මෙරට සංගීත ක්ෂේත්රය තුළ සුවිශේෂී අනන්‍යතාවක් ගොඩනගාගත් සංගීත අධ්‍යෂකවරයෙකු ලෙස ආචාර්ය රෝහණ වීරසිංහයන් හැඳින්විය හැක. ඔහු විසින් නිර්මාණය කරන ලද දහසකට අධික ගී තනු සහ සිය ගණනක් වන චිත්‍රපට හා ටෙලි නාට්‍ය පසුබිම් සංගීත නිර්මාණයන් බොහෝ විචාරක සහ රසික ඇගයීමට ලක්ව තිබෙන්නේ එහි පවතින සැබෑ නිර්මාණාත්මක භාවය නිසාවෙනි.
මෙවන් පසුබිමක ඔහු විසින් සිදුකරන නවතම සංගීත අධ්යක්ෂණ කාර්යය වන්නේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අරලිය කණ්ඩායම සංවිධානය කරන 'සුසර ගී රාවේ' ප්‍රසංගයයි.
'සුසර ගී රාවේ' ප්‍රසංගය අගෝස්තු 27 වැනිදා, ඉරිදා සවස 6.30 මහරගම යොවුන් රඟහලේදී පැවැත් වීමට නියමිත අතර මේ ඒ පිළිබඳව එම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂක, ධර්මපාල විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන් දැක්වූ අදහස් ගොන්නකි.
Q මෙවර ප්‍රසංගයේ විශේෂත්වය කුමක්ද?
1999 සිට 'සුසර ගී රාවේ' ප්‍රසංග වාර 10කට පමණ මා දායක වී තිබෙනවා. මෙවර ප්‍රසංගයේ ගැයෙන ගී සියල්ලම මාගේ සංගීත නිර්මාණ වීම විශේෂයි.
ඒ එක්කම 'සුසර ගී රාවේ' ප්‍රසංගය සඳහා සුපුරුදු ලෙසම ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන් මේ ප්‍රසංගයේ නිත්‍ය ගායන සාමාජිකයා බවට පත්ව සිටිනවා. ඔහුත් සමග අද චිත්‍රපට ක්ෂේත්රයේ ඉදිරියෙන්ම සිටින ගායන ශිල්පිනිය වන උරේෂා රවිහාරි සහ විශාරද දීපිකා ප්‍රියදර්ශනී යන දෙදෙනාත් ප්‍රසංගයට ගීත ගායනයෙන් එක්වෙනවා.
ප්‍රසංගය සංවිධානය කරන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අරලිය කණ්ඩායම මෙවර මගෙන් ඉල්ලා සිටියා ගීතවලට අමතරව සංගීතමය නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කරන ලෙසට. ඒ අනුව මෙවර නිර්මාණ කිහිපයක් සංගීත අනුවාදන නැතහොත් Instrumentals ලෙසටත් රසිකයන්ට තිළිණ කිරීමට මා බලාපොරොත්තු වෙනවා. සරල වින්දනයක් ලබාගත හැකි එබඳු සංගීතමය අර්ථකථනයන් අපේ ප්‍රසංගවල නිතර දකිනන්ට නොලැබෙන නිසා එය ඔවුන්ට සැබවින්ම නැවුම් අත්දැකීමක් වේවි.
Q ඔබ සඳහන් කළ ආකාරයේ සංගීතමය අනුවාදන ඉදිරිපත් කිරීමේදී වාද්‍ය ශිල්පීන්ගේ කාර්යයත් ඉතා වැදගත් නේද?
වෘත්තීයමය නිපුණතාවකින් යුතු ශිල්පීන් දායක කරගත් විට ඔවුන්ගෙන් අදාළ නිර්මාණයට ලැබෙන ආලෝකය විශාල බව මම මගේ නිර්මාණ දිවිය පුරා අවබෝධ කරගෙන සිටියා. මා මේ ක්ෂේත්රයට එක්වූයේ 1973 වසරේදීයි. ආරම්භයේ සිටම මගේ නිර්මාණ සඳහා දායක වූ ප්‍රවීණ වාදන ශිල්පීන් වන මහින්ද බණ්ඩාර, කලනි පෙරේරා, සුසිල් අමරසිංහ වැනි ප්‍රවීණ මෙන්ම මහේන්ද්‍ර පැස්කුවල් සහ සංගීත් වික්‍රමසිංහ වැනි ජ්‍යෙෂ්ඨ ශිල්පීන් මෙවර 'සුසර ගී රාවේ' ප්‍රසංගය රසගන්වන්නටත් මා හා එක්වීම සතුටට කරුණක්.
Q ඔබ ඉතා ළඟන්නා ගී තනු රැසක් දායාද කර තිබෙනවා. ගීයක් නිර්මාණය කිරීමේදී ඔබ වඩා සැලකිලිමත් වන්නේ කුමන කරුණු පිළිබඳවද?
