රළු හඬින් කෑගහන පුතාගෙ චෝදනාවට මුළු වේදිකාවම දෙදරුම් කාලා ගිහින් ඇඟේ මයිල් කෙලින් වෙනවා. අම්ම ගල් ගැහෙනවා. කට උත්තර නැතුව යනවා. හොඳ ටියුෂන් පන්තිවලට දාලා, අතට සල්ලි දුන්නට දරුවන්ගෙ හැම දෙයක්ම හරි කියල හිතන, උදේ ඉඳල හැන්දෑ වෙනකං තරගයට ජීවිතේ හොයා හවසට විත් රූපවාහිනියේ චංගුමීලත් එක්ක පොල් ගාන අම්මගෙන් අසන ප්රශ්නයයි මේ... ?
ජීවන තරගයට දුවන දෙමාපියන්ගේ සහ සොහොයුරාගෙ ලෝකයෙන් ගිලිහෙන චාපාගේ ජීවිතය ඛේදාන්තයක් කරා ගමන් ගන්නා අයුරුත්, පවුලේලෙන් අහිමිවන ආදරය,රැකවරණය සොයා ජංගම දුරකථනයෙන්,ෆේස් බුක් එකෙන් හමුවූ පෙම්වතාගෙන් ඇය ගැබිනියක් වූ පසු පාසලෙන් , පවුලෙන් මෙන්ම සමාජයෙන් අපවාදයට ලක්ව අවසන සිය සොහොයුරා අතින්ම පහර කා ජීවිතය හැරදා යන කතා පුවත දිග හැරුණේ කොළඹ අනුලා විද්‍යාලයීය ප්‍රධාන රඟහලේදීයි. මෙය පාසල් වේදිකාවට ගෙන එන්නේ Act 4 Theatre for change හි නිර්මාණ කාර්යයක් ලෙසයි. පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව,පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ සංවිධානයෙන්, බ්‍රිතාන්‍ය කවුන්සල පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වුණ මෙම වැඩසටහනට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කලාපයේ නිලධාරීන්ගේද සහභාගීත්වය ලැබී තිබුණා.
මේ ඉන්නේ කතා නායිකාව
කුතුහලයෙන් පිරුණු සිසුවියන්ගේ ඇස් ඉස්සරහට ආපු Act 4 සංවිධානයේ මෙහෙයුම්කරුවා වන නලින්ද ප්‍රේමරත්න රඟදක්වන්න යෙදෙන කතාවේ පූර්විකාව හරි අපූරුවට දිගහැරියා. ඔහු හරිම අපූරු කතාවක් මෙහෙම කිව්වා.
"රටේ හැම තැනම භෞතික සංවර්ධනයක් පේන්න තියෙන මොහොතක එයට සාපේක්ෂ්ව රටේ ඉන්න මිනිස්සුන්ගේ මනුස්සකම, ආධ්‍යාත්මික හරය කෙතරම් දියුණුවෙලාද කියල ප්‍රශ්නයක් ඉතිරිවෙලා තිබෙනවා.දවසකට ලිංගික අපයෝජන හතරක් වාර්තාවෙනවා. වාර්තා නොවන ප්‍රමාණය කෙතෙක්ද කියලා අපි දන්නෙ නෑ. මෙවන් පසුබිමක ළමා ලිංගික අපයෝජන පිටු දකින්න නම් එයට මුහුණදෙන එවන් අවදානමක් නිරන්තරයෙන් පවතින අපේ දරුවන් දැනුවත් කිරීමේ චර්යාමය වෙනසක් ඇතිකිරීමේ නව ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා". සාම්ප්‍රදායික නාට්‍යයක් බලන්න ආපු හැමෝගෙම ඈලි මෑලිකම් දුරලපු නලින්දට ළමයින්ව තමන් වෙතට සමීප කරගන්න වැඩි වෙලාවක් ගියේ නෑ. එම කටයුත්ත අවසන රංග භූමියෙන් පිටුපස උන් යුවතියක් එහි කැඳවන්නටත් ඔහු අමතක කළේ නෑ.
