මේ වකවානුවේ කුඩා දරුවන්ට බොහෝ සේ නරක කලදසාවක් උදාවී ඇති බව අසන්නට හා දකින්නට ලැබුණි. මෙහි පූර්ණ වගකීම වැඩිහිටියන් වන අප සැවොම බාරගත යුතු වේ. මෙවැනි වාතාවරණයක අප රටේ බොහෝ ඉහළින් ලෝක ළමා දිනය සැමරීය. තම තමන්ගේ ක්ෂේත්රය කුමක් වුවත් එම ක්ෂේත්රය මගින් සමාජයට පණිවුඩයක් ගෙනදීමට හැකිනම් එය බොහෝ වටින්නේය. ඒ අතර සංගීතය තුළින් සමාජයට යම්කිසි පණිවුඩයක් ගෙන ඒමට මේරියන්ස් සංගීත කණ්ඩායම උත්සාහ කළේය. ඒ ඔවුන් විසින් පසුගියදා යෙදුණු ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් 'සුරකිමු දරුවන්' නමින් ගීතයක් එළිදැක්වීමෙනි. මේ ඒ පිළිබඳව එහි නායක නලින් පෙරේරා සමග කළ කතාබහකි.
නිර්මාණය වූ අලුත් ගීතය
මේ දේ අලුත් වැඩක් හැටියට දැක්කට අලුත් වැඩක්ම නෙවෙයි. මෙම ගීතය නිර්මාණය කළේ අවුරුදු 4කට පෙරයි. මෙහි පදරචනය කළේ ඩෙන්සිල් නුගේගොඩ විසින්. සංගීතය කරනු ලැබුවේ ප්රියන්ත නාවලගේ විසින්. මියුසික් වීඩියෝව කරනු ලැබුවේ සමන්ත සිරිවර්ධනයි. මේ ගීතය මෙච්චර ඉක්මනට එළියට එන්න හේතුව වුණේ අද පවතින තත්ත්වයයි. දුවා දරුවන්ට වෙන අතවර, අසාධාරණකම්, අකටයුතුකම් ඉතාමත් ඛේදජනකයි. මේ සියල්ලම දිහා බලපුවාම කලාව පැත්තෙන් අපේ හඬින් අපට කළහැකි දේ තියෙනවා. මෙහි ඇති හැම පද පේළියකම සමාජයේ ඉන්න හැමදෙනාම හිතට ගතයුතු දෙයක් තිබෙන්නේ. ඩෙන්සිල් මීට අවුරුදු 4කට පෙර පොඩි දරුවෙකුට මෙවැනි සිද්ධියක් වුණු වෙලාවේ එයාගේ හිතට ආපු දෙයක් පදවලට පෙරළුවා. මේ කටයුත්තට දායක වුණු සියලුදෙනාම තාත්තලා. මේ හැමෝම සතපහක්වත් ගන්නෙ නැතිව තමයි මේ කටයුත්ත කළේ. ඉතිං මේ ගීතය ලෝක ළමා දිනය වැනි දිනයකදී එළිදැක්වූයේ ළමයි කෙරෙහි අපේ අවධානය, ආදරය හා ආරක්ෂාව මේ සියල්ලම සමාජය සතු වගකීමක් බවට පුන පුනා කීමටයි.
මෙවැනි ගීත සමාජයට පණිවුඩයක්
ළමා අපචාර කරන වනචර, කාලකණ්ණි මිනිසුන්ට මෙවැනි ගීතයන් මෝයකටින් යන පොල් ලෙල්ලක් වැනි දෙයක් තමයි. නමුත් අපේ පැත්තෙන් දරුවන් ආරක්ෂා කරගත්තොත් මෙවැනි පුද්ගලයන්ට අවතීර්ණ වීමට තියෙන ඉඩකඩ ඉතා අඩුයි. රටේ නීතිය පැත්තෙන් කෙරෙන්න ඕන කටයුතු ඒ අය බලාගත යුතුයි. නමුත් කලාව පැත්තෙන් මේ ගීතය හරහා සංගීත කණ්ඩායමේ හැමෝගෙම හිතේ තිබුණු අදහස මතුවුණා කියලයි මට හිතෙන්නේ. අපි මේකත් එක්ක ලොකු කාලයක් ඔට්ටු කරගත්තෙ නැහැ. අපි බොහෝම කාර්යබහුල වෙලාවක තමයි මේ කටයුත්ත කළේ. මේක තමා මෙහි ඇත්ත අරමුණ වෙන්නේ. මේ ගීතය මේරියන්ස්ලාගේ තවත් ගීතයක් නොවෙයි. ඉදිරියේදී අපි ප්රසංගවලදී මෙවැනි ගීත ගායනා කරනවා සමාජයට ඒත්තු ගන්වන්න. අපේ සංගීත කණ්ඩායමේ ඉන්න බහුතරයක් පියවරු. ඒ වගකීමේ කොටසක් අපිටත් දැනෙනවා.
මෙහි කිසිදු ආර්ථික වාසි පසුබිමක් කාගෙවත් හිත් තුළ නැහැ. අපි එහෙම කරන්නෙත් නැහැ. මේ ගීතයෙන් දෙන පණිවුඩය වන්නේ, අපෙන් ලැබෙන ආරක්ෂාව තමයි දරුවන්ට හෙට දිනයේදී පිබිදීමට තිබෙන හොඳම පරිසරය. ඒක තමා බොහොම කෙටි අර්ථයකින්, චිත්රයකින් ගොඩනගලා පෙන්නුම් කළේ.
ගීතයකින් බිහිවන රැල්ල
මේ වගේ දෙයක් රැල්ලක් වුණාට කිසිම ප්රශ්නයක් නැහැ. සමහරු රැලි හදාගන්නේ සාක්කුවට වාසි වෙන්න. මම ඒ වගේ දේවල් අනුමත කරන්නේ නැහැ. සමාජයේ හැමදේම මුදල් නෙමේ. වගකීමක් හැටියට මෙවැනි දෙයක් රැල්ලක් බවට පත්කර ගන්නවා නම් හොඳයි. මම හරි කැමති වෙනවා මෙම ගීතය අනෙකුත් සංගීත කණ්ඩායම් විසින් ප්රසංග වල ගායනා කරනවානම්. ඒක අපේ කියල ප්රශ්නයක් කරගන්න එපා. සම්පූර්ණ අවසරය මම දෙනවා මේ ගීතය ඕනෑම කෙනෙකුට ගායනා කරන්න. මේක පොදු ගීතයක් බවට පත්කර ගත්තොත් ඉතාම හොඳයි.