Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 24 වන ඉරිදා
2024 නොවැම්බර් මස 24 වන ඉරිදා
නෑ. ඕකෙ ඇත්ත කතාව නම් මෙය මං එනකොටත් ස්වාධීන රූපවාහිනිය මිලදීගෙන තිබූ නාට්‍යයක්. මම කළේ එය පෙන්නන එක විතරයි.
මම දන්නෑ කවුරු ගෙනියනවද කියල. නමුත් ලංකාවේ ටෙලිවිෂන් පටන් ගන්නකොට යම්කිසි ඉහළ මට්ටමකින් තමයි ආරම්භ වෙන්නේ. රූපවාහිනී ආගමනයත් සමගම ජාතික නාළිකාව විදියට රූපවාහිනිය පදනම් කරගත්තේ ජපානයේ එන් එච් කේ ආයතනයේ ආකෘතිය. ඒ නිසා ඒ රූපවාහිනියේ තිබුණු නියාමනයන් තමයි අනිකුත් නාළිකාත් පදනම් කරගත්තේ. ඒ කාලෙත් ලෝකයේම පිළිගත්ත ආචාරධර්මයක් තිබුණා ළමයින්ට ගෝචර නොවන වැඩසටහන් විකාශය කරද්දි ඒ බව කලින් දැනුම් දෙනවා. වැඩසටහනට කලිනුත් දැනුම් දෙනවා. ප්රචාරක කාලය තුළදීත් දැනුම් දෙනවා. එය ලෝකයේ සම්මත සිරිතක්.
ලෝකය ගැන අවබෝධයක් තිබෙන අයට ඕක අලුත් දෙයක් නෙවෙයි. 1987 තමයි ජාතික රූපවාහිනියේ දේශීය වැඩිහිටියන්ට පමණක් නාට්‍ය පෙන්නන්නේ. ඒ අශෝක සේරසිංහ අධ්‍යක්ෂණය කරපු විනිශ්චය නාට්‍යය. ඊට අමතරම ඩයිනස්ටි වගේ වැඩිහිටි විෂයයන් සාකච්ඡා කරන වැඩසටහන් විකාශය වෙලා තියෙනවා. නමුත් පසුකාලීනව මෙහි ජාත්‍යන්තර ප්‍රමිතිය අපි අමතක කරනවා. අනතුරුව හිතූ හිතූ වෙලාවල ළමා මනසට ගෝචර නොවන වැඩසටහන් විකාශය වෙලා තිබෙනවා. ඉතිහාසය පුරාම එය සිද්ධවෙලා තිබෙනවා. ආසන්නම උදාහරණයක් ලෙස මම මේ සභාපති පුටුවට එනකොට අයි ටී එන් එකේ ළමයින් සඳහාය කියල සාමාන්‍යයෙන් වෙන්වෙලා තිබෙන වෙලාවට විකාශය වුණේ %LOST^ කියල නාට්‍යයක්. එය වැඩිහිටි තේමාවක් සහිත නාට්‍යයක්. නමුත් එය පහමාරට විකාශය කළා.
එතකොට ඔය කියන සුචරිතවාදීන්, සංස්කෘතිය බේරගන්න කියන අය, දරුවන් සුරකිමු කියන අය ඒ ගැන දන්නෙත් නෑ. අවබෝධයකුත් නෑ. කටපියාගෙන හිටියා. නමුත් සාමාන්‍යයෙන් දෙයක් කරනකොට විරුද්ධව කෑගහනෙක ලේසි දෙයක්නේ. මහත්මා ගාන්ධිතුමා කියල තියෙනවා අලුත් දෙයක් කරනකොට හුඟදෙනෙක් එයට විරුද්ධ වෙනවා කියලා. අනිත් අය විවේචනය කරනවා. ඊට පස්සෙ තමයි මෙයට එකඟ වෙන්නේ. ඔය ආන්දෝලනය ඇතිවෙන්න පදනමක් නෑ. අපි හෝම්ලන්ඩ් නාට්‍යය විකාශය කරන්න කලින් ජනතාවට දැනුම් දුන්නා එය වැඩිහිටියන්ට සුදුසු ප්‍රස්තුතයක් රැගත් නාට්‍යයක්ය කියා. එය අපි රාත්‍රී 10.30 ටයි විකාශය කරන්නේ. එය ළමයින්ට සුදුසු නැතිබව ප්‍රකාශ කරලා නැවතිච්ච සංස්කෘතිය අපි යළි ආරම්භ කළා. හොඳ දෙයක් තමයි අපි කළේ. හැමදේකටම විරුද්ධ වෙන අය ඉන්න නිසා අපි ඒ තරම් ගණන් ගත යුතු නෑ. ඒ සියලුදෙනාටම මම ස්තුතිවන්ත වෙනවා ඔවුන් නැගූ ඝෝෂාව නිසා එය අපේ නාළිකාවට විශාල වාසියක් වුණා. ප්‍රේක්ෂක අවධානය ගන්න කෝටි ගණනක් වියදම් කරන්න ඕන කාරණයක් නොමිලේ කරගන්න පුළුවන් වුණා.
