මීට දශකයකට පමණ පෙර සිරස ටීවී ඔස්සේ වෙනස් අකාරයක වින්දනීය අත්දැකීමක් 'අපි නොදන්න ලයිව්'නම් වැඩසටහන හරහා ඔබට සමීප කරන්නට පොඩි මල්ලී (ගාමින්ද ප්‍රියවිරාජ්) හා චූටි මල්ලී ( සුනෙත් චිත්‍රානන්ද) සමීප වූ බව නොරහසකි. එකී වින්දනීය අත්දැකීම ඔබට යළිත් සජීවීව සමීප කරන්නට පොඩි මල්ලී සහ චූටි මල්ලී සූදානමින් සිටියි. ඒ ඔහුන් විසින් එළඹෙන 27 හා 28 දෙදින තුළ කොළඹදී සහ මහනුවරදී පැවැත්වීමට සූදානම් වන 'අපි නොදන්න ලයිව් onstage' ප්‍රසංගය හරහායි. අපි ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට චූටි මල්ලි 'අද' හා සම්බන්ධ කරගතිමු.
Q මුලින්ම කරන්න යන වැඩේ ගැන පැවසුවොත් ?
'අපි නොදන්න ලයිව් onstage' ප්‍රසංගය යළිත් ප්‍රේක්ෂකයන්ට සමීප කරන්න අපි අදහස් කළා.මේ ප්‍රසංගය අපි මුල්වරට පැවැත්වූයේ ඔස්ට්රේලියාවේදීයි. ප්‍රසංගය සැකැස්ම වෙන්නෙ චූටි මල්ලියි පොඩි මල්ලියි දෙන්නා පැය දෙකක් විවිධ මාතෘකා සම්බන්ධව කරන කතාබහක්. ලෝකයේ ජනප්‍රිය සංකල්පයක් වන Talk Show and standup comedy show ක්‍රමවේදය තමයි මීට යොදා ගන්නෙ.
ඒ එක්කම අපේ කතාබහට අදාළ වීඩියෝ ක්ලිප්ස් කිහිපයකුත් විකාශය කරනවා. ඔස්ට්‍රෙලියාවේ, නවසීලන්තයේ සහ ඩුබායිවල මෙන්ම ලන්ඩන්වලත් අපි පැවැත්වූ මෙම ප්‍රසංග ඉතා සාර්ථක වුණා. අපි මෙරටදී පළමු වරට මේ ප්‍රසංගය පැවැත්වූයේ පසුගිය වසරේ අප්‍රේල් මාසෙ පස්වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදීයි. එහිදී ඔවුන් පැවසුවේ ඔවුන් දන්න ඉතිහාසයේ වැඩිම ටිකට් විකිණුනු ප්‍රසංගය අපේ ප්‍රසංගයයි කියල. අපි කාටවත් ආරාධනා පත්‍ර දුන්නෙ නෑ. හැමොටම අපි ටිකට් එකක් දුන්නා.
මේ ප්‍රසංගය අපි කරපු 'අපි නොදන්න ලයිව්' වැඩසටහනට ටිකක් සමානයි. මාතෘකාවක් අරගෙන අපි කතා කරන එක තමයි පැය දෙකේම තියෙන්නෙ. මැදදි පොඩි විවේක කාලයක් තියෙනව. අපට කැමති අය ඉන්නවා නම් ප්‍රසංගය බලන්න එන්න. අපට ආයෙ ලංකාවෙ මේ ප්‍රසංගය කරන එකක් නැහැ. මොකද තැනින් තැනට අරන් ගිහින් අපට මේක දිගින් දිගට කරන්න අමාරුයි. එනිසා තමයි ප්‍රසංග දෙකක් පමණක් පවත්වන්නෙ. අපට වගකීමෙන් කියන්න පුළුවන් මේ ප්‍රසංගය නරඹලා හිනාවෙලා සැහැල්ලුවෙන් යාවි කියලා. ඒ නිසා ඇවිල්ලම බලන්න කියලයි කියන්න තියෙන්නෙ.
Q මේ වැඩසටහනේ තියෙන්නෙ කලින් කරපු කතාමද? නැත්තම් Update එකක් තියෙනවද?
