ප්‍රවීණ සංගීතඥයෙකු වන එච්.එම් ජයවර්ධනයන් ඇගයීම වෙනුවෙන් පැවැත්වෙන 'එච්.එම් හරසර' නම් ප්‍රාසාංගික සැදෑවක් පෙබරවාරි මස 02දා සවස 7ට මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වෙයි. 'එච්.එම් සහෘදයෝ' මෙම ප්‍රසංගය සංවිධානය කරන අතර මේ සටහන ඒ වෙනුවෙනි.
එච්.එම් විජේසුන්දර හා ඩී.එම් පුංචි මැණිකා යුවළට උපන් වැඩිමහල් පුත්‍රයා නම් දරන්නේ එච්.එම් ජයවර්ධන ලෙසනි. මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ගම්මානයේ ළමා කාලය ගත කරන ඔහු පහ වසර ශිෂ්‍යත්ව විභාගය වනතුරු අධ්‍යාපනය ලබන්නේ සියඹලාණ්ඩුව මහා විද්‍යාලයෙනි. පහ වසර ශිෂ්‍යත්වය සමත්ව පස්සර මධ්‍ය මහා විද්‍යාලයට යොමුවන එච්.එම් ජයවර්ධන ශිෂ්‍යයා එම පාසලේ නේවාසිකව අධ්‍යාපනය ලබන්නේය. ඔහු අධ්‍යයන කටයුතුවල නිරත වන කාලයේදී එම පාසලේ සිටි ජපන් මැණ්ඩලීනයක් හා බටනළාවක් හිමි කිරිවන්ත නම් මිත්‍රයා හමුවන්නේය. නේවාසිකව අධ්‍යාපනය ලබන එච්.එම් ජයවර්ධනයන් නේවාසිකාගාරයේ ගුවන්විදුලියෙන් ඇසෙන නන්දා මාලනියන් %රන්මුතු දූව^ චිත්‍රපටයට ගායනා කළ %ගලන ගඟකි ජීවිතේ^ වැනි ගීතවලට ආශක්ත වන්නේය. වාදනයට වැඩි ඇල්මක් දක්වන ඔහු එක් පාසල් නිවාඩු සමයක මිතුරාට ශත පනහක් ලබා දී නිවාඩු කාලය සඳහා බටනළාව රැගෙන සියඹලාණ්ඩුව ගමට යන්නේය. එහිදී කාටත් හොරා බටනළා වාදනය කරන්නට යොමු වන්නේය. පාසල තුළදීද සැඟව බටනළා වාදනය කරන ඔහුගේ හැකියාවන් පාසලේ සංගීතය ඉගැන්වූ පී.ඒ සුබසිංහ නම් සංගීත ගුරුවරයා හඳුනා ගන්නේය. අනතුරුව සංගීතය හදාරන්නට යොමුවන ඔහු නැවත ගමට පැමිණෙන්නේය. එච්.එම් ජයවර්ධන නම් තරුණයාට ගුවන්විදුලි වාදක මණ්ඩලයේ බටනළා වාදකයෙකුගේ ඇබෑර්තුවක් ඇති බව දැනගන්නට ලැබෙන්නේ ගම තුළ සිට විවිධ රැකියා කරන අතරේදීය. ගමේ හිතවතුන් කිහිප දෙනෙකුගේ මුදල් ලබාගෙන සම්මුඛ පරීක්ෂණයට යොමුවන ඔහු ඉන් අසමත් වන්නේය. වරක් නොව ගුවන්විදුලි සංස්ථාවේ බටනළා වාදකයෙක් බඳවා ගැනීමට තිබූ සම්මුඛ පරීක්ෂණ දෙකකින්ම අසමත් වන්නේය. ඒ කෙසේ වුවත් බටනළා වාදනය අත්නොහරින එච්.එම් ජයවර්ධනයන් පණ්ඩිත් අමරදේවයන් සොයා රත්මලානට පැමිණෙයි. ඔහුගේ වාදන හැකියාව පෙන්වූ පසු පණ්ඩිත් අමරදේවයන් විසින් නැවත ගුවන්විදුලි සංස්ථාවට පැමිණෙන්න යැයි ඔහුට කතා කරයි. පණ්ඩිත් අමරදේවයන්ගේ හා වසන්ත ඔබේසේකරයන්ගේ සහායෙන් සෝමදාස ඇල්විටිගලයන් මූලික වූ ගුවන්විදුලි සංස්ථාවේ වාදක මඬුල්ලේ බටනළා වාදකයෙකු ලෙස කටයුතු කිරීමට අවකාශය සැලසෙන්නේය. අනතුරුව ඔහු අතින් ගීත දහසකට පමණ තනු නිර්මාණය වන්නේය. චිත්‍රපට පසුබිම් සංගීතයටද දායක වන එච්.එම් ජයවර්ධන නම් සංගීතවේදියා සිදුකළ අමතක නොවන මතකයක් අදටත් බොහෝදෙනා තුළ ඇත. ඒ %මුහුදු ලිහිණි^ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් හොඳම සංගීත අධ්යක්ෂණයට හිමි සම්මානය හිමි වුවද ඔහු එය ප්‍රතික්ෂේප කිරීමයි. එය හිමිවිය යුත්තේ ප්‍රේමසිරි කේමදාසයන්ට යැයි ඔහු එහිදී සඳහන් කරන්නේය.ඒ ඔබට ආවර්ජනය කර සිටියේ එච්.එම් ජයවර්ධනයන්ගේ සංගීත ආගමනයේ මතකයන් බිඳකි. මෙම පැවැත්වීමට නියමිත ප්‍රසංගය සංවිධානය කිරීමේ මූලිකත්වය ගනු ලබන්නේ එච්.එම් සහෘදයෝය.
