ප්‍රවීණ රංගධර සිරිල් වික්‍රමගේ කලාකරුවාණන්ගේ සුවිශේෂී නිර්මාණ දායකත්වය ඇඟයීම වස් සංවිධානය කෙරෙන 'විකුම් සිරිත' අභිනන්දන උලෙළ අද (24දා) සවස 6.00 ට කොළඹ, බෞද්ධාලෝක මාවතේ චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මේ අනුව මෙහිදී ආචාර්ය ජයලත් මනෝරත්නයන් විසින් කෙටි දෙසුමක් පැවැත්වීමට නියමිත අතර, ජාතික චිතුපට සංස්ථා අනුග්‍රහයෙන් සමරු තිළිණ ප්රදානයක්ද, 'විකුම් සිරිත' වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනයද අනතුරුව සිරිල් විකුමගේ සුවිශේසී රංගන හැකියාව විදිහා දක්වන 'සෙයිලම' චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමද සිදු කෙරේ.
සිරිල් වික්‍රමගේ යනු කිසි කලෙකත් වරදාන, වරප්‍රසාද පසුපස නොගොස් තම මෙහෙවර සිය ප්‍රතිභා පූර්ණ හැකියාවෙන් ප්‍රකට කළ කලාකරුවෙකි. එසේම කලාව සම්බන්ධව, කලාකරුවා සම්බන්ධව සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් නිශ්චිත මතවාදයක පහිටා එකී මතවාදය වෙනුවෙන් පෙනී සිටින්නට කශේරුකාවක් තිබූ කලකරුවෙකු ලෙසද ඔහුව හදුනා ගත හැක.
තම සුඛවිහරණය වෙනුවෙන් පැත්තක් නොගැනීම නිසා දේශපාලන බලඅධිකාරිය තුළ ඇගයීමකට ලක්නොවුනද සිය රංගනය හරහා සේම සමාජ දැක්ම හරහා නිරන්තරව ජනතා සම්මානයෙන් පිදුම් ලබන්නට ඔහු වාසනාවන්ත විය.
කෙසේ නමුත් ඇගයිය යුත්තන් ඇගයෙන්නේ නැති සමයක ෆෝ ඉන් වන් සහෘද සංසදය විසින් සිරිල් වික්‍රමගේ කලාකරුවාණන් ඇගයීම අගය කළ යුත්තකි.
සනත් ගුණතිලකයන් සිරිල් වික්‍රමගේ කළාකරුවාගේ මනුෂ්‍යත්වය ගැන කියන කතාව
චිත්‍රපටි නැරඹීමේ ආශාව, මා තුළ පුරුද්දක් බවට පත් කළේ මා පියාණන් විසිනි. ඔහුගේ ප්‍රියතම නළුවා වූ ගාමිණී ෆොන්සේකාගේ ශූර චෞර්යයා, සොරුන්ගෙත් සොරු, ශතපනහ, ශූරයන්ගෙත් ශූරයා වැනි චිත්‍රපටි නැරඹීමට මා ලද අවස්ථාවෙන් ගාමිණී ෆොන්සේකාගේ පෞරුෂත්වය මා මනසේ එකල තැන්පත් වන්නට ඇත.
වැලිකතර, පරසතු මල්, නිධානය, වැනි චිත්‍රපටි හරහා ගාමිණීගේ දක්ෂතාව පිළිබඳව මා මනසේ හටගත් විශිෂ්ට වූ ප්‍රතිරූපය, අදටත් නොනැසී පවතී. ඒ වකවානුවේ ජනප්‍රිය චරිත වූ ජෝ, ටෝනී, ඔස්වල්ඩ්, රෝයි, රොබින් වැන්නවුන් පිළිබඳව මා හදවතේ හටගත්තේ පහත් වූ හැඟීමකි.
එයට පසු පරපුරෙන් ආ විජය කුමාරතුංගයන්ගේ තාරුණ්‍යය හා කඩවසම් බව ගැටවර මගේ සිත ප්‍රබෝධවත් කළේය.
