මෙරට කසළ කළමනාකරණය සඳහා නිසි සැලැස්මක් ඇතිකිරීමේ අවශ්‍යතාව තදින් මතුවීම ආරම්භ වූයේ මීතොටමුල්ල කසළ කන්ද පුපුරා යෑමෙන් සිදුවූ මහා විනාශයත් සමගය. එතෙක් කලක් වගකිවයුත්තන් විසින් කසළ කළමනාකරණය යැයි පවසමින් සිදුකරනු ලැබුවේ එක් තැනකින් එක්වන කසළ තවත් ප්‍රදේශයකට ගොඩගසා කුණුකඳු නිර්මාණය කිරීමය. කෙසේ වෙතත් මේ වනවිට ඒ සඳහා වූ විවිධාකාරයේ වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙමින් තිබේ. නමුත් ඒ සියල්ල ස්ථිරසාර විසඳුම් විය යුත්තේ කසළ ප්රශ්නය ඇත්තේ යම් කාලසීමාවක පමණක් නොවන බැවිනි. එවැනි ස්ථිරසාර වූ ප්රශස්ත විසඳුමක් පිළිබඳ 'අද'ට මෙම විග්‍රහය ගෙන එනුයේ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨ පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ආචාර්ය එම්.ජී. කුලරත්න මහාතාය.
'අපේ ස්වාභාවික පරිසර පද්ධතියට අප විසින් බැහැර කරනු ලබන අපද්‍රව්‍යවලින් යම්කිසි ප්‍රමාණයක් අවශෝෂණය කරගැනීමේ හැකියාවක් පවතිනවා. ස්වාභාවික ක්‍රියාවලියක් තුළ මෙය සිදුවෙන්නේ. නමුත් මේ ස්වාභාවිකව අවශෝෂණය කරගන්නා ප්‍රමාණය සීමාව ඉක්මවා ගියවිට අපට එතැනදී කසළ ප්‍රශ්නයක් මතුවෙනවා. එම අතිරික්ත කසළ ප්‍රමාණය නැවත පරිසර පද්ධතියට සුදුසු වන ආකාරයට යෙදීම මානව ක්‍රියාවලියකින් මිස, ස්වාභාවික ක්රියාදාමයකින් සිදුකළ නොහැකියි. ඒ කාර්යය නිසි ආකාරයෙන් සිදු නොවුණොත් එතැනදී පරිසර දූෂණය සිදුවෙනවා.
ඒ හේතුව නිසයි අපි අපද්‍රව්‍ය කළමනාකරණය කරගත යුත්තේ. අපද්‍රව්‍ය කළමනාකරණයේදී එහි මූලික අවධානය යොමුකළ යුත්තේ ගෘහස්ථ අපද්‍රව්‍ය කළමනාකරණය වෙත. කසළ නිර්මාණය වැළැක්වීම ප්‍රායෝගික වශයෙන් කළ හැකි කාර්යයක් නොවෙයි. වෙළෙඳ පොළ ක්‍රමයත් එක්ක පවතින අපේ නූතන පරිභෝජන රටාවත්, විකල්ප පරිභෝජන ක්‍රමවේද අවම වීමත් එක්ක අතිරික්ත කසළ ප්‍රමාණයකුත් අප අතින් ජනනය වෙනවා. ඒ නිසා කසළ කළමනාකරණයේදී පුද්ගල වශයෙන් තම තමන්ගේ පරිභෝජන රටාවන් යම්යම් වෙනස්කම්වලට ලක්කර ගත යුතු වෙනවා. අනෙක් කාරණය වෙන්නේ දැනට ඉදිරිපත්ව තිබෙන බොහෝ ක්රමවේදයන්වල ප්‍රායෝගික නොවන බව.
