මුලින්ම සිතිජය චිත්‍රපටයට ගීත ගායනයෙන් දායක වූ ඔහු ප්‍රේක්ෂකයන්ට දැකගත නොහැකි විය. පසුව ඔහු හඳුනාගත්තේ දෑස නිසා චිත්‍රපටයෙනි. දක්ෂ වයලීන් වාදකයෙකුද වන ඔහු ගුරුවරයෙකි. මේ වනවිට විශ්‍රාම සුවයෙන් සිටින ඔහු සොඳුරු අතීතය නම් ඔහුගේ ගී ප්‍රසංගය තුළින් රට වටා සිටින රසිකයන්ට රසවින්දනයක් ලබාදෙයි. ඔහු ටී.එම්. ජයරත්නය. මේ කතාබහ ඔහු සමගය.
Q සොඳුරු අතීතය ප්‍රසංගය ගැන මුලින්ම කතා කරමු?
මෙය නර්තනය නැති ගීත ගායනය පමණක් තිබෙන ප්‍රසංගයක්. එහි යුග ගායනා කරන ගීත හතරක් පමණ තිබෙනවා. ඒ වගේම ගීත කිහිපයකම එකතුවක් තිබෙනවා. මෙම වැඩසටහන ඉදිරිපත් කරන්නෙ වසන්න රෝහණ. ගීත ගැන කතාබහ කරමින් මෙය ඉදිරිපත් කරනවා. මෙහි ගීත විසි අටක් පමණ ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා.
Q 2013 ආරම්භ කළ සොඳුරු අතීතය සාර්ථකද?
මේක බොහොම හෙමින් යන ගමනක්. ප්‍රසංගය ඉල්ලන බොහෝදෙනෙක් ඉන්නවා. නමුත් ඉල්ලන හැමකෙනෙකුමට අපි එය ලබාදෙන්නෙ නැහැ. අපිට වඩා පෙර ප්‍රසංග ආරම්භ කළ අය නොයෙක් දුෂ්කරතාවලට මුහුණදුන්න අවස්ථා තිබෙනවා. මගේ ඒකපුද්ගල ප්‍රසංගයට පෙර අපි %ගී^ නමින් ප්‍රසංගයක් කළා. මමත් සෝමසිරි ජයමහ හා නීලා වික්‍රමසිංහ ප්‍රසංගයක් කළා. එහිදීත් කරදරවලට මුහුණපාන්න වූ අවස්ථා කිහිපයක්ම තිබෙනවා. අපි තනි පුද්ගලයෙකුට ප්‍රසංග ලබාදීමේ කටයුත්තෙන් බැහැර වී තිබෙනවා. සංගම් මගින් තමයි මේ ප්‍රසංගය බොහෝ විට ඉදිරිපත් වන්නේ. ලේ කෝප වෙන ළමා පරපුරටත් අවැඩක් වෙන ආකාරයට මෙය සිදුකරන්නේ නැහැ. වයස් සීමාවකින් තොරව මෙය රස විඳිනවා.
Q 2013 වර්ෂය වනතුරු ඒකපුද්ගල ප්‍රසංගයක් නොකර ඔබ නිහඬව සිටින්නේ ඇයි?
මට ඕනකමක් තිබුණෙ නැහැ ඒකපුද්ගල ප්‍රසංගයක් කරන්න. නමුත් මීගමුවේ තරුණ යුවළක් ඉල්ලීමක් කළා. මම ඒ පිළිබඳවත් එතරම් සැලකිලිමත් නොවුණ නිසා මගේ බිරිඳට ප්‍රකාශ කරලා එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මෙය සිදුකළේ. දැන් වසර දෙකක පමණ කාලයක් මෙය සිදුකරනවා. අංක ඉහළ දාගන්න එක දිගට ප්‍රසංග සිදුකරන්නෙ නැහැ.
මේ වැඩේ හෙට නතර වුණත් ඉහළ රසවින්දනයක් ලබාදෙන්න මම ගීත ඉදිරිපත් කරනවා. අදත් මෙය හිමින් යන ගමනක්. සංගීතය මුලින් රෝහණ වීරසිංහ මහතා සිදුකළේ. නමුත් කාර්ය බහුලත්වය නිසා සුසිල් අමරසිංහ සමග ඒ කටයුත්ත සිදුවෙනවා. කිසිම කෙනෙක් ඉවත් කරමින් තරගකාරීව යන ගමනක් නෙමෙයි මේ. සියලුදෙනා එක්ව ඒකාබද්ධ වෙමින් යන ගමනක් මේක. ඒ අවබෝධය මුල සිටම අප කණ්ඩායම තුළ තිබුණා.
Q ප්‍රසංග වේදිකාව තුළ අඩු මුදලක් අය කරන ගායකයෙක් ලෙස ඔබ හඳුන්වනවා. යම් මට්ටමක ස්ථාවරත්වයක් රඳා පවත්වා ගැනීමට එය හේතුවුණාද?
