වත්මන් තරුණ්‍යය අලුත් අලුත් දෑ සොයායෑමට ඉමහත් උනන්දුවක් දක්වති. විවිධ ක්ෂේත්රයන් හී ඔවුන් සිදුකරන නිර්මාණ දකිනවිට අපට මෙය මැනවින් පසක් වේ. ඒ අතරින් නාට්‍ය ක්ෂේත්රයේ ඉදිරියට යෑමට උත්සහ දරමින් අන්තර්ජාලයේ Youtube හරහා නිර්මාණ කරන තරුණයෙකු අපට මුණගැසුණි. සචිත්ර යෂ්මින් නම් වූ ඔහු Youtubeහරහා නැව් ටෝක්ස් (Nauw talks) නමින් කතා මාලාවක් ගෙන එනු ලබයි. මේ ඒ පිළිබඳව ඔහු සමග කළ කතාබහකි.
අන්තර්ජාලයේ Youtubeහරහා විකාශය වන නැව් ටෝක්ස්
අපි මුලින්ම මේ සඳහා විනාඩි 05 ක නිර්මාණයක් තමයි කළේ. එයට චරිත තුනක් ඇතුළත් වුණා. එහි අඩුපාඩු හඳුනාගෙන දෙවැනි නිර්මාණය හොඳින් සැලසුම් කළා. 'The වලිය' නම් වූ එය විනාඩි 12 ක නිර්මාණයක්. එයින් තමයි අපිව ගොඩක් ප්‍රසිද්ධ වුණේ. එය දැනට 22,000 ක පමණ පිරිසක් නරඹලා තියෙනවා. . අපගේ තුන්වන නිර්මාණය විනාඩි 40 ක නිර්මාණයක්. එය ඉදිරිපත් කරලා දැන් සති කිහිපයක් වෙනවා. 'බොරු කලබල' ලෙසිනුයි එය නම් කළේ. අපි හතරවෙනි කතා මාලාව මේ දිනවල සූදානම් කරමින් සිටිනවා.
ලංකාවෙත් වෙනසක් කළහැකි නිර්මාණකරැවෝ ඉන්නවා කියලා පෙන්නන්න වුවමනා වුණා
අපිට අවශ්‍ය වුණා මෙවැනි වෙනස් දේ කළ හැකි පුද්ගලයෝ ලංකාවේ ඉන්නවා කියල පෙන්වන්න. මොකද අපි අන්තර්ජාලය තුළදී දුටුවා මේ ආකාරයේ චිත්‍රපට හදලා විකාශනය කරනවා. ඒ වගේම YouTubers (Youtube භාවිත කරන්නන්) කියල පිරිසක් ඉන්නවා. ඔවුන් මෙවැනි චිත්‍රපට නිර්මාණය කරලා Youtube වෙතට මුදාහරිනවා. මේවා දුටුවාම අපට හිතුණා යමක් කළ යුතුයි කියලා.
ලාභ ඉපයීමට කිසිම අදහසක් නැහැ.
නිෂ්පාදන දායකත්වයක් ලබාදෙන්න කවුරුත් අපිට නැහැ. අපි සියලුදෙනා එකතුවෙලා අඩු පිරිවැයකින් උපරිම නිර්මාණයක් කිරීමේ අරමුණින් මුදල් යොදවලා තමයි මෙය නිෂ්පාදනය කරන්නේ.ඒ වගේම මෙවැනි දෙයක් තුළින් ලාභ ඉපයීමට අපේ කිසිම අදහසක් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නෙ හොඳ නිර්මාණයක් කිරීමට පමණයි.
තාක්ෂණයඋපරිමයෙන් යොදාගන්න බලාපොරොත්තු වෙනවා
මුල්ම නිර්මාණයට අපි භාවිත කළේ එකම කැමරාවක් පමණයි. පළමු නිර්මාණයේදී ශබ්දය නිවැරදිව පටිගත කරගැනීමට නොහැකි වුණා. දෙවැනි නිර්මාණය සඳහා උපකරණ තරමක් යොදාගත්තා. අපගේ තුන්වැනි නිර්මාණයට කැමරා දෙකක් සහ තාක්ෂණයද උපරිමයෙන් යොදාගත්තා. ඊළඟ නිර්මාණයටත් එවැනි සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙනවා.