අනෙක් විශේෂිතම කාරණය තමයි අපද්‍රව්‍යවලින් තොරවුණු පරිසරයක ජීවත් වීමේ වටිනාකම හෝ ඒ ආකල්පය අධ්‍යාපනය මගින් තවමත් දරුවන්ට නොලැබීම. අද වෙනකොට බොහොමයක් පාසල්වල පිරිසුදු කිරීම් කටයුතු සිදුකෙරෙන්නේ පිටස්තර ආයතනයක් හෝ පුද්ගලයන් මගින්. තමන් අවට වටපිටාව පිරිසුදුව තබාගන්න ළමයෙකුට කියාදෙන්න විදියක් නැහැ. ඒ වගේම දෙමවුපියන් පවා අකමැතියි තමන්ගේ දරුවා පාසලේ පිරිසුදු කිරීම් කටයුතුවල නිරත වෙනවාට. ඒ කාර්යය නිවසින් සිදුවෙන්නෙත් නැහැ. මේ අකාරයට කොස්සක් අතින් අල්ලන්නවත් හුරු නොකරන අධ්‍යාපන ක්‍රමයකින් බිහිවන පරපුරකින් අනාගතයේදී අපට කිසිදු විදියකින් අපද්‍රව්‍ය කළමනාකරණය බලාපොරොත්තු විය නොහැකියි.
තවත් දෙයක් තමයි දැන් ජනතාවට කියනවා කුණු වෙන්කරන්න කියලා. ජනතාව එය කෙසේ හෝ වෙන් කරලා දෙනවා. වෙන් කරලා දෙන කුණු ටික නගර සභාව එකට දාලා අරගෙන යනවා නම්, එතැනදී මිනිස්සු කල්පනා කරනවා තවදුරටත් කුණු වෙන්කිරීමෙන් පලක් නැති බව. අනෙක් අතින් වෙන්කරන කුණුවලින් ප්‍රයෝජනයක් ගත හැකි ක්‍රමවේදයන් ප්‍රමාණවත් ලෙස මේ රටේ තිබෙනවාද කියලා විශාල ගැටලුවකුත් තිබෙනවා.
සමස්තයක් ලෙස මේ සියල්ල ගත්තාම අපට පෙනෙන දේ තමයි දැනට ඉදිරිපත්ව අතිබහුතරයක් විසඳුම් ප්‍රායෝගික වශයෙන් අඩුපාඩු සහිත බව. මේ කසළ ගැටලුව ලෝකයේ කිසිම තැනක විසඳා නැති ප්‍රශ්නයක් නොවෙයි. ඒ නිසා මීට විසඳුම් ඕනෑ තරම් ලෝකයේ තිබෙනවා. නමුත් අපි මේ රටට විසඳුමක් සොයනවා නම්, රටට සෑම අතින්ම ගැළපෙන විසඳුමක් සෙවිය යුතුයි. ඒ වගේම ලැබෙන විසඳුම් යම් කාලයකට පමණක් සීමා නොවිය යුතුයි. ඒ විසඳුම සෑම අතින්ම නොගැළපුණත් අවශ්‍ය ආකාරයට ගළපාගත හැකි ස්ථිරසාර විසඳුමක්ම විය යුතුයි.
ඒ අනුව මම සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආචාර්ය හේමන්ත ප්‍රේමරත්න මහත්මයා කරපු දීර්ඝ කාලීන අධ්‍යයන සහ පර්යේෂණ රැසකින් පසුව මෙරට අපද්‍රව්‍ය කළමනාකරණයට ස්ථිරසාර විසඳුමක් විදියට පාරිසරික ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේදය හෙවත් 'ERS (Environement Recycle System)' ක්‍රමවේදය ඉතාමත් සාර්ථකව යොදාගත හැකි බව පෙනීගියා. මෙය සිංගප්පූරුව, ජපානය, දකුණු කොරියාව, ඉන්දුනීසියාව, පිලිපීනය ආදී විශාල රටවල් ගණනක් භාවිත කරන ඉතාසාර්ථක යාන්ත්‍රික ක්‍රමවේදයක්. මේ ක්‍රමවේදය තුළින් දෛනිකව එක්රැස් වන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 02 සිට 100 දක්වා විවිධ පරිමාණවලින් මේ යන්ත්‍රයට ඇතුළත් කරලා ප්‍රශස්ථ ආකාරයකින් කළමනාකරණය කරන්න පුළුවන්. මෙහි භාවිත වෙන්නේ ඉතාම සරල ක්‍රියාවලියක්.
