සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට පසුගියදා (04දා) සුවිශේෂී දිනයකි. ඒ ඔහුගේ 88 වැනි ජන්ම දිනය එදිනට යෙදී තිබීමයි. අවුරුදු අසූ අටක් වන ඔහුගේ ජීවන ගමන් මග මෙතෙක් පසුකර ආ අභියෝග මෙන් ඇස රැඳුණ සිත රැඳුණ හා හදවතට දැනුණ බොහෝ දෑ වත්මන් ගීත කලාව හා ගළපන්නට කොතරම් ප්රස්තුත ඔහු සතුව තිබිය හැකිද? එහෙයින් වෙනදා අප කරන සම්මුඛ සාකච්ඡා පිළිවෙතින් බැහැරව ප්‍රශ්නවලට පිළිතුරු නොව වසර 88 ක් පුරා දරුවෙකු, තරුණයෙකු, පෙම්වතෙකු, සැමියෙකු, පියෙකු හා වැඩිහිටියෙකු වශයෙන් ඔහු දුටු ඔහු ඇසූ දෑ ඇසුරින් මානව සමාජයට කියන්නට ඔහුට ඇති දෑ වෙනුවෙන් ඉඩහසර සලසමු.. මේ අද පුවත්පත වෙනුවෙන්ම පණ්ඩිත් ඩබ්.ඩී අමරදේවයන් කළ විශේෂ කරුණු දැක්වීමක පෙළගැස්මකි.
අවුරුදු 88 ක් කියන්නේ ජීවිතයෙන් හතරෙන් තුනක්ම ගෙවී අවසන් බව අඟවන වයසක්. ස්වභාවධර්මයේ නියමය අනුව මටත් දැන් ශරීර ශක්තියේ යම් යම් අඩුපාඩු මතුව තියෙනවා. නමුත් මගේ දැනුම, මගේ දියුණු කරගත් හැකියාවන් කිසිම අඩුපාඩුවක් නොමැතිව මා සමග හුස්ම ගන්නවා. සැබවින්ම පුද්ගලයෙකු වශයෙන් මා තුළ පෙර තිබූ ජවය දැන් නැහැ. ඒක තමයි ස්වභාවදහම කියල මම මුලින්ම කිව්වෙ.
මේ ක්ෂේත්රයේ ලැබිය හැකි සියලුම ගෞරව සම්මාන මෙන්ම සියලුම විශ්ව විද්‍යාලවලින් ගෞරවයට පාත්‍ර වෙමින් පිදුම් ලබමින් අද වන විටත් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා වශයෙන්ද සේවය කරනවා. ඒ සම්මානයට ගෞරවයට පාත්‍ර වන්නේ ඩබ්ලිව්. ඩී අමරදේව කියන පුද්ගලයා නෙවෙයි. ඔහු නියැළෙන හා ඔහු තුළින් සමාජගත වන කලාවයි.
පළමුව ශිල්පීයත්වය සහ කලාව දෙවනුව අමරදේව කියන පුංචි මිනිසා. මම නියෝජනය කරන්නේ කලාව කියන මහා සාගරයෙන් දියදෝතක් යැයි මා සිතන සංගීත කලාවයි. මම එහෙම කියන්නේ කලාව කියන්නේ ගීතයට පමණක් නොවන නිසා. මගේ හැකියාවන් සහ ජන්ම උරුමය මට සංගීත හැකියාව ලබාදීලා තිබෙනවා. නමුත් ඇත්තෙන්ම කවුරුත් දන්නෙ නැති නමුත් මම නළුවෙකු ලෙසත් රඟපෑමේ හැකියාව තුළින් චිත්‍රපට කලාවට දායක වෙලා තිබෙනවා. මේ ආපු ගමන් මගේදී මම රසික ජනාදරයට පාත්‍ර වුණේ මට සියලු සම්මාන බුහුමන් ලැබුණේ, ලැබෙන්නේ සංගීත කලාව තුළින් වුවත් මෙලොව මා උසස් යැයි සලකන එකම කලාව සංගීතය පමණක් නොවෙයි.
තමන් නියැළෙන පමණින් ඒ කලාව උසස් වී අනෙක් කලාවන් පහත්කොට තැකීම නියම කලාකරුවාගේ ස්වභාවය නොවෙයි. මම අනෙක් හැම කලාවක්ම ඉතා උසස් යැයි පිළිගන්නා කෙනෙක්. මන්ද යැයි පැවසුවහොත් කලාව ඉගෙන ගත් පමණින් කළ හැකි දෙයක් නෙවෙයි. ඒකට ජන්මයෙන් ගෙනා හැකියාවක් උරුමයක් පැවතිය යුතුයි. ඒ ජන්ම උරුමය නැතිනම් කලාව තුළ දිගු ගමනක් යන්නට අමාරුයි. කලාව උපතින් පිහිටා ඇති අයට පමණක් රසවිඳිය හැකි දෙයක් නෙවෙයි. කලාව පිහිටා නැතත්, මුළුමහත් ජන සමාජයම ඊට ඇලුම් කරනවා. මුලින්ම අම්මාගේ නැළවිලි ගීතයට සවන් දීමෙන් අපි සංගීතය හා බැඳෙන්න හුස්ම ගන්න පටන් ගන්නවා.
