සනත් ගුණතිලක යනු විවිධ අවස්ථාවලදී ලාංකේය සිනමාවට ක්ෂේත්‍ර කිහිපයකින් දායක වූ ප්‍රවීණ සිනමාවේදියෙකි. ඔහු සිංහල සිනමාව පිළිබඳව 'සිංහල සිනමාව සහ මම' යන නමින් ග්රන්ථයක් නිකුත් කරන්නේ පසුගිය වසරේදීය. එහි දෙවන මුද්‍රණයත් මේ වනවිට එළිදක්වා තිබේ. මේ කතාබහ ඒ පිළිබඳවයි.
Q මෙම ග්‍රන්ථයේ දෙවන මුද්‍රණයකට මෙම කාලයේදී යොමු වුණේ ව්‍යාපාරික අරමුණක් එක්කද?
මෙහි කිසිම ව්‍යාපාරික අරමුණක් නැහැ. පොත් ප්රකාශකයාට ව්‍යාපාරික අරමුණක් තිබුණෙ නැත්නම්නේ පුදුම විය යුත්තේ. ඔහු ව්‍යාපාරිකයෙක්. 2016 ජනවාරි 20 වනදා මම ඩී.බී. නිහාල්සිංහ අතට මෙහි පළමු මුද්‍රණය ලබාදුන්නා. මාස පහක් වැනි කෙටි කාලයක් තුළ බලාපොරොත්තු ෙවනවාට වඩා ඉක්මනින් මේ පොත අලෙවි වී අවසන් වුණා. මම එදින පොත එළිදැක්වීමට හේතු දෙකක් තිබුණා. 1947 ජනවාරි 21 සිංහල සිනමාවේ ආරම්භය ලෙස අපි සිතනවා. වසර හැට නවයක් ගෙවිලා හැත්තෑ වෙනි වසර ලබන්න පෙර සිනමාවේ කිසියම් ප්‍රගතියක් ඇති කළ යුතුයි නේද කියන කාරණය මුල්කරගෙන තමයි මම මේ ග්‍රන්ථය නිකුත් කළේ. නමුත් මේ පොතට කරුණු එකතු කළේ, මේ ග්‍රන්ථය රචනා කරන්න ආරම්භ කළේ, මේ පොත පිළිබඳ සාකච්ඡාවන් ඇති වුණේ විවිධ අවස්ථාවල මම එකතු කළ ලිපි, උපුටා ගත් දේවල් එකතුකර ගත්තේ මීට වසර තුන හතරකට පෙර. මට හිතුණා මම එකතු කරගත්ත දේවල් මට විතරක් නෙවෙයි, සිනමාව ගැන උනන්දුවක් තිබෙන තරුණ පරපුරට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට, නවක අධ්‍යක්ෂකවරුන්ට, නවක නළු නිළියන්ට වැදගත් වේවි කියලා. මේ ක්ෂේත්රය තුළ පැරණි සිදුවූ දේවල්, ඒ කාලයේ මේ ක්ෂේත්රය තුළ හුවමාරු වූ ලිපි පිළිබඳව යම් අවබෝධයක් ලබාගන්න ඔවුන්ට මෙය වැදගත් වේවි යැයි හිතුවා. අනික මම දැකපු, අහපු දේවල් මේ පොතට එක් කළේ ඕපදූපයකට නෙවෙයි. වර්තමානයේ සිංහල සිනමාව පිළිබඳව යහපත් අරමුණකින් කටයුතු කරන රජයක් වේවා, දේශපාලඥයෙක් වේවා වෙනත් සිනමාවට සම්බන්ධ තැනැත්තෙකුට මේ දේවල් ඒ සඳහා ඉවහල් වේවි කියලා මම හිතුවා. අතීතයේ සිදු වූ හොඳ දේවල් එකතු කර ගන්නත්, වැරදුණු දේවල් අමතක කරන්නත් තමයි මේ පොත රචනා කළේ. මේ පොතේ ප්‍රකාශකයා ප්‍රේම් දිසානායක. ඔහු මට යෝජනා කළා දෙවනි මුද්‍රණයක් කරන්න.
