එදා රුදුරු ත්‍රස්තවාදයත් සමග සටන් වැදිලා රටත්, ජනතාවගේ ජීවිතත් සුරක්ෂිත කළ රණවිරුවන් අද මහපොළොවත් සමග ගැටෙමින් අපේ මුතුන්මිත්තන් අපට දායාද කරපු, අපව ලෝකයේ ඉහළින්ම රඳවපු කෘෂිකාර්මික ආර්ථිකයට නැවතත් පණ පොවන්නට දරන නිහඬ වෑයමක් ඔබ වෙත ගෙන ඒමට අද විශේෂංගය තුළින් මේ විදියට ඉඩහසර වෙන් කෙරෙනවා. සෝමාවතිය පුදබිම අසලින් වැටුණු සේරුවිල වෙත දිවයන මාර්ගයේ කිලෝමීටර කිහිපයක් ගමන් කළාම හමුවන කන්දකඩුව යුද හමුදා ගොවිපොළ අද මෙරට තිබෙන සාර්ථකම සහ විශේෂිතම ගොවිපොළක් ලෙස හඳුන්වන්න පුළුවන්. වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ නිරන්තර මගපෙන්වීමෙන් සහ යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් මණ්ඩලයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් බුවනක ගුණරත්න මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වන මේ ගොවිපොළේ මේ වනවිට නිලධාරීන් 5 දෙනෙකුත්, සෙසු නිලයන් 150 දෙනෙකුත් සහ අවට ගම්මානවලින් බඳවාගත් තරුණ තරුණියන් 200 දෙනෙකුගෙන් සමන්විත වෙනවා.
ගොවිපොළේ ඉතිහාසය
මෙම ගොවිපොළ වර්ෂ 1950 දී අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ සහ එංගලන්ත ජාතික ඇන්කර් මහතාගේ මූලිකත්වයෙන් පිහිටුවූවකි. එවකට අක්කර 11436ක භූමි ප්‍රමාණයක් සහිත මෙම ගොවිපොළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වුණා. වසර ගණනාවක් ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන ගිය මෙම කන්දකඩුව ගොවිපොළ 1984 වසරේදී ප්‍රථම වතාවට රුදුරු කොටි ත්රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක්වෙනවා. එම ප්‍රහාරයෙන් ගොවිපොළේ සේවයේ නිරත වී සිටි පුද්ගලයන් හතරදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙන අතර, එල්.ටී.ටී.ඊ යේ ප්‍රහාර තවත් දැඩි වීමත් සමඟ ගොවිපොළ අත්හැර දැමීමට සිදුවෙනවා. ඒ සමග ගොවිපොළේ තිබුණු ගොඩනැගිලි, කෘෂි උපකරණ ආදී තවත් වටිනා බොහෝ දේවල් විනාශයට පත් වුණා. සමහර දේවල් එල්.ටී.ටී.ඊ සංවිධානයේ භාරයට පත්වී තිබෙනවා
.
2009 වර්ෂය වනවිට එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කරමින් මානුෂීය මෙහෙයුම අවසන් වීමත් එක්ක. එවකට සිටි යුද හමුදාපතිවරයාගේ උපදෙස් අනුව නැවතත් කන්දකඩුව යුද හමුදා ගොවිපොළේ කටයුතු ආරම්භ කරන්න ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායට පැවරෙනවා. ඒ අනුව 2009 වසරේ ඔක්තෝම්බර් මස 07 වැනිදා යුද හමුදා පොදු සේවා බළකාය කන්දකාඩු ගොවිපොළ නැවතත් රටට ඵලදායී ලෙස දායාද කරන්න වැඩකටයුතු ආරම්භ කරනවා. ඒ අතර වාරයේදී 2012 වර්ෂයේ අගෝස්තු මස 28 වැනිදා කන්දකඩුව ගොවිපොළ සම්පූර්ණයෙන්ම යුද හමුදාවේ පාලනයට භාරකෙරෙනවා.