ලෝකයේ පිළිවෙළක් කියලා දෙයක් තිබෙනවා. අපි පාසල් යන කාලෙ හාල් සේරුවක් ශත 25 ටත් තිබුණා. රජය මගින් නොමිලෙත් දුන්නා. පාන් රාත්තල ශත 28 යි. කිරි තේ ඒක ශත 10 යි, ටී බනිස් ගෙඩිය ශත 12 යි. නමුත් එදත් ඒක විකුණුනා, අදත් ඒක විකිණෙනවා. මිනිස්සු මිලදී ගන්නවා. ඒකෙ වෙනසක් නැහැ. ඉදිරියට යන කාලෙටත් ඒක එහෙමයි. නමුත් අද ගායන ක්ෂේත්රයෙ වගේම හැම ක්ෂේත්රයකම ඉන්නවා ප්‍රවීණත්වයට පත්වූ අය. ඔවුන් අය කරන මුදල් ටිකක් වැඩියි. ඒ මුදලට සාපේක්ෂව අනිත් අයගේ මිල තීරණය වෙනවා. ලොකු පොල් ගෙඩිය රුපියල් 60 යි නම් ඊළඟ ගෙඩිය 50 යි. තවත් පොඩි නම් 45 යි. නමුත් වත්කමේ හැටියට මිනිසුන් පොල් අරගෙන යනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. වෙන වෙනසක් වෙලා නැහැ. එනිසා මම ඒ ස්ථාවරයේ ඉන්නවා.
Q නමුත් කෙටි කලකින් ක්ෂේත්රයේ ජනප්‍රිය වූ අය එක් පැයකදී විශාල මුදලක් උපයනවා?
මම ඒවා සංසන්දනය කරන්නෙ නැහැ. මගේ ස්ථාවරය හදාගෙන මම ඒ ගමන හෙමින් යනවා. සුපිරි වෙළෙඳ සැල්වල මිල ගණන් ගහලා තිබුණම වාහනවල ඇවිත් ගන්න අය ඉන්නවා. ඒ වගේම ගමේ සාමාන්‍ය කඩයක් දාගෙන ඉන්න මුදලාලිටත් පාරිභෝගිකයන් ඉන්නවා. ගමේ මුදලාලිගෙ භාණ්ඩ සුපිරි වෙළෙඳ සැල්වල මිලට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. මම ස්ටාර්ස්ලා ගැන තකන්නෙ නෑ.
මම ආපු ගමනක් කියනවා. අපේ ක්ෂේත්රයේ දොහොත්මුදුනින්ම ඉන්නෙ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්. එතුමත් මේ රටාව ගැන සැලෙන්නෙ නැහැ. එතුමටත් ස්ථාවරයක් තියෙනවා. ඔය මොන දේ සිදුවුණත් ස්ථාවරයක් ඇති කෙනා ගැටුම් ඇති කරගන්නෙ නැහැ. ස්ථාවරයක් නැති කෙනා තමයි එක එක දෙසට සැලෙන්නෙ. යථාර්ථය කියලා දෙයක් තිබෙනවා. ඒ යථාර්ථයට මුහුණදෙමින් තමයි මේ ගමන යායුත්තේ.
Q ගායනයෙන් ලැබූ ඇගයීම් ගැන තෘප්තිමත්ද?
මම ඇගයීම් තාන්නමාන බලාගෙන ආව ගමනක් නෙමෙයි. මම එකම අරමුණක යන්නෙ. මම මගේ ගමන යනවා. ඒ ඔස්සේ ලැබෙන තැනට තෑගි ගන්න යන තැනක මම නැහැ. සුදුස්සාට සුදුස්ස ලැබෙයි. ඇතැම් විට සුදුස්සා සිටියදී නුදුස්සාට තෑග්ග ලැබෙයි. ඒක සමාජයේ හැටි. එයට උරණ වන්නත් වැඳ වැටෙන්නත් හොඳ නැහැ. ඒක තමයි ලැබීම.
Q සොඳුරු අතීතය ඇත්තටම සොඳුරුද?
අතීතය සුන්දර නම් තමයි සොඳුරුකම් ගැන කතා කළ හැක්කෙ. සොඳුරු අතීතය හරි සොඳුරුයි. මගේ බිරිඳ සොඳුරු අතීතයක් ගැන ගීතයක් ලිව්වා. දැන් අවුරුදු හතළිස් හතරක් පමණ ක්ෂේත්රයට ඇවිත්. මේතාක් කාලයක් ක්ෂේත්‍ර‘යේ රැඳී ඉන්න හිමින් ආ ගමන හොඳ වෙන්න ඕන. ඒ ගමන නරක මගකින් ආව නම් මගදීම ගඟේ පාවෙන කොටයක් වෙනවා. අපි හෙමින් ආවා.
වේගයෙන් යන අයට ඉඩදෙමින් අවදානම් බලමින් ඉදිරියට යනවා. ගුරුවරයෙක් ලෙසත් කටයුතු කර දැන් විශ්‍රාම සුවයෙන් ගීත ගායනය සිදුකරමින් ඉන්නවා. දහම පෙරටුකොට යන ගමනේ අවසාන යහපත සිදුවෙන්නෙ. ඒ නිසාම තමයි සොඳුරු අතීතයක් තියෙන්නෙ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්, සරත් දසනායකයන්, අමරසිරි පීරිස්, රෝහණ වීරසිංහ, කැලැරන්ස් විජේවර්ධන, එච්.එම්. ජයවර්ධන, ෂෙල්ටන් ප්‍රේමරත්න වැනි සංගීත ක්ෂේත්‍ර‘යේ පිරිස් ඒ අතීතයේ හමුවුණා. ඒ අත්දැකීම් දැනුම් සම්භාරය සොඳුරුයි.
නිඳුක් මධුශික