අද සිය ජීවන ගමනේ හැට අටවැනි වියට පා තබන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන චාරිකාවේ හතළිස් දෙවැනි සැතපුම් කණුව පසු කරයි. හැට අට වසරක් යනු දිගු කාලයක් මෙන්ම හතළිස් දෙවසරක් යනු දීර්ඝ ගමන් මගකි.
විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ හතළිස් එක් වසරක දේශපාලන පාදයාත්රාව මලින් බර සුවපහසු මාවතක් මත සිදුකළ එකක් නොවේ. එය නොයෙක් බාධක කම්කටොලු, නින්දා, ප්‍රශංසා, ඇණුම් - බැණුම්, සංවිධානාත්මක මඩ ප්‍රහාර, ජය පරාජ, වැටීම්, නැගිටීම් ආදියෙන් සමන්විත බෙහෙවින් දුෂ්කර මාවතක් මත ධාවනය වූ එකකි. එය ජගත් දේශපාලනික වාර්තාවක් සම කිරීමකින්ද, ශ්‍රී ලංකා වාර්තා කිහිපියකින්ද විසිතුරුය. එය උපමා කළ හැක්කේ සුවහසක් ගල්පර, බාධක මැදින් නිසලව ගලා බසින ගංඟාවක් ලෙසය.
තීරණාත්මක නිමේෂයක්...
හැට අටවැනි වියට පා තබන මේ අවස්ථාවේ ඔහු සිටින්නේ තම දේශපාලන ජීවිතයේ අතිශය තීරණාත්මක හා බෙහෙවින් අභියෝගාත්මක මොහොතකය. සම්මුතිවාදී ආණ්ඩුවක අගමැති ලෙස කටයුතු කරමින් සිටින ඔහු අභිමුවේ ඇති පළමු අභියෝගය වන්නේ සිය ලාංකේය ජාතීන්ට පිළිගත හැකි සියලු ආගම් අදහන්නට සාධාරණය ඉටුවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමයි. දෙවැන්න මේ රට අධික ණය බරින් නිදහස්කර ගනිමින් රටේ ආර්ථික සංවර්ධනය ස්ථාපිත කිරීමයි. ඔහු ප්රවිශ්ට වී සිටින දේශපාලනික තෙමංසලේ ජාතිකවාදී හා ආගම්වාදී මාවත්වල කොළ එළි දැල්වෙමින් තිබියදී තෝරාගත යුතු වන්නේ දුෂ්කර ගමන් මගක් ඔස්සේ පතිත වී ඇති ජනප්‍රිය නොවන විකල්ප මාවතයි.
සුලභ ප්රචාරකවාදය හඹා නොයෑමත්, ජනප්‍රිය නොවන අභියෝගාත්මක තීන්දු තීරණ ගැනීමට පසුබට නොවීමත් රනිල් වික්‍රමසිංහ චරිතයේ සුවිශේෂ ලක්ෂණයන්ය. මේ සඳහා එක් උදාහරණයක් ලෙස ගෙනහැර දැක්විය හැක්කේ 2002 වසරේ පෙබරවාරි මාසයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට එළැඹීමයි.
සුවිශේෂී ලක්ෂණ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සතුව තම ප්‍රතිරූපය ආරක්ෂා කිරීමේ හා විද්‍යානුකූලව හා උපක්රමශීලීව එය ඉහළ නැංවීමේ සංවිධානාත්මක ප්‍රචාරණ යාන්ත්‍රණයක් (Organizing Propaganda Machinery) නොමැති තරම්ය. ප්‍රධාන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළ ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වීම සඳහා ස්ථානගත කළ මාධ්‍ය නියෝජිතයන් නැත. මෙය දේශපාලන නායකයකු සතු එක්තරා දුර්ලභ ලක්ෂණයකි. බොහෝ දේශපාලන විචාරකයන් මෙය දකින්නේ දුර්වලතාවයක් ලෙසය. එහෙත් එය රනිල් වික්‍රමසිංහ නම් චරිතයට ආවේණික ලක්ෂණයකි. මේ පිළිබඳ ඔහුගේ කෙටි අදහස වන්නේ නැංවිය යුත්තේ තමාගේ ප්රතිරූප නොව රටේ ප්‍රතිරූපය බවය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සතු සුවිශේෂී චරිත ලක්ෂණ බොහොමයක් ගොඩනැගී ඇත්තේ ඔහුගේ දැඩි පොත්පත් කියවීමේ රුචිකත්වය හා සම්භාව්‍ය කලා හා සංගීත ඇසුර නිසා යැයි කිව හැකිය. ඔහු සතු සුවිසල් පුස්තකාලය ඔහු විශ්ව දැනුමෙන් සන්නද්ධ පුද්ගලයකු බවට පත්කර තිබේ. තමා අධිනීතීඥවරයකු බවට පත් කළ නීති විෂයට පරිබාහිරව ඔහුගේ විෂයපථයන් ඉතිහාසය, පුරාවිද්‍යාව, බුද්ධ ධර්මය හා විවිධ ආගම්, දේශපාලනය චරිතාපදාන, දර්ශනය, ආර්ථික විද්‍යාව, සාහිත්‍යය වැනි පුළුල් පරාසයන් කරා විහිදී යයි.