හරි නම් 2017 ජනවාරි 17 තමයි එය සිදුකළ යුත්තේ. මේ මොහොත වෙද්දිත් මේ ක්ෂේත්රය අඩාල වෙමින් පවතින බවක් පෙනෙන්න තිබෙනවා. මේ වෙනුවෙන් ගත්ත තීරණ නැහැ. එහෙම තීරණ ගන්න කියලා දේශපාලඥයන්ට බලකරන්න හැකියාවකුත් නැහැ. රටේ යහපාලනය තිබුණට ඒ තුළ තිබෙන තීරණ ගැනීම් සහ වැඩ කිරීමේ වේගය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. ඊට අමතරව රටට නොසිතූ විරූ ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුව තිබෙනවා. ස්වභාව ධර්මයෙන් ප්‍රශ්න, උද්ඝෝෂණ, විරෝධතා පැවැත්වෙනවා. උතුරේ කැරැල්ල වගේ හෝ දකුණේ කැරැල්ල වැනි තත්ත්වයක් නොතිබුණත් ඉතා තද පීඩනයක මිනිසුන් සිටින්නේ. ඒ නිසා අපි මේ ගැන කතා කරන්න ගියාම චිත්‍රපට බලන්නද දැන් සිද්ධවෙලා තියෙන්නේ කියලා කෙනෙක් කියයි. මම හිතපු අනෙක් දේ තමයි අපි කතා කරන්නේ නැත්තම් කවුද මේ ගැන කතා කරන්නේ. අඩුම වශයෙන් අපි කතා කළ යුතුයි. නිහඬව සිටිය යුතු නැහැ. එයත් නැවත වතාවක් මේ පොත මුද්‍රණය කරන්නට හේතුවක් බවට පත්වුණා. මේ තුළින් කිසියම් සුභදායක කටයුත්තක් වෙන්න පටන් ගත්තොත් එය වැදගත් වෙනවා කියන දේත් මම හිතුවා.
Q මේ දෙවන මුද්‍රණයේදී ජාතික චිත්‍රපට සංස්ථාවට පත්වූ නව සභාපති ගැනත් වෙනම සටහනක් එක් කර තිබෙනවා. එහෙම කළේ ඇයි?
මීට පෙර සංස්ථාව තුළ සිටි සභාපතිලට වඩා හොඳම සභාපති කියලා මම කියන්න යන්නේ නැහැ. එහෙම කියන්න බැහැ මට. නමුත් මම මේ සභාපතිතුමාගේ විශේෂත්වයක් දකිනවා. ඒ හිටපු සභාපතිවරුන් සිදුකළ සාධනීය දේවල් ඔහු කරන්න උත්සාහ කරනවා. ඔහු පැරණි දේවල් විවේචනය කරන්නේ නැහැ. අතීතයේ සිදු වූ වැරදි මගහැරීම් හදාගෙන ඉදිරි වැඩ කරන්න ඔහු උත්සාහ කරනවා. ඒක ඔහුට ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. හැම සභාපති කෙනෙක්ම මාත් එක්ක හොඳින් වැඩ කළා. ඒ නිසා මම මේ ග්‍රන්ථයේ දෙවන මුද්‍රණයට මේ ගැන කතා කරන කර්කෂ කොටසක් එකතු කරලා තිබෙනවා. දැන් චිත්‍රපට සංස්ථාවේ ගොඩක් අය මාව දැක්කම මග අරිනවා. ඒ මම මේ ගැන විවෘතව කතා කරන නිසා. මට ගෙනියන්න දෙයක් තියාගන්න නෙමෙයි මම මේ දේවල් කියන්නේ. විවිධ අවස්ථාවල රජයන් පත්කරන්න සිනමාව තුළ කටයුතු කරන බොහෝ දෙනෙක් දායක වුණා. සුභවාදී දෙයක් වෙයි කියලා තමයි බොහෝ දෙනෙක් හිතුවේ. නමුත් තාම ඒ තත්ත්වය ඇතිවෙලා නැහැනේ. සිනමා ක්ෂේත්රයට ඒ තත්ත්වය ඇති කරන්න අපි එකතුවෙලා කටයුතු කළ යුතුයි කියලයි මම හිතන්නේ.
Q 'සිංහල සිනමාව සහ මම' කියලා නම් කරන මේ ග්‍රන්ථයේ අන්තර්ගතය තුළ ඔබට අවාසි කොටස මග හැරියද?