ස්වාධීන රූපවාහිනියේ පහුගිය අවුරුදු 03ක් හතරක් තිස්සේ සමීක්ෂණ වාර්තා අධ්‍යයනය කළා. දැනට පවතින රේටින් ක්‍රමවේදය අනුව පසුගමනක් තමයි එන්න පටන් අරන් තිබුණේ. නමුත් අපි යම් දුරකට සමත් වුණා මේ පසුගමන නවත්තගන්න. පසුගමන නවත්තලා ආපසු හරවන්න තමයි මේ උත්සාහ ගන්නෙ. පසුගමනට හේතු ගණනාවක් තිබුණා. එකක් තමයි මේ ආයතනය ඉතාම දරුණු විදියට දේශපාලනීකරණයට ලක්වෙලා තිබුණා. ඒ නිසා නිර්මාණශීලීත්වය පාගාගෙන දේශපාලන ක්‍රියාකාරකම් ඉහළට ආවා. ඒ නිසා මේ තුළ ඉඳපු නිර්මාණශීලීන් මේ ආයතනය හැරගියා. අනිත් අය නිද්‍රාශීලී වුණා. මලකඩ කන තත්ත්වයටම නිද්‍රාශීලී වුණා. සුදුස්සන්ගෙන් සුදුසු වැඩේ ගත්තෙ නෑ. හැමදේටම මුල් වුණේ දේශපාලනය. එය එක පැත්තක්.
අනිත් පැත්තෙන් ස්වාධීන රූපවාහිනියට වගේම ජාතික රූපවාහිනියත් සලකන්නේ ආණ්ඩුවේ ආයතනයක් ලෙස විතරයි.
නමුත් මේවා එහෙම නෙවෙයි. මේවා සම්පූර්ණයෙන්ම වෙනස්. මේවා මාධ්‍ය ආයතන. ඒ පිළිබඳවත් රජයේ ඉහළ බලධාරීන් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙය විශාල ප්‍රශ්නයක්. අනාගතයට මීට වඩා මේ ප්‍රශ්න එනවා. උදාහරණයක් විදියට තාක්ෂණ නිලධාරීවරයෙක් ගත්තොත් සාමාන්‍යයෙන් ආණ්ඩුව සලකන්නේ අයි.ටී.එන් එකේ හෝ රූපවාහිනියේ ඉන්න තාක්ෂණ නිලධාරියත්, රජයේ දෙපාර්තමේන්තුවේ ඉන්න තාක්ෂණ නිලධාරියත් සම මට්ටමෙනුයි. හැබැයි රජයේ දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරියෙක් රැකියාවට ගියාම 8.30ට වැඩට ඇවිත් 4.30ට ගෙදර යනවා. ඔහුට සියලු වරප්‍රසාද ලබාගන්න පුළුවන්. ඔහුට රාජකාරි කරන්න වෙන්නෙත් තමන්ගේ ආයතනයේ තාක්ෂණික දෝෂයක් සිදුවුණොත් විතරයි. එතෙක් ඔහුට නිදහසේ ඉන්න පුළුවන්. නමුත් මාධ්‍ය ආයතනයක නිලධාරියා එහෙම නෙවෙයි. ඔහු උදේ 8.30 ඉඳන් 4.30 රස්සාවක් නෙවෙයි කරන්නෙ. ඔහු පැය 24ම සේවය කරනවා. පැය විසිහතර තුළත් දිගටම ඔහු සේවයේ නිරත විය යුතුයි. සම්ප්‍රේෂණ භාරව සිටින්නෙක් නම් හැමවෙලාවෙම අවදියෙන් සිටිය යුතුයි.
