින් බෑගයක් අලෙවි වන්නේ රුපියල් දෙකයි පනහත් රුපියල් තුනත් අතර මුදලකටය. එහෙත් දිරාපත් නොවන ෂොපින් බෑගයක් අලෙවි වන්නේ රුපියලත් - එකයි පනහත් අතර මුදලකටය. මේ නිසා ලාභය ගැන පමණක් සිතන මිනිසුන් අඩු මුදලට ලබාදෙන භාණ්ඩ මිලදී ගන්නා නිසා ජාවාරම්කාරී ව්‍යාපාරිකයන් විසින් අඩු මුදලකට අලෙවි කළහැකි දිරාපත් නොවන ලන්ච් ෂීට් සහ ෂොපින් බෑග් වෙළෙඳ පොළට නිකුත් කරමින් තිබේ.
එහෙත් නීතිය ක්‍රියාත්මක කළ යුතු ආයතන නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් තිබෙන ආකාරය දැකගන්නට ලැබෙන අතර, මේ නිසා ජාවාරම්කරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාර කිසිදු බාධාවකින් තොරව කරගෙන යෑමට හැකි පරිසරයක් ඇතිවී තිබේ.
පිළිකාකාරක ඇති කරවන බව පවසමින් මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු භාවිත කිරීම, ආනයනය කිරීම සහ බෙදාහැරීම තහනම් කර දැමීමට වර්තමාන ආණ්ඩුව 2016 වසරේදී තීරණය කළේය.
මෙම අදහස මුලින්ම ඉදිරිපත් කිරීමට කටයුතු කළේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඇස්බැස්ටෝස්වලින් පිළිකා ඇතිවන බවට දේශපාලන වේදිකාවක් වේදිකාවක් ගාණේ ප්‍රකාශ කිරීමටද ජනාධිපතිවරයා අමතක කළේ නැත.
එහෙත් 2017 වසරේ දෙසැම්බර් 19 වැනිදා රජය ප්‍රකාශ කරනු ලැබුවේ ඇස්බැස්ටෝස් තහනම ඉවත් කරගැනීමට කටයුතු කරන බවයි. ඒ රුසියාව සමග ඇති වූ එකඟතාවක් අනුවය.
අපේ රටට වැඩිපුරම ඇස්බැස්ටෝස් ගෙන එන්නේ රුසියාවෙනි. අපේ රටේ තේවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මිලදී ගන්නේද රුසියාව විසිනි. මේ අනුව ජනාධිපතිවරයාගේ තීරණය වෙනස් කිරීමට මූලික හේතුවක් වූයේ තේ තොගයත් සමග රුසියාවට කුරුමිණියෙකු ගමන් කිරීමයි. රුසියාවට තේ සමග ගිය කුරුමිණියාට මෙරට ජනාධිපතිවරයාගේ තීරණය හකුළා දැමීමට හැකි විය.
මේ අනුව අද දවසේදී අපට ආණ්ඩුවෙන් අසන්නට සිදුව තිබෙන්නේ ඇස්බැස්ටෝස් දැන් මිනිස් ශරීරයට අහිතකර නැද්ද යන්නයි.
කෘෂිකාර්මික ප්‍ර‘දේශවල පැතිර යන වතුගඩු රෝගය සඳහා පූර්ණ වල්නාශකයක් වන ග්ලයිෆොසේට් බලපාන බවට සොයාගනු ලැබුවේ 2013 වසරේදීය. මේ නිසා ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශකය තහනම් කළයුතු බවට එදා සිට විශේෂ කතාබහක් රට තුළ ඇතිවිය. එහෙත් කුමන හෝ හේතුවකට එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හෝ ආණ්ඩුවට ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශකය රට තුළ භාවිත කිරීම, අලෙවි කිරීම සහ ආනයනය කිරීම තහනම් කිරීමට නොහැකි විය.
මේ නිසා පසුගිය ආණ්ඩුවට දැඩි විරෝධතාවක් එල්ලවූ අතර, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබූ 2014 වසරේ දෙසැම්බර් මාසය වනවිට ග්ලයිෆොසේට් තහනම් කිරීමට සැලසුම් සකස් කෙරිණි.
එම මැතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ නායකයා බවට පත්වීම නිසා එවකට ජනාධිපති ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතාට එම කටයුත්ත සිදුකළ නොහැකි විය.
මේ නිසා එවකට පැවැති ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ ජුනි මාසයේදී ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශකය මෙරට තුළ භාවිත කිරීම, බෙදාහැරීම සහ ආනයනය කිරීම තහනම් කිරීමට කටයුතු කළේය.
