ශ්‍රී ලංකාවේදී පමණක් නොව ජාත්යන්තරයේදීද කීර්තියට පත් මහා සිනමාවේදියෙකු වන ධර්මසේන පතිරාජයන් ඊයේ (28දා) අප අතරින් සමුගත්තේය. ඒ මහනුවර පෞද්ගලික රෝහලකදීය. මියයන විට හෙතෙම 74 වැනි වියේ පසු වූ අතර, සිංහල සිනමාවේ පෙරළිකාර යුගය නියෝජනය කිරීමට ප්‍රමුඛත්වය දුන් වම් ඉවුරේ නිර්මාණකරුවෙකි.
දෙස් විදෙස් සම්මාන රැසකින් ඇගයුම් ලැබීමට සමත් වූ ආචාර්ය ධර්මසේන පතිරාජයන් ශ්‍රී ලාංකේය සිනමාවේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී කැපවීමක් සිදුකළ සිනමාකරුවෙකු වන අතර, සිනමා අධ්‍යක්ෂවරයෙකු පමණක් නොව තිර රචකයෙකු, නාට්‍යකරුවෙකු, සිනමාව පිළිබඳ ආචාර්යවරයෙකු මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ ප්‍රථම අංශාධිපතිවරයා ලෙසද අපිරිමිත සේවයක් කලා ක්ෂේත්රය වෙනුවෙන් ඉටු කළේ කලා ලෝකයේ නොමැකෙන සලකුණක් තබමිනි.
ඒ අනුව සිනමාව තම ප්රමුඛ ප්‍රකාශන මාධ්‍යය සේ තෝරා ගනිමින් සිනමාවට පිවිසුණු පතිරාජයන් පළමුව නාට්‍යකරුවෙකු ලෙස 1971 රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් හොඳම පරිවර්තන පිටපතට හිමි රාජ්‍ය සම්මානය දිනාගත් අතර, ඒ ඔහු විසින් රචනා කර නිෂ්පාදනය කරන ලද ‘පුටු’ වෙනුවෙනි. ඉයුජින් අයෙනෙස්කෝගේ ‘The Chairs’හි සිංහල පරිවර්තනය ලෙස නිෂ්පාදනය වූ මෙම නාට්‍යයේ එකල රූපණයෙන් එක්ව සිටියේ, විමල් කුමාර ද කොස්තා, මාලිනී වීරමුණි හා දයා තෙන්නකෝන්ය. (එය පසුගිය වසරේ ඔක්තෝබරයේ කෘතියක් ලෙස එළිදැක්විණි. ඒ පතිරාජ විසින් රචනා කර ධම්ම ජාගොඩ 1971 දී නිෂ්පාදනය කළ ‘කොරා සහ අන්ධයා’ නාට්‍යයේ පෙළ සහිත ග්‍රන්ථයත්, ධර්මසේන පතිරාජ තම ශාස්ත්‍රපති උපාධි නිබන්ධය ලෙස පේරාදෙණි සරසවියට ඉදිරිපත් කළ සිංහල නාට්‍යයේ ආකෘතිය හා අන්තර්ගතය අතර අරගලය ශාස්ත්‍රීය ග්රන්ථයට සමගාමීවය.)
එසේම පරිවර්තන සාහිත්‍යයෙහිද යෙදුණු පතිරාජයන් 2013 රාජ්‍ය සාහිත්‍ය උත්සව සම්මාන උළෙලේදී ‘පෙද්රෝ පරාමෝ’ පරිවර්තනය සඳහා එකී උළෙලේදී හොඳම පරිවර්තිත නවකතාවට හිමි සම්මානය දිනාගත් අතර, ඔහු පේරාදෙණිය සරසවියේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් වැන්නවුන්ගේ සිප් සෙවණ ලැබීමට තරම් වාසනාවන්තයෙකු වීමද සටහන් නොකරම බැරිය.