නෑ. මේ පොත තුළ අන්දෝලනාත්මක විවාදයට තුඩු දෙන දෙයක් තිබෙනවා නම් හෝ මම ලියලා තියෙන කරුණක් සම්බන්ධයෙන් වරදක් අන්තර්ගතව තිබෙනවා නම් ඕන කෙනෙක්ට එය නිවැරදි කරන්න අවස්ථාව තිබෙනවා. හැබැයි ඒක පිළිගත හැකි තත්ත්වයක තියෙන්න ඕන. පසුකාලීනව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට හෝ සිනමාව ගැන උනන්දුවක් දක්වන අයට මෙය යොදාගන්න පුළුවන් කියලා මමම සඳහන් කරනවා නම් මම නිහතමානී විය යුතුයි ඒ වරද නිවැරදි කරන්න. එහෙම නැත්නම් පසු පරපුරටත් ඒ වැරදි කරුණු යනවා. මම සර්වතෝභද්‍ර නෙමෙයිනේ. බුදුන් වහන්සේනේ සර්වතෝභද්‍ර. බුදුන් වහන්සේ අසමසම කියනවා. දැන් අසමසම දත්බුරුසුත් තියෙන ලෝකයක්නේ මේක. මගේ වැරදි මට පෙන්වන්න. පැත්තක ඉඳගෙන ඒ ගැන රහසින් කතා කරන්න අවශ්‍ය නැහැ. මට චෝදනා කර කර කිහිපදෙනෙක් ඉන්නවා. මම ඒ අයට කියන්නේ මේ යහපාලනයේ පක්ෂ දෙකම එකතු වෙන වටපිටාවක් තියනවනේ. මේ බලවත් පුද්ගලයන් හඳුනන අපේ සිනමාවේදීන් ඉන්නවා. ඒ අයගෙන් කතා කරලා අහන්න. මේ පොතේ කරුණු වැරදි නම් මට වැරදුණු තැන් තියෙන්න පුළුවන්. මම නිහාල්සිංහ මහත්තයට පොත අතට දෙන්නේ 2016 ජනවාරි 20 වනදා. ඔහු සති දෙකකදී පොත කියවලා එහි අන්තර්ගත යම්යම් කරුණු ගැන විවේචනයකුත් කළා. ඒ විවේචනය ලියලා එවන්නම් කිව්වා. නමුත් ඔහුට එය කරන්න හැකි වුණේ නැහැ. මම මේ මොහොතෙත් කියන්නේ මගේ වැරදි තියනවා නම් කතා කරන්න. තව දෙයක් කියන්න ඕන අවසානයේ අගමැතිතුමාගේ උපදේශකත්වය යටතේ කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ ගත්ත තීරණවත් වර්තමාන සභාපතිතුමා හරහා ක්‍රියාත්මක කරන්න. ඒ ක්‍රියාත්මක කරන්න තීරණය කරන දේවල් වල සාධනීය දෙයක් ඇතිනේ. ඒ බලාපොරොත්තුවෙන් තමයි මම මෙය කරන්නේ.
Q මීට පෙර ග්‍රන්ථයකට එහා ගිහින් සිනමාව වෙනුවෙන් දෙයක් කරන්න ඔබට අවකාශයක් තිබුණා?