එහෙත් අදත් ලංකාවේ බොහෝ ප්‍ර‘දේශවලින් ග්ලයිෆොසේට් මිලදී ගැනීමට හැකියාව තිබේ.
ග්ලයිෆොසේට් තහනම් කරනතුරු එය රට තුළ අලෙවි වූයේ දියරයක් වශයෙනි. එහෙත් ග්ලයිෆොසේට් තහනම් කිරීමත් සමඟ කුඩු වශයෙන් හා කැට වශයෙන් ග්ලයිෆොසේට් රට තුළ අලෙවි කරන බවද වාර්තා වේ.
මීට අමතරව ජනාධිපතිවරයා තහනම් කළ ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශකය නැවත රට තුළට ගෙන්වීමට අවසර ලබාදිය යුතු බවට කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙක් මේ වනවිට අවි අමෝරාගෙන සිටිති.
මෙම අමාත්‍යවරුන් දෙදෙනා ගන්නා උත්සාහය සාර්ථක වුවහොත් ඔවුන් රටේ විධායක ජනාධිපතිවරයාටත් වඩා ප්‍රබලයන් ලෙස සමාජගතවනු ඇත.
එහෙත් රට ගැන නොසිතා, බඩ ගැන පමණක් සිතන මෙවැනි දේශපාලඥයන්ගේ ක්‍රියාකාරකම් ගැන වචනයක් හෝ කතාකිරීමට ජනාධිපතිවරයා තවම කටයුතු කර නැත.
දුම්කොළ මිනිස් ශරීරයට අහිතකර දෙයක් බවට මහා විශාල හඬක් රට තුළ ඇතිකරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසට කටයුතු කරන සමයේදීය. මේ නිසා සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද ඇතුළත් කළයුතු බවට අරගලයක් කිරීමටද සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කළේය. මෙම අරගලයට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිගරට් පැකැට්ටුවෙන් 80%කට වැඩි ප්‍රමාණයක රූපමය අවවාදයන් ඇතුළත් කිරීමට කටයුතු කළේය. එම අරගලයට අනුව මෙරට තුළ සිදුකරන දුම්කොළ වගාව 2018 වසරේ සිට ක්‍රමානුකූලව තහනම් කිරීමටත් සැලසුම් සකස් කළේය. මෙම සැලසුමට අනුව මෙරට දුම්කොළ වගාකරුවන් මේ වන විට ක්‍රම ක්‍රමයෙන් දුම්කොළ වගාවෙන් ඉවත් වෙමින් සිටී. මේ නිසා සිගරට්, බීඩි නිෂ්පාදනය කිරීම සඳහා විදේශ රටවලින් දුම්කොළ ගෙන්වමින් තිබේ.
මෙරටේ දුම්පානය කරන්නන්ගෙන් අති බහුතරයක් සිගරට් මිලදී ගන්නේ පැකට් වශයෙන් නොවේ. මේ නිසා දුම්පානය කරන අති බහුතරයකට රූපමය අවවාද දක්නට ලැබෙන්නේ නැත. එබැවින් තනි සිගරට්ටුවක් වෙනුවෙන් රූපමය අවවාද සහිත පැකට්ටුවක් නිර්මාණය කළයුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා මාලාවක් ජනාධිපතිවරයාට භාරදීමට කටයුතු කළේය. එහෙත් එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට අදටත් නොහැකි වී ඇත.
පැණි බීමවල පවතින අධික සීනි නිසා ලෙඩරෝග ඇතිවන බවට කතාබහක් ඇතිකරනු ලැබුවේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. මෙම කතාබහවලට අනුව පැණි බීම බෝතලයේ අඩංගු සීනි ප්‍රමාණයන් වර්ණයන් යොදා පෙන්වීමට අවශ්‍ය කටයුතු සිදුකළේය. එහෙත් බොහෝ සිසිල් බීම සමාගම් සීනි ප්‍රමාණය දක්වන වර්ණ කොටස් යෙදීමට කටයුතු කළේ සිසිල් බීම බෝතලයේ මූඩියේ මුහුණත තුළය. මේ නිසා ආපන ශාලාවක් තුළදී හෝ වෙෙළඳ සැලක් තුළදී සිසිල් බීම පානය කරන විට මූඩියේ අවවාදය දැකගැනීමට හැකියාවක් නැත. යම් තරමකින් හෝ සීනි ප්‍රමාණය සහිත වර්ණය දැකගැනීමට හැකියාව ලැබෙන්නේ සිසිල් බීම බෝතලයක් මිලදී ගෙන ගෙදරට හෝ වෙනත් ස්ථානයකට රැගෙන ගියහොත් පමණි. මේ නිසා එම නීතිය තුළින්ද ජනතාව රෝගී වීම වළක්වා ගත නොහැකිය.
