මුම්බායිහි 'Film Heritage Foundation'හි නිර්මාතෘ සහ ජාත්‍යන්තර චිත්‍රපට සංරක්ෂණ සංවිධානයේ කමිටු සාමාජික ෂිවේන්ද්ර සිං දන්ගපූර්
දේශීය චිත්‍රපට සංරක්ෂණය කිරීමේ රජයේ ව්‍යාපෘතියට සමගාමීව ඒ සම්බන්ධයෙන් ක්ෂේත්රයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් දැනුවත් කිරීමට ඉන්දියාවේ මුම්බායිහි 'Film Heritage Foundation'හි නිර්මාතෘ සහ ජාත්‍යන්තර චිත්‍රපට සංරක්ෂණ සංවිධානයේ කමිටු සාමාජික ෂිවේන්ද්ර සිං දන්ගපූර්, චිත්‍රපට සංරක්ෂණය සහ ප්‍රතිෂ්ඨාපනය සම්බන්ධයෙන් පසුගිය සතියේ විශේෂ දේශනයක් පැවැත්වීය.
'ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දේශනය' ලෙස හැඳින්වූ මීට කලාකරුවෝ විශාල පිරිසක් සහභාගි වූහ.
එහිදී ෂිවේන්ද්ර සිං කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කළේය.
''වසර හැටකට පෙර තමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාකරුවා එක්තරා ඉංග්‍රීසි පුවත්පතක් හරහා චිත්‍රපට සංරක්ෂණය සහ ප්‍රතිෂ්ඨාපනයේ ඇති වැදගත්කම ගැන සඳහන් කළේ. ඒ නිසයි ඔහු එදා ජාතික චිත්‍රපට සංරක්ෂණ දෙපාර්තමේන්තුවක අවශ්‍යතාව මතු කළේ. මොකද එය චිත්‍රපට සංස්කෘතියේ වැදගත් කොටසක්. චිත්‍රපට සංරක්ෂණය කිරීමෙන් තමයි අපි කවුද කියලා හෙළිවෙන්නෙ. මට නම් සිනමාව කියන්නේ මනුෂ්‍යයෙකුට සමාන වටිනාකමක් ඇති දෙයක්. ඒ නිසා ලෝක සිනමාවටත් එය වැදගත්.
ශ්‍රී ලංකාවට වටිනා සිනමාවක් තියෙනවා. මම එතැනදී ඉතාම කනගාටු වෙනවා, 'නිධානය' චිත්‍රපටය ගැන. මොකද එහි මුල් දළ සේයාපටය අද නැහැ. ඒත් චිත්‍රපටයක වඩාත්ම වැදගත් වෙන්නේ මුල් කැමරා පිටපතයි. එයයි සුරක්ෂිත කළ යුත්තේ. අනික සුරක්ෂිතකරණයේදී දැන් දෘඪ තැටි භාවිත කිරීමත් සුලභ දසුනක් වෙලා.
ඒත් එය කිසිසේත්ම සුදුසු තත්ත්වයක් නෙමෙයි. එය තමයි විනාශකාරීම ක්‍රමවේදය. මොකද එහිදී දත්ත විනාශ විය හැකි සම්භාවිතාව වැඩියි. ඒ නිසාම දෘඪ තැටිවල තම සිනමා කෘති ගබඩා කරගෙන සිටි සිනමාකරුවන් තම සිනමා කෘති පසුකාලීනව සෙලෝලොයිඩ් ක්‍රමයෙන් සුරක්ෂිත කර ගත්තා. මොකද එයින් තමයි දීර්ඝ කාලයක් චිත්‍රපටය පවතින්නෙ. එයින් චිත්‍රපටය අවුරුදු 100-120ක් පමණ තබාගත හැකි බවයි කියැවෙන්නේ.
අපට ජනප්‍රිය චිත්‍රපට පවා සංරක්ෂණය කිරීම වැදගත්. එතුළින් තමයි සිනමා පරම්පරාවන් ගොඩනැගුණේ කෙසේද යන්න ගැන අපට පැහැදිලි වැටහීමක් එන්නේ. මොකද මමත් සිනමාවට එකතු වෙන්නේ සිනමා පෝස්ටර එකතු කරන්නෙක් විදිහට.