නෑ. කලින් කරපු එකම තමයි කරන්නෙ. අපේ බලාපොරොත්තුව වුනේ මේ ප්‍රසංගය ලංකාවෙ එකපාරක් විතරක් පවත්වන්නයි. නමුත් පසුගිය වසරේ පැවැත්වූ ප්‍රසංගය නරඹන්න ඇවිත් ශාලාවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා ආපසු හැරීගිය විශාල රසික පිරිසක් හිටියා. ඒ නිසයි යළි මේ වසරේදී යළි මේ මාසෙ 27 වැනිදා පස්වරු 7.00 ට මියුසියස් විද්‍යාලයේදීත්, 28 වැනිදා සවස 7.00 ට නුවර පොල්ගොල්ලේ NICD ශාලාවේදීත් පැවැත්වීමට අදහස් කළේ. අපි ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී සුවිශේෂී ක්‍රමයක් අනුගමනය කරනවා.
0117-222121 යන දුරකථන අංකයට කතාකරලා ටිකට්ස් ගෙන්නගන්න පුළුවන්. ගිය වතාවෙත් එය සාර්ථක වුණා. අපි හිතනවා හැම විනාඩියකටම සැරයක් හිනාවෙන්න පුළුවන් වැඩසටහනක් අපි සැලසුම් කරල තිබෙනවා කියලා. එය තමයි විශේෂත්වය. ලංකාවේදීත් ඉන් පිටතදීත් දැනට බලපු අයගේ හොඳ ප්‍රතිචාර තිබෙනවා. එයට අනුග්රාහකයනුත් කිහිප දෙනෙක් ඉන්නවා.
Q ඔබ දෙදෙනා කතා කරන්නෙ මොනවගේ හාස්‍යයක් ගැනද?
මේක කතා කරන්නෙ Lifestyle එක ගැනයි. මෙහි විශේෂම දෙය තමයි ලංකාවෙ හාස්‍ය මුසු වැඩසටහන් කිව්වම පොඩි අයව ගෙනියන්න පුළුවන්ද කාරණාව තිබෙනවා. Double Meaning (දෙපිට කැපෙන වචන) දැන් සෑහෙන ප්‍රශ්නයක් වෙලා. අපි එවැනි දේවල් මෙහිදී භාවිත කරන්නෙ නෑ. ඕනම කෙනෙකුට පොඩි කෙනෙක්ව ගේන්න පුළුවන්. අසභ්‍යවචන සහ අසභ්‍ය දර්ශනවලින් තොරයි කියන එක විශ්වාසයෙන් ප්‍රකාශ කළ යුතුයි.
Q අපි නොදන්න ලයිව් සමග හිටපු ප්‍රේක්ෂකාගාරය තාමත් තියෙනවා කියල විශ්වාස කරනවද?
ඔව් අනිවාර්යයෙන්ම. කොහොමද එහෙම නොනැසී තියෙන්නෙ කියන එක අපටත් හිතාගන්න අමාරු දෙයක්. තාක්ෂණයත් එයට බලපානවා ඇති. ඒ වැඩසටහන කරල අවුරුදු 10ක් ගතවුණත් එහි සමහර වීඩියෝ යූ ටියුබ් මගින් බලල සමහරු අදත් කතා කරනවා. තරුණ පරපුර මේ සමග සම්බන්ධ වෙලා තිබෙනවා. අපි වැඩසටහන්වලට ගියාම දකින්න ලැබෙන බොහෝ අය තරුණයි. එනිසා විශාල ප්‍රේක්ෂක පිරිසක් අපි වටා ඉන්න බව කියන්න පුළුවන්.
Q අපි අපේම ජීවිතයට හිනාවෙන එක විතරද ඔබ මේ තුළින් බලාපොරොත්තු වෙන්නෙ?
අපි අපේ ජීවිතේට හිනාවෙනවා තමයි. අපට අපේ ජීවිතේ උප්පත්තියේ සිට මරණය දක්වාම ජීවිතේ හිනාවෙන්න පුළුවන් තැන් තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ආදරය, විවාහය කියන්නෙ හිනාවෙන්න පුළුවන් කාරණයක්ද කියල. විහිළුවක්ද කියල. ඒක ඇතුළෙ හාස්‍යය තියෙනවා. ඒක අපි දැන දැනම බොහොම අමාරුවෙන් ණය වෙලා වෙඩින් එකක් ගන්නවා. එය එක්තරා විදියෙන් අපටම හිනාවෙන්න පුළුවන් කාරණයක්. එනිසා හිනාවෙලා පුළුවන්නං ඒ ගැන ගැඹුරින් හිතන්න ඒකත් හොඳයි. අපි කියන්නෙ නෑ ගැඹුරු අර්ථයක් ඇතිව මිනිස්සුන්ගෙ ජීවිත හදන්න හිතන් කරන වැඩසටහනක් කියල අපි කියන්න යන්නෑ. නමුත් කෙනෙකුට එහෙම හිතෙන්නත් පුළුවන්.