මෙය විශාල වගකීමක් සහිත කාර්යභාරයක්. ඔහුට අවුරුද්දට පවුලේ අයත් එක්ක ලිපගිනි මොළවන්න බෑ. වෙසක් පෝයට වන්දනාවේ යන්න, සිල්ගන්න බෑ. නත්තලට පවුලේ අයත් එක්ක පල්ලි යන්න බෑ. මාධ්‍ය ආයතනයක වැඩකරන නිලධාරියෙක් අනිත් ආයතනයක වැඩකරන රජයේ නිලධාරීන්ට වැඩිය වෙනස්. ඊට වඩා වගකීමක් තිබෙනවා. ඊට වඩා වෙහෙසෙනවා. විශාල පරාසයක රාජකාරි කරනවා. විශාල කැපවීමක් කරනවා. මුල් කාලෙ ඉඳලම වෙච්ච වැරැද්දක් තමයි ඔවුනුත් අනිත් රාජ්‍ය සේවකයන් හා සමතැන සැලකීම. මේ නිසා මේ ආයතනවල වැඩ කරන්න එන්න පසුබානවා. මේ අායතනවලට ආවම කැපවෙන්න තියෙන කාලය වැඩියි. ගෙදර ජීවිතයක් නෑ. ඒක නිසා මේ තත්ත්වය ගැන ආණ්ඩුවේ අවධානය යොමුකරන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද මේ ප්රශ්නය ඉක්මනටම විසඳ ගත්තෙ නැත්තම් අනාගතේ අතිවිශාල ප්‍රශ්න ගණනාවකට රාජ්‍ය මාධ්‍ය ආයතන මුහුණපානවා. එකක් දේශපාලනීකරණය , අනික මේ කාරණය. මේ වගේ දේවල් නිසා මේ ආයතන තුළ තිබුණු නිර්මාණශීලීභාවය, කැපවෙලා වැඩකරපු උත්තේජනය දියාරු වෙලා ගියා. එනිසා බින්දුවේ ඉඳලා හදන්න වෙනවා. විද්‍යාත්මකව විමසා බලනවා. විමසා බලා අවශ්‍ය පියවර ගන්න කටයුතු කරනවා.
ඒවා ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙන්න ඕනෙ. මාධ්‍ය ආයතනයක වෙනස්කම් කියන්නෙ එක රැයින් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ප්රවෘත්ති අංශය ගත්තොත් ඔවුන් පුරුදුවෙලා ඉන්නෙ එක රටාවකට. ඔවුන් හිතාගෙන ඉන්නෙ ඒක තමයි හරි කියල. ඒක වැරදියි. අපි ඔවුන්ට මේ දැනුම ලබාදෙන්න ඕන. අවබෝධය ලබාදෙන්න ඕන. මේකයි හරි දේ කියල පෙන්නලා දෙන්න ඕන. උදාහණයක් ලෙස නේපාලයේ 'චාරුමතී අශෝක්' කියල විහාරයක් තියෙනවා. මීට අවුරුදු 30 -40 කට කලින් ලංකාවෙ හාමුදුරු කෙනෙකුට (මට මතක විදිහට කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවන්ට) මේ පන්සල බාරදුන්නා. නේපාල භික්ෂූන්ට ධර්මඥානය ලබාදෙන අතරතුර ධම්මාවාස හාමුදුරුවො ඒ භික්ෂූන් සමග ප්‍රතිසංස්කරණ කටයුතු කරගෙන ගියා. දැන් තපස්සි කියන නේපාල හිමිනමක් තමයි ඉන්නෙ.
මේ පන්සලේ ඉන්නෙ ශාක්‍ය බෞද්ධයෝ. පන්සලේ සාමාන්‍ය දෙයක් තමයි බිලි පූජා කිරීම. ධම්මාවාස හිමියන්ටත් මෙය ප්‍රශ්නයක්. මේ ගැන හොයල බැලුවාම බිලිපූජාව කියනෙක ශාක්‍ය බෞද්ධයො හිතාගෙන ඉන්නෙ බුද්ධාගමේම කොටසක් කියලයි. හාමුදුරුවන්ට අවුරුදු 10 -15 ක් ගියා මේ හිංසනය නවත්වා හරි මගට ගන්න. ඒ වගේ මේ ආයතනවලත් තියෙනවා වැරදි දේවල්. ඒක තමයි හරි ක්‍රමය කියල හිතාගෙන ඉන්නෙ. ඒ වගේ දේවල් ක්‍රම ක්‍රමයෙන් ආකල්පමය වශයෙන් වෙනස්වීම් කරන්න ඕන. මෙය එක රැයකින් කණපිට හරවන්න බෑ. ක්‍රම ක්‍රමයෙන් දවසින් දවස හෙමින් හෙමින් තමයි හැරවීම කරන්න පුළුවන්.
