හත්කුලුඳුල් කරන්නට ගොස් තමා හත්පොලේ ගාගත් බව පසුගිය වසරේ ප්‍රදර්ශනය වූ සිංහල චිත්‍රපටයක නිෂ්පාදකවරයෙකු මා සමග පැවසුවේ දැඩි කලකිරීමකිනි. ඔහුගේ චිත්‍රපටයේ ප්‍රධාන නිර්මාණශීලී තනතුරු හා කාර්මික පිරිසේ බහුතරයකගේ පළමු සිනමා හීනය සැබෑ කරවීමට තමා උදව් කළද ඔවුන් තමාට පිටුපෑ අන්දම ඉතා ශෝචනීය බව ඔහු මාහට පැවසුවේය. එම චිත්‍රපටය මුදල් ලැබීමෙන්ද සතුටුදායක ප්‍රතිඵල නොලද්දේය. මේ කතාව සිංහල චිත්‍රපට නිෂ්පාදනය කරන ලද එක් නිෂ්පාදකවරයෙකුගේ කතාවක් පමණි.
ශ්‍රී ලංකාව තුළ ජනතා ආකර්ෂණය ලද හැකි සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනයෙන් ලැබෙන ආදායම සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 700-1000ත් අතර නම් ඉන් නිෂ්පාදකට ලැබෙන්නේ සියයට 40-45ක් බව සහසුද්දෙන්ම දන්නේ නම් අධික පිරිවැයක් යොදා තමාම නිපදවන සිනමාවේ නිරතවන වත්මන් නිෂ්පාදකවරුන්ගේ අරමුණු කවරාකාරද?
තමා කරන ලද සිංහල චිත්‍රපටය සාර්ථක ජනතා ආකර්ෂණයක් ලැබ රුපියල් ලක්ෂ 1000ක ආදායමක් ලදොත් නිෂ්පාදකට ලැබෙන්නේ රුපියල් ලක්ෂ 400කි. එම චිත්‍රපටයට වියදම් කර ඇති මුදල ලක්ෂ 400 නම් නිෂ්පාදකවරයාට ඉන් ලැබෙන ලාභයක් නැත. චිත්‍රපටයේ ලද ආදායම ලක්ෂ 700 නම් නිෂ්පාදකට ලැබෙන්නේ දළ වශයෙන් ලක්ෂ 300ටත් අඩු මුදලකි.
එය එසේනම් ලංකාවේ ප්‍රදර්ශනයට බලාපොරොත්තු වන චිත්‍රපටයක් වෙනුවෙන් වියදම් කළයුතු මුදල රුපියල් ලක්ෂ 300 නොඉක්ම විය යුතු අතර, එම මුදලින් චිත්‍රපටයක් නිර්මාණය පමණක් නොව ප්රචාරණයද කළ යුතුය. එය එසේ නම් තම ව්‍යාපාර තුළින් මුදල් රැස්කර ගැනීමට මනා දැනුමක් ඇති ව්‍යාපාරිකයා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන විට අත දරුවකුගේ තත්ත්වයට පත්වන්නේ ඇයි?
ඒ වෙන කිසිවක් නිසා නොව අප චිත්‍රපට අධ්‍යක්ෂකවරු දන්නා නිෂ්පාදනයට ව්‍යාපාරිකයෙකු යොමු කරවීමේ විවිධ උපක්‍රමය. (ඒවා ප්‍රසිද්ධ මාධ්‍යයෙන් කතා කිරීම ගෝචර නොවේ)ව්‍යාපාරිකයන් චිත්‍රපට නිර්මාණයට මුදල් වියදම් කරන්නේ වියදම් ලංසුව නිවැරදිව දැනගෙන නොවේ.
මෙසේ විවිධ උපක්‍රම යොදාගනිමින් සිනමා නිෂ්පාදකවරු ගණනාවක් අමාරුවේ දැමූ ඓතිහාසික කතා අධ්‍යක්ෂකවරයෙකු ඊයේ පෙරේදා පැවති සිනමා සංවාදයකදී කතා කළේද දැවැන්ත වියදමක් දරා චිත්‍රපට නිෂ්පාදනය කළයුතු බවයි. ඔහු කළ චිත්‍රපට වල නිෂ්පාදකවරු හමුවූවා නම් නිළිය පෙන්නා නිෂ්පාදකවරුන්ට බිලී කොකු ඇමිනූ අන්දම නිෂ්පාදකවරුන්ගෙන්ම දැනගැනීමට පුළුවන්කම ලැබෙනු ඇත.
