මේ දිනවල විකාශය වන 'හාර කෝටිය' ටෙලිනාට්‍යයේ දෝනිගේ චරිතය හරහා බොහෝ දෙනෙකුගේ සිත් දිනාගත් ජාන්වි අප්සාරි තවමත් පස් හැවිරිදි ළමා තාරකාවකි.
මේ දිනවල විකාශය වන 'ප්‍රාණ', 'ත්‍රිමාණ' සහ ඉදිරියේදී විකාශය වන 'කඩවර අඩවිය', 'මදුමතී' යන ටෙලි නාට්‍යවලටද රංගනයෙන් දායක වන ඇය, මිනුවන්ගොඩ, ආරංගාව ප්‍රාථමික විද්‍යාලයෙන් පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නියකි. ඉදිරියේදී තිරගත වීමට නියමිත 'උසස් පෙළ' චිත්‍රපටයේද ප්‍රධාන චරිතය නිරූපණය කරන ඇය පිළිබඳ සටහනක් තැබීමට අප සිතුවේ එබැවිනි.
Q අප සමග මේ සඳහා පළමුව සම්බන්ධ වූයේ ඇයගේ පියා වන ශම්මි අබේවර්ධනයි.
මේ වනවිට මගේ දුව 'උසස් පෙළ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකුත් රඟපානවා. ඇය රඟපාන්නේ උමාලි තිලකරත්න සහ තුමිඳු දොඩම්තැන්නගේ දුව විදිහට. දුවගේ සීයාට ඉන්නේ ජයලත් මනෝරත්න. ඊට අමතරව ඇය දැන් වෙළෙඳ දැන්වීම් අටකටත් සම්බන්ධ වෙලා තියෙනවා. තවත් පහක් විකාශය වීමට නියමිතයි.
හැබැයි ඒවාට නම් එච්චර කැමැත්තක් නැහැ. මොකද වෙළෙඳ දැන්වීම්වල රූපණයෙන් කරන්න යමක් නැහැ කියලයි දුව කියන්නෙ, පෙනී සිටීමක් විතරයිලු තියෙන්නෙ.
ඇය රඟපෑ චාමර ජිනරාජ් පීරිස් අධ්‍යක්ෂණය කළ 'ත්‍රිමාණ' ටෙලිනාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. ඒ වගේම ඔහුගේම නවතම ටෙලි නාට්‍යයේ රූගතකිරීම් ආරම්භ කිරීමට නියමිතයි.
ඇය රූපණයේ යෙදෙන ආකාරය අපූරුයි. දුවට කිසිම දෙබසක් කලින් දෙන්නේ නැහැ. පසුතලයේදී මිනිත්තු පහකට කලින් තමයි දෙන්නෙ. හැබැයි එයා සුළු මොහොතකින් ඒ සියලුම දෙබස් කටපාඩම් කර ගන්නවා. සමහර වෙලාවට සමහර දෙබස් එයාම හදාගෙන කියන අවස්ථා තියෙනවා.
අනික එයා නිතරම ප්‍රශ්න අහන කෙනෙක්. ප්‍රශ්න පත්තරයක් කිව්වොත් නිවැරදියි. ඒක 'හාර කෝටිය' ටෙලි නාට්‍යයේ තමයි වැඩිපුරම දකින්න පුළුවන් වෙන්නෙ. හැබැයි එයා සාමාන්‍ය ජීවිතේදීත් එහෙම තමයි. කොහොම වුණත් කලාකරුවො හැමෝම ආදරෙයි දුවට. එයාට ගොඩක් උදව් කරනවා.
Q කොහොමද දුවට රංගනය සඳහා අවස්ථාව ලැබෙන්නෙ?
පසුගිය අවුරුද්දෙ මැයි මාසේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී දුවව චාමර සමරවික්‍රම මුලින්ම දැක්ෙක්. ඉන් පස්සෙ සද්ධාමංගල සූරියබණ්ඩාර ළඟට දුවව අරගෙන ගියා. හැබැයි එදා එක්ක ගෙන ගියේ නම්, රූපවාහිනී වෙළෙඳ දැන්වීමකට. ඉන් පස්සේ තමයි කැමරා අධ්යක්ෂ රුවන් කොස්තා දුවගේ දක්ෂතාව දැකලා තිර පරීක්ෂණයකට ඇතුළත් කරමු කියලා යෝජනා කළේ.