උදාහරණයකින් මෙය පැහැදිලි කරනවා නම්, අපි ගත්තොත් ප්ලාස්ටික් බෝතලයක් මත ගොඩගසා තිබෙන කොළරොඩු ගොඩක්. සති දෙකකින් පස්සේ අපට දැකගන්න පුළුවන් කොළරොඩු ටික පොහොර වෙලා පොළවට පස්වෙලා තිබෙන ආකාරයත්, ප්ලාස්ටික් බෝතලය ඉතිරිවෙලා තිබෙන ආකාරයත්. ඒ ක්රියාවලියමයි මෙතැනදීත් සිදුවෙන්නේ. නමුත් මෙහි තිබෙන විශේෂත්වය වෙන්නේ ස්වාභාවිකව සති 02ක් හෝ තුනක් ගතවෙන මේ ක්‍රියාවලිය 'ERS' එක මගින් පැය 22ක් වගේ කුඩා කාලයකින් සිදුවීම. එහෙම වෙන්න හේතුව තමයි මෙතැන තිබෙන අද්විතීය තාක්ෂණය. ජපානයේ විද්‍යාඥයෙක් වසර 17ක් තිස්සේ අපද්‍රව්‍ය ස්වාභාවිකව වියෝජනය කරන්න උපකාරී වන බැක්ටීරියාව හඳුනාගන්න සමත් වුණා. ඒ බැක්ටීරියාවයි 'ERS' ඒකකයට යොදා තිබෙන්නේ. තෙත සහිත අපද්‍රව්‍ය වුණත් මීට ඇතුළත් කරන්න පුළුවන්. ඒ අපද්‍රව්‍ය දිරාපත් වූ වියළි ද්‍රව්‍ය ලෙස අපට ලබාගන්න පුළුවන්.
එතැනින් විශේෂ පෙරණයක් මාර්ගයෙන් දිරාපත් වූ කොම්පෝස්ට් ද්‍රව්‍ය වෙනමත්, නොදිරන ප්ලාස්ටික්, ලී වැනි ද්‍රව්‍ය වෙනමත් ලබාගන්න පුළුවන්. මේ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයට ජල වාෂ්ප අවශ්‍ය කරනවා. ඒ සඳහා මෙහි බොයිලේරුවක් තිබෙනවා. අපට පුළුවන් එතැනදී ඒ බොයිලේරුවට පෙරණයෙන් වෙන්වෙලා එන ලී කැබලි සහ ප්ලාස්ටික් යොදන්න. බොයිලේරුව පිටතට දුර්ගන්ධයක් හෝ ජල බි‘ඳුවක් වත් නොඑන්න තාක්ෂණික වශයෙන් දියුණු කරලා තිබෙන්නෙ. ඒ අනුව කිසිදු ආකාරයක පාරිසරික හානියක් මේ පද්ධතිය තුළින් සිදුවෙන්නේ නැහැ. උපරිම ධාරිතාව සහිත යන්ත්‍රය සඳහා අවශ්‍ය වෙන්නේ පර්චස් 40ක පමණ ඉඩ ප්‍රමාණයක් පමණත් වීමත් මෙහි තිබෙන තවත් වාසියක්. ඒ වගේම මේ පද්ධතිය ගලවලා ඕනෑම ස්ථානයක නැවත සවිකිරීමේ හැකියාවත් පවතිනවා.
මීළඟට අපි අවධානය යොමුකළ යුතු විශේෂිතම කාරණය වෙන්නේ මේ 'ERS' පද්ධතිය ප්රශස්ත විසඳුමක් වෙන්නේ කොහොමද කියන එකයි. පළමු පියවරේදී අපට හැකියාව තිබෙනවා මෙයින් කොම්පෝස්ට් නිෂ්පාදනය කරගන්න.