අලුත් පරපුරකට අත දීමේ මුවාවෙන් පංති පවත්වමින් තවදුරටත් තරුණ පරපුරක් නොමග යවන මේ එදා වේල වෙනුවෙන් සිනමාව කරන පැරණියා සිනමාවට කර ඇති හානිය අප සඟවාගෙන සිටිය යුතුද? රංගනයට අවස්ථාව දෙන බව පවසා තමාගේ පංතිවලට තරුණ තරුණියන් එකතු කරගෙන මේ පුද්ගලයා එම පිරිස ඔහුගේ චිත්‍රපටවල සමූහ දර්ශන වලට භාවිතකොට නොමග යැවූ අන්දම මීට පෙර ඔහුගෙන් ශිල්ප ලැබීමට සුදර්ශියට ගිය අය අනිවාර්යෙන්ම දන්නවා ඇත.
මෙවැනිම වූ පැරණි අධ්‍යක්ෂකවරයෙකු වූ පැරණි සිනමා කැමරා ශිල්පියකුගේ අලුත් සිංහල චිත්‍රපටයේ දුර ඈත ගම්මානයක කෙරෙන රූගත කිරීම් කාලය දින 70 ක් වීමෙන්ම පෙනෙන්නේ රති සැප විඳිමින් මවන අරමුණක් නැති සිනමා ප්රෝඪාවක නිෂ්පාදකවරයාව අතරමං කර ඇති බව නොවේද? මේ රති සැප අතරට බෝතලයද එක්වූ විට නිෂ්පාදකගේ වියදම සුළුපටු නොවීම ස්වාභාවිකය. පැය දෙකක චිත්‍රපටයක් නිර්මාණයට මේ හා කාලයක් අවැසිද?
සමාජය තුළ පිළිනොගන්නා ව්‍යාපාර තුළින් මුදල් සරි කරගත් ඇතැමෙකු සමාජය තුළ වැදගත් බවක් පිළිගත් බවත් ඇතිකර ගැනීමටද චිත්‍රපට නිෂ්පාදනයට එක්වෙති. එවැන්නෝ තෝරාගන්නා විෂය තුළ ඇත්තේ තමන් සාදු ගුණෝපිත දේශයට වැඩදායක හික්මුණු නිවුණු දිවියක් ගෙවන බව හඟවන යටිපෙළයි. ඔවුන්ගේ එම පව් සෝදා ගැනීමේ සිනමාවේදී ඔවුන් කරන වියදමද සුළුපටු නොවේ. ඉන් ලාභ නොලැබුවද ඔවුන්ට කම් නැත. ඔවුන් නිපදවන චිත්‍රපටය හරහා ඔවුන්ගේ කළු සල්ලි සුදු සල්ලි බවට හැරීමද සිදුවෙයි.
තවත් අපූරු නිෂ්පාදකවරයෙකුද අපේ සිනමාවේ සිටියි. කරන ලද සියලුම චිත්‍රපටවලින් පාඩු ලැබුණු බව ඊයේ පෙරේදා ඔහු නිෂ්පාදනයට අරඹන ලද චිත්‍රපට මුහුරත් උලෙළකදී දුක්මුසුව පැවසූ ඔහු නිෂ්පාදනය කරන ලද සෑම සිනමාපටයකම අධ්‍යක්ෂකවරයා හෝ අවශේෂ ශිල්පීන් සමාජය තුළ ඉතා ඉහළ බුහුමන් ලද අය වූහ. සිනමාවේ බුහුමන් ලද එම බහුතරය ආදායම ලද හැකි සිනමාවක් නොකළහ. මේ නිෂ්පාදකවරයාට නිෂ්පාදනයෙන් පාඩු ලැබුවද අවශ්‍යව ඇත්තේ ලොකු පොරවල් ඇසුරේ තම නිෂ්පාදන භූමිකාව කරගෙන යෑමටයි. ඒ හීනය පවතින තුරා මේ කපේදී සරසවි දේවියගේ පිහිට ඔහුට ලැබුණද සිනමාවෙන් සරස්වතී දේවියගේ පිහිට නම් නොලැබෙනු නියතය.
තම සමාජ තත්ත්වය රැකගැනීම සඳහා එක අතකින් තොරන් සිනමාව කරනු ලබන ලංකාවේ නිෂ්පාදකවරුන්ගෙන් ඇතැමෙකු අද අගමැතිවරු පක්ෂනායකයන් පිළිබඳවද චිත්‍රපට නිර්මාණයට එක්වී සිටිති. මේවා සිනමා නිර්මාණනම් ඒවා නැරඹීමට ජනතාවද සිටීනම් අමුතුම අන්දමේ වාර්තා චිත්‍රපට නැරඹීමට රිසි ප්‍රේක්ෂකයන් පිරිසක් ලංකාව තුළ බිහිවී ඇති බවට අලුත් අරමුණක් අපට ඇතිකරගත හැකිය.