මේ සියල්ලටම අමතරව මා කුඩා කාලයේ නැරඹූ එක් චිත්‍රපටය චරිතයක් සදාකලිකව මා සිතෙහි අරක් ගත්තේය. එකල කලාතුරකින් අපව අපේ පාසල විසින් චිත්‍රපටයක් නැරඹීමට කැටුව යන ලදී. මහනුවර 'ඕඩියන්' සිනමාශාලවේ බොහෝ විට තිරගත වූයේ ඉංග්‍රීසි චිත්‍රපටිය. ඒවාට අමතරව ගුණාත්මකභාවයෙන් යුතු වාණිජ වටිනාකමින් අඩු සිංහල චිත්රපටිද මහනුවර ප්‍රේක්ෂයන් නැරඹුවේ මෙම සිනමාශාලාවේය.
පාසලෙන් අපව රැගෙන ගිය 'සත් සමුදුර' නැමැති චිත්‍රපටියෙන් මා මේ විශිෂ්ටයා මුල්වරට නැරඹුවේ කුඩා පාසල් ශිෂ්‍යයෙක්ව සිටි කාලයේදීය. ජීවිතය ගැටගහගැනීමට මහ මුහුදත් සමග සටන් වදින, අහිංසක නමුත් යුක්තිගරුක ධෛර්යවන්න මෙම තරුණ චරිතයෙහි රිදී තිරයේ වීරයාගේ අංග ලක්ෂණ කිසිවක් නොවීය. නමුත් කුඩා අපට එදා නොතේරුණත් අද කිසියම් හෝ වැටහීමක් මට ඇතැයි මා විශ්වාස කරන සැබෑ රංගනය නැතහොත් චරිතයක රඟපානවා නොව චරිතයේ ජීවත් කිරීම නැමැති අසීරු කාර්යභාරය මැනවින් ඉටුකළ පුද්ගලයකු ලෙස මේ අමරණීය චරිතය මා මනසේ, හදවතේ ගැඹුරේම තැන්පත් විය.
පසුකාලීනව මා නැරඹූ වෙස්ගත්තෝ, වල්මත්වූවෝ, බඹරු ඇවිත්, සෙලීනාගේ වලව්ව ඇතුළු චිත්‍රපට රාශියක මේ අමරණීය රංගන ශිල්පියා රංගනයෙන් මා හදවත සසල කළේය. හෙතෙම සිරිල් වික්‍රමගේ නැමැති අද්විතීය රංගන ශිල්පියාය.
අහම්බෙන් සිනමාවට පැමිණි මා එක්තරා අවස්ථාවකදී අහම්බෙන් මෙතුමා හමුවිය. ඒ කොල්ලුපිටියේ (ළඟදි අපි අතරින් සමුගත් ) ආනන්ද බස්නායකගේ ඩ්‍රෙස්සෙන්ස් නමැති රෙදිපිළි සාප්පුව තුළය. ලගන්නා සිනහවකින් මුව සරසා ගෙන සිටි සිරිල් අයියා මා හිතුවාටත් වඩා සරල අව්‍යාජ නිහතමානී පුද්ගලයෙක් වූයේය.
මුහුණ පුරා දිවෙන සිනහ රැල්ල කොක්හඬලා සිනහවකට පරිවර්තනය වන්නේ ඔහුටත් නොදැනීවමය, ඔහු විසින් පාවිච්චි කරන වචන ධාරාවටද මිශ්‍ර වෙමිනි.
මා හඳුන්වාදුන් පසු මගේ දෙපතුළේ සිට හිස දක්වා නිරීක්ෂණාත්මක බැල්මක් යොමු කළ ඔහු 'සන්තෝෂයි අඳුරගන්න ලැබීම ගැන' යැයි පැවසූවේ දයාබර සිනහවක්ද එම ළෙන්ගතුකමට එකතු කරමිනි.
