'නේරංජනා' හා 'උඩුගම් බලා' වැනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ නිහාල් ප්‍රනාන්දුගේ නවතම ටෙලි නිර්මාණය ලෙස %අක් වැස්ස^ ටෙලිනාට්‍ය හැඳින්විය හැකිය. මීට අමතරව 'සුළඟ සැර වැඩියි' නමැති සිනමා නිර්මාණයක්ද අධ්‍යක්ෂණය කර ඇති ඔහු 'අද' කතාබහට මෙලෙස සම්බන්ධ විය.
Q ඔබ විසින් තිර පිටපත හා අධ්‍යක්ෂණය සිදු කළ %අක් වැස්ස^ ටෙලි නිර්මාණය ගැන කතා කළොත්
'අක් වැස්ස' කියන නවකතාව ආශ්රයෙන් තමයි මේ ටෙලිනාට්‍ය නිර්මාණය වෙන්නේ. 'අක් වැස්ස' කියන නවකතාව හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතා රචනා කළ නවකතාවක්. ඒ නවකතාවට පාදක වෙන්නේ එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිදු වූ සිදුවීමක්. ඔහු එම කාලයේදී ඇඹිලිපිටිය ප්‍රදේශයේ
එස්.එස්.පී. ලෙස කටයුතු කර තිබෙනවා. ඒ කාලයේදී ඒ පළාතේ ලැබූ අත්දැකීම් එක්ක රචනා කළ පොතක්. ඔහු දිනක් මගෙන් ඇහුවා මේ නවකතාව ටෙලිනාට්‍යයක් බවට පත්කළ හැකිද කියලා. පසුව අපි නිෂ්පාදකවරුන් දෙදෙනෙකුත් සොයාගෙන තිර රචනයක් ලියලා එය නිර්මාණය කළා.
Q මෙවැනි ටෙලිනාට්‍යයක් රූපවාහිනියට ගෙන ඒම කියන කාරණය අභියෝගාත්මක නැද්ද
ඉස්සර මම 'නේරංජනා', 'උඩුගම් බලා' වැනි ටෙලිනාට්‍ය සිදුකළා. මට හිතෙනවා මම 'උඩුගම් බලා' තමයි පිහිනුවේ කියලා. එක් කතාවක් ජනප්‍රිය වුණාම ඒ ආකාරයේ කතා බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. එලෙසම ඒ කතා ප්‍රතික්ෂේප වෙනවා. අපි නිතරම උත්සාහ කළ යුත්තේ වෙනසක් කරන්න. ඒ වෙනස කරන්න තමයි මම නිරන්තර පෙළඹෙන්නේ.
Q මේ ටෙලිනාට්‍යයට දායක වෙන පිරිස ගැන මතක් කළොත්
නිල්මිණි තෙන්නකෝන්, සුරාජ් මාපා, රෝහණ බැද්දගේ, විජේරත්න වරකාගොඩ, චිත්‍රා වරකාගොඩ, තාරුකා වන්නිආරච්චි, නිලන්ති විජේසිංහ, ලයනල් වික්‍රම, රනිල් ගුණතුංග වැනි පිරිසක් රංගනයෙන් දායක වෙනවා. එක්දහස් නවසිය හෑත්තෑව දශකය තුළ සිදු වූ සත්‍යය සිදුවීමකින් ගොඩ නැගුණු කතාවක්. එය ළඟදීම රූපවාහිනියෙන් බලන්න හැකියාව ලැබෙයි. මේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරනු ලැබුවේ එම්.එච්. හෝල්ඩින්ස් ආයතනය හා සහන් ප්‍රනාන්දු විසින්.
Q සුළඟ සැර වැඩියි කියන සිනමා නිර්මාණයට පාදක වන තේමාව ගැන කතා කළොත්
මේ චිත්‍රපටය ළමා චිත්‍රපටක් ලෙස නිර්මාණය කළේ. ටියුෂන් පන්තිත් එක්ක ළමයි විඳින පීඩාව අපි දැක්කා. අපේ ළමා කාලය දෙස බැලුවාම අපට මේ තරම් බරක් තිබුණේ නැහැ. පාසලේ වැඩ පාසලට සීමාවුණේ. පසුව පරිසරය එක්ක ඉන්න ලැබුණා. අඹ ගස්වලින් අඹ කඩන්න, ඇළෙන් දොළොන් නාන්න වෙලාව තිබුණා. හරි සන්තෝෂයෙන් පාසල් ගියෙත්. වර්තමාන පරම්පරාව දකින විට මේ දරුවන් විඳින්නේ පීඩාවක් කියලා හිතුණා. එකම දවසේ ටියුෂන් පන්ති දෙක තුනකට ළමයි යනවා. මේ ළමයින්ගේ සුන්දර ළමා කාලයට අසාධාරණයක් වෙලා තියෙනවා කියලා දැක්කා. ළමයින්ගේ නැති වූ ළමා කාලය වගේම වියපත් වැඩිහිටියන් දෙසත් ආදරයෙන් බැලිය යුතුයි කියන තේමාව මේ චිත්‍රපටයට පාදක වෙනවා.