මීළඟට අපට හැකියාව පවතිනවා මේ යන්ත්‍රයට යොදන යෙදවුම මත නිමැවුම තීරණය කරන්න. අපේ රටේ දෛනිකව වෙළෙඳ පොළෙන් විශාල ප්‍රමාණයක් මත්ස්‍ය කොටස් සහ එළවළු පලතුරු ඉවත දානවා. ඒ කොටස් මේ යන්ත්‍රයට යොදලා අපේ මත්ස්‍ය සම්පත වෙත ගැටලුවක් වෙලා තිබෙන මත්ස්‍ය ආහාර හිඟයට පිළියම් ලබාගන්න හැකිවෙනවා වගේම සත්ත්ව පාලනයට අවශ්‍ය සත්ත්ව ආහාර පහසුවෙන් සපයා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා පිටරටට ලබාදෙන මුදල් විශාල වශයෙන් ඉතිරි කරගැනීමට හැකියි. ඒ අනුව මෙමගින් භෝග වගාව, සත්ත්ව පාලනය, මත්ස්‍ය වගාව කියන කෘෂිකාර්මික ක්ෂේත්රවලට අත්‍යවශ්‍ය වන ප්‍රධානතම සාධකයන් සපයා ගන්න හැකියි. ඊට පස්සේ ඉතිරි වන නොදිරන අපද්‍රව්‍යවලින් අපට හැකියාව තිබෙනවා බලශක්තිය උත්පාදනය සඳහා යොදාගන්න.
සමස්තයක් විදියට සලකද්දී මම කලින් පැවසුවා මෙමගින් අපේ කෘෂිකාර්මික ක්ෂේත්‍ර සම්පූර්ණයෙන්ම කාබනික වෙන බව. ඒ කාබනික වීම මගින් රසායනික ද්‍රව්‍ය භාවිතය අවම වෙනවා. රසායනික භාවිතය අවම වීම තුළ ඒවා භාවිතය නිසා අපි මේ වනවිට මුහුණදී සිටින වකුගඩු රෝග ගැටලුවටත් ප්රශස්ත විසඳුමක් ලැබෙනවා. අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් කළමනාකරණය වීම නිසා ඩෙංගු ප්‍රශ්නයත් සැලකිය යුතු මට්ටමකින් විසඳෙනවා. හෝටල් ක්ෂේත්රයටත් මේ පද්ධතිය මගින් විශාල වාසියක් ලබාගන්න හැකිවෙනවා. සමස්තයක් වශයෙන් ගත්තාම කුණු කියන දේ මෙයින් අපට සම්පූර්ණයෙන්ම සම්පතක් කරගන්න පුළුවන් වෙනවා. මේවා තමයි ස්ථිරසාර වූත්, ප්රශස්ත වූත් විසඳුම්. මෙම වැඩසටහන් 'ERS' පද්ධතිය භාවිත කරන රටවල් සාර්ථක ලෙස ක්‍රියාත්මක කරමින් ඉන්නවා. පොදුවේ ගත් විට කිවහැකි කාරණය තමයි මෙම 'ERS' ක්‍රමවේදය හෙවත් පාරිසරික ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය මගින් මෙරට විශාල දැවෙන ගැටලු රැසකටම ප්රශස්ත විසඳුම් ලබාදෙනවා වගේම මෙරට ප්‍රාථමික කර්මාන්තවල දියුණුව ඇතිකරමින් රටේ ආර්ථිකයටත් යහපත් බලපෑමක් සිදුකිරීමට හැකියාව තිබෙනවා."
රටක විශ්වවිද්‍යාල පද්ධතියක් පවතින්නේ අධ්‍යාපනය ලබාදීමට මෙන්ම එරට සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදනයටද උපකාරී කරගැනීමටය. නමුත් එදාමෙදා තුර අපේ රටේ පාලකයන් කොතෙක් දුරට ඒ වටිනාකම් තේරුම් ගෙන ඇත්තේද යන්න ගැටලුවකි. මේ ආකාරයෙන් පර්යේෂකයන්, විද්වතුන් සිය සම්පත් පවා කැපකරමින් රටේ දැවෙන ගැටලු සඳහා විසඳුම් සොයන්නේ සිය ලාභ අපේක්ෂා තකා හෝ වෙනත් කැක්කුමකට නොවන බව කිව යුතුය. එම නිසා රටේත්, ජනතාවගේත් යහපත උදෙසා සිදුකරන මෙවැනි වැඩසටහන් සඳහා අනුග්‍රහය සහ අවධානය ලබාදීම පාලකයන් සතු වගකීම බව 'අද' ඉතා ඕනෑකමින් යුතුව සිහිපත් කිරීමට කැමැත්තෙමු.