මගේ දසුනට මෙන්ම මනසටද සංඥා වූයේ ඔහුගේ දෙනෙතය. එකී ඇස්වල තිබූ තෘප්තිමත් ස්වභාවයත්, එයට අමතරව 'කතාකරන්නා වැනි' ස්වරූපයත් නිසා ඕනෑම පුද්ගලයකු සංවේදී කිරීමට හැකියාවක් එම දෑසේ ඇතැයි මට සිතුණි.
කැමරාව ඉදිරියේ මෙම දෑස පාවිච්චි කරමින් ඔහු රඟපෑ .... (වැරදීමකි! ඔහු රඟනොපාමින් චරිත ජීවත් කළ අවස්ථා රාශියක්) ඒ සුළු මොහොතේදී මට මෙනෙහි විය.
නළුවකුගේ රංගන කාර්යවලියේදී ඔහුට තිබෙන ප්‍රධානම මෙවලම 'දෑස' ඔබ මා පසුකාලීනව පොතපතිනුත්, පළපුරුද්දෙනුත් ඉගෙන ගතිමි. නමුත් මෙම ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨයාගේ රංගනය පිළිබඳ අදහස් දැක්වීමට තරම් මා තුළ දැනුමක් ඇතැයි මම විශ්වාස නොකරමි.
නමුත් එම රංගනයන් අගයමින් ඒ හරහා ලබා ගතහැකි රඟපෑමේ දැනීම සහ හැඟීම් ඊයේ අද මෙන්ම හෙටත් ලබාගැනීමට මම උත්සාහ කරමි.
සිරිල් අයියා අප ක්ෂේත්රයේ හිතවතකු පමණක් නොව ඔවුන්ගේ ගෞරවයට පාත්‍ර වූ වැදගතෙකි. තම සරලකම, නිරහංකාරකම මෙන්ම ඕනෑම අසාධාරණ අයුක්ති ක්‍රියාවලියකදී ඕනෑම ජගතෙකුගේ මුහුණට කරුණු කියාපෑමට හැකි ආත්මවිශ්වාසයක් හා ආත්ම ධෛර්යයක් ඔහු තුළ ඇත.
1987 මා කුරුණෑගල ප්‍රදේශයේ 'කැඩපතක ඡායා' චිත්‍රපටයේ දර්ශන ගැනීමට සහභාගී වෙමින් සිටි කාලයේදී එතුමා දර්ශනතලයට නිතර පැමිණියේය. ඒ අප දර්ශන ගත කළේ එතුමාගේ නිවසට සමීප ප්‍රදේශයක බැවිනි. එසේ පැමිණි තමන්ගේ සර්වකාලීන හිතවතුන් වූ වසන්ත ඔබේසේකර, ස්වර්ණා මල්ලවආරච්චි, විජය කුමාරතුංගයන් සමග අතීත සිදුවීම් මෙනෙහිකරමින් විනෝද වූයේ අප සියලු දෙනාම රසසාගරයක ගිල්වමිනි.
එවැනි වාසනාවන්ත දින අද නළු නිළි පරපුරට භුක්ති විඳීමට නොහැකිවීම ගැන මා තුළ ඇත්තේ තරමක කනගාටුවකි. කාට හෝ මොනවා හෝ කියා අපහාසයක්, උපහාසයක් කිරීමට තැත් කරනා අපතයන්, සුළු පිරිසක්ද අප ක්ෂේත්රයේ නැතුවාම නොවේ. නමුත් ඔවුන් සිරිල් අයියා ඉන්න තැන කටමැත දොඩන්නේ නැත.
ඒ සිරිල් අයියාගේ කට වහර සමග ඔවුන්ට ලබා ගත හැකි ජය සිරියක් දිනුමක් නැති බැවිනි.