උදාහරණයකට ඔබව ගත්තොත් මගේ මේ සාකච්ඡාව ඔබ සාර්ථක ලෙස ලියන්නෙ නෑ කියා සිතමු. ඔබ සේවය කරන්නේ පෞද්ගලික ආයතනයක නිසා එහි පාලන අධිකාරියට කියන්න පුළුවන් ඔබව එපා, ඔබ එළියට යන්න ඔබට වඩා හොඳ කෙනෙක් ගන්නවා කියලා. නමුත් රාජ්‍ය ආයතනයක එය කරන්න බෑ. රාජ්‍ය ආයතනයට ඊට වඩා සේවකයෙක් පිළිබඳ බැඳීමක් තිබෙනවා. එවැනි බැඳීම් ගොඩක් මැද්දෙයි රාජ්‍ය ආයතන තිබෙන්නේ. පෞද්ගලික නාළිකාවල අයිතිකරුවන්ට දක්ෂයෙක් හමුවුණොත් එක රැයින් එම පුද්ගලයාගේ වැටුප දෙගුණ කරන්න පුළුවන්. නමුත් ආණ්ඩුවේ නාළිකාවක එහෙම කරන්න බෑ. ඔබව එපානම් අයින් කරන්නත් එක රැයින් පුළුවන්. ආණ්ඩුවේ නාළිකාවක එහෙම නෑ .
මගෙන් බලාපොරොත්තු වන ටෙලිනාට්‍ය එන්න නම් තව අවුරුදු එකහමාරක්වත් ඉන්න වෙනවා. අවුරුදු එකහමාරක් වෙනකං විකාශය වීමට අදාළ ටෙලිනාට්‍ය මේ ආයතන මිලදීගෙනයි තිබෙන්නේ. මම ආපු ගමන් අලුතෙන් ටෙලිනාට්‍ය මිලදී ගැනීම නතර කළා. ටෙලිනාට්‍ය මිලදී ගැනීම සඳහා විනිවිද පෙනෙන ක්‍රමවත් වැඩපිළිවෙළක් අපි සකස් කරමින් යනවා. මෙතෙන ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළේ යම් යම් අඩුපාඩු තිබුණා. අවභාවිත කරන අය ඉන්නවා නම් අවභාවිත කිරීමේ හිස්තැන් තිබුණා. පහුගිය කාලෙම නාට්‍ය විකාශය කිරීමට සල්ලි ගන්නවාය යන්න ප්‍රසිද්ධ රහසක්.
මොනවහරි. ලිංගික හෝ වේවා මූල්‍යමය වේවා. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාත් වරෙක එකල සිටි මාධ්‍ය සම්බන්ධ බලධාරීන්ට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා දැන් ටෙලි නාට්‍යවල නිළිය තීරණය කරන්නෙත් ඔබම නේද කියා. අපි ඒ ක්‍රමවේදය සම්පූර්ණයෙන් නැවැත්තුවා. එහෙම කිසිම කෙනෙකුට වැරදි විදියට පාවිච්චි කරන්න බැරි ක්‍රමවේදයක් අපි හදනවා. ඒ ක්‍රමවේදය ඇතුළෙ ටෙලිනාට්‍ය මිලදී ගැනීම සම්බන්ධයෙන් කාණ්ඩ කිහිපයකට ටෙලිනාට්‍ය වර්ගීකරණය කරනවා. මේ වර්ගීකරණයට මුදල මෙච්චරයි කියන නියාමනය ඇතිව ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් ලවා නාට්‍යයේ කලාත්මකභාවය පරීක්ෂා කරනවා. වර්තමානයේ ඉන්න පිරිස් පත්කරල තිබෙන්නේ නාට්‍යවල ගුණාත්මකභාවය සහ කලාත්මකභාවය පරික්ෂා කරන්න විතරයි. ඊට පස්සෙ තවත් මණ්ඩලවලට යනවා එය විකාශය වෙනවද බලන්න. එවිට කලාත්මක ගුණාත්මක නාට්‍ය යට ගිහින් වෙනත් නාට්‍ය ඉස්සරහට එනවා. එය වළක්වා එක මණ්ඩලයකින් තීරණ ගන්න බලාපොරොත්තු වෙනවා. කලාත්මක ගුණාත්මකභාවය විතරක් නෙවෙයි තාක්ෂණික ගුණාත්මක බවත් තීරණය කළ යුතුයි.
