ආදරණීය ගායන ශිල්පියෙකු ලෙස ශ්‍රී ලාංකික රසික හදවත් තුළ සුවිශේෂී ස්ථානයක් සනිටුහන් කරමින් අප අතරින් සමුගත් ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලාකරුවා වෙනුවෙන් 'අාදරණීය ප්‍රින්ස්' නමින් ප්‍රසංගයක් හෙට (14දා) සවස 6.30ට ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වීමට ඔහුගේ සමකාලීන කලාකරුවෝ සූදානමින් සිටිති.
ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා ප්‍රතිකාර ලබමින් සිටි පෞද්ගලික රෝහලට රුපියල් ලක්ෂ විසිපහකට අධික මුදලක් ගෙවීමට සිදුව ඇති බැවින් එම මුදල උපයාගැනීම මෙම ප්‍රසංගය පැවැත්වීමේ මූලික අභිලාෂය වී තිබේ.
ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලාකරුවාට ගෞරවනීය සමුදීමක් ලබාදීමේ අරමුණින් පවත්වන මෙම ප්‍රසංගයට ජනප්‍රිය, ප්‍රවීණ හා ප්‍රින්ස් උදය ප්රියන්තයන්ගේ සමකාලීන ශිල්පීහු 28 දෙනෙක් සහභාගී වෙති.
මෙහි ප්‍රධාන සංවිධායක ලෙස ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතා කටයුතු කරන අතර, මෙම ප්‍රසංගයේ සංවිධායකවරුන් සමග මේ සම්බන්ධයෙන් ඇති සූදානම පිළිබඳ අපි කතාබහ කළෙමු.
ප්‍රධාන සංවිධායක කීර්ති පැස්කුවල්
''ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන්නේ, අපේ රටේ හිටිය ඉතාමත් දක්ෂ ගායන ශිල්පියෙක්, කලා ශිල්පියෙක්. ඔහුට අවාසනාවන්ත ලෙස අකාලයේ අප අතරින් සමුගෙන යන්නට සිදු වුණත්, ඔහු සිදුකළ කලා නිර්මාණ රසිකයන්ගේ හදවත් තුළ හැමදාටම පවතීවි කියලා අපට විශ්වාසයක් තියෙනවා. ඔහු ඒ තරම්ම රසිකයන්ට ළෙන්ගතු චරිතයක්.
ප්‍රින්ස් නොපැතූ ලෙස, පසුගිය වසර දෙකකට පෙර රෝගාතුර වීමට පටන්ගත් මොහොතේ පටන් ඔහුගේ සොයුරිය ප්‍රින්ස් සුවපත් කරගැනීම වෙනුවෙන් උපරිම කැපවීම් කළා. ඔහු පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට ඇයට අවශ්‍ය වුණෙත් ඒ නිසාමයි. මේ හේතූන් නිසා ප්‍රින්ස් උපයාගත් ධනය, සහ සියලු දේපොළ විකුණා සහ උකස් කර ඔහු වෙනුවෙන් වියදම් කිරීමට පවුලේ උදවියට සිදු වුණා.
අවසාන අවස්ථාවේ පවා ඔහු රෝහල්ගත කර තිබෙන්නේ ඔවුන්ගේ අවසන් ඉඩම් කැබැල්ලත් විකුණා හෝ ප්‍රින්ස් සුවපත් කර ගැනීමේ අරමුණින්. නමුත් බලාපොරොත්තු නොවූ ලෙස ඔහු ජීවිතයෙන් සමුගැනීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් බවට පත් වුණා. ඒ වනවිට එම රෝහල සඳහා රුපියල් විසිපන්ලක්ෂ තිස් අට දහසක මුදලක් ගෙවීමට නියමිතව තිබුණා.
