මේ දිනවල අතිශය ජනප්‍රියත්වයට පත්වෙමින් ආදායම් වාර්තා ලැයිස්තුවේ ඉදිරියේම වැජඹීමට War Room චිත්‍රපටය සමත්ව තිබේ. ඇදහිල්ල මත පදනම් වූ කතා තේමාවක් යටතේ නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය ඇමරිකානු ක්‍රිස්තියානි වෘත්තාන්ත චිත්‍රපටයක් වන අතර, ඇලෙක්ස් කෙනඩ්රික් සහ ස්ටීවන් කෙන්ඩ්‍රික් ගේ නිෂ්පාදන කර්තව්‍යයකි.
කෙන්ඩ්‍රික් සහෝදරයන්ගේ සිව්වන චිත්‍රපට නිර්මාණය සහ එම සහෝදර දෙපළගේ එකතුවෙන් වූ කෙන්ඩ්‍රික් බ්‍රදර්ස් නිෂ්පාදනයක් ලෙස බිහිවන ප්‍රථම නිර්මාණය වන මෙම චිත්‍රපටය පසුගිය අගෝස්තු 28 දින සිට උතුරු ඇමරිකානු සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය ආරම්භ විය. තිරගත වීම ආරම්භයේ සිටම ධනාත්මක ප්‍රතිචාර ලැබීමට සමත් වූ මෙම චිත්‍රපටය තිරගත වීම අරඹා මේ වන විට සති දෙකක් ගතවී ඇතත්, මේ වන විටත් සති අන්ත වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ලැයිස්තුවේ ඉහළම ස්ථානයේ රැඳී සිටීමට සමත් වී ඇත්තේ මේ වන විට උතුරු ඇමරිකානු සිනමා ශාලා වල පමණක් තිරගත වෙමින් ඇ.ඩො 28,700,000ක පමණ ආදායමක් උපයමිනි.
ඇ.ඩො මිලියන 3ක මුදලක් වැය කරමින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය ඉංග්‍රීසි බසින් නිර්මාණය වී ඇති අතර, මිනිත්තු 120ක පමණ කාලා පරාසයක් ඔස්සේ දිවෙයි. විවාහය, මාපිය සබඳතා, වෘත්තීන්, මිත්‍රත්වය ආදී අපේ ජීවිතයේ බොහෝ අංශය උදෙසා යාඥාවට කළ හැකි බලපෑම ඉස්මතු කරමින් නිර්මාණය වූවකි.
ටෝනි සහ එලිසබෙත් ජෝඩන් යුවළ ඉතා විශිෂ්ට රැකියාවන්හි නියුතු සුන්දර දියණියක මෙන්ම සුන්දර නිවහනක්ද හිමි යුවළකි. නමුත් ඇත්ත වශයෙන් ටෝනි සහ එලිසබෙත් යුවළගේ ලෝකය පිරිහෙමින්, විඩාවට පත්වෙමින් යන විවාහ ජීවිතයේ ගරාවැටීමක් දක්නට ලැබෙයි. නමුත් ඔවුන්ගේ ජීවිත වල නොසිතූ ආකාරයේ වෙනසක් ඇතිවන්නේ ඇයට මුණගැසෙන නවතම අනුගාමිකයා වන ක්ලේරා නම් අවිවාහක කාන්තාවගේ මුණගැසීමත් සමගය.
ඇයගේ පවුල වෙනුවෙන් War Rroom ලෙස නම්කරන ලද කාමරයක යාඥාවෙන් සිදුකරන යුදමය සැලසුමට අනුව එලිසබෙත් සටන් වදින තරමටම ටෝනි ගේ සැඟවුණු දුෂ්කරතා එළිදැකීමට පටන් ගනී. එළිසබෙත්, ක්ලේරාගේ අනුශාසකත්වය යටතේ තම පවුල් සංස්ථාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් War Room තුළ යාඥාවෙන් සිදුකරන මෙහෙයුම සාර්ථක වේද?*
ඔවුන්ගේ මෙහෙයුම කෙසේ වෙතත් කෙන්ඩ්‍රික් සහෝදරයන්ගේ මෙහෙයුම සාර්ථක බව ඉස්මතු කරමින් මේ දිනවල බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගනිමින් තිරගත වන War Room චිත්‍රපටය තිරගත වූ ප්‍රථම සති අන්තය තුළම ඇ.ඩො මිලියන 11.4ක ආදායමක් ලැබීමට සමත් විය. මෙහි රංගන දායකත්වයෙන් Priscilla Shirer, T.C. Stallings, Karen Abercrombie, Alex Kendrick, Michael Jr. දායක වන අතර, අධ්‍යක්ෂණය ඇලෙක්ස් කෙන්ඩ්‍රික් ද සංගීතයෙන් පෝල් මිල්ස් දායක වෙයි.
අනූෂි දන්තනාරායන