'Stages' නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කරන රුවන්ති ඩි චිකේරාගේ 'Dear Children Sincerely' නම් සමාජ-දේශපාලනික නාට්‍යය පසුගිය මස නැවතත් වේදිකාගත වූයේ ප්‍රේක්ෂක මනසට වෙනත්ම නාට්‍ය හැඩතලයක් නිර්මාණය කරමිනි. මෑත ඉතිහාසයේදී ලංකාවේ සිදු වූ ප්රබලතම ඓතිහාසික සිදුවීම් හතක් පාදක කරගනිමින් නිෂ්පාදනය වූ මෙම නාට්‍යයට 'වෘන්ද' රංගනයක් පාදක වන අතර, වසර 70ක ශ්‍රී ලාංකේය ඉතිහාසය කරා ප්‍රේක්ෂකයා රැගෙන යයි.
එනම් මෙහි එන සියලු ජවනිකා 1930 දශකයේ උපත ලද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සමග කළ සම්මුඛ සාකච්ඡා ඇසුරින් නිර්මාණය වී තිබීමද සුවිශේෂත්වයක් වන අතර, ඒ අනුව එම සාකච්ඡා තුළින් ඉස්මතු වූ ප්රස්තුතයන්, 1940 දශකයේ ශ්‍රී ලංකාව නිදහස ලැබූ දින සිට 2009 වසරේ යුද්ධයේ අවසානය තෙක් ඉතිහාසයේ ගමන්මග හරහා ශ්‍රී ලාංකේය පුරවැසියාගේ සමාජ-දේශපාලනික ස්වභාවය වෙනස් කර ඇති ආකාරය මෙම නාට්‍යය තුළින් පිළිබිඹු කරයි.
නව තාක්ෂණය යොදාගනිමින් සියලු ආකාරයේ ප්රේක්ෂකාගාරයන්ට නැරඹිය හැකි මට්ටමින් නිපදවූ 'Dear Children Sincerely' නාට්‍යයේ ආකෘතිය තුළින්ම සංවාද මණ්ඩප නාට්‍ය ආකෘතිය (Forum Theatre) ඉල්ලා සිටියද එය පසෙකලා ඇති නාට්‍යවේදිනිය, ඒ සඳහා වෙනත් තෝරාගැනීමක් සිදුකර තිබුණද එය අපූරුවට සාධාරණයට ලක්කර ඇත්තේ ඉදිරිපත් කර ඇති හැඩතලය හරහා අපවම අපට විනිවිද දැකිය හකි මට්ටමට ගෙන යමිනි.
විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය වේදිකාවට දයානන්ද ගුණවර්ධනයන් හඳුන්වාදුන් වාර්තා රංගයේ ලක්ෂණ බොහොමයක් ගැබ්ව තිබූ මෙම නාට්‍ය නිෂ්පාදනයේදී සිදුකර ඇති ඓතිහාසික දේශපාලන ගවේෂණය මේ මොහොතේ සමාජයට අතිශයින් වැදගත් වන අතර, ඒ අපට වැරදුණේ කොතැනද යන්න පිළිබඳ අප විමසිය යුතු බැවිනි.
එනම් අපට පසුගිය දශක හත තුළින් ඉතිරි වූයේ කුමක්ද යන්නත්, එකල සිදු වූ සංසිද්ධීන් මහජනතාව තුළ සමාජගත වූ ආකාරයත් ඈ සූක්ෂම රංගෝපක්‍රම හරහා ඉදිරිපත් කිරීමට උත්සුක වී ඇති ආකාරය,
ඊට පාලම කරගත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අත්දැකීම් තාර්කිකව මෙන්ම ප්‍රායෝගිකවද සාධාරණයට ලක් කිරීමටද සමත් වී ඇත. ඒ ඇය තෝරාගන්නේද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ම නැවත ආපසු තමා දෙස හැරී බලන සිය ජීවන මං පැතිකඩේ දැක්මෙන් බැවිනි.
අනෙක් අතට පවත්නා සංස්කෘතිය තුළ අපෙන් සිදු වූ වැරදි, අතපසුවීම් පිළිබඳ හෙළිදරව් කිරීමට වඩා මුනිවතක සිට ලැජ්ජා සහගතව ජීවත්වීමට පුරුදු පුහුණු වන බහුතර ජන සමාජයකට අවශ්‍ය කරන්නේද මෙවැනි කලා කෘතීන්ය. රටක පැහැදිලි අනාගතයකට චින්තනය පුළුල් කරගත හැක්කේද එවිටය.
නිදසුනක් ලෙස ජර්මනිය වැනි දියුණු රටවල් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එකල ඒ පිළිබඳ තියුණු විවරණයක් කළ අතර, ඒ යළි එවැන්නක් සිදු නොවෙන්නට අවශ්‍ය පසුබිම සකස් කළ යුතු බැවිනි. එසේ නොමැතිව පශ්චාත් යුද සමයක ඇලී ගැලී යුද ජයග්‍රහණය පිළිබඳ පම්පෝරි ගසමින් තුන්වැනි ලෝකයේ රටක් ලෙස තවදුරටත් ජීවත් වීමට නොවේ.