ලිඛිත පොරොන්දුවක් හා පුද්ගල ඇප දෙකක් මත, දේහය නිදහස් කර ගන්නට ඇයට සිදුවූවා. ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ හතරක මුදලක් පොලියටද ඇය විසින් ලබාගෙන තියෙනවා. ඒ අනුව ලක්ෂ විසි නවයකට අධික මුදලක් ඇය ප්‍රින්ස් වෙනුවෙන් ගෙවීමට නියමිතව තිබෙනවා.
මේ අවස්ථාවේ කලාකරුවන් වන අපි ප්‍රින්ස් වෙනුවෙන් කුමක් හෝ කළ යුතුයි කියන තැනට ආවා. ඒ නිසාම තමයි. 'ආදරණීය ප්‍රින්ස්' ප්‍රසංගය සංවිධානය වන්නේ. එයින් ලැබෙන අාදායමෙන් ඔහු වෙනුවෙන් වූ ණය බේරලා, ඔහු ණයකරුවෙකු නොවූ කලාකරුවෙකු ලෙසට ඔහුට ගෞරවනීය සමුදීමක් ලබා දෙන්නට මේ ප්‍රසංගයට ජනප්‍රිය, ප්‍රවීණ හා ප්‍රින්ස්ගේ සමකාලීන ශිල්පීන් 28 දෙනෙකු සහභාගි වෙනවා. ඔවුන් හැමදෙනාම ඉතාමත් කැමැත්තෙන් මේ සඳහා තම දායකත්වය ලබා දෙන්නට ඉදිරිපත් වුණා.
ඒ වගේම ජාතික තරුණ සේවා සභාව මේ සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන්නට එකඟ වුණා. ප්‍රින්ස් ජාතික තරුණ සේවා සභාව තුළින් බිහිවුන දක්ෂ ගායන ශිල්පියෙක්.
මේ දැවැන්ත සංගීත ප්‍රසංගය නරඹා රසවින්දනයක් ලබන ගමන්ම, ප්‍රින්ස් වෙනුවෙන් යමක් කරන්නටත් රසිකයන්ට මෙයින් අවස්ථාව උදා වෙනවා. එවිට අප කිසිවෙක් ණයකරුවන් වන්නේ නෑ. ඒ චේතනාවෙන් තමයි අපි මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ, රුපියල් 1000, 2000, 3000 වශයෙන් තමයි ප්‍රවේශ පත්‍ර මිල කරලා තියෙන්නේ. මේ මුදල ප්‍රේක්ෂකයාට පාඩුවක් වෙන්නේ නෑ, මේක ඉතා දුර්ලභ ගණයේ වටිනා සංගීත ප්‍රසංගයක් නිසා.''
ගායන ශිල්පී මධුමාධව අරවින්ද
''ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන්නේ කුමාර ජීවිතයක්. මිනිහෙකුට කුමාර ජීවිතයක් ලැබෙන්න කාරණා කිහිපයක් තිබෙනවා. එකක් උපතින්, එහෙම නැතිනම් ස්වභාවයෙන් තමන් සතු වූ දෙයකින්. එහෙම නැතිනම් තමන් ඉපදෙන රට තමන්ව කුමාරයෙක් කරන්න පුළුවන්. මේක පළවෙනි එක වුණේ නැහැ. කුමාරයෙක් විදියට නෙමේ ප්‍රින්ස් ඉපදුණේ.
බොහොම සාමාන්‍ය පවුලක උපන් ප්‍රින්ස්ව මේ රට කුමාරයෙක් කළා. ඒ කුමාර කාලෙදි තමයි අපි ඔහුව ගායකයෙක් හැටියට දකින්නේ. මම හැමදාම කියපු දෙයක් තමයි තනිකඩයා තනි කරන්න එපා කියලා.
