ලංකා චිත්‍රපට කර්මාන්තය තුළ වෙනස් ආරක් ගෙන ඒමට උත්සාහ කළ චිත්‍රපටයක් ලෙස '28' හඳුන්වන්න පුළුවන්. මේ නිසාම '28' චිත්‍රපටය බොහෝදෙනාගේ කතිකාවට ලක්වුණි.
'28' චිත්‍රපටය සම්බන්ධ සංවාදශීලී කතිකාවක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ අංශය වන 'වෙනසක තාරුණ්‍ය' විසින් සංවිධානය කළේය. විදර්ශන කන්නන්ගර, සුජිත් කුරුවිට මෙම සංවාදශීලී කතිකාවේදී අදහස් දැක්වූයේ මෙලෙසිනි.
සුජිත් කුරුවිට
''මුලින්ම '28' චිත්‍රපටය ආරම්භ වෙන්නේ ඇළහැර ප්‍රදේශයේ මැණික් කර්මාන්තයේ නියැළී ඉන්න කම්කරුවෙක් වන අබසිරි පතල ඇතුළේ ඉල්ලම් කඩන දර්ශනයකින්. ඒ අවස්‘ථාවේ ඔහුගේ වෘත්තීය සගයා වන මනී කියන තරුණයා කාන්තාවන් සම්බන්ධ මායම් හැටහතර ගැන කියවනවා. ඒ වගේම මේ චිත්‍රපටය තුළ ග්‍රාමීය සමාජයේ ලිංගිකත්වය කියන කාරණය ස්ථානගත වී ඇති අයුරු කතා කරනවා.
සුද්දිගේ මිනිය ගමට අරන් එන වෙලාවෙදි අබසිරිගේ තාත්තා සුද්දිව දකින්න උත්සාහ කරන්නේ අර පෙට්ටිය ඇරලා බලලා නෙමේ. එයා සුද්දිව දකින්න උත්සාහ කරන්නේ ගමටම පළවෙනි වතාවට හැදුවයි කියන නාන කාමරයේ කවුළුවෙන්.
ඔහුගේ හිතේ ඇඳුන සහ ඔහුගේ කම්පනයත්, ඒ ඇතිවුණ සිදුවීමත් තියෙන්නේ එතන. අවුරුදු 50කටත් වඩා ජීවිතය ගත කරපු, දරුවන් හදපු කෙනෙක් වුණාට අපිට හිතාගන්න පුළුවන් ඔහු කාන්තා නිරුවත කියන එක ආලෝකය සහිතව දැකලා නෑ කියන දේ. ඒ නිසා තමා සුද්දි නානකොට කවුළුවෙන් බලන්නේ.
ඒ වගේම චිත්‍රපටයේ තවත් තැනක සුද්දි කියනවා 'අබසිරි මගේ හෙළුව ඇත්තටම දැක්කෙ මල් ශාලාවේ එම්බාම් කරන මේසෙ උඩදි' කියලා. එතකොට අබසිරිගේ, අබසිරිගේ තාත්තාගේ ලිංගික ජීවිතයේ සත්‍ය තත්ත්වය ඒකයි.
මේ කියන තත්ත්වය ඇතුළෙ සුද්දි දිහා මාමණ්ඩි කවුළුවෙන් බැලුවට වැරදිකාරිය වෙන්නෙ සුද්දි. එදායින් පසු ගමේ අය සුද්දිට කතා හදනවා. මේ චිත්‍රපටය ඇතුළෙ අපි හිතන්නෙ රැඩිකල්ම චරිතෙ සුද්දි කියලා.
ඇත්තටම අපේ සමාජයේ ගොඩක් චරිත මේ දේවල් දරාගෙන ජීවත් වෙනවා. නමුත් සුද්දි තීරණය කරනවා මෙය දරාගෙන ජීවත් වීම නෙමේ මේ දෙයට එරෙහිව යායුතුයි කියලා.
ඒ වගේම සුද්දි නගරයට ආවට පස්සෙ සුද්දි බලාපොරොත්තු වෙන විමුක්තිය හම්බවෙනවද කියන එක ගැටලුවක්. නගරයේ සහ ගමේ ඇතුළෙ මිනිස්සුන්ගෙ චින්තනයේ තිබෙන ප්රශ්නය ඒ හරහා අපට නැවතත් මතුකරනවා.
නමුත් නගරයේ සිදුවන ගනුදෙනු ගම ඇතුළෙ සිදුවන්නේ වෙනස් ආකාරයකට. ඒ ගනුදෙනු වල අවසානෙදි හෙම්බත් වුණ මිනිස්සු අපිට පෙන්වනවා. අවසානයේ ජීවිතේ සොයාගෙන ගිය සුද්දිට ජීවිතේ පැරදිලා ආපහු ගමට එන්න වෙනවා.