ප්‍රසංගය සංවිධානය කිරීම පිළිබඳ සංවිධායක මණ්ඩලයේ සභාපති ප්‍රියන්ත පෙරේරා මහතා සඳහන් කළේ මෙලෙසිනි.
“එක් දිනයක අමරසිරි පීරිස් මහත්තයා හමුවූ වෙලාවක ඇති වූ කතාබහකදී එච්.එම් ජයවර්ධනයන් ගැනත් කතාබහක් ඇති වුණා. මේ වන විට ඔහු අසනීප තත්ත්වයෙන් සිටින්නේ. එච්.එම් ජයවර්ධනයන්ගේ කලා ජීවිතය සහ ඔහු තනු නිර්මාණ ශිල්පියෙකු ලෙස කර තිබෙන දේවල් අගය කරමින් තමයි මේ ප්‍රසංගය පවත්වන්නේ. අමරසිරි පීරිස් මහත්මයා මුලින්ම මෙයට කැමැත්තෙන් දායක වුණා. පසුව නීලා වික්‍රමසිංහ, ටී.ම් ජයරත්න යන අය මේ ප්‍රසංගයට දායක වෙන්න කැමති වුණා. ඒ වගේම රෝහණ වීරසිංහ මහත්මයා සංගීතයෙන් දායක වෙන්න කැමති වුණා. වසන්ත රෝහණ මහත්මයා කථනයෙන් දායක වෙන්න කැමැත්ත දැක්වූවා. අගය කළ යුතු කලාකරුවෙක් අගය කරන්න අපිට කරන්න පුළුවන් දේ අපි කරනවා. එච්.එම් ජයවර්ධන කියන්නේ මුදල් පසුපස හඹාගිය කලාකරුවෙක් නෙවෙයි. ඔහුට ලැබුණු සම්මානත් වෙන අයට පරිත්‍යාග කරන්න තරම් සමත් කෙනෙක්. මේක අහම්බෙන් ඇති වූ කතිකාවක ප්‍රතිඵලයක්. මේ ප්‍රසංගය කරන්නේ මිතුරු කැලක්. ඒ වගේම මෙයට දායක වන කලාකරුවන් කිසිදු මූල්‍ය අපේක්ෂාවකින් තොරව තමයි දායක වෙන්නේ”
එච්.එම් හරසර ප්‍රසංගයේ ගායනයෙන් දායක වන ප්‍රවීණ ගායක අමරසිරි පීරීස් දැක්වූයේ මෙවන් අදහසකි.
'මගේ හිතවතුන් කළ යෝජනාවකට තමයි මම මෙයට දායක වුණේ. මේ සිදුකරන්නේ අපේ වගකීමක් ලෙසයි මම සලකන්නේ. එතුමන් දැන් රෝගීවෙලා ඉන්නේ. මේ ප්‍රසංගයෙන් ලැබෙන සියලු මුදල් ඔහුට ලබාදෙනවා. එච්.එම් තනු නිර්මාණය කළ ගීත ගායනා කළ ටී.එම් ජයරත්න මහත්තයා, නීලා වික්‍රමසිංහ සොයුරිය මෙයට සහභාගී වෙනවා. මේ වන විට මේ ප්‍රසංගයේ පෙර පුහුණුවීම් කටයුතු කරනවා. එච්.එම් ජයවර්ධනයන් සංගීතවත් කළ %ඇය යන්න ගියා මැකිලා^ ගීතය මම ගායනා කරන්නේ. ඒ වගේම %කන්‍යාවී^ සීඩී තැටියට එච්.එම් සංගීතවත් කළ ගීතයක් අන්තර්ගත වෙනවා. ගුවන්විදුලි සංස්ථාවේදීත් එච්.එම් සංගීතවත් කළ ගීත බොහෝ ප්‍රමාණයක් මම ගායනා කර තිබෙනවා. එච්.එම් ජයවර්ධන කියන්නේ බොහෝ සංවේදී මිනිසෙක්. ඒක මට අවංකවම කියන්න පුළුවන් දෙයක්. ඒ සංවේදී මිනිසා වෙනුවෙන් මේ ප්‍රසංගය පැවැත්වෙනවා*
එම්.එම් හරසර ප්‍රසංගයේ කථනයෙන් දායක වන වසන්ත රෝහණ අදහස් දක්වමින්,
එච්.එම් ජයවර්ධනගේ තනු නිර්මාණ රසවිඳ තිබෙනවා. එතුමන්ට හරසරයක් දක්වා කිසියම් තිළිණයක් ලබාදිය යුතුයි කියලා අපි හිතුවා. අපි එච්.එම් සහෘදයෝ සංවිධානයෙන් සිදුකරන්නේ එතුමන්ව ඇගයීමක්.