අද තත්ත්වය
අද වනවිට අක්කර 3500ක භූමි ප්‍රමාණයක් සහිත කන්දකඩුව යුද හමුදා ගොවිපොළේ අක්කර 1500කට ආසන්න භූමි ප්‍රමාණයක වගා කටයුතු සහ සංවර්ධන කටයුතු සිදුවෙනවා. මේ වෙද්දි ගොවිපොළේ,
පහතරට එළවළු වර්ග වගාව, පලතුරු වගාව, වී වගාව, රබර් වගාව, කජු වගාව, අතුරු භෝග වගාවන්, විසිතුරු මත්ස්‍ය වගාව, සත්ත්ව පාලනය
ඉතාමත් සාර්ථක ලෙස සිදුවෙමින් තිබෙනවා. සුවිශේෂීතම කාරණය වන්නේ දරිද්‍රතාවෙන් දැඩි ලෙස බැටකමින් සිටි මේ ගොවිපොළ අවට ගම්මානවල පදිංචි ජනතාවගේ ආර්ථික සහ සාමාජීය තත්ත්වය නගාසිටුවන්න කන්දකඩුව යුද හමුදා ගොවිපොළ සමත් වීමයි. අවට ගම්මානවල තරුණ පිරිස් 200කට වැඩි ප්‍රමාණයකට 2013 වසරේ සිට ගොවිපොළ තුළ රැකියා අවස්ථා නිර්මාණය කර දීමෙන් මේ ප්‍රදේශවල ජනතාව එතෙක් කාලයක් දරිද්‍රතාව නිසා අත්විඳි වේදනාවන් අතීතයට පමණක් සීමා කරන්න කන්දකඩුව ගොවිපොළ සමත්ව තිබෙනවා. ඒ වගේම සිසුන් 5 දෙනෙක් පමණක් අධ්‍යාපනය ලැබූ කන්දකඩුව ප්‍රාථමික විදුහල අද වෙනකොට පහසුකම් අතින් දියුණු කරමින් සිසුන් 50කට වැඩි පිරිසකගේ නෙත් පාදන තත්ත්වයට පත්ව තිබෙන්නේත් මෙම ගොවිපොළ නිසයි. ඒ වගේම මේ ගොවිපොළේ සිදුකරන සෑම වගාවක් සඳහාම භාවිත කරන්නේ කාබනික පොහොර සහ ස්වාභාවික පළිබෝධන ක්‍රමවේදයන් වීම තවත් විශේෂත්වයක් වෙනවා.
ගොවිබිමේ ලද ජයග්රහණයන්
මූලිකවම අක්කර 200ක භූමි ප්‍රමාණයක් පුරා දේශීය පාරම්පරික වී වර්ග සහ සාමාන්‍ය වී වගාව සාර්ථක ආකාරයෙන් සිදුවී තිබෙනවා. වී වගාව සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීම සිදුවෙන්නේ බ්‍රිගේඩියර් බුවනක ගුණරත්න මහතාගේ සංකල්පයක් මත අපේ විරුවන්ගේ අතින් නිමැවුණු 'ඉසුරු වැව 5' මගින්. ගොවිපොළට පිටින් දකින්නට ලැබෙන %ඉසුරු වැව 3^ අවට වනසතුන්ගේ පිපාසය නිවන්න සිදුකළ නිර්මාණයක්. අතීත රජදරුවන් ලෝකයම පුදුමයට පත්කරමින් සිදුකරපු විශ්මිත වාරි නිර්මාණයන් අද අපේ රණවිරුවන්ගේ දෑතින් සිදුවෙලා තිබෙන ආකාරය අපේ සිත්වලටත් ඇති කළේ විශාල අභිමානයක් බව සඳහන් කළ යුතුමයි. මේ අක්කර 200ක් වුණු වී වගාව තුළ දේශීය වී වර්ග 26ක්, අක්කර 50ක වපසරියක සාර්ථකව වගා කෙරෙනවා.
කන්දකඩුව ගොවිපොළ භූමියෙන් අක්කර 50ක භූමි ප්‍රමාණයක් පුරා විහිදී තිබෙන මහා පරිමාණ %ටොම් ඇන්ඩ් ජර්සි^ අඹ වගාව මෙහි සාර්ථකව සිදුකරන තවත් විශේෂිත වගාවක්. මේ අඹ වර්ගය පළිබෝධ උවදුරු ඉතාමත්ම අවම වන ලෙසටත්, ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීමටත් විශේෂිත ක්‍රමවේද බොහෝමයක් යුද හමුදාව විසින් භාවිත කරනු ලබනවා. කෙසෙල් වගාව අක්කර 15ක පමණ සිදුකර තිබෙනවා. එම භූමියේම අතුරු භෝගයක් ලෙස අක්කර 7කට වැඩි ප්‍රමාණයක රබර් වගාවක්ද දැකගන්න පුළුවන්. කෙසෙල් කොළ ආශ්රයෙන් නිපදවන ජීව ආහාර දවටනය සඳහා අවශ්‍ය කෙසෙල් පත්‍ර ලබාගැනීමටත් වෙනම කෙසෙල් වගාවක් ගොවිපොළ සතු වෙනවා.