මේ අනුව ලාංකේය 1971 කැරැල්ල හෙවත් තරුණ පිබිදීමට සමගාමීව ‘අහස්ගව්ව’ චිත්‍රපටය හරහා 1974 වසරේ ජනවාරි මස 24 වැනිදා අරඹන මෙම පෙරළිකාර සිනමාව ‘බඹරු ඇවිත්’ (1978), ‘එයා දැන් ලොකු ළමයෙක්’ (1977), ‘පොන්මනී’ (දෙමළ චිත්‍රපටය) (1977), ‘පාරදිගේ’ (1980) ‘සොල්දාදු උන්නැහේ’ (1981), ‘මතුයම් දවස’ (2001) ‘සක්කාරං’ (2016), ‘ස්වරූප’ (2017) ආදී විශිෂ්ට සිනමා කෘති දක්වා දිව ගිය අතර, ‘කොරා සහ අන්ධයා’, ‘පුටු’ ආදී වේදිකා නාට්‍ය හරහාද, ‘ඇල්ල ළඟ වලව්ව’, ‘කඩුල්ල’, ‘කම්පිත විල්තෙර’, ‘මායා මන්දිර’, ‘ගඟුලෙන් එගොඩට’, ‘දුර්ගාන්තය’, ‘සුබ අනාගතයක්’ වැනි ටෙලිනාට්‍ය හරහාද විප්ලවීය වෙනසකට මගපෙන් වූ අතර, ‘සුදු බණ්ඩලාගේ කතාව’, ‘වන්නිහාමිලාගේ කතාව’ නමින් ඔහු රූපවාහිනී වැඩසටහන් ද්විත්වයක්ද මේ අතර නිෂ්පාදනය කළේය.
මෙරට සිනමාව තුළ දේශපාලනය සාකච්ඡා කළ සිනමා කෘතියක් වන ‘අහස් ගව්ව’ එදවස රැකියා විරහිත තරුණ පරම්පරාවේ ජීවන අරගලය සිනමාවෙන් පැවසීමට ගත් ප්‍රථම උත්සාහය වූ නමුත්, ධර්මසේන පතිරාජයන් ඊට පෙර තිර රචකයෙකු සිය නාමය සනිටුහන් කර ගැනීමට සමත් වූවෙකි. ඒ 1969 වර්ෂයේ තිරගත වූ සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කතාව’ චිත්‍රපටය තිරගත වීමත් සමගය. සරසවි සිසුසිසුවියන්ගේ සරසවි ජීවිතයේ සිදුවීම් ආශ්‍රිතව නිර්මාණය වූ ‘හන්තානේ කතාව’, විශ්වවිද්‍යාල සිසුසිසුවියන් හා බැඳුණු කතා පුවතකින් සමන්විත රංගනයෙන්, සංගීතයෙන් නැවුම් වූ චිත්‍රපටයකි. ඒ අනුව අදටත් ප්‍රේක්ෂක මතකයේ රැඳී පවතින එම චිත්‍රපටයේ සහාය අධ්යක්ෂවරයා ලෙසද අත්පොත් තැබීමට පතිරාජයන් එදා සමත් විය. කෙසේ නමුත් පතිරාජයන්ගේ සිනමා කෘතිවලට එදා පටන්ම දීර්ඝ හා අර්ථවත් කතිකා ගොඩනැගීමට තරම් ප්රස්තුත ජනනය කිරීමේ ශක්‍යතාවක් පැවැතුණ අතර, ඒවා දිනපතා යාවත්කාලීන වනුයේ ඒ වටා බැඳුණු දේශපාලනය සහ පතිරාජයන්ගේ සිනමා භාවිතයේ කැපී පෙනුණු නිර්මාණශීලී ගුණයද හේතු කොටගෙනය. එය ඔහුගේ වාර්තා චිත්‍රපට වූ ‘සතුරෝ’ (1969),’අඳුරෙන් එළියට’ (1972) සහ ‘වෙරළ’ (1974) යන සිනමා භාවිතයෙන්ද පෙනී යන්නකි.
