සතියේ දිනවල සවස හයට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන ජනප්‍රිය ළමා ටෙලිනාට්‍යයක් ලෙස බෝංචි ගෙදර ඉන්ද්‍රජාල හැඳින්විය හැකිය. ලංකාව තුළ මෙන්ම ලොව පුරා වන ළමා කතා, සුරංගනා කතා, වීර කතා, ජන කතා, පුරාවෘත්ත සහ ඒවායේ එන ඉන්ද්‍රජාල චරිත වන තොප්පි වෙළෙන්දා, රතු ජේත්තුකාරිය, මායා වෘකයා, ගෙඹිකුමාරයා මෙන්ම නොයෙක් යෝධයන්, කුරුමිට්ටන්, යක්ෂයන්, දෙවිවරුන්, ඉන්ද්‍රජාල හැකියාවන් ඇති නොයෙක් මිනිසුන් සහ නොයෙකුත් භාණ්ඩ සමග වර්තමාන සහ ඉතිහාස පුංචි වීරයන් නිරන්තරයෙන්ම ගනුදෙනු කරන ආකාරය විකාශනය වන 'බෝංචිගෙදර ඉන්ද්‍රජාල’ ටෙලිනාට්‍යයේ අධ්යක්ෂවරයා වන ප්‍රදීප් ධර්මදාස සමග මේ පිළිබඳ කතාබහ කිරීමට අප සිතුවේ එබැවිනි.
Q 'බෝංචි ගෙදර ඉන්ද්‍රජාල' ටෙලිනාට්‍යය පිළිබඳ ඔබේ හැඳින්වීම කොයි වගේද?
“Groenlands හෙවත් හරිත භූමි නමින් තියෙන ඉස්කෝලෙ ‘හත බී’ පන්තිය පුදුමාකාර පන්තියක්. මේ පුදුම පන්තිය හින්දා ඉස්කෝලෙ පරිපාලනයටත් පුදුම ප්‍රශ්න. මොකද මේ පන්තියේ හිටියෙ හිතුවක්කාර දඟකාරයො පිරිසක්. මේක ඇත්ත වශයෙන්ම හිතුවක්කාරයන්ගෙ පංතියක්. මේ ළමයි එක්ක ඔට්ටු වෙන්න බැරිව පන්තිය භාරව හිටපු ගුරුවරිය ඉස්කෝලෙන් අස්වෙලා ගිහින් හිටියෙ. ඒ අනුව මේ පන්ති භාර ගුරුවරයකුගේ පුරප්පාඩුව පුරවන්න පරිපාලනයට සිද්ධ වුණා.
මේ හිතුවක්කාර ළමයින් මට්ටුකරන්න හිතාගත්තු ඉස්කෝලෙ විදුහල්පතිනිය වූ සූර්යකාන්ති ගුණතුංග තමන්ට ලැබුණු අයදුම්පත් අතරින් පන්තිභාර ගුරුවරයා විදිහට පංකජ සේරසිංහ ගුරුවරයා පත්කරන්න තීන්දු කරනවා. ඔහුගේ මූලික විෂයන් තමයි ශාරීරික අභ්‍යාසය, බාහිර ක්‍රියාකාරකම් සහ නිර්මාණාත්මක සන්නිවේදනය කියන අමුතු විෂයන් තුන. කොහොම වුණත් මේ දරුවන් අතරත් ඉන්නවා කැපී පෙනෙන චරිත ටිකක්. ඔන්ද්රින්, ජකිල් ඇලික්ස්, නිලුක් සහ ලකිත් තමයි ඒගොල්ලො. මේ දරුවන්ගේ දඟකාරකම් පවත්වා ගනිමින්ම ඔවුන් නිර්මාණාත්මක හික්මීමකට භාජනය කරන්න හිතන තරුණ ගුරුවරයා එක් රාත්‍රියක ‘ජැක් සහ මායා බෝංචි වැල’ කතාව කියවමින් සිටියදී එක්වරම ඔහුගේ හිතට වස්තු බීජය පහළ වෙනවා. සමස්ත කතාව විකාශය වෙන්නේ මේ වස්තු බීජය ඇසුරෙන්.
Q ඇයි ළමයින් වෙනුවෙන් මෙවැන්නක් නිර්මාණය කිරීමට අදහස් කළේ?
අද වෙද්දී ළමා නාට්‍ය කියලා ළමයින්ට නැරඹීමට සිදුවෙලා තියෙන්නේ ඉන්දියානු නාට්‍ය. එහෙම නැත්නම් ඉන්දියානු කාටුන්. ඒත් අපි එදා නැරඹූ දොස්තර හොඳ හිත, හා හා හරි හාවා වැනි කාටුන්වල තිබූ ගුණාත්මක බව ඒවායෙහි නැහැ. ඒ වගේම ළමා ටෙලිනාට්‍ය නිර්මාණය වුණත්, ඒවායෙත් තිබුණේ රැල්ලට යන ස්වභාවයක්. මතුපිටින් අතපත ගෑමක් තමයි එම ටෙලිනාට්‍යවල සිදුවෙන්නේ.
Q ඒත් අද ළමයින්ට ටෙලිනාට්‍යයක් නැරඹීමටවත් වෙලාවක් තියෙනවා කියලා ඔබ හිතනවද? විශේෂයෙන් හවස් වරුවේ?