මව් කිරි සමග අපි සංගීතය අපේ ආත්මය තුළට උරාගන්නවා. බිළිඳු අවධියේ සිටම කලාව අපේ ආත්මය තුළට රිංගා ගන්නේ එහෙමයි. ඒ වගේමයි නාදය. කුඩා බිළිඳෙකු අඬන විට යම් නාදයක් මතුකරවිය හැකි මෙවලමක් සොලවා ඒ නාදය තුළින් මතුවන රිද්මයට බිළිඳු සිත යොමු කරවා දරුවා නළවාගන්න අම්මලා උත්සාහ ගන්නවා. අපි රිද්මය හඳුනාගන්නේ එහෙමයි. මේ ඇත්ත අද අපි අමතක කරලා. නාදයේ හඬේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කළාට ඒවා උසස් රසවින්දනය උදෙසා සමාජගත කරන්න වැඩි උනන්දුවක් නැහැ. අද අපේ සංගීත ක්ෂේත්රය ගීත නිර්මාණය කරන්න උත්සාහ දැරුවාට ගීතයට පාටක් හැඩයක් දෙන සංගීත නිර්මාණ ගැන එතරම් අවධානයක් නැහැ.
ගීත ප්‍රසංග මිස අද වාදන ප්‍රසංග වැඩිපුර බිහිවීමක් නැහැ. ගීතය වඩා උසස් තලයකට ගෙන එන්න වාදන සම්බන්ධයෙනුත් යම් උනන්දුවක් හා රසවින්දනයක් සමාජය තුළ ගොඩනැගිය යුතුයි. මම ඉතාම සතුටින් කියනවා අපේ රටේ හොඳ වාදකයන් ඉන්නවා. ඔවුන්ගේ වාදන ඔවුන්ගේ හැකියාවන් අපේ සමාජය දැන සිටිය යුතුයි. ඒවාට ප්‍රසංග බිහිවිය යුතුයි. මගේ උපන් දිනය වෙනුවෙන් රසිකයන්ට එවැනි ත්‍යාගයක් දෙන්න අදහස් කළා. අපේ රටේ වාදන ශිල්පීන් සමග ඉන්දියාවේ දැනට සිටින සුවිශේෂීම තබ්ලා වාදකයෙකු හා සිතාර් වාදකයෙක් හයවැනිදාට ලංකාවේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් වාදනය කරන්නට සලස්වා තිබෙනවා. බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවට හයවැනිදා සවස යන්න වෙලාවක් ඉතිරිකර ගන්න.
වාදනය තුළ කොතරම් රසවින්දනයක් තිබෙනවාද යන්න ඔබ අත්විඳීවි. එමෙන්ම හෙට දවසේ මගේ උපන්දිනය වෙනුවෙනුත් ඔබට ගීතයේ රසය විඳින්නට මා විසින්ම මගේ ගීත සජීවීව ගයන්නට සසර වසන තුරු ගායන ප්‍රසංගය යොදාගෙන තිබෙනවා. මා ළඟ මා එකතු කරගත් හැකියාව යන ධනයෙන් ඔබට රසයක් තෑගි කරන්නට මම උපරිමයෙන් ක්‍රියාකරනවා. කලාව කියන්නේ ලලිත සුලලිත කලාවනේ.
කලාව කියන්නේ කාව්‍ය සම්පත්තියට. කවියක් නොවෙන කිසිම කලාවක් නැහැ. හොඳම ගීතයට කියන්නේ ගේය කාව්‍ය. නාට්‍යයට කියන්නේ දෘෂ්‍ය කාව්‍ය. ඉතිං ඇත්තටම ජීවිතයම කවියක් කියලා හිතුවත් එහි වරදක් නැහැ. කවියට ආදරය කරන්නා මුළුමහත් ජීවිතයටම ආදරය කරනවා. මමත් කවිය තුළින් බිහිවුණ කෙනෙක්. ඇල්බට් පෙරේරා යන නම මට උපතින් ලැබුණ නම. නමුත් මගේ ජීවිතය වෙනස් කළේ කවිය බව කවදාවත් මට අමතක වෙන්නෙ නැහැ. ඔබ අද දන්න අමරදේව කවිය විසින් ඔබට තෑගි කළ කෙනෙක්. මගේ නම මහාචාර්ය සරත්චන්ද්‍රයන් විසින් යෙදූ නමක්. එය යොදන්නට හේතුව මා සැළලිහිණියේ කවි පද කීපයක් ගායනා කිරීමෙන්. ඔහු සහ ඩී.බී ධනපාල මහත්තයා තමයි අමරදේව යන නම මට යෙදුවේ. නමුත් මම ගායනයට යොමු වුණේ වාදකයෙක් විදිහටයි.
එදා මට ලැබුණු ලොකුම අවස්ථාව තමයි පණ්ඩිතයන් ඇසුරට ලැබුණු අවස්ථාව. එයින් මම බොදේ දෑ උකහා ගත්තා. ඒ පණ්ඩිතයන් ඇසුරට පත්වීම නිසා මම හොඳ භාෂා දැනුමක් ලබාගත්තා. ඩෝල්ටන් අල්විස් මහත්තයා සසර වසන තුරු ගීතය මට ලියා දුන්නා. නමුත් ඒ පද පෙළේ තිබෙන භාවයන් මම හඳුනාගත්තේ භාෂාව පිළිබඳ මා තුළ තිබූ හැඟීම මෙන් ළැදිකම ඔස්සේයි. එදවස මහගම සේකරයන් සමග මා දැක්වූ සමීපකම මට භාෂා ඥානය සම්බන්ධයෙන් හොඳ පිටුවහලක් ලබාදුන්නා. පද පෙළක් හොඳින් ග්‍රහණය කර නොගත් අයෙකුට හැඟීම්බර ගායනයක් ඉදිරිපත් කරන්න බැහැ.
ගීතය තුළින් මිනිස් සංතානයේ භාවයන් අවදි කරනවා. සමහර ගීත අසද්දී අපට ඇඬෙන්නට පවා පිළිවන්. ඒ වගේ තමයි වාදනයන් ඇසෙද්දිත්. අපි කවුරුත් දන්න ගුත්තිල කාව්‍යයේ ගුත්තිල ඇඳුරාණන් වීණාව වයද්දී මව්වරුන්ගේ උකුලෙන් දරුවන් නොදැනීම බිමට ඇද වැටුණු බවක් අපි අහන්නේ ඒ නිසා. නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා කියල කියන්නේ ඒ තරමට ඒ වාදනය ඔවුන්ගේ භාවයන් වෙත ඇදී ගොස් තිබෙන නිසයි. තමන් නියැළෙන කලාව කුමක් වුණත් මම අපේ නව පරපුරෙන් එක ඉල්ලීමක් කරනවා. එයට දක්වන කැපවීම අංක එක විය යුතුයි.
ඔබේ නිර්මාණවලින් කළ හැකි සමාජ මෙහෙවර අතිමහත්. අනිත් එක එය යුගයෙන් යුගය පවතින නිර්මාණයක් වීමට හැම කලාකරුවාම වග බලා ගත යුතුයි. එවන් නිර්මාණයක් පරණ වෙන්නේ නැහැ.. අම්මා දොයි දොයි දොයි දොයිය බබා කියන නැළවිලි ගීතය ගයන්නේ අනාදිමත් කාලයක ඉඳලයි. එය බොහොම පරණයි. නමුත් අදත් දරුවෙකු නළවන්න මේ නැළවිලි ගීතය යොදාගන්නවා. නිර්මාණයක පැවැත්ම යුගය අනුව නොව අන්තර්ගතය අනුව තීරණය වන්නක්.. හැම කෙනෙක්ම කවියෙක් නොවන්නේ කවියෙකු වීමට යම් ජන්ම උරුමයක් පැවතිය යුතු නිසයි.
නමුත් කවිය තුළින් සිදුවන සමාජ මෙහෙවර මුළුමහත් සමාජයටම බව අමතක කරන්න එපා. මෙතනදී මම කවිය යැයි කිව්වේ කලාවටයි. මම දැන් ගෙවන්නේ සහ මේ එළඹෙන්නේ ජීවිතයේ අවසාන භාගයයි. ඒ ගෙවා පැමිණි කාලයේ මා ජීවිතයෙන් ලැබිය යුතු බොහෝ දෑ ඉතා යහපත් හා සම්මානනීය අයුරින් ලබා තිබෙනවා. පවතින යමක් සමාජය වෙත ඉතිරි කිරීමත් පුණ්‍යකර්මයක්. මට ඉතාම සතුටුයි ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස දැයේ දූ දරුවන් හොඳ රසඥතාවයක් ඇති පිරිසක් බවට පත්කරවන්නට බොහෝ දේ කරන්න පුළුවන් වීම ගැන.
සත්‍ය වශයෙන්ම සාහිත්‍ය රසයක් ගීත රසයක් සහිත නිර්මාණ අද එදා මෙන් බිහිවෙන බවක් පෙනෙන්නට නැහැ. අපි හැමෝම ඒ වෙනුවෙන් කැපවෙලා යමක් කළ යුතු කාලයයි මේ කියලා මම හිතනවා. ඒ වෙනුවෙන් තමයි මම තරුණ පරපුර වෙනුවෙන් මගේ උපන් දිනයට ඔවුන්ට ත්‍යාගයක් ලෙස ප්‍රවීණයන් ඇසුරේ වැඩමුළුවක් පවත්වා ඔවුන්ට අතදීමක් කරන්නට අදහස් කළේ.