එහෙම හැකි මොහොතවල් වල මම එය මගහැරියා කියලනේ සමහර අය කියන්නේ. මම බඩගෝස්තරවාදියා කියලත් නොකියා කියන අවස්ථා තියෙනවා. චිත්‍රපටවල බෙදාහැරීම පෞද්ගලික අංශයට ලබාදීලා තියෙන්නේ මම. එහෙමනේ කියන්නේ. එහෙම නම් මම මේ වෙලාවේ ඉන්න ඕන පෞද්ගලික අංශය එක්ක නේද? පෞද්ගලික සමාගමක නිලතලයක් දරන්න එපායැ. සනත් ගුණතිලක මොනවද කිව්වේ කියලා පෞද්ගලික අංශයේ ඕන සමාගමක් එක්ක කතා කරලා බලන්න. පෞද්ගලික වේවා රාජ්‍ය වේවා සිනමාවට සුභදායී දෙයකට මම අත උස්සලා ඇති. පෞද්ගලික අංශය මෙයට සම්බන්ධ වෙනකොට යම්කිසි පිරිසක් එය සුභ ලකුණක් විදිහට දැක්කා. පෞද්ගලික අංශයේ තිබෙන මුදල් මේ කර්මාන්තයේ දියුණුව සඳහා ආයෝජනය කරමින් වැඩපිළිවෙළක් කරයි කියලා ඔවුන් අපේක්ෂා කළා. ඔවුන් එය නොකළා නෙවෙයි. ඔවුන් එය සිදුකළා. ඔවුන් හැමවිටම කළේ ඔවුන්ගේ ප්‍රදර්ශන ආරක්ෂා කරගැනීම පමණයි. එහෙම නැත්නම් ඔවුන්ගේ මණ්ඩල තත්ත්වය ආරක්ෂා කරගැනීම පමණයි. මේක කියවන මණ්ඩයලක කෙනෙක් ඉන්නවා නම් අපි චිත්‍රපට නිෂ්පාදන කළේ නැද්ද? කියලා මට චෝදනා කරයි. කමක් නැහැ. මං මේක කියනවා. ඔවුන් හිතුවේ වැඩිපුරම ඔවුන්ගේ සුභසිද්ධියට මොනවද තියෙන්නේ කියලා. ඒ ටික කරගන්න බැලුවේ. ඒක ව්‍යාපාරිකයෙක් කරන දෙයක්. ව්‍යාපාරිකයන් එහෙම කරද්දී සිනමාකරුවන් ඔවුන්ට හෝ රජයට බොරු ජැක් ගහන්නෙ නැතුව හරි වැරැද්ද වෙනුවෙන් කතා කරන එක වැරදිද? එහෙම කරලා මම දිනාගත්ත දේවල් තියෙනවා. මම එය ලියලා නැහැ. මට ලකුණු එන දේවල් මම ලියලා නැහැ. දැන් රජයේ ප්‍රමුඛතාව තිබෙන්නේ වෙනත් දේවල්වලට. අපි වගේම තුන්වෙනි ලෝකයේ රටවල් භූතානය වැනි රටවල් අලුත් තාක්ෂණය එක්ක නැගී සිටිනවා. අපෙත් නවකයන්ට තෝතැන්නක් තිබිය යුතුයි. මෙහි සිදුවූ වැරදි නොකියත් බැහැ කියලත් බැහැ. මේ වනවිටත් අපි ප්‍රමාදයි. අද චිත්‍රපටයක් නරඹන්න උනන්දු කරන්න මොනතරම් දේවල් කරන්න සිද්ධ වෙලාද? ටෙලිවිෂන් ලංකාවට ඇවිත් ඒ වටා එකතු වුණාම අපි හිතුවද කවදාහරි මේක බලනවට සල්ලි දෙයි කියලා. අද මොන නාළිකාවද එය සිදු නොකරන්නේ. මේ තත්ත්වය චිත්‍රපටවලට සිද්ධ වුණොත් කොහොමද? ලෙස්ටර් ජේම්ස් පීරිස්වත්, සිරිසේන විමලවීරවත් පසු පරපුරේ තිස්ස අබේසේකර, වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ, සුගතපාල සිල්වා, ලෙනින් මොරායස්, යසපාලිත නානායක්කාර ඕනෑම කෙනෙක් ගත්තොත් ඒ කාර්යයට අවංකයි. මිනිසුන්ගේ පොකට් එකට තට්ටු කරන්න ඔවුන් චිත්‍රපට නිර්මාණය කළේ නැහැ. අද තරගකාරී, වංචාකාරී ලෝකය තුළ ඒ දේ සිදුවෙනවා. ඒ නිසා අපෙන් සමහර දේවල් බැහැර වෙනවා. මේ සමස්ත ක්රමයේම වරදක්. මේ ජීවත් වන කාලේ මට දැනෙන දේ, මට හැඟෙන දේ කියන්න තමයි මම මේ පොත ලිව්වේ. මේ පොත බලලා අපි මෙහෙම හිතමු කියලා අලුතින් හිතන්න හරි පුරුදු වෙයිනේ.