පසුගියදාක ෆේස්බුක් අඩවියක රෝහණ විජේවීරගේ ජීවිත කතාව පිළිබඳ නැගෙන චිත්‍රපටයේ වියදම ලෙස ශ්‍රී ලංකා රුපියල් මිලියන 150ක් ලෙස දක්වා තිබුණි. අපේ තර්කයට අනුව මෙවැනි වියදමක් දරා චිත්‍රපටයක් නිෂ්පාදනය කර ලාබ ලැබිය නොහැක.
මේ චිත්‍රපටයට මුදල් යෙදූ අය සිනමාවේ වියදම් නියමාකාරයෙන් දන්නේ නැති බව එයින් පෙනේ. මේ නිසා මෙම චිත්‍රපටයේ වියදම ගැන ජ.වි.පෙ සොයා බලනවානම් වැදගත්ය. පෙරකී අයුරින් ලක්ෂ 300ක මුදලට වඩා චිත්‍රපටයකට වියදම් කළ නොහැකි බවට රජය විසින් නීති සම්පාදනය කරන්නේ නම් සිනමා භාවිතයෙන් තමන්ගේ කළු සල්ලි සුදු සල්ලි බවට හැරවීමට ඇතැමෙකු ගන්නා උත්සාහයද දියාරුවනවා නියතය.
ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන මෙම චිත්‍රපට නිෂ්පාදකවරුන් සඟවන ලද ආදායම විමසා බැලීමටත්, ඔවුන්ගේ ව්‍යාපාරවල යටගිය තොරතුරු ග්‍රහණය කර ගැනීමටත්, ඔවුන් කරන ලද චිත්‍රපට වියදම විශ්ලේෂණයෙන් ලද හැකි බවද මතක් කරමු.
එමෙන්ම චිත්‍රපටයක් නිෂ්පාදනයට ව්‍යාපාරිකයෙකු පොළඹවාගන්නා අධ්‍යක්ෂකවරු චිත්‍රපටය නිර්මාණය කළ පසු ප්‍රදර්ශනයේදී එම බර නිෂ්පාදක පිට පටවා මඟහැර සිටීම අද සුලභ ලකුණක් බවට පත්ව තිබේ. කර්මාන්තයක කඩා වැටීමට මූලික වූ මෙවැනි අධ්‍යක්ෂකවරු මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමටද, ඔවුන්ගේ සිනමා ගමන නැවැත්වීමටද නීතිසම්පාදනයද අද කඩිනමින් කළයුතු තවත් කාර්යයකි.
අලුත් කෙනෙකු චිත්‍රපට නිෂ්පාදනයට රිසි නම්, ඊට පෙර කළ යුත්තේ වෙනත් ව්‍යාපාරවල ප්රාග්ධනය යෙදීමට පෙර කරන ශක්‍යතා වාර්තාවක් මේ සම්බන්ධයෙන්ද ලබාගැනීමයි. කෙනෙකු සමග මධුවිත තොලගෑමෙන් පමණක් එය ලබාගත නොහැකිය. තොරතුරු ගවේෂණය තරමක් අසීරු දෙයකි. තොරතුරු සොයන චිත්‍රපට නිෂ්පාදකවරු මුලා කිරීමේ කාර්යයේදී ජාතික චිත්‍රපට සංස්ථාවේ ඇතැමෙක් පෙරමුණ ගෙන සිටිති. ඔවුන් දෙන තොරතුරු බොහෝවිට චිත්‍රපට නිපදවීමට තොරතුරු සොයන ව්‍යාපාරිකයන් නොමග යවන සුළුය.
චිත්‍රපටවලට මාධ්‍ය කැඳවීම් කිරීමේදී ඒවා අතට ගැනීමද චිත්‍රපට සංස්ථාවේ ඇතැමෙකු අතින් සිදුවේ. ඔවුන් මේ සඳහා තෝරාගන්නා පුද්ගලයා සැබැවින්ම නිෂ්පාදකවරයාගේ චිත්‍රපටයට හරවත් දායකත්වයක් ලබාදීමේ අරමුණින් තොරව කටයුතු කරති.
සිනමා දැක්මට නොපැමිණියද චිත්‍රපටයකට ප්‍රචාරය ලබාදෙන සැබෑ ඇත්තන් සිටින්නේ මාධ්‍ය ආයතන තුළ ඉතා නිහඬව බව අලුත් නිෂ්පාදකවරු නොදනිති. මෙය වැරදි තොරතුරු ලැබීමේ එක අවස්ථාවක් පමණකි. චිත්‍රපටයක් නිෂ්පාදනයට පෙර කාලයක් ක්ෂේත්‍ර‘යේ සැරිසැරීම තුළින් බටහිර රටවල මෙන් නිවැරදි පුද්ගලයන් තම සිනමා නිර්මාණයට එක්කර ගැනීමේ තොරතුරු දන්නා නියම නිෂ්පාදකවරයෙකු බවට ඔබටද පත්විය හැක.
පද්මකුමා පී. මෙත්තසේන