මේරියන්ස් සංගීත කණ්ඩායම විසින් මේ මස 22 වැනිදා වෙනස්ම ආරක ප්‍රසංගයක් පවත්වන්න සූදානම් වෙනවා. Kings of 70s by Marians නමින් නම්කර ඇති මෙම ප්රසංගයේදී සී.ටී. ප්‍රනාන්දු, ජෝති සහ ක්ලැරන්ස් යන යුගපුරුෂයන්ගේ ගීත ගායනා කිරීමට නියමිතයි. මෙම ප්‍රසංගයේ තවත් විශේෂත්වයක් නම් මෙය පෞද්ගලික මුදල් ඉපයීමේ අරමුණින් පවත්වන ප්‍රසංගයක් නොවීමයි. මේරියන්ස් නායක නලින් පෙරේරා මේ පිළිබඳව අපට පැවසුවේ මෙවැන්නක්.
Q මේ දවස්වල අලුත් ප්‍රසංගයකට සූදානම් වෙනවා නේද?
අවුරුද්දේ මුලින්ම නෙළුම් පොකුණ භූමියේ පවත්වන 'අති මෙගා' එළිමහන් ප්‍රසංගයක් පවත්වන්න සූදානමින් ඉන්නවා. මේක පෞද්ගලිකව මුදල් උපයන්න සිදුකරන කාර්යයක් නෙවෙයි. එයින් ලැබෙන මුදල්වලින් වැලිකන්ද මහා විද්‍යාලයට වතුර පිරිසුදු කිරීමේ යන්ත්‍ර දෙකක් ලබාදීමේ අරමුණින් තමයි මේ ප්‍රසංගය අපි පවත්වන්නේ. එහි අධ්‍යාපනය හදාරන දුවා දරුවන්ගේ හෙට දවසේ සෞඛ්‍ය තත්ත්වය සුවපත් වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමට තමයි මේ වෑයම දරන්නේ. ඒ පළාත්වල පානීය ජලය බොහොම අපිරිසුදු තත්ත්වයක තමයි තියෙන්නේ.
Q Kings of 70s by Marians කියන්නේ මොකක්ද?
Kings of 70s by Marians කියන්නේ සීටී, ජෝති, ක්ලැරන්ස් යුගපුරුෂයන් තිදෙනාගේ ගීත ඇතුළත් ප්‍රසංගයක්. ඒ තුන්දෙනාගේ තියෙන සුපිරිතම ගීත 10 බැගින් ගීත 30ක් ගායනා කරන්න සැලසුම් කරලා තියෙනවා. මේ ප්‍රසංගය රසවින්දනයේ උච්චතම අවස්ථාවක තියෙනවා කියල කියන්න පුළුවන්.
Q ඇයි එළිමහන් සංගීත ප්‍රසංගයක් සූදානම් කළේ?
අපි විශේෂයෙන්ම මේ ප්‍රසංගය එළිමහනේ තියන්න අදහස් කළේ එවිට විශාල ප්‍රමාණයකට සහභාගි විය හැකි නිසා සහ වැඩි මුදල් ප්‍රමාණයක් සොයා ගැනීමේ පරමාර්ථයෙන්. හැමෝගෙම සහයෙන් සහ සහභාගිත්වයෙන් ඒ ළමයින්ගේ හෙට දවස ආලෝකමත් කරගන්න, ශරීර සෞඛ්‍යය නිරෝගීව තියාගන්නට අපි ලබාදෙන අතහිත ලොකු උපකාරයක් වෙයි. සහභාගීවෙන හැමෝගෙන්ම උපකාරයක් ලැබෙයි කියලා අපි අපේක්ෂා කරනවා. කොළඹ ප්‍රදේශයේ සහ ඒ අවට අපේ ප්‍රදේශවල රසික රසිකාවියන්ට, විශේෂයෙන්ම කොළඹ පාසල්වල දුවා දරුවන්ගේ දෙමව්පියන්ට මම ඇරයුමක් කරනවා ඔබේ ළමයි යැයි සිතා මේ කර්තව්‍යයට සහයෝගයක් දෙන්න කියලා.
Q පාසලක් සඳහා මෙවැනි දෙයක් කරන්න හිතුවේ ඇයි?