අපේ නිර්මාණ Youtube වලට පමණක් නොවේ
Youtubeවලට අමතරව අපගේ නිර්මාණ ලබාදෙන්න තවත් ස්ථාන තිබෙනවද කියල අපි දන්නෙ නැහැ. රෑපවාහිනී ආයතනයකට අපගේ මෙම 'නැව් ටෝක්' ලබාදෙන්න කටයුතු කළත්, ඔවුන් පැවසුවේ මෙය අඩු කාල සීමාවකට කෙටිකරන ලෙසයි. එසේ කළ නොහැකි නිසා අපි එය ප්‍රතික්ෂේප කළා. කතාමාලාවක් ලෙස ඉදිරිපත් කරන මෙවැනි නිර්මාණ සඳහා තරග පවත්වනවා නම් අපි සූදානම් එම තරගවලට මෙය ඉදිරිපත් කරන්න.
නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙනවා
අපි ගීතයකට රූප රචනයක් කළා. එයත් සාර්ථක වුණා. ඒ වගේම අපගේ 'නැව් ටෝක්ස්' කතා මාලාව ඉදිරියට කරගෙන යන්නත්, නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමටත් බලාපොරොත්තුවක් තිබෙනවා.
සිනමා නිර්මාණයක් කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා
චිත්‍රපටයක් දක්වා යාමට බලාපොරොත්තුව තිබෙනවා. නමුත්, එයට අවශ්‍ය පසුබිම තාම අපට නිර්මාණය වෙලා නැහැ. තවම අපි මුල්මට්ටමේ ඉන්නෙ. අපේ අඩුපාඩු ක්‍රමයෙන් ඉවත්කරගනිමින් චිත්‍රපටයක් දක්වා යාමට බලාපොරොත්තු වෙනවා.
අප කණ්ඩායම
අපගේ රංගන ශිල්පීන් ලෙස, සචිත්ර යෂ්මින්ද (ජැකා), රවිඳු පසන් (බූටා) දුලන්ජන් රෂ්මින්ද, චුලිත හර්ෂණ, ඩිලාන් සම්පත්, උදාර මදුසංඛ කටයුතු කරනවා. කැමරාකරණය නිර්මාල් කැටගොඩ සහ ගිහාන් විසිනුත්, සංස්කරණය පසිඳු පෙරේරා විසිනුත්, මලිත් තාරක කලා අධ්යක්ෂණයෙනුත්සහභාගී වෙනවා.
ඉදිරියට යාමට කවුරුන් හෝ උදව් කරනවානම් එයට කැමතියි
කවුරැන් හෝ අපට නිෂ්පාදනයෙන් හෝ දැනුම ලබාදීම අතින් උදව්කරනවානම් අපි කැමතියි ඒ ඕනෑම දෙයක් සතුටින් භාරගැනීමට. ඒ වගේම Youtube හරහා Nauw talks ලෙස ටයිප්කර අපගේ නිර්මාණ නැරඹීමට හැකි අතර,Face Book අඩවියේ Nauw talks පිටුව හරහා අපව සම්බන්ධකර ගැනීමටත් පුළුවන්කම තිබෙනවා.
අදහස් දක්වපු සියලු දෙනාටම අපගේ ස්තූතිය
විශේෂයෙන්ම අපේ Nauw talks නිර්මාණ අන්තර්ජාලයේ Youtube හරහා නරඹලා අපිට අදහස් දක්වපු සියලු දෙනාටම අපගේ ස්තූතිය පුදකරනවා. ඒ වගේම පළමු නිර්මාණයේදී අපට අධ්‍යක්ෂකවරයෙකු ලෙස සහයෝගය දුන් සඳුන් සමීර සහෝදරයාටත්, ජනරංග බණ්ඩාර/ජනංග ජයකොඩි, නිමල් වර්ණකුලසූරිය ඇතුළු මගේ පවුලේ ඥාතීන්ටත්, විශේෂයෙන්ම පුංචි අම්මලා දෙපළට වගේම, අපි පිළිබඳව රටට කියන්නට ඉදිරිපත් වූ 'අද' පුවත්පතටත් අපි ස්තූතිවන්ත වෙනවා. මෙතෙක් සිදුකළ නිර්මාණ සඳහා සහභාගී වූ සියලුම ශිල්පීන්ට ස්තුතිවන්ත විය යුතුයි.
ඡායාරූප මිහිර බණ්ඩාර දිසානායක