ඒ විතරක් නෙවෙයි මේ නාට්‍යය ප්‍රේක්ෂකයා අතරට ගෙනයන්න පුළුවන්ද යන්න විමසා බැලිය යුතුයි. සමහර නාට්‍ය හොඳ වුණාට වෙළෙඳ පොළ අගයක් නැතිවෙන්න පුළුවන්. අපි කොහොමද එය වෙළෙඳ පොළ අගයක් කරා ගෙනියන්නෙ. ඒ වගේ හැම පැත්තක්ම හිතන්න පුළුවන් කණ්ඩායමකින් සමන්විත අලුත් මණ්ඩලයක් පත්කරලා පරණ අයත් සම්බන්ධ කරගෙන විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්න කටයුතු කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ගුණාත්මක සහ ජනතාවට සමීප කළ හැකි නාට්‍ය කිහිපයක් ස්වාධීන රූපවාහිනියෙන් නිෂ්පාදනය කරන්න. ඒ පිළිබඳවත් අපි කටයුතු කරමින් යනවා. පරණ ණය ට්‍රිලියන ගණනක් ඔළුවෙ තියාගෙන මේ ආණ්ඩුව යනව වගේ ගමනක් තමයි අපිටත් යන්න වෙලා තිබෙන්නෙ. ඒ බරත් ක්‍රම ක්‍රමයෙක් අඩු කරගෙනයි අපිට අලුත් වෙනසට යන්න වෙන්නෙ. ඒ කරන වෙනසත් තිරසාර පදනමක් සකස් කරගෙන කරන්න ඕන. එහෙම නැතිවුණොත් තවත් ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා.
නෑ.. එහෙම තත්ත්වයකට පත්වෙමින් යනවා. අපි එය වළක්වාගන්න කටයුතු කරමින් යනවා.
අද හුඟක් වෙලාවට මාධ්‍ය ආයතනත් මාධ්‍යකරුවනුත් පටලගන්න දෙයක් තියෙනවා. රජයක් කරන වැඩ කියන්නේ මොනවද? අපි රජය කරන වැඩ කියල පාලමක් හදන, බිල්ඩිමක් විවෘත කරන, ජනාධිපති හෝ අගමැති හෝ ඇමතිවරු කරන කතා වාර්තා කරනෙක තමයි කරන්න තියෙන්නේ කියල හිතන් ඉන්නෙ. නමුත් මාධ්‍යයක් විදියට හැම මාධ්‍ය ආයතනයක්ම බැඳිල ඉන්නවා රජයේ යහපත් මතවාදය වෙනුවෙන් පෙනී සිටින්න. එයයි විය යුත්තේ. යහපාලනය , දූෂණයෙන් තොර රටක්, ආසියාවේ මූල්‍ය කේනද්‍රස්ථානයක් බවට පත්කිරීමට යන ගමන, ජනතාවට ලැබෙන සහන ආදිය තමයි රජයේ වැඩ කියලා මාධ්‍ය විසින් ගත යුතු වන්නේ.