පදරචනයයි මූලිකවම වැදගත් වන්නේ. මා කවරදාකවත් සංගීතඥයෙකු ලෙස පද රචකයන් පසෙක ලා කටයුතු කළේ නැහැ. ගීතයට සංගීතමය අර්ථකථනයක් ලබාදීමට අවැසි භාවයන් මා තුළ ගොඩනැගෙන්නේ පද රචනයට අනුකූලවයි. එතැනදී අපේ බුද්ධිය මෙහෙයවන්නට සිදුවෙනවා. මේ ක්‍රමවේදය අනුව බිහිවන නිර්මාණ තරමක් ගැඹුරුයි.
ඒ නිසා සරල රසවින්දනයට කැමති රසිකයන්ට එයින් පාඩුවක් සිදුවෙනවා. ඔවුන් වෙනුවෙන් මුලින් සරල ගී තනුවක් නිර්මාණය කර, එහි භාවයන්ට ගැළපෙන සුදුසු පද රචනයක් දක්ෂ ගේය පද රචකයන් ලවා ලියවාගන්නා ක්රමවේදයකුත් මා අනුගමනය කරනවා. 'නිම් තෙරක්', 'අවපස අහසක', 'චන්ද්‍රමඬල බැද්ද වටින්', '‘දොඹ මලින් මලට' එසේ නිර්මාණය කරගත් ගීතයි. 'මාරම්බරී', 'හංස රාජිනී' වැනි සරල ශාස්ත්‍රීය ගී නිර්මාණය වූයේත් එලෙසයි. මගේ නිර්මාණ මෙතරම් විචිත්‍රවත් වුණේ ඒ අනුවයි.
Q ඔබ පරම්පරා ගණනාවක් වෙනුවෙන් නිර්මාණ බිහිකළ ප්‍රවීණයෙක්. පරපුරේ නව නිර්මාණ ඔබ දකින්නේ කෙසේද?
අද පවතින්නේ හැමදෙයක්ම ක්ෂණිකව බලාපොරොත්තු වෙන සමාජයක්. බිහිවෙන නිර්මාණත් ක්ෂණික ආහාර වගේ. තරුණ පරපුර ඒ වටා රොක්වීම ස්වාභාවික තත්ත්වයක්.
එහෙත් මේ නිර්මාණවල ජීවිතයට එක්කරගත හැකි භාවමය වින්දනයක් හෝ එයින් ලැබෙන පුළුල් ජීවන දැක්මක් නැති බවයි පෙනෙන්නේ. ඉස්සර වගේ නිර්මාණයක් පිළිබඳව විවේක සුවයෙන් ගැඹුරින් සිතා බලමින් රස විඳින සමාජය හීන වන බව දැනෙනවා.
Q රසිකත්වය ඉහළ නැංවීමට මෙවැනි ප්‍රසංග අත්වැලක් වන්නේ කෙසේද?
මේ ප්‍රසංගයට ශිල්පීන් තෝරා ගැනීමේදී රසිකත්වයේ විවිධ මට්ටම් ගැන අපි සැලකිලිමත් වෙනවා. වරෙක සුනිල් සමග නිරෝෂා සහ ටී. එම්. එක්වුණා. වරෙක සුනිල් සමග රූකාන්ත චන්ද්‍රලේකා සහභාගි වුණා. මෙවර උරේෂා පළමුවරට එක්වෙනවා. සමහර විට එක් රසිකයෙක් කැමති එක් ගායකයෙකුට විය හැකියි. නමුත් ඔහුට අනෙක් ශිල්පීන්ගේ යහපත් ගීත ශ්‍රවණයට අවස්ථාව ලැබීමෙන් ඔහුගේ රසවින්දනය පුළුල් වීම සිදුවන්නේ නිරායාසයෙන්මයි.
Q අවසන් වශයෙන් ඔබට විශේෂ යමක් ප්‍රකාශ කරන්නට තිබෙනවාද?
මෙවැනි උසස් අරමුණක් වෙනුවෙන් මගේ දායකත්වය ලබාගැනීම ගැන මම අරලිය කණ්ඩායමට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. දිගු කලක් පැවති අපේ ඇසුර නිසා දැන් අප අතර ඉතා සමීපබවක් ගොඩනැඟී තිබෙනවා. ඒ ශක්තිය ඉතා උසස් ප්‍රසංගයක් රසිකයාට තිළිණ කරන්නට ඉමහත් අත්වැලක් වී ඇති බව කියන්නට සතුටුයි. 'සුසර ගී රාවේ' රසවිඳින්නට එක්වන ලෙස මා සියලුම සුභාවිත ගී රසික සහෘදයන් වෙත ආරාධනා කරනවා.
සංවාද සටහන - පුෂ්කර වන්නිආරච්චි