මීට අමතරව සිසිල් බීම බෝතලයේ අඩංගු සීනි ප්‍රමාණයට අනුව බදු මුදලක් අයකර ගැනීමටත් මේ වන විට ආණ්ඩුව කටයුතු කරමින් තිබේ. පැණි බීමවල අඩංගු සීනි ප්‍රමාණය වැඩි වන තරමට ආණ්ඩුවේ ආදායමද ඉහළ යනු ඇත. එහෙත් ජනතාවගේ සෞඛ්‍යය ගැන සිතා ආණ්ඩුව කටයුතු කළේ නම් සිදුකළ යුතුව තිබුණේ සිසිල් බීම බෝතලයකට යෙදිය හැකි සීනි හා වර්ණක ප්‍රමාණය පිළිබඳ නීතියක් පැනවීමය. අඩංගු සීනි ප්‍රමාණයට අනුව බදු මුදලක් පැනවීම නිසා එම බදු මුදල් ගෙවීමෙන් වැළකී සිටීමට ඇතැම් සිසිල් බීම සීනි රහිත තත්ත්වයට පත්කර තිබේ. සිසිල් බීම සීනි රහිත තත්ත්වයකට පත්කර පැණි රස ගැන්වීම සඳහා විශේෂ රසායනික ද්‍රව්‍යයක් භාවිත කරනු ලබයි. මේ වන විට සිදුකර තිබෙනා පරීක්ෂණවලට අනුව සීනි රහිත සිසිල් බීමවල පැණි රසය ගැනීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය කුඩා දරුවන්ට අහිතකර බවට සොයාගෙන ඇත. එබැවින් බොහෝ සීනි රහිත සිසිල් බීමවල බෝතලයේ ලේබලයේ කුඩා දරුවන්ට අහිතකර බවට කුඩා අකුරුවලින් ඉංග්‍රීසියෙන් සටහන් කර තිබේ. නමුත් ඉංග්‍රීසි නොදන්නා දෙමවුපියන් මෙම සිසිල් බීම වර්ග කුඩා දරුවන්ට ලබාදීම සිදුකරනු ලබයි.
කුඩා දරුවන් අතර ජනප්‍රිය පානයක් තුළ අධික සීනි සහිත බවට ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කළේය. මේ නිසා මෙම පානය තහනම් කළයුතු බවටත් ජනාධිපතිවරයා ප්‍රකාශයක් සිදුකර තිබෙන බවද වාර්තා වේ. එහෙත් අවාසනාවන්තම සිද්ධිය වී තිබෙන්නේ ජනාධිපතිවරයාගේ දියණිය විසින් කුඩා දරුවන්ට මෙම පානය සහිත පැකට් බෙදා දීමය. මෙම පානය තුළ අධිකව සීනි තිබෙන බවට සමහර වෛද්‍යවරුන්ද විශාල හඬක් නගනු ලැබීය. එහෙත් ජනාධිපතිවරයාගේ දියණිය මෙම පානය සහිත පැකට් බෙදා දෙන ආකාරය සහිත ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවි හරහා හුවමාරු වීමත් සමග එම පානයේ අහිතකරභාවය ගැන කිසිවෙකුත් කතා කරන්නේ නැත.
ආනයනික කිරිපිටි තුළින් බෝ නොවන රෝග ඇතිකරන බවට ප්‍රකාශ කර දේශීය කිරිපිටි කර්මාන්තය නගාසිටුවන බවට ජනාධිපතිවරයා පොරොන්දු ලබාදෙනු ලැබිණ. එසේ ප්‍රකාශ කිරීම නිසා දේශීය ගොවියාගේ කිරි අස්වැන්න සඳහා ලීටරයකට රුපියල් 70ක සහතික මිලක්ද නියම කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. එසේ කටයුතු කළ ආණ්ඩුවම ආනයනය කරන කිරිපිටි කිලෝවක් සඳහා යොදවා තිබූ රුපියල් 248ක බදු මුදල රුපියල් දෙක දක්වා අඩු කිරීමට කටයුතු කළේය.