දිනක් මේ ලියුම්කරු බ්‍රිතාන්‍ය ජාතික ඇන්ඩි මරිනෝ නම් ලේඛකයා විසින් ලියන ලද 'Narendra Modi – A Political Biography' (නරේන්ද්‍ර මෝදි - දේශපාලනික චරිතාපදානය) නම් කෘතිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තිළිණ කළේය. සිනහවකින් මුව සරසාගත් ඔහුගේ ක්ෂණික පිළිතුර වූයේ ''මේක මගේ ළඟ තියෙනවා. මම කියෙව්වා'' යන්නය. ඒ වනවිට ඒ ග්‍රන්ථය ලංකාවේ පොත්හල්වලට පැමිණ සතියක්වත් ගතවී තිබුණේ නැත. ඔහුගේ පොත් සොයා යෑමේ හා පොත් පත් කියවීමේ වේගය පිළිබඳව මම විශ්මයට පත්වුණෙමි.
රනිල් වික්‍රමසිංහ මහතා ග්රන්ථ කතුවරයෙකු බව බොහෝදෙනෙකු නොදන්නා කරුණක් විය හැකිය. ඔහු ලියා ඇති කෘති කිහිපය අතර මගේ බෙහෙවින් සිත් ගත්තේ 'දේශපාලනය සහ ධර්මය' නමැති කුඩා කෘතියයි. දේශපාලනයත්, බුද්ධ ධර්මයත් අතර බන්ධුතාවයන් ඇති කරමින් එකිනෙකට පරස්පර වූ මේ විෂයන් දෙක අතර, විවිධ සංකථනයන් ගොඩනඟමින් මෙවැන්නක් රචනා කිරීම සඳහා බුද්ධ ධර්මය, අභිධර්මය පිළිබඳ ගැඹුරු දැනුමක් අවශ්‍ය වෙයි.
උසස් කලා රසිකත්වය...
ඔහුගේ සම්භාව්‍ය සංගීත වින්දන පරාසය සෙබස්තියන් බාක්, මොසාට්, බීතෝවන්, රවි ශංකර්ගේ සිට ඒ.ආර් රහ්මාන් දක්වාද, සංධ්වනි, සිම්පනි සිට ඔපෙරා සංගීතය දක්වාද, වේග රිද්ම බයිලා ගීයක සිට ආචාර්ය පණ්ඩිත් අමරදේව, නන්දා මාලනී දක්වාද විහිදෙයි. උසස් සිනමා කෘතිවල සිට කලාත්මක යුද චිත්‍රපටයක් දක්වා රසවිඳීමට කුඩා ගෘහස්ථ සිනමාගාරය හා සංයුක්ත තැටි ගබඩාව පොහොසත්ය. සජීවීව වේදිකා නාට්‍ය නැරඹීම කාර්යබහුලත්වය මත ඇහිරී ඇත.
එහෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන් තමාගේ උසස් රසවින්දනය හෝ කලා විෂයන් පිළිබඳව මාධ්‍ය සමග දොඩමළු නොවන තරම්ය. ඒවා තමාගේ ප්රචාරක ව්‍යාපෘතීන් සඳහා ධනාත්මක උත්ප්‍රේරකයන් වුවද ඔහුගේ අදහස කලාව පිළිබඳ තමන් දරන මත පෞද්ගලික වන අතර, ඒවායින් පොදු මහජනතාවට ප්‍රයෝජනයක් නොමැති බවය. මෑතකදී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකින් ලැබූ ආචාර්ය උපාධි නාමය පවා ඔහු භාවිත නොකරයි. 2015 මහ මැතිවරණයේදී ලැබූ මනාප ඡන්ද වාර්තාව හෝ සිවුවරක් අගමැති තනතුර ලත් ලොව තෙවැන්න බවට පත්වීම වැනි අතිශය වැදගත් දේශපාලන ජයග්‍රහණ ගැන පවා ඔහු මුනිවත රැකීම විශ්මය උපදවයි.
