හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ්ස් 2014 සිනමා සම්මාන උලෙළ පෙරේදා (25 දා) සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. සිනමාවේ අභිවෘද්ධිය පිළිබඳව සිතන්නේ නම් එයට අතහිත දීමේ සුදුසුම කාලයයි. ඒ අනුව සිනමාව නව මානයකට ගෙන යාමේදී සිය දැක්මේ ප්‍රවේශය ලෙස හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ්ස් 2014 සම්මාන උලෙළ ඇරඹීමට ඒබීසී මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ ද සිල්වා මහතා කටයුතු යොදා තිබුණි.
මෙම සිනමා සම්මාන උලෙළ හිරු රාති‍්‍රයේ උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්වූ අතර, එය මෙරට සිනමා තාරකා මෙන්ම බොලිවුඩයේ සිනමා තරු රැසකගේද සහභාගීත්වයෙන් පැවති එය විවිධ නර්තනාංගවලින් මෙන්ම ගැයුම් වැයුම්වලින්ද වර්ණවත් විය.
සම්මාන ප්රදානය සඳහා මෙරට ප්‍රවීණයන්ට අමතරව හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ්ස් සම්මාන උලෙළට එක් වූ බොලිවුඩ් තාරකා වන බිපාෂා බාසු, අනිල් කපූර්, සුනිල් ෂෙට්ටි, විවේක් ඔබ්රෝයි, නේහා ධූපියා මෙන්ම බොලිවුඩ් සිනමාව ගීතයෙන් අමන්දානන්යට පත් කළ අල්කා යග්නික්ද එක්වූහ.
හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ්ස් සම්මාන රාති‍්‍රය සංවිධාන වූයේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුවයි. ඔහුගේම සංකල්පයකට අනුව මීට වසර 16 කට පෙර මෙරට ගුවන් විදුලි කලාවට නව මානයක් එක් කෙරිණ. 2012 සහ 2013 වසරවල තිරගත වූ චිත්‍රපට මෙන්ම එම වර්ෂවල නිෂ්පාදනය කෙරුණු කෙටි චිත්‍රපට සියයක් අතුරෙන් තෝරාගත් නිර්මාණ හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ්ස් සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය.
සම්මාන උලෙළේ ජනප්‍රියම නළුවා, නිළිය සහ ජනප්‍රිය ගීතය යන අංශ සඳහා සම්මාන පිරිනමනු ලැබුවේ එස්.එම්.එස්. සහ සම්මාන උලෙළ් වෙබ් අඩවිය හරහා කරන ලද මත විමසුමකට අනුවයි. ඒ අනුව හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනුවෙන් 'ඉනියවන්' චිත්‍රපටියේ අශෝක හඳගම සම්මාන දිනාගත්තේය. හොඳම නළුවා ලෙස සම්මාන දිනාගත්තේ 'ඉනියවන්' චිත්‍රපටයේ 'දර්ශන් ධර්මරාජ්' ය . එමෙන්ම 'නිකිණි වැස්ස' චිත්‍රපටියේ රඟපෑ 'චාන්දනී සෙනෙවිරත්න' හොඳම නිළිය ලෙස සම්මාන දිනා ගත්තාය. හොඳම සහය නළුවා ලෙස සම්මාන දිනාගත්තේ 'සිරිපැරකුම්' චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ අෂාන් ඩයස්ය. එමෙන්ම 'ඉනියවන්' චිත්‍රපටියේ නිරංජනී ෂන්මුගරාජා හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගත්තාය. නැගී එන නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුණේ 'නිකිණි වැස්ස' සහ 'කර්ම' චිත්‍රපට සඳහා රංගයෙන් දායක වූ ජගත් මනුවර්ණයි. 'නිකිණි වැස්ස' චිත්‍රපටියේ රඟපෑ 'සුලෝචනා වීරසිංහ' නැගී එන නිළිය ලෙස සම්මාන දිනාගත්තාය. 'සමනල සංධ්වනිය' චිත්‍රපටයේ 'ඉකිගසා හඬන' ගීතය රචනා කළ අමිල තේනුවර හොඳම චිත්‍රපට ගීත රචකයාට හිමි සම්මානය දිනාගත් අතර, එම ගීතය සංගීතවත් කළ දර්ශන රුවන් දිසානායකට සහ හොඳම සංගීතඥයා ලෙසද , එම ගීතය ගායනා කළ අමරසිරි පීරිස් හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙස සම්මානයට පාත්‍ර විය. ජනපි‍්‍රය ගීතය ලෙසද සම්මානය දිනා ගත්තේ 'ඉකිගසා හඬන' ගීතයයි. 'කුස පබා' චිත්‍රපටියේ ජල ධාරා ගීතය ගායනා කළ උරේෂා රවිහාරී හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව ලෙස සම්මාන දිනා ගත්තාය.'ඉනියවන්' චිත්‍රපටය සංස්කරණය කළ අජිත් රාමනායක හොඳම සංස්කරණයට හිමි සම්මානය දිනාගත් අතර, හොඳම කැමරා අධ්යක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තේ 'කර්ම' චිත්‍රපටය කැමරා අධ්‍යක්ෂණය කළ පාලිත පෙරේරායි. හොඳම තිර රචනයට හිමි සම්මානය 'නිකිණි වැස්ස' චිත්‍රපටියේ අරුණ ජයවර්ධනට හිමිවිය
ජනපි‍්‍රයම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ 'සිරිපැරකුම්' චිත්‍රපටයයි. 'සිරි පැරකුම්' චිත්‍රපටයේ රඟපෑ අකිල ධනුද්දර ජනපි‍්‍රය නළුවා ලෙසත්, සමනල සංධ්වනියේ 'යශෝධා විමලධර්ම' ජනපි‍්‍රය නිළිය ලෙසත් සම්මානයට පාත්රවිය. ජනපි‍්‍රය ළමා නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුණේ 'සිරිපැරකුම්' චිත්‍රපටයේ රඟපෑ ප්‍රමුදිත උදය කුමාරයි.
හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ්ස් සම්මාන උලෙළේ 'හිරු ජීවන ප්රණාම' සම්මානය හිමිවුණේ ස්වර්ණා මල්ලවාරච්චිටය. හිරු උත්තමාචාර සම්මානය සිනමා හා රූපවාහිනී නිර්මාණ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම කැමරා අධ්‍යක්ෂවරයෙකු ලෙස මෙරට සිනමාවට ඉමහත් සේවයක් කළ නැසීගිය ඇන්ඩෘ ජයමාන්නට පිරිනැමිණ.