පාලම යට, මංගල තෑග්ග වැනි චිත්‍රපට කිහිපයක මට එතුමා සමග වැඩකිරීමට අවස්ථාව ලැබුණි. පාලම යට චිත්‍රපටයේ එතුමා සමග එකම ජවනිකාවකවත් පෙනී සිටීමට වාසනාව නොතිබුණත්, එතුමාගේ දර්ශන රූගත කරන අවස්ථාවලදී ඒවා නැරඹීමට (නැරඹීමට වඩා ඉගෙනීමට) අධ්යක්ෂ එච්.ඩී.ප්‍රේමරත්නගේ අවසරය යටතේ මම දර්ශනතලයට ගියෙමි.
සිරිල් අයියා තුළ ඇති රංගන අද්දැකීම මුද්‍රිත මාධ්‍යයකට ගතහොත් එය චරිතාංග රංගනය පිළිබඳ අත්පොතක් වනු ඒකාන්තය.
නමුත් එවැනි ක්‍රියාවලියකට සැදී පැහැදෙන මාධ්‍යයක් හෝ සම්පාදකවරයෙකු සිටිද්දැයි ගැටලුවකි. එවැන්නක් නිකුත් වූවත් ඒවා හැදෑරීමට කැමැති පිරසක් අපි ක්ෂේත්‍රෙයහි සිටීද?. එය එසේ නැතිවීම, එය එතුමාගේ අවාසනාවක් නොව පසු පරම්පරාවේ අවාසානවක් යැයි මා කිවහොත් කිසිවකු උරණය නොවන්නේ එය පරම සත්‍යයක් බව දන්නා බැවිනි.
දැනට වසර 05 කට පමණ ප්‍රථම අප දෙදෙනාට එකට රඟපෑමට අවස්ථාව සැලසූ චිත්‍රපටියක් විය. එහිදී උඩවලවේ ප්‍රදේශයේ රජයේ සංචාරක නිවාසයක එකට කාමරයක අපි දෙදෙනා නවාතැන් ගත්තෙමු. තම සිනමා ජීවිතය පිළිබඳව, දේශපාලන ජිවිතය පිළිබඳ, යම් යම් වකවානුවල මුහුණ පෑ විවිධාකාර අද්දැකීම් ගැන සවස්යාමයේදී මා වෙත කියාපෑවේ ඉතාම විවෘත හදවතිනි.
අප යන මේ ජීවන ගමනේ, අප කුමන තරාතිරමක මිනිසුන් වුවත්, විටින් විට අප හමුවට එන බාධක කරදර කම්කටොලු ඉවසා දරාගනිමින් සමහර කරදර වෙස්වලාගත් ආශිර්වාදයක් සේ සලකා, කෙනෙකුට කටයුතු කිරීමට හැකිකමක් ඔහු මට මැනවින්, උදාහරණ සහිතව පහදාදුන්නේය. ඒවා පසුකාලීනව මාගේ සිනමා දිවියට පමණක් නොව පෞද්ගලික දිවියටද එක්තරා අන්දමක අවවාදයක් විය. නමුත් නිෂ්පාදන වෘන්දයේ තිබූ නොසැලකිලිමත්භාවය නිසා අප දෙදෙනාම මේ චිත්‍රපටයෙන් ඉවත් වූයෙමු. එබැවින් ඒ ඇසුර දින 2 - 3 කට පමණක් සීමාවිය.
සිරිල් අයියා සම දර්ශන තලයේ සිටීම, විශාල වූ ප්රිතීදායක දෙයක් ලෙස සැලකිය හැක්කේ ඔහු තුළ තිබූ කඩිසරබව සහ සජීවිභාවය නිසාය. ඔහු නිහඬව පැත්තට වී සිටියත් ඒ තුළ ඇත්තේද ජීවමය ගුණයකි. අලසකමක් ගෑවීලාවත් නැත. තමාටම ආවේණික වූ රංගන ශෛලියකට හිමිකම් කියන ඔහු ඉතා හොඳ මතක ශක්තියක් ඇති දක්ෂයෙකි.