මොකද ඔහුට ඕනෑ කළා දුවව චිත්‍රපට ක්ෂේත්රයට හඳුන්වා දෙන්න. ඒ අනුව තමයි දුවට රොහාන් පෙරේරා අධ්‍යක්ෂණය කරන 'උසස් පෙළ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට දායක වෙන්න ලැබෙන්නේ. අනික දුවට රඟපාන්න ලැබුණෙ ඉතා අසීරු චරිතයක්. කම්පනයට පත්වෙලා තැතිගැන්මෙන් ඉන්න චරිතයක්. ඒත් දුව ඒ චරිතයේ හොඳින් රූපණයේ යෙදුණා.
Q අධ්‍යාපන කටයුතු සමබරව පවත්වා ගෙන යන්නෙ කොහොමද?
පංතිය භාර ගුරුතුමිය වන චාමරී මහත්මිය පවා දුවට විශාල සහයෝගයක් ලබාදෙනවා. අතපසු වෙන සියලු පාඩම් ඇය දුවට ඇයගේ ගෙදරට එන්න කියලා උගන්වනවා. මොකද දුව ඉගෙනීමටත් දක්ෂයි. ඒ නිසා ඇයගේ පෙර පාසලත් (MINUWANGODA KIDS LAND), එහි විදුහල්පතිනී මධුරි අරෝෂා මහත්මියවත් මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන.
ඔවුන් තමයි ඇයගේ නර්තන හැකියාවට පවා විශාල සහයෝගයක් ලබා දුන්නෙ. අනික එයාට අවුරුදු අටක සහෝදරියකුත් ඉන්නවා. ඇයත් දුවට අම්මා වගේම සහයෝගය දක්වනවා. ඒ වගේම පාසලේ පංති භාර ගුරුතුමිය වන රෝසි කරුණාතිලක මහත්මියවත් මතක් කළ යුතුයි. ඒ හැමෝම ඇයට සුබ පතනවා. ඒ නිසා එයාලටත් මේ සාර්ථකත්වයේ ස්තුතිය පිරිනැමිය යුතුයි.
Q කලා ලෝකය ගැන දුව මොකද හිතෙන්නෙ?
එයා අහනවා ලෝකය කියන්නෙ මොකක්ද කියලා. අපි තමයි ඒ නිසා ඒ ගැන තේරුම් කරල දුන්නෙ. ඊට පස්සෙ එයා අහනවා චිත්‍රපටවලත්, නාට්‍යවලටත්, වෙළෙඳ දැන්වීම්වලටත් වේශ නිරූපණය කරනවද කියලා. මොකද එයාට ඕනලු වේශ නිරූපණ ශිල්පිනියක් වෙන්න. ඒත් රූපණය අතහරින්නේ නැතිලු. දුව ගොඩක්ම කැමැති ටෙලි නාට්‍යවලට.
Q මොකක්ද දුවගේ අනාගත බලාපොරොත්තුව?
එයා මුලින් හිතාගෙන හිටියෙ නීතිඥවරියක් වෙන්න. හැබැයි දැන් ඇය කැමැත්ත දක්වන්නෙ වේශ නිරූපණ ශිල්පිනියක් වෙන්න. ඒත් එයාට ගැළපෙන්නෙ නීතිඥ වෘත්තිය. මොකද එයා නිතරම ප්‍රශ්න අහන කෙනෙක්. දුවට මාසෙකට දින 12ක් පමණ රූගතකිරීම් තියෙනවා. ඒ නිසා පසුගිය දිනවල ලැබුණු චිත්‍රපට ආරාධනා කිහිපයකුත් මගහැරියා. මොකද දුවට ඒ සඳහා කාලය මදි.