නමුත් අපේ මාධ්‍ය පුරුදුවෙලා ඉන්නෙ ඒ මතවාදය පැත්තකින් තියලා පුද්ගලවාදයක් ඉස්මතු කරන්න. එතකොට තමයි අර චෝදනාව එන්නෙත්, අරය පෙන්නුවා වැඩියි කියන කතන්දරය එන්නෙත්. අපි බලන්නේ මේ මතවාදය ජනතාව අතරට ගෙනියන්න. ප්රජාතන්ත්රවාදය ඉස්මතු කිරීම, යහපාලනය ස්ථාපිත විය යුතුයි යන මතවාදය, සංහිඳියාව ඇතිවිය යුතුයි යන මතවාද සේම අන්තවාදය තුරන් කළ යුතුයි යන මතවාද ජනතාව අතරට ගෙන යා යුතුයි. සමහර පුවත්පත් පෙනී සිටින්නේ රට අවුළුවන මතවාද වෙනුවෙනුයි. කෙසේනමුත් පුද්ගලික මතවාදය වෙනුවට යහපත් පාලනයක් පිළිබඳ, සංහිඳියාවෙන් යුතු රටක් පිළිබඳ රජයේ මතවාදය ජනතාවට කාන්දු කිරීමට අයි.ටී.එන් නාළිකාව ක්‍රමිකව කටයුතු කරමින් සිටින්නේ.
අලුත් සංකල්ප අනුව සතියේ හැමදාම පස්වරු 4සිට -6 වෙනකම් ළමයින් සඳහා වෙන්කර තිබෙනවා 'කැකුළු මුකුළු' නමින්. එහි පැයක සජීවී වැඩසටහනක් ළමයින් විසින් ඉදිරිපත් කරනවා. අනාගතයේදී අපි උත්සාහ කරනවා ඉන් ඔබ්බට යන්න. දැනට එහි සියලු කටයුතු අවසන්. ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය සමග ගිවිසුමකට එනවා සියලුම පාසල්වල මාධ්‍ය සමාජ අයිටී එන් හා ලියාපදිංචි කරන්න. ඒ හා බැඳුණු පාසල් දරුවන්ට විධිමත් පුහුණුවක් ලබාදෙනවා. මේ මාධ්‍ය සමාජවලින් බොහෝවිට එළියට එන්නෙ නිවේදකයා හෝ නිවේදිකාව පමණයි. නමුත් අපි බලාපොරොත්තු වෙන්නෙ පුළුල් විෂය පරාසයකට යන්න. පිටපත් රචක රචිකාවන්, කැමරා ශිල්පී ශිල්පිනියන් ආදී විවිධ අංශ සඳහා අයිටීඑන් එක මැදිහත්වෙලා පුහුණුවක් ලබාදෙනවා විතරක් නෙවෙයි ඒ දක්ෂතා දක්වන දරුවන්ට ප්‍රායෝගික පුහුණුව අයිටී එන් එක තුළ ලබාදෙනවා.
අපේ බලාපොරොත්තුව තමයි ළමා වැඩසටහන්වල පිටපත් ලියන්නෙ ළමයි, කැමරාකරණය කරන්නෙ ළමයි, සංස්කරණය කරන්නෙ ළමයි, පසුතල නිර්මාණය කරන්නෙ ළමයි ආදී අමුතු තැනකට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගෙන ඒම. අවශ්‍යනම් පාසල් කාලයෙන් පසුවත් මේ ක්ෂේත්රයේ රැඳී සිටින්න එය පදනමක් වේවි. අපි ළමයින් ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. හෝම්ලන්ඩ් ගැන කෑගහන සුචරිතවාදීන් කටේ කිරි සුවඳ නොගිය දරුවන් ලවා %මහද පෙම් විලේ^,%සඳ දිය උතුරා^ වගේ ශෘංගාරාත්මක ගීත ගායනා කරවීම පිළිබඳ කතා කරන්නෙ නෑ. අපි එහෙම තත්ත්වයක් ඇති කරන්නෙ නෑ. හෝම්ලන්ඩ් ළමයින්ට සුදුසු නැහැ කියන්නෙ අපි ළමයින් ගැන සිතන නිසයි.