Q ජීවිතය හා බැඳිච්ච දේශපාලන, ආර්ථික සමාජ වටපිටාව ගැනත් කතා කරනවද ?
අනිවාර්යයෙන්ම ඔව්. අපි අපේ ජීවිතේ ගතකරන සෑම දෙයක් එක්කම බැඳිල තිබෙනවා. ඕවයෙන් අපට ගැලවෙන්න බෑ.ඔය කියන සියලු කාරණාම මේ ඇතුළෙ තිබෙනවා.
Q ඔබ කලින් ගෙනා දේශපාලන දර්ශනය මේක ඇතුළෙ ගේන්න හදනවද?
නෑ. අපි දේශපාලන දර්ශනයක් වෙනුවෙන් පෙනී හිටියෙ නෑ.
Q ඔබ දෙපළ රාජපක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටියා නේද?
ඒක මෙහෙමයි.. ඒක මෙතනට ගේන්න ඕනද කියන එක වෙනම කාරණාවක්. අපි යම් ප්‍රමාණයක ඒ පැත්තට කැමැත්තකින් හිටියා. ඒ ඇරෙන්න කවුරුවත් වෙනුවෙන් පෙනී ඉන්න අපට පුළුවන්කමක් නෑ. අපේ කැමැත්ත එකක්. පෙනී සිටිනවා කියන එක තව එකක්. අපේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කරපු පමණින් එහෙම තීරණය කරන්න බෑ. එයත් අපි නොකර හිටියානම් හොඳයි කියන මතයේ තමයි අපි ඉන්නෙ. අපි ඒ දේශපාලනයට කැමැත්තෙන් හිටියා. නමුත් කවුරුවත් වෙනුවෙන් පෙනී ඉන්න බෑ. දේශපාලන පක්ෂයක් හෝ නායකයෙකුගෙන් වෙන වැරදි වැරදිමයි.
ඒවා වෙනුවෙන් පෙනී ඉන්න අපට බෑ. හැබැයි අපි විශ්වාස කරනවනෙ මේකට වඩා මේක හොඳයි කියල. අපි හිතනවා තියෙන දේට වඩා එන්න තියෙන දේ නරකයි කියල. අපට එහෙම හිතන්න අයිතියක් තියෙනවා. ඒ දේ තමයි අපි කළේ. හැබැයි දේශපාලනය වෙනුවෙන් පෙනීහිටින්න පුළුවන්කමක් තියෙනවා නම් එහෙම පෙනුණු දවසක ඒ වෙනුවෙන් පෙනී සිටින්න මැලිවෙන්නෙත් නෑ. ඕනම මාධ්‍යයක ඇවිත් කතා කරන්න බැරිකමකුත් නෑ.
Q අපි නොදන්න ලයිව් වැඩසටහන රූපවාහිනියේ යනකොට අතිශය ජනප්‍රිය වුණා. හැබැයි ඉන්පසුව ගුවන් විදුලි නාලිකාවල ඊට සමාන වැඩසටහන් කළත් ඒවා එතරම්ම හිට් වුණේ නෑ නේද?
ඔව්, හැමතැනම නාලිකා ගොඩක් සහ වැඩසටහන් ගොඩක් තියෙනවනෙ. කටහඬ වෙනස් කරන එකත් ගොඩ දෙනෙක් කරනවා. නමුත් අපි ගුවන් විදුලි නාලිකාවක කරන වැඩසටහනට හොඳ ප්රබුද්ධ ශ්‍රාවක පිරිසක් ඉන්නවා. අපෙන් සමහරු තව ටිකක් ලයිට් කරන්න කියල ඉල්ලුවත් හිතල හිනාවෙන අයත් එක්ක ගනුදෙනු කරන්නයි අපි කැමතියි. මොකද ඒ මාකට් එක හොඳයි.
Q මාකට් එක හොඳනම් ඇයි දිගට අරගෙන ගියේ නැත්තෙ?
ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනම නෑ කියනව වගේ අපට වුණත් තේරෙනව යමක තියෙන නැවුම් බව ගියාට පස්සෙ ඒක නැතිවෙලාම යනව මිසක් ඒක රඳා පවත්වගන්න අපට නෙවෙයි කාටවත්ම බෑ කියල. එනිසා අපි හිතුව මේක විනාස වෙන්න දීල, ඒකත් එක්ක අපිත් විනාස වෙනවට වැඩිය අපි මේ පොඩ්ඩක් නතර කරල මීට සමාන හෝ වෙන දෙයක් කරමු කියල. තාමත් අපට කියන්න පුළුවන් දේ තමයි තාමත් වෙනසක් කියල දෙයක් කරන්න අවශ්‍යතාවක් නෑ. තාමත් මිනිස්සු කැමැත්තෙන් ඉන්නවා කියල අපට දැනිල තියෙනවා.
ලංකාවෙ කලාව සහ කලාකරුවන් ඉන්න තැන සහ ඉන්න හදන තැන ගැන තෘප්තිමත් වෙන්න බෑ නේද?
කොහෙත්ම බෑ. ඉන්න තැන ගැන කොහොමත් තෘප්තිමත් වෙන්න අමාරුයි. කලාකරුවාට සිද්ධ වෙලා තියෙන්නෙ තමන්ට අකැමැති ගාණකට විකිණෙන්න. කිසිසේත්ම එකඟවෙන්න බැරි ගාණකට විකිණීම උඩ සිට පල්ලෙහාටම පොදු කාරණයක්. සමහර අයට තමන්ට නොවටිනා ගණන් හම්බ වෙනවා. ඒක මොකද්ද කියල අපි කියන්න යන්නෙ නෑ. ඒකත් වෙන මොකක්හරි පාවිච්චි කරලා කරන දෙයක් වෙන්න පුළුවන්. නමුත් පොදුවේ ගත්තම තෘප්තිමත් වෙන්න බෑ. ඒක කලාකරුවට විතරක් පොදුනොවන ගොඩක් ක්ෂේත්රවලට අදාළ කාරණයක්.
Q ලංකාවෙ හැමදාම කලාව තියෙන්න ඕන ඔතැනද? හැමදාම ප්‍රශ්න ගැන කතාකරනවා. මෙතනින් එළියට යන්නෙ නැද්ද?
පිටින් මේවාට විසඳුම් ගේන තාක්කල් මෙහෙම තමයි කියලයි මට හිතෙන්නෙ. කලාකරුවන් විසින්ම මෙයට විසඳුමක් හොයාගත්තොත් ඇරෙන්න ආණ්ඩුවලින් සහ දෙපාර්තමේන්තුවලින් මේක විසඳලා දෙයි කියල හිතන්න ගියොත් හැමදාම මෙහෙම වේවි. තමන්ගෙ වැඩේ හරියට වෘත්තීය මට්ටමෙන් කරන්න හැදුවොත් ඔහු කලාකරුවෙක් නොවේ යැයි ඔහු හංවඩු ගහනව. මායි ගාමින්දයි තරයේ කියන දෙයක් තමයි අපි දෙන්නා කලාකරුවො නෙවෙයි විනෝදාස්වාදය සපයන්නො (Entertainer) දෙන්නෙක්ය කියන එක. අපි ඒක තේරුම්ගත්තොත් අපට අඩු තරමේ අපිව බලාගන්නවත් පුළුවන් වේවි. අපි අපිව බලාගත්තොත් ඊළඟට ඉන්න පරපුරට හරි ආදර්ශයක් වේවි. මේක බිස්නස් එකක් කරන්න ඕනෑයි කියලයි අපි විශ්වාස කරන්නෙ.
Q එන්ටර්ටේනර්ස්ලට තියෙන ලොකුම ප්රශ්නය තමයි අනුකරණවාදීන් බිහිවෙන එක. අනික තමයි බුද්ධිමය දේපළ කොල්ලකෑම ?
අනුකරණවාදීන් සම්න්ධයෙන් නම් අපට කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ඒ ගැන සන්තෝස වෙන්න ඕන. බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් නම් වෙනස් ආකල්පයක් මට තියෙන්නෙ. කෙනෙකුගෙ නිර්මාණයක් මුදල් අරභයා තව කෙනෙකුට විකුණන්න පුළුවන් වීම සාධාරණ නෑනෙ. ඒක අදටත් දරුණුවට වෙනව. මේ නිසා බුද්ධිමය දේපළ පනත ශක්තිමත් විය යුතුයි. වැඩේ කරපු මනුස්සයා නෙවෙයි වෙන කෙනෙකුයි දැන් තත්ත්වය යටතේ ප්රතිලාභ ලබන්නෙ.
0117-222121