එහෙම තත්ත්වයක් නම් තියෙනවා. එය පවතින අධ්‍යාපන ක්රමයේ අර්බුදයක්. නමුත් රූපවාහිනිය නරඹන කුඩා දරුවන් වෙනුවෙන් හෝ යමක් කළ යුතුයි යන හැඟීමෙන් තමයි අපි මෙහි නිර්මාණකරණයට පිවිසියේ. අනික හරසුන් ටෙලිනාට්‍ය නිසා අද ළමයින් රූපවාහිනියෙනුත් ඈත්වෙන ස්වභාවයක් දකින්නට තියෙනවා. ඒ නිසයි අපි ඒ හිඩැස පිරවීමට උත්සාහ කළේ.
Q අන්තර්ජාලය, ජංගම දුරකථන වැනි මාධ්‍යයන් නිසාත් ළමයින් රූපවාහිනියෙන් ඈත්වෙන ස්වභාවයක් දක්නට ලැබෙනවා නේද?
පැහැදිලිවම. අපට තාක්ෂණය නොමැතිව ඉදිරියට යන්න බැහැ. අනික රූපවාහිනියට වඩා දේවල් අන්තර්ජාලය හරහා නැරඹීමට අද ළමයින්ට හැකියාව උදාවෙලා. හැබැයි එයත් අපට වාසිදායක පැත්තකට හරවාගන්න පුළුවන්. මොකද අද ඕනෑම ළමයෙකුට 'බෝංචි ගෙදර ඉන්ද්‍රජාල' ටෙලිනාට්‍යයේ කොටසක් නැරඹීමට නොහැකි වුණොත් අන්තර්ජාලයෙන් එය නැරඹීමටත් පුළුවන්.
Q ළමා මනස සමග නිර්මාණකරණයේ යෙදීම යම්කිසි අධ්‍යයනයක් සහිතව කළ යුත්තක්. ඊට ළමා මනෝවිද්‍යාව පිළිබඳ යම් හැදෑරීමක් කළ යුතුයි. එවැන්නක් වත්මන් ළමා නිර්මාණකරණය තුළ සිදුවෙනවාද?
වත්මන් නිර්මාණ දිහා බැලුවාම නම් එවැනි හැදෑරීමක් කර ඇති බවක් පේන්න නැහැ. ඒත් අපේ උත්සාහය අධ්‍යාපනික වශයෙනුත් ළමයාට වැදගත් වන ආකාරයෙන් මේ ටෙලිනාට්‍යය ළමයා වෙත සමීප කරලීමයි. අනික ජාත්‍යන්තර චිත්‍රපට දිහා බැලුවොත් ඔවුන් වැඩිපුරම ආයෝජනය කරන්නේ ළමා චිත්‍රපට නිර්මාණය කිරීම වෙනුවෙන්. ළමයින්ව රවටන්න බැහැ. ඒත් ලංකාවේ පවතින්නේ රැල්ලට යන සංස්කෘතියක්. අනුකරණය කරන පිරිසක් වැඩිපුර කලාවේ නියැළෙන්නේ.
'බෝංචි ගෙදර ඉන්ද්‍රජාල' ටෙලිනාට්‍යයට ප්‍රධාන දායකත්වය ලබාදෙන සෙසු පිරිස ගැන කිව්වොත් ?
මෙහි තිර රචනය මංජුල වෙඩිවර්ධනගෙන්. ඒ වගේම නිෂ්පාදනය කළේ දුමින්ද පියරත්න. සහාය අධ්යක්ෂවරයා හසිත රාජපක්ෂ. නිෂ්පාදන කළමණාකරු වශයෙන් කටයුතු කළේ ජීවන මනරම්. චින්තක සෝමකීර්ති තමයි මෙහි කැමරා අධ්යක්ෂවරයා. කලා අධ්‍යක්ෂණය කළේ අජන්ත අලහකෝන්. ප්‍රවීණ ගායක එඩ්වඩ් ජයකොඩි මීට ගායනයෙන් දායක වෙනවා. සංගීතය විශ්ව සංකල්පගෙන්. ඇඳුම් පැලඳුම් නිර්මාණය කළේ ගීතානි සෙනෙවිරත්න විසින්.
ඒ වගේම වේෂ නිරූපණය නාරද තොටගමුවගෙන්. සංස්කරණය කළේ ලක්රුවන් දි සේරම්. ඒ වගේම මීට රංගනයෙන් මම ඇතුළුව රොඩ්නි වර්ණකුල, හයිසින්ත් විජේසිංහ, නිරෝෂා තලගල, ලුද්මිලා කිරිල්ලොලුව, කුමාරි මුණසිංහ, ප්‍රසාදීනි අතපත්තු, ගාමිණී ජයරත්න, කලණ ගුණසේකර, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, තුසිත ලක්නාත්, මධුෂාන් නානායක්කාර, ෂැනී එස් ස්ටේන්වෝල්, විහඟ නදිත් තත්සිළු, මලීෂ මිහිසර, සෙනුක බිම්සෙන්, පසල් හිවින්, චේතන දිනෙත් දායක වෙනවා.