අයි.ටී.එන්. එෆ් එම් නමින් මෙය විකාශය වෙන්නේ. ලක්හඬ නාළිකාව මුල්යුගයේ ආරම්භ කළේ නිව්ටන් ගුණරත්න මහතා. විවිධ හේතු මත එය ආරම්භ කළා. ඔවුන්ගේ ඉලක්කයක් හා අරමුණක් මෙන්ම අපේක්ෂාවක් තිබුණා. කාලයාගේ ඇවෑමෙන් ඒවා වෙන වෙන අතට හැරුණා. අවසානයේදී සිදුවුණේ ලක්හඬ, අයි.ටී.එන් ආයතනයට පිළිලයක් බවට පත්වීමයි. අයි.ටී.එන් ආයතනය ලක්හඬ දිහා වෛරයෙන් බලන තත්ත්වයකුයි තිබුණේ. හැමදාම අයි.ටී.එන් එකේ බෝනස් එක ගෙවන මුදලෙන් අඩුවෙනවා. ලක්හඬ පාඩුව සඳහා අයිටී එන් ලාභයෙන් විශාල මුදලක් වැයවෙනවා. මේක එක පැත්තකින් තිබුණා. අනිත් පැත්තෙන් මේ ආයතනයේ කොටස් හිමියා වූයේ මහා භාණ්ඩාගාරය. මහ භාණ්ඩාගාරයෙන් අනතුරු අඟවා තිබුණා මෙය පවත්වාගෙන යන්න බෑ වහන්න කියලා. මෙය කවුරුත් කිව්වෙ නෑ. මේ ප්රශ්නය අවුරුදු හතරක් පහක් තිබුණා.
ලක්හඬ වහන්න පුළුවන් වුණාට සේවකයන් පත්කරල තිබුණෙ අයි.ටී.එන් එකෙන්. ඔය වගේ අවුල් ජාලයක් තිබුණා. ලක්හඬ නාළිකාව ගොඩගන්න දොළොස් වතාවක් රීලෝන්ච් කරල තිබුණා. අපි මේකට මොකද්ද කරන්නෙ කියලා හොඳම විද්‍යාත්මක පදනමෙන් බලල අයි. ටී. එන් එෆ් එම් රේඩියෝව නමින් වෙනස් කළා. ලක්හඩ නිර්මාතෘ නිව්ටන් ගුණරත්න මහතාම අපි මෙහි නම වෙනස් කරලා දින කිහිපයකින් කතා කරලා කිව්වා &මම දැන් කේන්තියක් නැතුව රේඩියෝව අහනවා,මොකද හොඳ සින්දු යනවා* කියලා. මේ රේඩියෝව අනාගත රේඩියෝවක් විදියට සංවර්ධනය කරන්නේ කොහොමද කියල අපි කල්පනා කරගෙන යනවා. ප්රශ්නය තිබෙන්නේ තාමත් රේඩියෝව හිතාගෙන ඉන්නෙ මීට අවුරුදු 30කට 40කට කලින් තිබුණු රේඩියෝ සංකල්පයයි. දැන් රේඩියෝ සෙට් සංකල්පයක් නෑ. ලංකාවෙත් පහුගිය අවුරුදු දෙක තුන ගත්තොත් රේඩියෝ සෙට් විකිණිම අඩාල වෙලා. රේඩියෝව දැන් අහන්නෙ වාහනයක් ඇතුළෙ. නැත්තන් ටෙලිෆෝන් එකෙන්. නැත්තම් අන්තර්ජාලයෙන්. දැන් ඕන වෙලාවක කැමති වැඩසටහන අහන්න පුළුවන්. මේ අලුත් ප්‍රවණතාව ගැන හිතන්න ඕන. රේඩියෝව එක දිගට අහන මාධ්‍යයක් වෙලා නෑ. පොඩි පොඩි වෙලාවල ඉඩ ලැබෙන මාධ්‍යයක් වෙලා තිබෙනවා. ඉඩ ලැබෙන වෙලාවෙදි ප්‍රේක්ෂකයාව ගොනු කරගන්නේ කොහොමද කියන තැනට රේඩියෝව වර්ධනය වෙලා තිබෙනවා.
රූපවාහිනියත් තව අවුරුදු 10 ක් 12 ක් යද්දි වෙනස් වෙනවා. ඒ නිසා මේ වෙනසට අනුව අපේ වැඩසටහන් ආකෘති සියල්ල වෙනස් කළ යුතුයි. එලෙස වෙනස් නොවුණු නිසා ලක්හඬ ජුරාසික් රේඩියෝවක් වුණා. එවිට එයින් ගැලවෙන්න ඔවුන් කළේ ජනප්‍රිය වෙච්ච රේඩියෝවල වැඩසටහන් මෙතන කරන්න ගත්තා. එයින් සිදුවුණේ ලක්හඬට තිබුණු අනන්‍යතාවත් නැතිවී යාමයි. පරණ අනන්‍යතාවත් ආරක්ෂා කරගෙන අනාගතයට ගැළපෙන රේඩියෝවක් බවට පත්කිරීමට අපි උත්සාහ ගන්නවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd