ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්නයන්ගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන 'සෙල්ලම් නිරිඳු' දෙසැම්බර් මස 11 සහ 12 දෙදින තුළ කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී වේදිකාගත කිරීමට නියමිතය.
මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්විණි.
'ඔටුන්නක්, හදවත්, දංගෙඩියක්' යන තේමාව යටතේ නිර්මිත 'සෙල්ලම් නිරිඳු' වෙනස්ම කතා තේමාවක් ඉදිරිපත් කරන අතර, එහි වර්තමාන සහ අතීත සංකලනයක් ගැබ්ව ඇති බවද නාට්‍ය පිළිබඳව අදහස් දක්වමින් ජයලත් මනෝරත්න මහතා ප්‍රකාශ කළේය.
'සෙල්ලම් නිරිඳු' මනෝරත්නයන්ගේ දොළොස් වැනි නාට්‍ය නිර්මාණය වන අතර, ඒ සඳහා අර්ථපතිත්වය දරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයීය 78 – 82 වාණිජවේදී ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය සහ කැලණි විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසිනි.
කොළඹ - කින්නරී උත්සව ශාලාවේ පැවති මෙම මාධ්‍ය හමුවට ජයලත් මනෝරත්න, නලීන් ප්‍රදීප් උඩුවෙල, මාදනී මල්වත්තගේ, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් උපාලි විජේසේකර, අසේල ඉද්දවවල යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.