Q මේ තේමාව ටෙලිනාට්‍යයක් හරහා සමාජගත නොකර සිනමා නිර්මාණයක් තුළින් කතා කරන්න හිතුණේ ඇයි
මේක සිනමා නිර්මාණයක් හරහා කතා කිරීමේ අභියෝගයක් තිබෙනවා. ඒ සිනමා නිර්මාණය සිනමාහල්වලට පැමිණෙන තුරු හිතේ බයකුත් තියෙනවා. නමුත් මේ මොහොතේ සිනමා නිර්මාණ වගේම ඒකාකාරී ටෙලිනාට්‍ය රැල්ලක් පෝලිමක් තිබෙන්නේ. කුමන මාතෘකාව යටතේ කතා කළත් ඒක තවත් ටෙලිනාට්‍යයක් බවට පත්වෙනවා විතරයි. චිත්‍රපටයක් තුළට මේ තේමාව ගෙන එද්දි ඒ චිත්‍රපටය නැරඹීමට පැමිණෙන්නේ විශේෂිත පිරිසක්. එහෙම වුණාම අපි ගේන පණිවුඩය හොඳින් දැනෙයි කියලා හිතුණා. ඒක තමයි චිත්‍රපටයක් තුළින් මේ තේමාව කතා කළ යුතුයි කියලා හිතුණේ. අනිත් කාරණය අපි මේ නිර්මාණය සිදුකළේ පර්යේෂණයකින් අනතුරුව. එය සිනමා නිර්මාණයකට වඩාත් උචිතයි. මෙහිදී ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතාට, ප්‍රාථමික අංශයේ විදුහල්පති රේණුකා හා කළුආරච්චි කියන ගුරුවරුන් මතක් කළ යුතුයි. ඔවුන්ට විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම අතුල ජයසේකර, ශිරාන් තල්වතුර, නිමල් දන්තනාරායන, මංජුල, අචල, කොස්තා යන අයත් අපි සමග හිටියා ඒ ගැන සඳහන් කළ යුතුමයි.
Q මේ චිත්‍රපටයට දායක වෙන පිරිසකුත් ඇති. ඒ ගැන කතා කළොත්
මේ චිත්‍රපටයේ නම 'සුළඟ සැර වැඩියි'. සුළඟ කියන්නේ රැල්ල. මේ පවතින රැල්ල ගැන කතා කරන සිනමා නිර්මාණයක්. තිර රචනය හා අධ්‍යක්ෂණය මා විසින් සිදුකළේ. රවීන්ද්‍ර රන්දෙනිය මහතා විදුහල්පතිතුමාගේ චරිතය නිරූපණය කරන්න දායක වුණා. ඔහු නිහතමානීව ලබාදුන් දායකත්වය විශේෂයි. අනෙක් විශේෂම කාරණය ඔහු රූපගත කිරීමට නියමිත වේලාවට විනාඩි දහයකට පෙර දර්ශන තලයට පැමිණීම. එයම අනිත් අයට ආදර්ශයක් වුණා. ඒක අපට හරි ධෛර්යයක් වුණා. නිමන්ති පෝරගේ, රෝහණ බැද්දගේ, අනිල් කුලතුංග, මානෙල් වීරමුණි, නුවනි වලිමුණි, චන්ද්‍රසේන වලිමුණි, සමුදු ලංකිකා, නිලූ තෙන්නකෝන්, සඳලි ප්‍රනාන්දු, ධනුෂ්ක අධිකාරි, බිලි දිසානායක හා එයට අමතරව ළමයින් දහසක් පමණ මේ නිර්මාණයට සම්බන්ධ වුණා. සංගීතය දිනේෂ් සුභසිංහ සිදුකළා. අංග රචනය බුවනෙක රණවක, සංස්කරණය හිමාල් ධර්මරත්න, ගීත රචනය ගත්තාම රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ ගීත දෙකකුත්, බන්දුල නානායක්කාරවසම් මහතාගේ ගීතයකුත්, ප්‍රීති රන්දෙනිය මහත්මියගේ ගීතයකුත් තිබෙනවා. මෙහි සහාය අධ්‍යක්ෂණය සුභාෂ් වර්ණසිංහ, කැමරාකරණයෙන් නිරංග සංජීව දායක වුණා. ඒ හැම දෙනාගේම සහයෝගය නිසා තමයි මේ නිර්මාණය සාර්ථක කරගන්න පුළුවන් වුණේ
Q ඔබේ නිර්මාණ ජීවිතයේ ඉදිරි සැලසුම් ගැන කතා කළොත්
මම ලියපු සිනමා පිටපත් කිහිපයක් තිබෙනවා. පර්යේෂණ සිදුකරමින් රචනා කළ ඉතිහාස කතා කිහිපයක්. ඒ නිර්මාණ කරන්න නිෂ්පාදකවරයෙක් අවශ්‍යයි. එහි දිනකට එක සීන් එකට වඩා කරන්න අපහසුයි. රංගන ශිල්පීන්ගේ අඩු බවක් දැක්කා. ඒ නිසා මේ ක්ෂේත්රයට කැමැති පිරිසක් සිටිනවා. ඔවුන් වෙනුවෙන් ඇකඩමියක් නිර්මාණය කිරීමටත් මේ වන විට සැලසුම් සිදුකරමින් පවතිනවා. ඒ වගේම මම කාලයක් රෝගාතුරව සිටියා. රඹුකන සිද්ධාර්ථ හිමියන්, සෝභිත හිමියන්, ජයන්ත ධර්මදාස මහතා, ෆාදර් සිරිල් ගාමිණී, කරු ජයසූරිය, ගයන්ත ඇමතිතුමා මතක් කළ යුතුයි. නුවර ප්‍රදේශයේ සෞන්දර්යය ගුරුවරු මතක් කළ යුතුයි. ඔවුන් ඒ මොහොතේ මට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම ඉදිරියටත් මම මගේ නිර්මාණ නිදහසේ සිදු කරනවා.