දේශපාලන කරුණු මුල්කර ගනිමින් විරුද්ධවාදීන් එල්ල කරන වාග් ප්රහාරයන්ට එරෙහිව එල්ල කරන 'ප්‍රතිප්‍රහාර' (Counter Attacks) අවමය. 2015 මහ මැතිවරණය සඳහා කොළඹ 07, ගිල්බට් ක්‍රසන්ට් හි සිට ක්‍රියාත්මක වූ ඔහුගේ විශේෂ මැතිවරණ ප්රචාරක ඒකකයට ඔහු ලබාදුන් උපදෙසක් වූයේ පරිසරයට හානිකරන පෝස්ටර් හෝ පොලිතින් කිසිදු විටෙක යොදා නොගන්නා ලෙසය. පෝස්ටර් නොමැතිව මෙවැනි තීරණාත්මක සටනක් කෙසේ සිදුකරන්නේදැයි බොහෝ දෙනෙකු කසු කසු ගාද්දී එකම පෝස්ටරයක් හෝ කටවුටයක් නොමැතිව රනිල් වික්‍රමසිංහ මහතා ලංකා මැතිවරණ ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 500,556 ක් ලබා ගත්තේය.
විද්වත් දේශකයා...
දේශපාලන, නව ලිබරල්වාදී ආර්ථික දර්ශනය, ජාත්‍යන්තර සබඳතා, මානව හිමිකම්, ජාතීන් අතර සාමය, ඉතිහාසය හෝ මෙවැනි ඕනෑම විෂයක් අරඹයා ඕනෑම විද්වත් සභාවක් ඉදිරිපිට ව්‍යක්ත ඉංග්‍රීසි භාෂාවෙන් ජාත්‍යන්තර මට්ටමේ දේශනයක් කළ හැකි දේශපාලන නායකයන් අතර ඉහළම ස්ථානයක් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වෙයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, පාකිස්ථාන අගමැති නවාස් ෂරීෆ්, චීන ජනාධිපති ෂි ජින්පින්ග් වැනි පෙරදිග රාජ්‍ය නායකයන් මෙන්ම බටහිර නායකයන්ද ඔහුගේ දේශපාලන පරිණතභාවය, විචක්ෂණ බුද්ධි මහිමය හා අත්දැකීම් තුළින් පෝෂිත දැනුම් සම්භාරය ඉදිරියේ තම නිබඳ ගෞරවය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පුද කරති. ටයි, කෝට් ඇඳ පැලඳ දේශපාලන භූමිකාවේ විවිධ රංගනයන්ට සමවැදෙන මේ සංකීර්ණ දේශපාලන ප්රපංචය අභ්‍යන්තරයේ දක්නට ලැබෙන්නේ සරල මිනිසෙකි, නිදහස් කලා රසිකයෙකි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැට අට වැනි වියට පා තබන මේ මොහොතේ එතුමාද පොදුවේ ශ්‍රී ලංකාවද සිටින්නේ ඉතාමත් වැදගත් හා තීරණාත්මක මොහොතකය. යහපාලන රජය වෙත නොයෙකුත් විවේචන එල්ල වන මොහොතකය. ජාතියේ හෘදසාක්ෂිය බඳු වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා ආර්ථික ස්ථාවරයක් කරා රට රැගෙන යෑමේ පහසු නොවන ඉලක්කයක් අතර දෝලනය වන නිමේෂයකය. මේ මොහොතේ ගන්නා තීන්දු තීරණ මත ඔහුගේ දේශපාලන අනාගතය තීරණය වනු ඇත. රට හෙලා ඇති මහා ප්‍රපාතයෙන් ගොඩගැනීම උදෙසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග පවත්වනු ලබන අවබෝධාත්මක මිත්‍රත්වය අතිශය වැදගත් සාධකයක් ලෙස තවදුරටත් පවතිනු ඇත.
අගමැතිතුමනි ඔබට සුභ උපන් දිනයක්
සම්පත් බණ්ඩාර ('රනිල් වික්‍රමසිංහ - දේශපාලනික චරිතාපදානය' නම් කෘතියේ කර්තෘ)