"මේක දුක්බර අවසානයක් තියෙන කතාවක්.... මේ ඉන්නෙ කතා නායිකාව... මේ කියන්න යන්නේ ඇගේ ඇත්ත කතාව..."
අපි හැමෝම ගල්ගැහුණා. තමන්ගේම ආත්මය වේදිකාව ඉස්සරහ දිගහරින්න ඇයට කොයිතරම් හයියක් තියෙන්න ඕනද?
"වැඩිය කතා නොකර නාට්‍යය දිහාවට යං...."
ඒ කම්පනය හිත පතුළේ හංඟගෙන අපි නාට්‍යය දිහාවට හැරුණා. ඒත් එක්කම වේදිකාව පිටුපස ඉඳන් ආපු නලින්ද ප්රමුඛ නාට්‍ය කණ්ඩායම ගිටාරයත් එක්කලා "හනී බනී" ගීතයේ ඔරිජිනල් තරුණ පරපුර ගැන අමුතුම කතන්දරයක් ගැන කිව්වා. ඒක කොයිතරම් ඔබට අදාළදැයි ඔබෙන්ම අසා දැනගත හැකිදැයි බලන්න.....
දවස ගානෙ හතර දෙනෙක්
රේප් වෙනව බං
ඒ එල් යළි එන්නේ නෑහෙලෝ හනී බනී
දවස් හත්සිය විස්සයි
කාලය බොහොම කෙටියි
ෆීලින් සම්තින්ග් සම්තින්ග් සම්තින්ග්
ඔය වයසෙ හැටී
හනී බනී හනී බනී ටොකෝ ටොකෝ
රස්ති ගහල කට්ටි පැනල
දිනන්න නම් බෑ
ජොයින්ට් එකට චොප්සි එකට
ලස්සන වෙන්නෑ
මේ කාලේ ජීවිතේට
ආයෙ එන්නෙ නෑ නෑ නෑ නෑ.... ට්රිගි ට්රිගි ට්රිගි ට්‍රිං
කාලය ඇවිදින් ඇත්තේ රැකගන් මිතුර නුඹේ
යුතුකම නුඹටයි ඇත්තේ
රටේ අනාගතේ අනාගතේ
නුඹේ අතේ
ධර්මදීපෙ දරු පරපුර අනතුරේලු බං
දවස ගාණෙ හතර දෙනෙක් රේප් වෙනව බං
ඒ වෙනුවෙන් නුඹ කෙරුවේ මොනවද කියපංපං පංපං ට්රිගි ට්රිගි ට්රිගි ට්‍රිං
කාලය ඇවිදින් ඇත්තේ
වෙනසක් කරමු රටේ
පෙරමග ගන්නට ඕනේ ඔබයි නගේ මලේ
යුතුකම නුඹටයි ඇත්තේ
මේ රටේ අනාගතේ අනාගතේ........
කොටේෂන් සහ එසයින්මන්ට්
කතාව දිගහැරෙද්දිම කාර්යබහුල දෙමාපියන්ගේ ජීවන රටාව නිසා දියණියගේ(චාපාගේ)පැවරුම කියා දෙන්නටවත් කිසිදු අවධානයක් හොයාගන්නට ඇයට බැරි වෙන බව මොනවට කියාපානවා. කඩෙන් කන මුළු ජීවිතයම රැකියාව කරගත් ඔවුනට දරුවා සිය ජීවිතය බව අමතක වෙනවා. පියාට සිය දියණියගේ එසයින්මන්ට් එක ඇහෙන්නෙත් කොටේෂන් එකක් වගෙයි.