එච්.ඩී ප්‍රේමරත්නයන්ගේ මංගල තෑග්ග චිත්‍රපටයේ දෙවන කොටස කිරීම පිළිබඳව එතුමාගේ පුත් රංග සමග මා පසුගිය කලෙක සාකච්ඡා කළෙමි. එච්.ඩී. ජීවතුන් අතර සිටින විට මෙම අදහස ඔහු තුළ විය. මා මේ පිළිබඳව 'රවීන්ද්‍රටත්, මනෝරත්නටත්' දැන්වූ විට ඔවුහු දැඩි සතුටට පත්ව මාව ඒ සඳහා උනන්දු කළේය.
මංගල තෑග්ගට ඇතුළත් වූ කතාවේ ඇත්තේ, පසුදින විවාහවන තරුණයකුට ඊට පෙරදින රාත්‍රියේ ඔහුගේ සමීපතම මිතුරන් තිදෙනෙක් විසින් 'අභිසරුලියක්' මුණ ගැස්සීමෙන් පසු සිදුවන කලබැගෑනියකි.
මෑත දිනයකදී එක්තරා උත්වසයකදී රවීටත්, මටත් සිරිල් අයියා හමුවී. 'අපි අර මංගල තෑග්ගේ දෙවැනි කොටස කරන්න හිතන් ඉන්නේ ' යැයි මගෙන් කරගන්න හිතිලා වෙන්නැති නේද? ඔහු අප දෙදෙනාගේම මුහුණු වෙත සිය සිනහව පිරි මුහුණින් ඇස් පුංචිකරමින් ඇසුවේය.
චිත්‍රපටයට අනුව අපට අබිසරුළිය සොයා දෙන්නේ සිරිල් අයියා බව අප දෙදෙනාටම මතක් වූයේ එවිටය. අප දෙදෙනාටම වඩා ජ්‍යෙෂ්ඨයකු වූ එතුමා තවමත් පොහොසත් වී සිටින්නේ සිය රංගනය තම ජීවිතය කරගෙන බව ඒ මතකයේ රැඳෙමින් බව අපට හොඳින් වැටහුණෙමු.
ඉන්දියානු ආභාසයෙන් අපට ලැබුණු සිනමාව විවිධ හැඩතල ඔස්සේ අදටත් කෙසේ හෝ පැවතීම සතුටට කරුණකි. මේ හැඩකල ගැන කතාකිරීමේදී දේශීය අනන්‍යතාව, ස්වභාවික රංගනය චරිතයට මන සාධාරණය කරමින් එය ජීවත්කරවීම, ඕනෑම බැරෑරුම් චරිතයකට ඉතාම සැහැල්ලුවෙන් නිර්මාණකරුවාට අවශ්‍යකරන ජීවගුණය ලබාදීම වැනි ඉතාම දුර්ලභ ගුණාංගවලින් හෙබි රංගන ශිල්පියකු ලෙස සිරිල් අයියාව හැඳින්වීම යුක්තිසහගත යැයි මම දැඩිලෙස විශ්වාස කරමි.
එවැනි උත්තුංග ගුණයේ නළුවන් අපට සිටින්නේ අතලොස්සකි. ඒ අතලොස්ස තුළිනුත් මෙවැන්නකු සොයා ගැනීමට 'කළුනික' සොයනවාටත් වඩා අසීරු යැයි මම සිතමි. එය සිතුවිල්ලක් ලෙස නතර නොවී, තව බොහෝ කාලයක් ඔබේ රංගන ප්රතිභාවේ රීදි තිරය ආලෝකවත් කිරීමට ඔබට හැකි වේවායි මා ප්‍රර්ථනා කරන්නේ, එවැනි පරිසරයක් උදා වේවා යන බලවත් පැතුමත් සමගිනි. සිරිල් අයියේ ඔබට සදා ජය සතුට සහ නීරෝගි සුවය මම ප්‍රර්ථනා කරමි.