ඔහුට අසනීප වුණ පළමුවෙනි දවසේ ඉඳලා, මම විශ්වාස කරපු විදියටම තනිකඩයාව තනිකළේ නෑ මගේ රට. ඔවුන් පිටුපස්සේ හිටගත්තා ආදරණීය මිනිසුන් වූ ඔබ. ඔබට පුළුවන් විදියට ඔහුට ආශිර්වාද කළා. මුදල් පරිත්‍යාග කළා. ඒ වගේම ඔහු යන්නට ගිය දවසේ කනගාටු වෙන්න ඇති.
රට ඔහු කුමාරයෙක් කළාට, ඒ කුමාරයා රැකගන්න දෛවය ඉඩ දුන්නේ නෑ. ඔහු අවසානයේ වින්ද දුක හිත හිත දුක් විඳින මිනිස් කොට්ඨාසය ඔබ. ඒ නිසා ඔබට හැකියි දැන් අවසාන යුතුකම ඔහු වෙනුවෙන් ඉෂ්ට කරන්න.''
ගායන ශිල්පී ටිරෝන් මද්දුමගේ
''මට මුලින්ම ප්‍රින්ස්ව දැන හඳුනාගන්න ලැබෙන්නේ 1990 දශකයේදී. ඒ ඔහු ක්ෂේත්රයට අවතීර්ණ වුණ අවධියයි. ඒ වනවිට ඔහු කැසට් පටයක් නිකුත් කර තිබුණා. මගෙන් ප්‍රසංග වේදිකාවේදී කිහිප දෙනෙක් ඇසුවා ප්‍රින්ස් උදය ප්‍රියන්තව සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. මම ප්‍රින්ස්ට දුන් දැනුම්දීමක් අනුව ඔහු මගේ නිවසට පැමිණියා.
මම එදා ඔහුට කොළඹ අවට ජනප්‍රිය ප්‍රසංග පහක් ලබාදුන්නා. ඒ තුළින් ඔහුව බොහෝ රසිකයන් හඳුනා ගත්තා. ඒ සම්බන්ධතා එක්ක අපි හුඟාක් හිතවත් වුණා. සොයුරන් විලසට කලා කටයුතුවල නියැළුණා. ප්‍රින්ස් හරිම කළමනාකරණ හැකියාවක් තිබුණ ගායකයෙක්. ඔහු යමක් ඉතිරි කළා. ඔහු විවිධ කැසට් නිෂ්පාදකයන් සමග නව නිර්මාණ බොහෝමයක් ඉදිරිපත් කළා. ඒවා ජනප්‍රිය වුණා.
රටේ එක්තරා අයහපත් කාලයකදී ප්‍රසංග වේදිකාව කඩා වැටුණා. සංගීත ප්‍රසංග පැවැත්වුණේම නැහැ. ප්‍රධාන ජීවන වෘත්තිය විදියට ගායන ක්ෂේත්රය තෝරාගත් ශිල්පීන් මෙම අවස්ථාවේ ගොඩාක් අසරණ වුණා. හිතවත්කම් තිබුණත් නිතර හමු නොවීම තුළ එකිනෙකා දුරස් වුණා. ඒ අවධියේ තමයි සමහර කලාකරුවන් විවිධ දේ වලට ඇබ්බැහි වෙලා ජීවිත පරිහානියට යන්නට පටන්ගත්තේ. බොහෝ අය රෝගාතුර වුණා.
ඔහු මේ මොහොතේ ණයකරුවෙකු වී සමුගෙන ගිය කලාකරුවෙකු නොකර, ඔහුට ගෞරවනීය සමුදීමක් දීමේ අරමුණ තමයි මේ 'ආදරණීය ප්‍රින්ස්' ළෙන්ගතු සහෝදරත්වයේ ගෞරවනීය සමුදීම ප්‍රසංගය. මේ සඳහා සමස්ත රසික ප්‍රජාවගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා.''