විශේෂයෙන්ම ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රයේ කාර්යභාරය අනාවරණය කරන චිත්‍රපටයක් ලෙස මහාචාර්ය සුචරිත ගම්ලත් සූරීන් පවා හැඳින්වූ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටය සරල ජීවන රටාවකට හුරු පුරුදු වී සිටි ධීවර ගම්මානයක ජනයාගේ ජීවිතයට කඩා වදින නාගරික ප්‍රාග්ධන බලාධිපත්‍යය ජන ජීවිතය සුනුවිසුනු කරනු ලබන ඛේදාන්තය ඉස්මතු කළ අතර, වසර පනහක සිංහල සිනමාවේ හතර වැනි විශිෂ්ට චිත්‍රපටය බවට ‘බඹරු ඇවිත්’ පත්වන්නේ මේ අනුවය.
එසේම යාපනය සරසවියේ ආචාර්ය මණ්ඩලයට සම්බන්ධව එහි ගත කළ කාලයේ ලද ජීවන අත්දැකීම් අනුව නිර්මාණය කළ ‘පොන්මනී’ චිත්‍රපටය තුළින් එතුමා දෙමළ ජනයාගේ ආගම්වාද, කුලවාද, දෑවැදි ප්රශ්නය, ලිංගික සූරාකෑම වැනි සමාජ, දේශපාලන ප්‍රශ්න සමග එහි ජනයා ජීවත් වීමට කරනු ලබන අරගලය සාකච්ඡාවට බඳුන් කිරීමට උත්සාහ දැරූ අතර, ඊට අමතරව ඔහුගේ ‘සොල්දාදු උන්නැහේ’ එම විචාරක දර්ශකයේ එකළොස් වන ස්ථානයටත්, ‘අහස් ගව්ව’ එහි දහතුන් වැනි විශිෂ්ට චිත්‍රපටය බවටත් පත්වීමෙන් පෙනී යන්නේ ධර්මසේන පතිරාජයන් සිංහල සිනමාවේ වත්මන් වටිනාකම් තුළ කෙතරම් වැදගත් පෞරුෂත්වයක්ද යන වගය.
එමෙන්ම ‘සක්කාරං’ හා ‘ස්වරූප’ යන සිනමා කෘතිවලින් අපට පෙනී යන්නේ සිනමාකරුවන් ගතින් වියපත් වුවද, තම ප්‍රකාශන මාධ්‍යයේ ප්‍රබලත්වය අතින් වියපත් නොවන බවයි. ඒ එතුමා කලාව වෙනුවෙන්ම කැපවූ, වියපත් වීම සමග නිර්මාණකරණයෙන් ඈත් නොවූවෙකු බැවිනි. එබැවින් එතුමාගේ සිනමාව පිළිබඳ කෘතහස්ත දැනුම ශ්‍රී ලංකාවේ චිත්‍රපට සම්මාන උළෙල විනිශ්චය සඳහාද ඉතා මෑතක් වන තුරුම යොදාගත් අතර, අන්තර්ජාතික චිත්‍රපට සම්මාන ජූරි සඳහාද ඔහුගේ සේවය බොහෝ අවස්ථාවල යොදාගෙන ඇත. එසේම ජාතික හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල රැසක ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිනමාව පිළිබඳ තමන් උගත් දැනුම තරුණ විද්‍යාර්ථීන්ට ලබාදීමටද උත්සුක වූ ආචාර්ය ධර්මසේන පතිරාජයන් කලක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ පවතින රජයේ චිත්‍රපට අංශයේ උපදේශන අධ්යක්ෂවරයා ලෙස සිය සේවය ලබා දුන්නේ එම කාලය තුළදී සුවිශේෂී වාර්තා චිත්‍රපට රැසක් සමාජගත කරමිනි.