විශාල වාණිජමය වටිනාමක් තිබෙන කජු වගාව කන්දකඩුවේ අක්කර 50ක භූමිභාගයක් පුරා සිදුකෙරෙනවා වගේම කජු සංස්ථාවත් සමග ඒකාබද්ධවෙලා තවත් අක්කර 25ක කජු වගාවක් සිදුකරන්න කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා. මීට අමතරව සියලුම පහතරට එළවළු වර්ගවලිනුත්, ගස්ලබු, පේර, පැණි කොමඩු වැනි තවත් පලතුරු වර්ග රැසකිනුත් මේ අපූරු ගොවිබිම සශ්‍රීකයි. අතුරු භෝග විදියට මුංඇට, කව්පි, සෝයා බෝංචි, දෙළුම්, දෙහි, මිරිස් ආදී භෝග විශාල ප්‍රමාණයක් වගා කරනවා වගේම බීජ නිශ්පාදන ව්‍යාපෘතියක්ද ගොවිපොළ සතුව තිබෙනවා. මීට අමතරව එළ ගවයින්, මී ගවයින්, කුකුළන්, එළුවන් භාවිත කරමින් විශාල ප්‍රමාණයෙන් සත්ත්ව පාලන ව්‍යාපෘතියක්ද ගොවිපොළ තුළ ක්‍රියාත්මකයි. මේ විශේෂිත ව්‍යාපෘති අතරට වකුගඩු රෝගයටද යම් පිළියමක් ලබාදෙන්න සමත් නිෂ්පාදනයක් වූ ස්පිරුලිනා ඇල්ගී වගාවද අයත් වෙනවා.
වී වගාව හැර අනෙකුත් මේ සියලුම භෝග වගාවන් සඳහා අවශ්‍ය ජලය සපයාගන්න යුද හමුදාව භාවිත කර තිබෙන ක්රමවේදයත් සඳහන් කළයුතුම විශේෂිත කාරණයක් වෙනවා. කන්දකඩුව යුද හමුදා ගොවිපොළට කිලෝමීටර 4කට වැඩිදුරක සිට ගලායන මහවැලි ගඟෙන් ලබාගන්නා ජලය වනාන්තරය මධ්‍යයේ සිට නළ මගින් පොම්ප කරලයි ජලය ලබා ගැනෙන්නේ. ජලය පොම්ප කෙරෙන්නේ සූර්යපැනල් භාවිතයෙන් සකස් කරලා තිබෙන ස්වයංක්‍රීය ක්‍රමවේදයකින් වන නිසා කිසිදු පාරිසරික හානියක් සිදුවන්නේ නැහැ. වැදගත්ම කරුණ වෙන්නේ මේ අපූරු ජල සම්පාදන ක්‍රමය නිර්මාණය කර තිබෙන්නේ යුද හමුදාව විසින්ම වීමයි.