මට චිත්‍රපට ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී පුවත්පතක කොළයක් වගේ ඔතලා බාරදුන් චිත්‍රපට තියෙනවා. ඒත් මම ඒවා ප්‍රතිෂ්ඨාපනය කරලා තියෙනවා ඉතා සියුම් විදිහට. මොකද මට ඉන්නවා හොඳ කාන්තා කණ්ඩායමක්.
මම හිතන්නෙ කාන්තාවන් මේ වැඩේට දක්ෂයි. ඉතා සියුම් ශල්‍යකර්මයක් සිදුකරනවා වගේ තමයි සිනමා ප්‍රතිෂ්ඨාපන කටයුත්ත අපි සිදුකරන්නේ. ඒ නිසා සිනමාකරුවන් කිසිම වෙලාවක සැලෙන්න එපා තමන්ගේ චිත්‍රපටය විනාශ වුණා කියලා. මොකද තාක්ෂණය දැන් දියුණුයි.'' යැයි පැවසීය.
හෙතෙම තමන් සිනමාව දුටු ආකාරයද මෙහිදී සඳහන් කළේය.
''අවුරුදු පහේදී මට නම් සිනමාව කියන්නේ මැජික් එකක්. මං ඇඬුවා මගේ මුල්ම චිත්‍රපටය නරඹද්දි. අදටත් සිනමාව මැජික් එකක් තමයි. හැබැයි දැන් ඒ මැජික් එක අපේ ජීවිතයේ යථාර්ථය වටා හොල්මන් කරනවා.''
සාකච්ඡාව අවසානයේදී ප්‍රේක්ෂකාගාරයට ප්‍රශ්න ඇසීමටද වාරයක් ලබාදුන් අතර, එහිදී ලාංකේය සිනමාවේ අර්බුදය පිළිබඳ ප්‍රේක්ෂකයෙක් ඔහුගෙන් ප්‍රශ්න කළේය.
''ඉන්දියාවේ තියෙන්නේ බොලිවුඩ් සහ කොලිවුඩ් චිත්‍රපට පමණක් නෙමෙයි. තවත් චිත්‍රපට සංස්කෘති තියෙනවා. හැබැයි සෙසු සංස්කෘති සඳහා පවතින්නේ අඩු ප්‍රේක්ෂකාගාරයක්. අනෙක ඉන්දියානුවන් ආහාරපාන ගැනීමටත් වඩා ප්‍රමුඛතාව ගන්නේ සිනමාව රසවිඳීමට. ඒත් මන්දපෝෂණයෙන් පෙළෙන සියයට පනහක් ඉන්දියාවේ සිටිද්දි ඉන්දියානුවන් දෙවියන් කිරියෙන් නහවනවා.
ඒ නිසා ඔබේ ප්රේක්ෂකයන්ටත් ආහාර නතර කරන්න පුළුවන් නම් විශාල වශයෙන් ප්‍රේක්ෂකයන් ජනප්‍රිය චිත්‍රපට බලන්න ඒවි.'' කලාත්මක සිනමාව රැක ගැනීම වෙනුවෙන් කළ යුතු දේ ගැනද හෙතෙම එහිදී අවධාරණය කළේය.
“රටකට කලාත්මක සිනමාවක් අවශ්‍යයි. ඉන්දියාවේ පවා කලාත්මක සිනමාවට රජයට උදව් උපකාර කරනවා. ඒත් මේ සඳහා පවතින්නේ ඉතා සීමිත ප්‍රේක්ෂකාගාරයක් බව සිනමාකරුවන් වටහාගත යුතුයි. ඒ නිසා කුඩා සිනමා ශාලාවල තමයි මෙවැනි සිනමා කෘති තිරගත කළ යුත්තේ. ඒ වගේම අඩු වියදමින් එම සිනමා කෘති නිෂ්පාදනය කිරීමට නිෂ්පාදකවරුන් වගබලා ගත යුතුයි. ඒ ආකාරයෙන් තමයි කලාත්මක සිනමාවයි, ජනප්‍රිය සිනමාවයි එකම ආකාරයෙන් සමබරව පවත්වා ගෙන යා හැකි වෙන්නේ.''
මෙහිදී ෂිවේන්ද්ර සිං මහතාට චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා වෙතින් සමරු තිළිණයක් පිළිගන්වන ලදී.