මම සාමාන්‍ය මනුෂ්‍යයෙක්. අපේ ජීවිතයේ අපට ලැබීම් අනන්තවත් තියෙනවා හැම පැත්තෙන්ම. ජීවිතයේ අඩුපාඩු තිබුණත් අපිට ලැබිලා තියෙන දෙයින් අපි සෑහීමකට පත්විය යුතුයි කියලයි මම හිතන්නේ. රටේ පැවතුණු හා පවතින ආණ්ඩුවලට මේ සියලු දේ ගැන සොයා බැලීමට නොහැකි වෙන්න පුළුවන්. එකිනෙකාට ඇඟිල්ල දිගු කරන්නේ නැතිව, මනුස්සකමින් අපිට කළහැකි කොටසක් තියෙනවා. මේ රටේ පුරවැසියෙකු සහ පියෙකු ලෙස මම හිතුවා මේ කර්තව්‍යයට මම මුලපිරිය යුතුයි කියලා. නමක් හදා ගැනීමේවත්, ජනප්‍රියත්වයක් ලබාගැනීමේ අරමුණක්වත් මෙතන නෑ. අපේ සිත් තුළ තිබෙන උතුම් ගුණාංගයක් මනුෂ්‍යන් සමග බෙදාගැනීමක් තමයි මේ සිද්ධ වෙන්නේ. මම මෙතනින් නතර වෙන්නෙ නෑ. දුෂ්කර පළාත් තෝරාගෙන කළහැකි උපරිම දෙයක් දුවා දරුවන් වෙනුවෙන් කරන්න මම බලාපොරොත්තු වෙනවා.
Q සංගීත කණ්ඩායමේ උපන් දිනයත් ළං වෙනවා නේද?
අපේ සංගීත කණ්ඩායමට දැන් අවුරුදු 29ක්. ඒ අවුරුදු 29ක කාලය තුළ අපිට මේ රටේ වැජඹෙන්න එදා වගේම තවමත් රසික රසිකාවියන්ගේ හොඳ ප්‍රතිචාර වැදගත්. අපිට හොඳ ගමනක් යන්න අතහිත දුන්නා වගේම අපි ඒ ලබාගත්ත දෙයින් යමක් නැවත මේ දුප්පත් අසරණ ජනතාවට බෙදාදිය යුතුයි. මොන ආගමක දහමක ඔය දේ කියල තිබුණත් අපි ඒක කියවලා පැත්තකට වෙලා ඉන්නවා නම් අපි ධර්මානුකූල වෙන්නේ නැහැ.
තව අවුරුදු 50ක ජීවිත කාලයක් මට ලැබෙන්නේ නැහැ. මම දන්නෙ නැහැ තව කොපමණ කාලයක් මට ජීවත් වෙන්න ලැබෙයිද කියලා. මේ ජීවිතයේ හොඳයි කියලා හිතෙන දේ තමයි දැන් මම කරන්නේ. මේ ජීවිතේ වරද්දගත්ත, වැරදිච්ච තැන් තියෙන්න පුළුවන්. කාලය මෙවැනි උදාර කටයුතුවලට යොමුකරනවා නම් මනුෂ්‍යයන් විදියට අපිට තෘප්තිමත් වෙන්න පුළුවන්. මිල මුදල්වලින් අපිට තෘප්තිමත් වෙන්න බැහැ. මිල මුදල් ඔබත් මමත් හම්බ කරනවා. කවදද ඇතිවෙන්නේ? සල්ලි හම්බකිරීමේදී ඇතිවීමක් නැහැ. මේවා අපේ අවශ්‍යතා උවමනා තමයි. නමුත් මෙවැනි අඟහිඟකම් තියෙන තැන් බලලා අපට කළහැකි යම් දෙයක් කළොත් එය මනුෂ්‍යයෙක් විදියට කරන උදාර කටයුත්තක්. කලාකරුවෙක් විදියට මම හිතනවා මම උදාර මනුෂ්‍යයෙක් වෙන්න ඕන. මම කාටත් සලකන මනුෂ්‍යයෙකු විය යුතුයි. මම කාටත් පිහිටක් වෙන මනුෂ්‍යයෙකු විය යුතුයි.