ගතට සිතට සිසිල ගෙනෙන අපූරු නවාතැන
කන්දකඩුව ඇළට යාබදව පිහිටලා තිබෙන ඉතාමත් සුන්දර සිසිල් පරිසරයක ඉදිකෙරුණු නිවාඩු නිකේතනය කන්දකඩුව ගොවිබිමේ තිබෙන තවත් සුවිශේෂීතම අංගයක් වෙනවා. සෝමාවතියේ වන්දනාවට පැමිණෙන ඔබට, නිවාඩුවක් ගතකිරීමේ අදහසින් මේ ප්‍රදේශයේ සංචාරය කරන ඔබට මේ අපූරු සුන්දර නවාතැන ඉතාමත් සාධාරණ මිලකට වෙන්කර ගැනීමේ හැකියාව තිබෙනවා. එය ඔබට අලුත්ම අත්දැකීමක් ලබාදෙන බව සහතිකයි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා
'1950 වසරේදී ආරම්භ කරලා කාලයක් ත්‍රස්තවාදී ප්‍රහාර නිසා අත්හැර දමලා තිබුණු මේ ගොවිපොළ යුද හමුදාවට බාර වෙන්නේ 2009 වසරේදී පමණ. එදා සිට මේ දක්වා කාලය ගත්තොත් මේ වෙනකොට කන්දකඩුව ගොවිපොළ විශාල දියුණුවක් ලබලා තිබෙනවා. මෙමගින් යුද හමුදාවට අවශ්‍ය ආහාර සපයාගන්නට හැකි වී තිබෙනවා වගේම මේ අවට ග්‍රාමීය ජනතාවට රැකියා අවස්ථා උදාකරලා දීලා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්නත්, සංවර්ධනය මේ ගම්වලට ගෙන එන්නත් හැකියාව ලැබී තිබෙනවා. සංවර්ධනය ගමට අරන් යන වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කරන්න මේ ඔස්සේ යුද හමුදාව සමත් වෙලා තිබෙනවා.
ඒ වගේම මේ ගොවිපොළ මගින් වකුගඩු රෝගයටත් විසඳුමක් ලබාදිය හැකි ස්පිරුලිනා ඇල්ගී විශේෂය වගා කිරීම සිදුකරනවා. ඒ ආශ්රිත නිෂ්පාදන බිහිකරන්නත් සමත් වෙලා තිබෙනවා වගේම නුදුරේදීම මේ නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් යනවා.'
මංගලිකා-මුතුවැල්ල (ගොවිපොළේ සේවයේ නියුතු ගම්වාසී තරුණියක්)
' මේ ගොවිපොළේ වැඩට එන්න කලින් අපි කුලී වැඩ තමයි කළේ. ආර්ථික තත්ත්වය තිබුණේ බොහොම දුර්වල මට්ටමක. මුළු ගමේම තත්ත්වය වුණේ ඒක. 2013 අවුරුද්දේදී දැනගන්න ලැබුණා ගොවිපොළේ වැඩට කට්ටිය බඳවගන්නවා කියලා. ඒ එක්කම මමත් මේකට බැඳුණා. මේ රස්සාවට ආවත් එක්කම දැන් අපි හැමෝටම කාටවත් අත නොපා ජීවත් වෙන්න ලැබිලා තියෙනවා. අපිට නිලඇඳුම හැර සාමාන්‍ය සොල්දාදුවෙකුට ලැබෙන වැටුපත් එක්ක දීමනා, විශ්‍රාම වැටුප් හැමදේම ලැබෙනවා. මගේ සැමියා වැඩ කරන්නෙත් මේ ගොවිපොළේමයි. අපේ දරුවන්ටත් ශිෂ්‍යාධාර පවා කඳවුරෙන් ලබාදෙනවා. ඒක අපිට ලොකු හයියක්. මේ ගොවිපොළ නිසා අද වෙද්දි ගම වුණත් ඉස්සර තිබුණ තත්ත්වෙට වඩා සෑහෙන දියුණුවක් ලබලා තියෙනවා*
ජයසේකර-මෛත්‍රීගම (ගොවිපොළේ සේවයේ නියුතු ගම්වාසී තරුණයෙක්)
'මම මෙතන රස්සාවට එන්න කලින් කළෙත් කුඹුරු වැඩ. ඒත් අපිට ලොකු ආර්ථික තත්ත්වයක් තිබුණේ නැහැ. උදේ හවස ගෙදර එන්න පුළුවන් නිසාත්, හොඳ වැටුපක් එක්ක ස්ථිර රස්සාවක් ලැබෙන නිසාත් 2013 අවුරුද්දෙදී මෙතන වැඩට ආවා. මේ වෙනකොට ගෙවල් දොරවල් පවා හොඳට හදාගන්න පුළුවන් වෙලා තියෙනවා මේ රස්සාව නිසා. කිසි ප්‍රශ්නයක් නැතුව හැමෝම සමගියෙන්, ආසාවෙන් තමයි මෙතන වැඩට එන්නේ. ඕනම කරදරයකදී කඳවුරෙන් තමයි පිහිටට වුණත් එන්නේ*
ඡායාරූප-ක්‍රිෂාන් රණසිංහ