"ඔයත් නැත්තං මට පිස්සු හැදෙයි"
මව පියා සහ සොහොයුරා ඇගේ ලෝකය තුළ නොමැති බව දැනගත් ඇය සිය ෆේස්බුක් ගැලවුම්කාරයාගෙන් ජීවිතේ හොයන්න පටන් ගන්නවා. ඇගේ ලෝකයට ළංවෙන්නෙ සෙල්ලක්කාර රගර් ක්‍රීඩකයෙක්.
"... මේ වෙලාවෙ ඔයා විතරයි මට ඉන්නෙ?
ඔයාටත් වෙලාවක් තියෙනවද මාත් එක්ක කතා කරන්න...
ඔයත් නැත්තං මට පිස්සු හැදෙයි...."
මල්වර වියේදීම සිය ජීවිතය හුදකලාවෙන් පිරී ජීවිතය පිපිරී යන චාපාගේ ආදරය තුළට රිංගන්නේද ආදරය වෙනුවට ලිංගික අවශ්‍යතාව සපුරාගන්නට සැරසෙන පෙම්වතෙකුයි. පවුලෙන් ගිලිහෙන ආදරය වෙනුවට ප්‍රතිවිරුද්ධ ලිංගික ප්‍රේමයට සැරෙසෙන කලබලකාරී ලෝකයේ දියණියක වන චාපා පාසල් ඇඳුමෙන්ම කතාබස් කරන්නට යැයි මිතුරෙකුගේ නිවසට කැඳවාගෙන ගොස් ජංගම දුරකථනයෙන් ඇය සමග ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් ඇගේ හිරිමල් යෞවනත්වය පැහැර ගන්නවා.
"අපි ඔයාව බලාගත්තෙ ඇහැක් වගේ"
එහි අනෙක් පුරුක ලෙසින් දිගහැරෙන, ඇගේ මිතුරියන් දිගහරිනා අසභ්‍ය වීඩියෝ දසුන් මෙන්ම සමලිංගික යෙහෙළියන් යළිත් වරක් ඇයව ගොදුරක් කර ගැනීමෙන්ද තවදුරටත් ඇය හිංසනයට ලක්වෙන බව මොනවට කියාපානවා. මෙලෙස අපයෝජනයට ලක්වෙන ඇය ගැබිනියක් බවට පත්වූ බව දැනගත් මව කියන්නෙ හැම දෙමාපියෙක්ම පවසන සුපුරුදු දෙබස්. එහිදී ඒ කිසිවෙක් මේ තත්ත්වයට ගොදුරු වූ දැරිය මුහුණදෙන සංකීර්ණ කායික ,මානසික, තත්ත්වය පිළිබඳවත්,මේ වයසේ ළමයෙක් මේ තත්ත්වය කොහොමද දරාගන්නෙ කියන දේ පිළිබඳව ඔවුන් පසුතැවුණෙ නෑ. ඔවුන් හිතුවේ කියෙව්වේ තමාගේ වටපිටාවේ ඉන්න අයට මොනවද කියන්නෙ කියන දේ පිළිබඳවයි.
"අපි ඔයාව බලාගත්තෙ ඇහැක් වගේ....." යනුවෙනුයි....
අවසන කම්පනීය දුක්බර සංගීත රාවයක් මැද්දෙන් ඇය අවසන් සුසුම් හෙළන්නේ ඒ කතාබහ අතරතුර සිය සොහොයුරාගෙන් එල්ල වූ ආවේගශීලී පහරක් නිසාවෙනුයි...
කතාව අවසන් වෙනවා... වටපිට බලන මගේ බොඳවුණු ඇස්වලට කඳුළු පිරුණු හුඟක් දෑස් හමුවෙනවා... නලින්ද හෙමින් වේදිකාවට එනවා.... හැමෝගෙම්ම අහනව..
"මේ අවසානයට ඔබ කැමතිද ?"
"මේ අවසානයට ඔබ කැමතිද ? මේ කතාව ඉවරවෙන්න ඕන මේ විදියටද?"