මේ නිසා කිරි උපයෝගී කරගෙන සකස් කරන අතුරු නිෂ්පාදන සඳහා පිටිකිරි භාවිත කිරීමට කර්මාන්තකරුවන් කටයුතු කරන ලැබිණ. අවසානයට දේශීය කිරි කර්මාන්තය කඩා වැටීමකට ලක්වූ අතර, කිරි පිටි ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගොස් තිබෙන බවටද වාර්තාවේ.
සාමාන්‍ය‘යෙන් වසරකට කිරිපිටි මෙට්‍රික්ටොන් 40,000ක් පමණ ආනයනය කර තිබෙන අතර, මෙම ප්‍රමාණය පසුගිය වසරේදී දෙගුණයක් වී ඇත. වස විසෙන් තොර ගොවිතැනක් ගැන විශාල ලෙස හඬක් නැගුවේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. මේ අනුව දේශීය ගොවිතැන සඳහා පරිසර හිතකාමී ක්‍රමවේදයන්ද හඳුන්වා දීමට කටයුතු කළ අතර, මෙම කටයුතු කිරීම සඳහා ජනාධිපති කාර්යසාධන බලකායක්ද පිහිටුවනු ලැබිණි. මෙම ක්‍රමවේද හරහා රසායනික පොහොර භාවිතය ක්‍රමක්‍රමයෙන් අඩු කිරීමට සැලසුම් කළේය.
එහෙත් පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේදී ගොවි ජනතාව නියෝජනය කරන ප්‍ර‘දේශවලදී ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයට ඡන්දය භාවිත කිරීම අඩු වීම නිසා මේ වන විට කඩිමුඩියේ ගොවි ජනතාවට රසායනික පොහොර සහන මිලට ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබේ. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමත් සමග කාබනික වගාවන් දියුණු කිරීමට මෙතෙක් ගොවීන්ට ලබාදුන් සහන කප්පාදු කර තිබෙන බවද පරිසර හිතකාමී ගොවි ජනතාව සඳහන් කරති.
මතට තිත තැබීම සඳහා මත්පැන් හා බියර් මිල ඉහළ දැමීමට කටයුතු කළේය. බියර් මිල ඉහළ දැමීම නිසා නීතිවිරෝධී මත්පැන් භාවිතය ඉහළ ගොස් තිබෙන බවට ආණ්ඩුවේ අැමතිවරු කිහිප දෙනෙකු පෙන්වා දෙනු ලැබිණි. මේ නිසා ජනාධිපතිවරයාගේ උත්සාහය පරාජයට පත්වී බියර් මිල පහළ ගියේය.
එමෙන්ම මත්පැන් අලෙවි සැල් විවෘත කර තිබන කාලය දීර්ඝ කිරීමට හා මත්පැන් අලෙවි සැල් තුළ කාන්තාවන්ට සේවය කිරීමට සහ මත්පැන් මිලදී ගැනීමටත් ඔවුන්ට අවස්ථාව ලබාදිය යුතු බවට කතාබහක් ඇතිවිය. මේ නිසා අද දවස වනවිට රටට ප්‍රතිපත්තියක් නොමැති තත්ත්වයකට පත්වී තිබේ. රටට ප්‍රතිපත්තියක් නොමැති නිසා බොහෝ මැති ඇමතිවරුන් ඔවුන්ට සිතෙන සිතෙන දේ සිදුකිරීමටත්, ජනාධිපතිවරයා ගන්නා තීන්දු තීරණ කඩාකප්පල් කර දැමීමටත් කටයුතු කරමින් සිටිති.
දේශපාලඥයන්ගේ සමහර ගෝලබාලයන්ද නීතිය අතට ගෙන කටයුතු කරන ආකාරයක් පෙන්නුම් කරමින් තිබේ. මේ ආකාරයට රට ගමන් කළහොත් වැඩි කල් නොගොස් රට අරාජික තත්ත්වයකට පත්වීම වළක්වාගත නොහැකි වනු ඇත. මේ නිසා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන බලතල අකුරටම ක්‍රියාත්මක කර රට ගොඩනැගිය යුතුය. එසේ නොමැතිව යම් යම් දේශපාලඥයන්ගේ හා ඔවුන්ගේ ගෝලබාලයන්ට අවශ්‍ය ආකාරයට රට හැසිරවීමට ඉඩ ලබාදීමට කටයුතු කළහොත් මෙරට තවත් ඉතියෝපියාවක්, සෝමාලියාවක් වීම වළක්වාගත නොහැකි වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd