නිදහස් සටනේ පුරෝගාමියා වූ දේශමාන්‍ය ඩී. එස් සේනානායක ශූරීන්ගේ ජීවිත කතාව ඇසුරින් සුනෙත් මාලිංග ලොකුහේවා නිර්මාණය කළ ‘‘%නිදහසේ පියා ඩී.එස්’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා, ඩී.එස්. සේනානායක සහ
එෆ්.ආර්. සේනානායක පරපුරේ සාමාජිකයන් වෙනුවෙන් පැවැත්විණ. මෙම අවස්ථාවට ඩී.එස් සේනානායකයන්ගේ මුණුබුරු රුක්මන් සේනානායක මහතා මෙන්ම, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහ එෆ්.ආර්. සේනානායක පවුලේ සාමාජික පිරිසක් සමගින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු සීමිත ආරාධිතයන් පිරිසක් සහභාගී වූහ.
චිත්‍රපටය නරඹා අවසානයේ පවුලේ සාමාජිකයන්ගේ පොදු අදහස වූයේ මෙහි අන්තර්ගතය, නිමාව මෙන්ම ඩී.එස්. සේනානායක ශූරීන්ගේ චරිතය ගොඩනගා ඇති අන්දම ඉතාමත් විශිෂ්ට තත්ත්වයක ඇති බවයි. එතුමන්ගේ චරිතාපදානය එළිදැක්වීමට මෙතරම් කාලයක් ගතවීම පිළිබඳ තමා කණගාටු වන බැව් පවසමින් ඩී.එස් සේනානායකයන්ගේ මී මුණුබුරු විදේශ කණටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා චිත්‍රපටය පිළිබඳව තම අදහස් පළ කළේ මෙසේයි.
‘‘ඇත්ත වශයෙන්ම අපට සතුටු වෙන්න පුළුවන් හොඳ චිත්‍රපටයක්. ජාතික නායකයෙක් වූ ඔහු ගැන, විශේෂයෙන් ජාතියේ පියා ගැන. බොහෝ රට වල ඒ අයගේ ජාතික වීරයන් පිළිබඳව මේ වගේ චිත්‍රපට නිෂ්පාදනය වෙලා තියෙනවා. ලංකාවේ එලෙස නිර්මාණය කරපු පළමුවැනි චිත්‍රපටය මෙය යැයි කියා මා විශ්වාස කරනවා. ඒ නිසා මම විශේෂයෙන් සතුටු වෙනවා. ආඩම්බර වෙනවා. මේක දැන් කරන්න තිබුණ දෙයක් නොවේ. මෙයට අවුරුදු ගණනකට පෙර විය යුතුව තිබූ දෙයක්. මම රට වෙනුවෙනුත්, පෞද්ගලිකව පවුලේ කෙනෙක් විදියටත් මේ අවස්ථාවේ විශේෂ ස්තුතියක් පුදකරනවා.
නිදහස වෙනුවෙන් නිදහස ගැන කතා කරනවා මිසක් ඒ වෙනුවෙන් කොපමණ කැපවීම් කළාද, ජීවිත පූජා කළාද කියා බොහෝදෙනෙක් දන්නෙ නැහැ. ඇත්තටම අපි කිව්වට ලේ බිඳුවක් නොහෙළා ගත්ත නිදහසක් කියලා නිදහස ලැබීමට අවුරුදු කිහිපයකට පෙර එය සත්‍යයක් වූ නමුත්, ඊට පෙර හෙන්රි පේද්‍රිස් වැනි වීරයන් තමන්ගේ ජීවිත ජාතියේ නිදහස වෙනුවෙන් පරිත්‍යාග කළා. ඒ වගේ නායකයනුත් ඩී.එස්. සේනානායක මහතා සමගින් මෙම නිර්මාණය තුළ සිහිපත් කිරීම ඉතාමත් වැදගත් වෙනවා.