මුළු ශාලාවම ඒ වෙනුවෙන් එක හෙළා අකමැත්ත ප්‍රකාශ කරනවා...
ඔබ වගේම සුදු ඇඳුම ඇඳගෙන දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන පාසල ගිය ඇගේ කතාවෙ අවසානයට අකමැති නම් එය වෙනස් කළ යුත්තේ ඔබ විසින්මයි මේ කතාව ඒ ආකාරයෙනම් රඟදක්වද්දි කතාවේදී පීඩාවට පත්වන චාපා ඒ ඒ දර්ශනවලදී තීරණ ගත්ත ආකාරය, ක්‍රියාකළ ආකාරය වෙනස් විය යුතු ස්ථානවලදී අත උස්සල කතාව නවත්තන්න, නවත්තලා මේ දුක්ඛදායක අවසානය වෙනස් කළ හැකි විසඳුම් ඉදිරිපත් කරන්න. හැබැයි කොන්දේසි තුනක් මත. යළි රංගය ආරම්භ කෙරුණා. එහි දර්ශයනයන්හි පියවරෙන් පියවර පීඩාවට පත්වන චරිතය වෙනස් විය යුතු ආකාරය අනුලාවියන් සභාවට පැමිණ සංවාදශීලී ලෙස රංගනයේ යෙදුණා. ඇතැමෙක් ඉතා හැඟුම්බර වුණා.
තවත් සිසුවියන් ඉතා ආවේගශීලීව කතා කළා. තමා මේ ප්රශ්නය විසඳාගන්නා ආකාරය ඉදරිපත් කළ අයුරු බලාසිටි ගුරුවරියන්ගෙ සහ ආරාධිතයන්ගේ තිබූ පුදුම සහගත කඳුළු සහ විමසුම් සහගත දෙනත් මොනවට කියා පෑවා.. කාලය ගෙවෙනවා වත් නොදැනීම දහවලත් ඉක්ම යනතුරු දරුවන් හා කිසිදු ආයාසයකින් තොරව ගෙවුණු හෝරා කිහිපය අප හදවත් තුළටද හිතන්නට යමක් තදින් සනිටුහන් කළා. වැඩසටහනට සහභාගී වූ දරුවන් සිතන පතන ආකාරය වෙනස් කිරීමට ACT 4 කණ්ඩායම සමත් වූ බව ඔවුනගේ අදහස් දැක්වීම්වලින් පෙන්නුම් කෙරුණා.
තරුණ පිරිස ආකර්ෂණය කරගැනීම, ඔවුන්ට දැනෙන ආකාරයෙන් ආමන්ත්‍රණය කිරීමට, සංවාදශීලී වීමට,Forum Theatre ක්‍රමවේදය ඉතා සාර්ථක ලෙස යොදාගත හැකි බව ACT 4 කණ්ඩායම තහවුරු කළා. මේ වනවිට ඔවුන් කොළඹ, නුවර, මාතර, සහ මොනරාගල, යන දිස්ත්‍රික්කවල මේ ආකාරයේ පාසල් සිසුන් දැනුවත් කර සවිබල ගැන්වීමේ වැඩමුළු පවත්වා ඇති බව පසුව දැනගන්න ලැබුණා. ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කයේ වැඩසටහන් සියයක් සහ ලංකාවම ආවරණය වන ලෙස වැඩසටහන් පන්සියයක් සිංහල හා දෙමළ මාධ්‍ය දෙකෙන්ම පාසල් සිසුන් ඉලක්ක කර ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව ඔවුන් අපට දැනුම් දුන්නා. ඔවුන්ගේ ගමනට හයියක් වෙලා අපේ රටේ ළමා අපයෝජන පිටුදැකීමට ඔබටත් යමක් කිරීමට හැකිනම් දුරකථන අංක 0113098254 හරහා "Say No to Child Abuse" වැඩසටහනට එක්වන ලෙස ACT 4 ආරාධනා කළා.