එච්.එම් කියන්නේ අහිංසක නිහතමානී කලාකරුවෙක්. ඔහුගේ තනු නිර්මාණ හදවත තුළ කම්පනයක්, ප්‍රකම්පනයක් ඇති කළා. ඔහු දුක්විඳලා මේ තැනට ආව කෙනෙක්. ඉදිරියට ඇවිත් මුල් තලයේ ඉන්න සංගීතඥයෙක්. ඔහු ගැන ඔහු අධිතක්සේරුවෙන් කතා කරන්නේ නැහැ. එච්.එම් කියන්නේ සුන්දර මිනිහෙක්. මම ජනපතිතුමාට, අගමැතිතුමාට වගේම සජිත් ප්‍රේමදාස ඇමතිතුමාටත් කියන්නේ ඔහු වෙනුවෙන් නිවසක් ලබාදෙන්න කියලයි*
ප්‍රසංගයේ ගීත ගායනයට දායක වන ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ අදහස් දැක්වූයේ මෙලෙසිනි.
එච්.එම් ජයවර්ධන කියන කලාකරුවා මම හඳුනාගන්නේ හැත්තෑව දශකයේදී. ඒ කාලෙදී ඔහු වාද්‍ය ශිල්පියෙක් ලෙසයි මම හඳුනාගන්නේ. ඔහු බටනළා වාදනයට අතිදක්ෂයෙක්. ඒ කාලේ සිට අද දක්වාම ඔහු අව්‍යාජ මිනිසෙක්. ළෙංගතු කෙනෙක්. ඔහු ඔහුගේ තිබෙන දක්ෂතාව තවම හඳුනාගෙන නැහැ. ඔහුගේ වටිනාකම අදටත් දන්නෙ නැහැ. පණ්ඩිත් අමරදේවයන්ගේ සිට නව පරපුර දක්වාම ඔහුගේ තනු ගායනා කර තිබෙනවා. ඔහු කළ නිර්මාණ තුළත් ඔහුගේ නිර්ව්‍යාජ බව තිබෙනවා. සැබෑ කලාකරුවා කියන්නේ සංවේදී කෙනෙක්. එච්.එම් ජයවර්ධන එවැන්නෙක්. එවන් වූ කලාකරුවෙක් වෙනුවෙන් කරන්න නියමිත ප්‍රසංගයට දායක වෙන්නේ ඉතාම සතුටින්. අනෙක් ශිල්පීනුත් තමන්ගේ හදවතින්මයි දායකත්වය ලබා දෙන්නේ.
ප්‍රසංගයේ ගීත ගායනයෙන් දායක වන ප්‍රවීණ ගායක ටී.එම් ජයරත්න.