ප්‍රවීණ නිවේදක සේනක උබේසිංහ
''මුලින්ම මට ප්‍රින්ස් ළෙංගතු වෙන්නේ රටේ කවුරුත් ප්‍රින්ස්ව හඳුනන්නේ නැති වෙලාවක. යොවුන් ගී, යොවුන් මිහිර හා සැළලිහිණියෝ කියන කාන්තා සංගීත කණ්ඩායම සමග අපි ලංකාවේ විවිධ ප්‍රදේශවල සංගීත සන්දර්ශනවලට යනවා. ප්‍රින්ස්, රෝයි පීරිස් වැනි කලාකරුවන්ගේ ගීත ගායනා කරන කාලයක තමයි, මම නිවේදකයෙකු හැටියට ඔහු පිරිසට හඳුන්වා දෙන්නේ.
ඔහු මුලින්ම ගීත හතරක් පටිගත කරනවා විශාරද නිහාල් ගම්හේවා මහත්මයාගේ පද රචනා හා සංගීත අධ්‍යක්ෂණය යටතේ. ඒ ගීත විවිධ නාළිකාවලට දෙන්න ප්‍රින්ස් වගේම අපිත් බොහොම මහන්සි වුණා. ඒ ගීත ප්‍රචාරය වීමත් සමගම ඔහු ජනප්‍රිය තත්ත්වයකට පත් වුණා. 1990 දශකය කියන්නේ කැසට් පට ක්ෂේත්රය ඉහළ තත්ත්වයක තිබුණු යුගයක්.
ප්‍රින්ස්ට තිබුණෙ රහසින් ගීත ගායනා කරනවා වැනි හඬක්. ප්‍රින්ස්ගේ පළමු කැසට් පටය අතිශය ජනප්‍රිය වුණා. ඔහු හොඳ ගීත සමුච්චයක් රසිකයන්ට තිළිණ කළා. ප්‍රින්ස්ගේ ජනප්‍රියතාවත් සමග ඔහු ආර්ථික අතින් ස්ථාවර වුණා.
ඔහු හොඳ ජීවිතයක් ගත කරපු කලාකරුවෙක්. ප්‍රේක්ෂක ප්‍රසාදය නිරන්තරයෙන්ම ග්‍රහණය කරගෙන හිටපු කලාකරුවෙක් ණයකරුවෙකු බවට පරිවර්තනය නොකර, ඔහුගේ නික්ම යෑම සැබැවින්ම ආදරණීය නික්මයාමක් බවට පරිවර්තනය කරන්න තමයි අපි මේ වෙහෙස මහන්සි වන්නේ.''
සංගීත කණ්ඩායමේ නායක හා සංගීත අධ්යක්ෂ නුවන් සමරසිංහ
''ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන්නේ, ජාතික තරුණ සේවා සභාවේ බෙල්වුඩ් ගම්මානයෙන් සංගීත අධ්‍යාපනය හැදෑරූ කෙනෙක්. ප්‍රින්ස් එහි ඉන්න අවධියේම තමයි, මාත් බෙල්වුඩ් ගම්මානයට ඇතුළත් වුණේ 1992 වසරේදී. එහිදී මා විශාරද නිහාල් ගම්හේවා මහතා යටතේ තමයි සංගීතය හැදෑරුවේ.
ඒ වකවානුවේ යොවුන් ගී සංගීත කණ්ඩායම නියෝජනය කරන්න මට අවස්ථාව ලැබුනා. කණ්ඩායමේ නායකයා සහ විදුලි ඕගන් වාදන ශිල්පියා හැටියට ඒ කාලය තුළදී ප්‍රින්ස් උදය ප්‍රියන්ත, චන්දන ලියනආරච්චි වැනි අය අප ඇසුරේ හිටියා. එහි එක් එක් කණ්ඩායම් තිබුණා. වසරෙන්, දෙකෙන්, තුන, හතරෙන් විසිර යන අය අපි සියලු දෙනාම බොහොම එකමුතුව එකට වැඩ කළා.