ඒ වගේම චිත්‍රපට දිගහැරෙද්දී මේ ලෙනින් කියන චරිතයත් සුද්දිගේ ගනුදෙනුකරුවෙක්. දුරකථන ඇමතුමකින් ඒ බව හෙළිදරව් කර ගන්නවා. ඉතිං මේ ගනුදෙනුකරුවෝ, ඒ ගනුදෙනුවට ලක්වෙන හුවමාරු භාණ්ඩ බවට පත්වුණ මිනිසුන් තමා අවසානයේදී ඒ පළා ගොස් හොයන්න ගිය විමුක්තිය ඇතුළෙත් හම්බවෙන්නෙ. මේ ධනවාදී ආර්ථිකය ඇතුළෙ මිනිසුන්ට වෙලා තියෙන්නේ මේ දෙයයි.
අනිත් අතට ඉතා සියුම් විදියට මේ චිත්‍රපටයේ හොයාගන්න පුළුවන් එහෙම ගනුදෙනු බවට පත්වුණ මිනිසුන් ඇතුළෙ තමන්ගේ අහිමි වෙමින් යන මානව හැඟීම් ආපසු මිනිස්සුන් තුළ උඩට එන්න දඟලන උත්සාහය. අපිට ඒ බව දකින්න පුළුවන් ලෙනින් කියන චරිතය ඇතුළෙ.
මේ චිත්‍රපටය ඇතුළෙ ගොඩක් වෙලාවට කතා වුණා අපේ සමාජයේ ලිංගිකත්වය කියන්නේ කුණුහරුපයක් යන කාරණය. එය මිනිසුන් විඳවන ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. කාන්තාව විඳවන්නියක් බවට පත්වුණ එක කොහොමද වුණේ කියන කතාව සාකච්ඡාවට ඇවිත් තිබෙනවා.''
විදර්ශන කන්නන්ගර
''මේ චිත්‍රපටය සම්බන්ධව මම ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ සංවාදයකට සම්බන්ධ වුණා. එයට ප්‍රසන්න ජයකොඩිත් සම්බන්ධ වුණා. ප්‍රසන්න දිගින් දිගටම මේ චිත්‍රපටය ස්ථානගත කරන්න හදන්නේ එයාගේ ප්‍රචාරණ වැඩපිළිවෙළ ඇතුළේ ලිංගිකත්වය කියන්නේ ප්‍රජනනය සඳහා තිබෙන එකක් කියලා.
ඒ කියන්නෙ පවුලේ සාමය, සමගිය, ප්‍රජනනය සහ ස්වාභාවිකවාදය කියන දේ තුළ තිබෙන්නේ කියල ඔහු කියනවා. නැහැ මේ දේ නෙමේ කියන එකයි මගේ අදහස. මොකද ලිංගිකත්වය කියන එක ස්වාභාවික වාදයක් නම් ස්වයං වින්දනය කරන්නේ කොහොමද?
28 චිත්‍රපටයේ මූලිකව ස්ථානගත වෙන්නේ ලිංගිකත්වය ස්වාභාවිකයි, ලිංගිකත්වය ජීව විද්යාත්මකයි සහ ලිංගිකත්වය යම් විදියක පවුල්වාදීයි කියන දේ. පවුල තුළ තමා ලිංගිකත්වයට ආරක්ෂිත ස්ථානය තියෙන්නේ කියන එක චිත්‍රපටයේ නතුවෙන එක නවන්තන්න බැහැ.
සංස්කෘතික වශයෙන් පසුගාමී තත්ත්වයක ගමන් කරන රටක චිත්‍රපටය විසින් ධනාත්මක කාරණයක් කරනවා. මම ඒක නෑ කියන්නෙ නැහැ. චිත්‍රපටය තුළ අදාරය, ලිංගිකත්වය, පවුල කියන දේ ඒ වගේම ජීවිතය පිළිබඳ සංවාදයක් ගොඩනඟන්න සමත් වෙනවා.
පසුගාමී ආසියාතික ලිංගිකත්වයක් ඇති, පීඩනයට පත් වුණ ස්ත්‍රියක් සහ අවසාන වශයෙන් ඒ ඉරණමට පාත්‍ර වුණ සැමියා වන අබසිරි සහ නාගරික ජීවිතයක් ගෙවන ලෙනින් යන චරිත මගින් උද්වේගකර සාංතෘෂ්ටිකර චිත්‍රපට රැසක ලක්ෂණ පෙන්වා තිබෙනවා.
උදාහරණයක් ලෙස මේ චිත්‍රපටය පුරා තිබෙන්නේ මිනී පෙට්ටියක් රැගෙන යන සංචාරයක්. මේ වගේ චිත්‍රපට ලංකාවේ හරි අඩුයි. ඒ ඔස්සේ ලංකාවේ තිබෙන පසුගාමීත්ව දේශපාලනය සහ සංස්කෘතියට අදාළ දේ මේ චිත්‍රපටයේ ස්පර්ෂ කර තිබෙනවා.
ඒ වගේම චිත්‍රපටය මූලික වශයෙන් ගම සහ නගරය අතර තිබෙන ශිෂ්ට, අශිෂ්ට දෙක ගෙන එනවා. එහි ග්‍රාමීය පවුල් වල ඛේදවාචකය පෙන්වන අතරෙම පෙන්නවා නාගරික සමාජයේ ඇති ඛේදවාචකය. එය කතිකාවට නැගිය යුතුම තැනක්.''