මෙය එච්.එම් ජයවර්ධන වෙනුවෙන් කළ යුතු දෙයක් කියලා මම හිතනවා. මම මේ ප්‍රසංගයට සහභාගී වෙනවා. ඒ ගැන විතරක් සඳහන් කළාම ඇති'
ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වන රෝහණ වීරසිංහයන්
“එච්.එම් ජයවර්ධනයන් තනු නිර්මාපකයෙක් ලෙස ක්ෂේත්රයට එන්නේ සමකාලීනයෙක් ලෙසින්. 1979දී කැසට් නිෂ්පාදනයේ ආරම්භක යුගයේදී ටී.එම්. ජයරත්න හා නීලා වික්‍රමසිංහගේ කැසට්පටයක් නිර්මාණය කළා. අපි දෙදෙනාට එහි ගීත බොහෝ ප්‍රමාණයකට තනු නිර්මාණය කරන්න හැකිවුණා. 'රත්තරන් නෙත් දෙකෙන්', 'එක සිත දෙතැනක' වැනි ගීත සඳහා සංගීතය නිර්මාණය කළා. %ආරාධනා^ චිත්‍රපටයේ අපි දෙදෙනාටම එකට සංගීතය නිර්මාණය කරන්න ලැබුණා. නන්දා මාලනීගේ %සත්‍යයේ ගීතය^ ප්‍රසංගයේ ගී තනු නිර්මාණ කරන්න ලැබෙන්නෙත් අපි දෙන්නට. අපි එකටම ආපු ගමනක් මේක. පසුව අපි දෙන්නා තනු නිර්මාපකයන් ලෙස ඉදිරියට යද්දී වෙන් වෙන්ව කටයුතු කළා. 'මංගල තෑග්ග' වගේ චිත්‍රපටවල සංගීත අධ්යක්ෂණයට එතුමා සම්මාන ගන්නකොට %ආදර හසුන^ වැනි චිත්‍රපටවලට සම්මාන ලැබුණා. ඒ වගේම එච්.එම් ජයවර්ධන වැනි සංගීතවේදීන් නිහඬ වීම අපිට ලොකු පාඩුවක්. මම කැමතියි එච්.එම් ක්‍රියාශීලීව නැවත වරක් නිර්මාණ කරනවා නම්. ස්වේච්ඡාවෙන් මේ ප්‍රසංගයට දායක වෙන්නේ හරිම සතුටින්. මම එතුමාගේ රසිකයෙක් ලෙස ඒ සිදුකළ නිර්මාණ අගය කරනවා. එච්.එම් ජයවර්ධන කියන්නේ ආකර්ෂණීය තනු නිර්මාපකයෙක්. ටී.එම් ජයරත්න ගයන 'ඔබ මා' කියන ගීතය, 'රත්තරන් නෙත්', එච්වඩ් ජයකොඩිගේ 'සිරියහනේ' කියන ගීතය, සුනිල් එදිරිසිංහගේ 'මිනිසෙකු පිට නැගි අසරුවෙකි' කියන ගීත, නන්දා මාලනීගේ 'කඩමණ්ඩියේ', 'ඔබයි රම්‍ය සඳ කිරණ' වැනි විශිෂ්ට තනු නිර්මාණය කළ ශිල්පියෙක් ලෙසයි ඔහුව මම දකින්නේ. ඒවා අදටත් ආදරෙන් රසවිඳින ගීත”
පසුව අප සමග කතාබහ කළේ කථා නායකයාය. එච්.එම් ජයවර්ධන නම් සංගීතවේදියා අප සමග සඳහන් කළේ මෙවැන්නකි.
වසර තිස් ගාණක්ම ගුවන්විදුලියේ වැඩ කළා. මම තනු නිර්මාණය කරන්න පටන් ගත්තේ එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී. මේ වෙද්දි ගීත දහසකට වැඩියෙන් තනු නිර්මාණ සිදුකර තිබෙනවා. මම මුලින්ම විශාරද මාලනී බුලත්සිංහලට තමයි ගීතයක් නිර්මාණය කළේ. පසුව ටී.එම් ජයරත්නට ගීතයක් නිර්මාණය කළා. නන්දා මාලනියට තමයි වැඩිපුරම ගීත නිර්මාණය කර තිබෙන්නේ. පණ්ඩිත් අමරදේව, සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක, දිවුල්ගනේ, එඩ්වඩ් ජයකොඩි, සෝමතිලක ජයමහ වැනි බොහෝ දෙනෙක්ට මට ගීත නිර්මාණය කරන්න හැකියාව ලැබුණා. ජෝති අයියට හා මිල්ටන් පෙරේරා යන අයට තමයි මට ගීත නිර්මාණය කරන්න හැකියාව ලැබුණෙ නැත්තේ. මම දැන් අසනීප තත්ත්වයේ පසුවුණත් තාම නිර්මාණ කටයුතු කරනවා. ජනාධිපති සම්මාන වගේම සරසවි සම්මානත් හිමි වුණා. %මුහුදු ලිහිණි^ චිත්‍රපටයේ සංගීත අධ්යක්ෂණයට මට ජනාධිපති සම්මාන ලැබුණත් මම එය ගත්තේ නැහැ. මම කළ නිර්මාණයට වඩා හොඳ නිර්මාණයක් ප්‍රේමසිරි කේමදාස මාස්ටර් කරලා තිබුණා කියල මම හිතනවා. ඒ අතීතය සුන්දරයි. ඒ වගේම කළ නිර්මාණ වලට සම්මාන හිමි වුණා. මම සංගීතවත් කළ ගීත රචනා කළ ශිල්පීන්ටත්, ඒ ගීත ගායනා කළ ශිල්පීන්ටත් මම ස්තුතිවන්ත වෙනවා*
ප්‍රසංගය පිළිබඳ වැඩි විස්තර 0777939289/0766491374 මගින් ලබාගත හැක.