මේ දිනවල 'ආදරණීය රිකී' නම් ළමා චිත්රපටයකද, 'බලය ඇවිත්' ටෙලිනාට්‍යයේද සංගීත කටයුතුවල නියැළෙන ගයාන් ගණකාධාර, 'නිසල විල', 'සඳ අමාවකයි', 'අසනි වැසි' ආදී ටෙලිනාට්‍ය වෙනුවෙන් හොඳම සංගීතයට හිමි සම්මානය දිනාගත් ලංකාවේ සිටින ප්‍රවීණ පෙළේ සංගීතවේදියෙකි. එබැවින් ඔහු සමග කෙටි කතාබහක යෙදීමට අපි අදහස් කළෙමු.
Q ඔබ එවකටජනතා විමුක්ති පෙරමුණේ තරුණ අරගලයේදී විමුක්තී ගීත සඳහා සංගීතයෙන් දායක වුණු සංගීතඥයෙක්. අද ඒ ගැන මොකද හිතෙන්නේ?
ධනේෂ්වරයට විරුද්ධව පැවැති ඒ අරගලයේදී අපි එදා නිර්ධන පන්තිය විදිහට සටන් කළා.ඒත් එදා ඒ අරගලය නන්දා මාලීනි,මහාචාර්ය සුනිල් ආරියරත්න වගේ අය අලෙවි කළා. ඔවුන් සටන පාවා දුන්නා. ඒක ඔවුන් අද සිටින තැන දිහා බැලුවාම අපට තේරුම්ගන්න පුළුවන්.
Q ඒත් මීට පෙර පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ කලාකරුවන් ආණ්ඩුවට කඩේ යාම සහ එදා ඔබ ඇතුළු කලාකරුවන් ජනතා විමුක්ති පෙරමුණට කඩේ යාම අතර වෙනසක් නැහැ නේද ?
නැහැ. අපි එතැනදි සටනටයි බැස්සේ.කඩේ යාමක් නෙමෙයි සිදුවුණේ.අනික මම දැන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නැහැ. මොකද ඒ අයත් එදා අපිව අතරමං කළා. ඒ නිසා අද මම ස්වාධීනයි.ජනතා විමුක්ති පෙරමුණත් අද තමන්ගේ වැරදි පිළිඅරන් තියෙනවා.
Q කොහොම වුණත් සංගීතය වැනි සෞන්දර්යාත්මක කලා මාධ්‍ය පවානූගත් සමාජයන්ට අසුවීම භයානක බව ඉන් පැහැදිලියි ?
අපට එදා තිබුණු ක්‍රමය නිසා ඇතිවුණු දුක,වේදනාවට අදාළ ප්‍රශ්න සමාජගත කිරීම වෙනුවෙන් තමයි අපි එදා මේ කලා මාධ්‍යයන් යොදා ගත්තේ.අනික එදා තිබුණු ඒ ප්‍රශ්න අදත් ඒ ආකාරයෙන්ම තියෙනවා.එය පැහැදිලියි දැන්. ඒ නිසයි මම දැන් සොබාදහමට වැඩි ඇල්මක් දක්වන්නේ. මොකද ඉහළ ධනපති පන්තියට යාමට හෝ ධනපති පන්තිය කෙරේ වෛරයකින් ආරම්භ කරන සටනක් සාර්ථක වෙන්නේ නැහැ. ධනපති පන්තියම තමයි එයින් ජයග්‍රහණය කරන්නේ.ඒ නිසා සියලු දෙනාම එකතු කරගත් විප්ලවයක් තමයි කවදා හෝ සාර්ථක වෙන්නේ.
Q ඒත් වත්මන් වැඩිහිටි පරපුර එදා මෙවැනි අරගලකාමී ගීත අනුමත නොකරන පසුබිමක් ගොඩනැගිලා තිබුණා?
අද නම් ඒ ගීත පිළිගන්නේ නැහැ. මොකද එය අද සමාජ විහිළුවක් බවට පත්වෙනවා. අනික වර්තමාන තරුණ තරුණියන් එයින් ලබාගන්නේ හොඳ දේ නෙමෙයි.සමාජ වෛරය තමයි ඔවුන් එයින් උකහාගන්න උත්සාහ කරන්නේ.ඒත් ආයෙමත් එවැනි භීෂණයකින් සමාජ විප්ලවයක් කරන්න බැහැ. ඒ නිසා මෙවැනි විප්ලවීය කලාවක් රසවිඳිය හැකි බුද්ධිමත් විශ්වවිද්‍යාල තරුණ පරපුරක් පවා අද බිහිවෙලා නැහැ.එවැනි කලාත්මක පරිසරයක් අද විශ්වවිද්‍යාලවල නැහැ. අලුත් විප්ලවයකට යා හැකි තරම් වූ සංගීතයක් නිර්මාණය කළ හැකි, අලුත් නිර්මාණ ශක්තියක් පවා ඔවුන්ට අද නැහැ.
Q වත්මන් සංගීතය ගැන මොකද හිතන්නේ ?
අද නිර්මාණය වන බොහොමයක් ගීත ගුණාත්මක බවින් අඩුයි. අද ඒ බොහොමයක් ගීතවල කතාබහ කළ සංගීතයක් නැහැ. ඒ නිසා වර්තමාන ගීතවල හෝ සංගීත නිර්මාණවල ලාංකේය අනන්‍යතාවක් මට නම් දැනිලා නැහැ. ඒ හින්දයි අදත් කේමදාස වැනි සංගීතඥයන් ගැන කතා කරන්නේ. ඊට සමාජ,සංස්කෘතික,ආර්ථික සාධකත් බලපානවා.
Q හැබැයි අද නිවැරදිව සංගීතය රසවිඳිය හැකි අධ්‍යාපනයක් ලබාදීමත් වෙනමම කටයුත්තක් වෙලා නේද ?
ඕනෑම නිර්මාණයක සමාජ දේශපාලනික කාරණා අන්තර්ගත වෙලා තියෙනවා. එය සංගීත නිර්මාණවලටත් පොදු තත්ත්වයක්. ඒත් දර්ශනයක් සහිතව,ඒ මත පිහිටා සිදුකරනු ලබන නිර්මාණ තමයි රසිකයා වැලඳගන්නේ.එයයි වෙනස. එවැනි නිර්මාණවල අඩුවක් තමයි අද දක්නට ලැබෙන්නේ.