අපේ ප්‍රින්ස් වෙනුවෙන් යමක් කිරීමට ඉදිරිපත් වීමට මට අවස්ථාව ලැබීම ගැන මා ගොඩක් සතුටු වෙනවා. අප සමඟ එකටම සිටි කෙනෙක් හැටියට ඔහුගේ අවසාන අවස්ථාවේදී හෝ උදව් කිරීමට ලැබීම සතුටක්. ඇත්තටම ඔහු අපේ කෙනෙක්. ඔහු අද අප අතර නැතත්, ඔහු වෙනුවෙන් මම ඇතුළු අපේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයත් එකතු වෙලා මේ සියලු කටයුතු බොහෝම හොඳින් සිදු කරනවා.''
ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්යක්ෂ ජනරාල්, නීතිඥ එරන්ද වැලිඅංගේ
''ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන්නේ ජාතික තරුණ සේවා සභාවේ බෙල්වුඩ් ගම්මානයෙන් බිහිවුණ අසහාය ගායකයෙක්. ඒ කලාකරුවා දශක කිහිපයක්ම ජාතික තරුණ සේවා සභාවේ නම බබළවමින් කලා ක්ෂේත්රයේ බොහොමයක් කලාකරුවන්ට ආදර්ශයක් වෙමින්, ඉතාමත් හොඳ ගීත විශාල ප්‍රමාණයක් ගායනා කරපු ගායකයෙක්. එම කලාකරුවා මියයන විට පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ විසිපහකට අධික මුදලක් ගෙවීමට තිබුණා.
මෙහිදී කීර්ති පැස්කුවල් සහ අනෙකුත් කලාකරුවන් එකතු වෙලා තීන්දුවක් ගත්තා මෙම මුදල ගෙවීම සඳහා ප්‍රසංගයක් කළ යුතුයි කියලා. ඒ සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා වශයෙන් මමත්, අපගේ ආයතනයේ කාර්යමණ්ඩලයත්, කීර්ති පැස්කුවල් හා අනෙකුත් කලාකරුවන් සමග සාකච්ඡාවක් පැවැත්වූවා.
ඒ අනුව එම ප්‍රසංගය ජූලි මස 14 වැනිදා ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වීමට අපි කටයුතු සූදානම් කරගෙන යනවා. ඒ වෙනුවෙන් ජාතික තරුණ සේවා සභා පරිශ්‍රය නොමිලයේම ලබාදීමට තීරණය කළා. ජාතික තරුණ සේවා සභාව නිර්මාණය කළ අලුත්ම සංගීත කණ්ඩායම තමයි යූත් එක්ස්ට්‍රීම් කියන සංගීත කණ්ඩායම.
එම සංගීත කණ්ඩායමත්, අපගේ සියලුම සංගීත භාණ්ඩත්, පරිශ්‍රයත්, කාර්යමණ්ඩලයත් අනෙකුත් සියලුම පහසුකම්ද ලබාදීමට අපි තීරණය කළා. ඒ වගේම එදිනට මූල්‍යාධාරයක් ලබාදීමටත් තීරණය කළා.
මේ සියලු දෙයින්ම බලාපොරොත්තු වන්නේ ජාතික තරුණ සේවා සභාවත්, කීර්ති පැස්කුවල් ප්රමුඛ අනෙකුත් කලාකරුවනුත් එකතු වෙලා ජනප්‍රිය ගායක ගායිකාවන් 28 දෙනෙකු ගීත ගායනා කරන ඉතිහාසයේ පළමුවෙනි ප්‍රසංගය බවට පත් කරලා, ඒ තුළින් ලැබෙන මුදල් සියල්ලම ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන ගායකයාගේ රෝහල් බිල ගෙවීමටත්, යම්කිසි මුදලක් ඉතිරි වෙනවා නම් ඉදිරියේදී මෙවැනි අපහසුතාවකට පත්වෙන ගායක-ගායිකාවන්ට වියදම් කිරීමටත් තමයි.''
077 2 749 940 / 077 7 748 188 / 071 8 085 017 / 077 6 469 444