සමහර අය හිතනවා මේ නිදහස නිකම්ම ලැබුණ දෙයක් කියලා. ඩී.එස්. සේනානායක මහත්මයා සිරබත් කෑවා කියලවත් ෙබාහෝ අය දන්නෙ නෑ. මම හිතන්නේ ඒවා මේ චරිතේ ප්‍රධාන ලක්ෂණ. එතුමාගේ සහෝදරයා එෆ්. ආර්. සේනානායක මහතා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා බැරිස්ටර් උපාධිය අරගෙන ලංකාවට ආවට, ඩී.එස්. සේනානායක මහත්මයා ඉගෙනුම අතින් ඉදිරියට ගියේ නෑ. ඒ වුණාට එතුමාට හොඳ ප්‍රායෝගික දැනුමක් තිබුණා කෘෂිකර්මාන්තය හා මේ රටේ පොළොව ගැන. ඒ වගේම මේ රටේ ජනතාව පිළිබඳව එතුමාට ලොකු හැඟීමක් තිබුණා. ඒවා තමයි මේ නිර්මාණයේදී එතුමාගේ චරිතෙන් ඉස්මතු වෙන්නේ. අනෙක මොන දේ වුණත් එතුමාගේ පසුබසින්නේ නැති අධිෂ්ඨානශීලී ගතිය ඒවා එතුමාගේ චරිතය තුළ තිබුණ විශේෂ ලක්ෂණ. ඒ වගේම එතුමා ප්රජාතන්ත්රවාදියි. ඒ බව බොහෝම පැහැදිලිව මෙයින් පිළිබිඹු වෙනවා. මෙම නිර්මාණකරුවන් එතුමා ගැන ලොකු සමීක්ෂණයක් කර ඇති බව මට හැඟුණේ, එතුමාගේ ඇත්ත චරිතයට බොහෝමත් සමාන වූ ගති පැවතුම් පවා ඉදිරිපත් කර තිබීමෙන්. මෙය ඉතාමත් සාර්ථක නිර්මාණයක් ලෙසයි මා දකින්නේ.
ඒ වගේම ඩී.එස් සේනානායක කියන චරිතයට ඉතාමත් හොඳ සාධාරණයක් වෙලා තියෙන බවත් කිව යුතුයි. එතුමාගේ අභාවයෙන් පසුව ගෙවී ගිය කාලයේදී අපි නිදහස ලබාගත් ආකාරය පිළිබඳව එක එක දුර්මත හා විවිධ අදහස් ප්‍රකාශ වී තිබුණා. එතුමාගේ පවුල් පසුබිම පිළිබඳවත් විවිධ කතා පැතිර තිබුණා. ඒ අතර ඇත්ත නොවන කතාත් බොහොමයි. මෙම චිත්‍රපටයෙන් එතුමාගේ සැබෑම ජීවිත කතාව පෙන්නුම් කරන නිසා, දුර්මත දුරුවී එතුමා පරිත්‍යාග කරපු දේවල්, එතුමාගේ ජීවිතය ගොඩනැගුණු හැටි, එතුමාගේ පවුල් ජීවිතය වැනි සියල්ල ගැනම සත්‍ය නිරූපණය කර තිබීම පිළිබඳව මා ගොඩක් සතුටු වෙනවා.
ඒ වගේම මෙම චිත්‍රපටයට මුලින් යොදා තිබූ ‘‘දොන් ස්ටීවන්’ කියන නම වෙනස් කිරීම පිළිබඳව මා දකින්නේ මෙලෙසයි. එකක් තමයි මම හිතන්නේ ‘‘නිදහසේ පියා’ කියන නමින් චිත්‍රපටය ඉදිරිපත් වෙනවා නම් ඒක වඩා හොඳයි කියා. ඇත්තටම මේ රටේ තරුණ පරපුරටයි, ශිෂ්‍ය ප්‍රජාවටයි තමන්ගේ දේශයේ ජාතික පියා ගැන ඉගෙන ගන්න හොඳ අවස්ථාවක් එයින් උදාවෙන නිසා. දොන් ස්ටීවන් කියන නමේ ගැබ්වෙලා තියෙන්නේ කලාත්මක බවක්. මෙම නිර්මාණය ඉදිරිපත් කරන අයට වුවමනා මෙය අධ්‍යාපනික වශයෙන් ඉදිරියට ගෙන යන්නද, එහෙමත් නැතිනම් කලාත්මක පැත්තෙන් ඉදිරියට ගෙන යන්නද කියන කාරණය නිර්මාණකරුවන්ගේ තීරණයක් විය යුතුයි. කෙසේ නමුත් අවසාන ප්‍රතිඵලය ලෙස ඩී.එස්. සේනානායක ශූරීන් පිළිබඳව වඩාත් හොඳ නිර්මාණයක් බිහිවීම පිළිබඳව මා අතිශය සතුටට පත්වෙනවා.'