එබැවින් එවැනි ප්‍රසිද්ධ දේශපාලනික කතාබහක අවශ්‍යතාව මේ මොහොතේදී බුද්ධිමත් ජනතාවකට අනිවාර්යයෙන් සංවේදී විය යුතුය. එසේ නොමැතිව අරගලය යන්න පවා දේශපාලන අතකොලුවක් කරගනිමින් නැවතත් යුද්ධයකට මග පාදාගන්නේ නම් එයින් තවදුරටත් පෙනෙන්නේ මෙවැනි නාට්‍ය කෘති රසවිඳිය නොහැකි බුද්ධිමත් ප්‍රේක්ෂකාගාරයක් තවමත් සකස් වී නොමැති සේයාවකි. එහි වාසියද පීඩිත පන්තිය වෙනුවෙන් ගෙනයන බව පවසන අරගලයේ නායකයන්ට සහ ඉහළ පැලැන්තියටය.
එනම් තවමත් අප නිශ්චිත වශයෙන් අරගලය හඳුනාගෙන නොමැති බැව් 'Dear Children Sincerely' හරහාද ඉස්මතු වන අතර, අප අනෙකා වෙනුවෙන් අරගල කිරීම වෙනුවට අරගල කර ඇත්තේ තමන් වෙනුවෙන් බවද මේ හරහාද පෙනී යයි.
එහෙත් උතුම් අරගලය යනු තමන් වෙනුවෙන් කරන අරගලය නොවන බව පවසන නාට්‍යවේදිනිය, නැවතත් එය වෙනස් මානයකින් දැකිය යුතු බවටද තරුණ සිත් පොළඹවන්නීය. ඒ පීඩිත පන්තිය යැයි පවසන කොටසටද අයත් නොවන, අරගලය යන වචනය පවා නොදන්නා, ඊට වඩා පීඩාවට පත්වුණු මිනිසුන්ද අප රටේ සිටින බැවිනි.
ලෝකයේද සිටින බැවිනි. එබැවින් ඔවුන් එවැනි පටු මානසිකත්වයට කොටු වීමට හේතුවත්, අතීත අරගල පිළිබඳ පවත්නා නොදැනුවත්කමත් බැව් පවසන නාට්‍යවේදිනිය, මෙවන් දේශපාලනික වූ ගවේෂණාත්මක නාට්‍ය කෘතීන්වල අවශ්‍යතාව ප්‍රේක්ෂකාගාරයට තදින්ම අවධාරණය කරන්නීය.
වසර දෙකකට පමණ පෙර එක් වූ කලාකරුවන් කුඩා කණ්ඩායමක් පර්යේෂණ සහ රංගන ව්‍යාපෘතියක් ලෙස ඇරඹි 'Dear Children Sincerely', එකල ශ්‍රී ලංකාවට නිදහස ලැබීම සහ අප රටේ නූතන සහ මෑතකාලීන ඉතිහාසය සිය දෙනෙත් අබියස දිගහැරෙනු දෑසින් දුටු 1930 දශකයේ උපත ලද අප සමාජයේ වැඩිහිටි පරපුරේ කතා සහ අත්දැකිම් වත්මන් යොවුන් පරපුර වෙත ගෙන යෑමේ උත්සාහයක් ලෙස නිෂ්පාදනය වූවකි.
විශේෂයෙන්ම අසූ වියැති විය ඉක්මවූ පිරිස හරහා රටක් වශයෙන් අප එකල බොහෝ ප්‍රශ්න, දුෂ්කර ගැටලු, පූර්ව නිගමන මෙන්ම බොහෝ වැරදීම්ද සිදු වී ඇති බැව් අපූරුවට රංගෝපක්‍රම හරහා වේදිකාවට ගෙන එන 'Dear Children Sincerely' නාට්‍ය නිර්මාණයේදී අපේක්ෂාව, හාස්‍යය, අවබෝධය සහ ඉහළ මට්ටමේ ධෛර්යයක්ද අපට මීට පෙර පරම්පරාවන්ගෙන් උරුම වී ඇති බැව් හඟියි.
අනෙක් අතට පරම්පරා අතර දැනුම හුවමාරු වීමේ ක්‍රමවේදයක් අප සමාජයේ නොමැති රික්තකයක් තුළ විධිමත් අධ්‍යාපනයද බංකොලොත් වී ඇති වත්මන් සමාජයේ අප විසින්ම අපවම අතරං කරගෙන ඇති සේයාවක්ද මේ හරහා අපට පෙනී යන්නේ නිදහස, ජාතිවාදය, හමුදා කුමන්ත්‍රණ, ජනතා විමුක්තිය, යුද ජයග්‍රහණය ආදිය නැවත අප ප්‍රශ්න කළ යුතු නිසාවෙනි.