සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී පැමිණි ඔහු ඊයේ(21දා) අප අතරින් සමුගත්තේය. ඔහු නමින් හරුන් ලන්ත්‍රාය. දක්ෂ ගායකයෙකි. චිත්‍රපට පසුබිම් ගායකයෙකි. විශිෂ්ට ගණයේ ඉන්දියානු ගායකයෙකු වන තලාත් මෙහෙමුද්ට සමාන හඬක් පවතින බවට එකල ඔහු සංගීත ක්ෂේත්රයට පිවිසෙද්දී බොහෝදෙනෙක් කතාබහට ලක්විය. තම ස්වකීය හඬ පෞරුෂය හරහා අඩ සියවසක් පුරාවටම රසික ජන හද දිනාගැනීමට සමත් වූ ඔහු රසිකයන් වෙතින් වියෝ වූයේ ලාංකීය සංගීත ක්ෂෙත්රයේ අගය මනාව ඔප්පු කරලමිනි.
1953 වර්ෂයේ තිරගත වූ ප්‍රේම තරගය චිත්‍රපටයෙන් චිත්‍රපට පසුබිම් ගායනයට එක්වූ හරුන් ලන්ත්‍රා, ඉන්පසු තිරගත වූ අශෝකා, මා ආලය කළ තරුණිය වැනි චිත්‍රපටවලට මෙන්ම හැංගි හොරා, ගොපලු හඬ, හිතට හිත, රන්රස, සීගිරි කාශ්‍යප, සෝබන සිත, පුංචි බබා, වීදුරු ගෙවල්, සුදු දුව ඇතුළු චිත්‍රපට රාශියකට පසුබිම් ගී හඬ ලබා දුන්නේය.
ඔහුගේ ගීත අතරින් අදටත් අපගේ මතකයට නැඟෙන සුළං කුරුල්ලෝ ගීතය මෙන්ම මගේ නාමලී, හදමල් පැදුරේ, නිවුණා හද සන්තානේ යන ගීත ඔහුගේ සංගීත ජීවිතයේ සන්ධිස්ථාන සනිටුහන් කළ ගීත බවට පත්විය.
මේ අතර හර්බට් එම්. සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කළ හඳපාන චිත්‍රපටයේදී ඉන්ද්‍රාණි විජේබණ්ඩාර සමගින් ගැයූ හඳපානේ මල් පිපුණා ගීතයද අතිශයින් ජනප්‍රිය විය. ඉන්ද්‍රාණි විජේබණ්ඩාර සමගින්ම ගායනා කළ කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ හර්බට් ඇම්. සෙනෙවිරත්න පද පබැඳූ චන්ද්‍රයා පායා එනවා ගීතයද ලන්ත්රාගේ ජනප්‍රිය වූ තවත් ගීතයකි.
ළයාන්විත හඬකින් හෙබි හරුන් ලන්ත්‍රාට සුජාතා චිත්‍රපටයේදී වැඩි ගීත ප්‍රමාණයක් ලැබෙද්දී ඔහු වැඩිමනක් ජනප්‍රිය වන්නේ හැංගි හොරා චිත්‍රපටයේ ගීත තුළිනි. මෙහිදී ප්‍රේමාන්විත එම හඬින් වැඩිමනක් ගීත ගායනා කළේද සිංහල සිනමාවේ විශිෂ්ට ගණයේ නළුවෙකු වන ටෝනි රණසිංහගේ හඬ වෙනුවෙනි.
සිංහල සිනමාවේ මුල භාගයේදී චිත්‍රපට ගීතවල පැවැති හින්දි අනුකාරක ප්‍රවණතාව හේතුවෙන් විචාරකයන් විසින් අකෘතඥ ලෙස බැහැර කළ ලන්ත්‍රා, ඔවුන් විසින් සලකනු ලැබුවේ වාණිජ චිත්‍රපට කෙරේ තම කටහඬ ලබාදෙන නොවටිනා ගායකයෙකු ලෙසය. හින්දි තනුවකට වුවද ගීතයක් ගායනා කි+රීම කෙතරම් අසීරුද යන වග එකල විචාරකයන් දැන සිටියේ නැත. එය කෙතරම් විශිෂ්ට දක්ෂකමක්ද යන වග ඔවුන් දැන සිටියේ නැත. එබැවින් ඔවුන් එච්.ආර්. ජෝතිපාල, බෙග් මාස්ටර් දැමූ තැටියටම දමා ගැරහුම් ලද ලන්ත්රාගේ ගායන හැකියාව පවා සලකනු ලැබුවේ නොහැකියාවක් ලෙසය. එනිසාවෙන් නිසි සැලකුමක් නොලැබූ ලන්ත්‍රා වෙනුවෙන් විචාරක තෙලිතුඩට කිසිදු අවස්ථාවක රන් මුසු වූයේ නැත.
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් ලන්ත්‍රා විශිෂ්ටයෙකු බවට පත් කළේ මෙවැනි පසුබිමක් තුළය. හිතුවක්කාර ගාන්ධර්යවරයා ලෙස නැවතත් තම හිතුවක්කාරකම ඔප්පු කළ සැනසුම කොතැනදචිත්රපටයේ පසුබිම් ගායනයට හරුන් ලන්ත්‍රා තෝරා ගැනෙන්නේ මේ අනුවය. ලන්ත්‍රා පිළිබඳව අදටත් සිහිපත් කරද්දී අපගේ සිහියට නැගෙන සුළං කුරුල්ලෝ ගීතය ලන්ත්‍රා වෙත ලැබෙන්නේ මේ ආකාරයටය.
සුළං කුරුල්ලෝ ගීතයට ලද විචාරක පැසසුම්ද මැද සංගීත ක්ෂේත්රයේ නව නැම්මක් ලද ලන්ත්‍රා, රසිකයන් පිනවූවද ඒලෙසින්ම ජීවිත සටනද දිනා ගැනීමට මහත් උත්සාහයක් ගත්තේය.
සංගීත ක්ෂේත්රය තුළ කෙතරම් අනාරක්ෂිත බවක් නිර්මාණය වීද යන වග ලන්ත්රාගේ ජීවිතයේ අවසන් භාගය නිරීක්ෂණය කිරීමේදී මනාව ඔප්පු වූ අතර, රුපියල් දෙදහසකින් පමණක් මසක් පුරා ජීවත්වීමට තමන්ට සහ තම සැමියාට සිදුවී ඇති බව ලන්ත්රාගේ බිරිඳ හෙළිකළේ 2013 වසරේදී ලන්ත්‍රා වෙනුවෙන් සිනමා මාධ්‍යවේදීන්ගේ සංසදය විසින් සංවිධානය කළ ලැබූ “හංසරාණී - ලන්ත්‍රා ගී මාත්‍රා“ නම් හරූන් ලන්ත්‍රා උපහාර ගී ප්‍රසංගය අතරතුරදීය.
ආනන්ද මේ රෑ, හදමල් පඳුරේ, හංසරාණි, කිරි මුහුද කැළඹිලා, ලොවේ සැමදා, මහ චණ්ඩ මාරුතේ, මැව්වද කවුරු ප්‍රේමේ, පිරුණු හද සන්තානේ, රත්තරන් කූඩුවේ, රේණු සලා මල්, සාගර සිහිලැල්, සමන් ගිරෙන් පායා පායා, වීණාවේ තත් ස්වර රාවේ ආදී ගීත රැසක් ගායනා කිරීමට හරූන් ලන්ත්‍රා යළිත් අපි අතර ඉපැදෙන මෙන් පතන්නෙමු.