කලම්බෝ කලම්බෝ සහ ජනාධිපති තාත්තා වැනි සම්මානනීය නාට්‍ය නිෂ්පාදනය කළ ඉන්දික ෆර්ඩිනෑන්ඩුගේ නවතම නාට්‍ය නිර්මාණය The Irresistible Rise of Mr.Signno හෙවත් සිංඤෝ මහතාගේ වැළැක්විය නොහැකි වූ නැගීම මේ මස 10 සහ 11 යන දිනවලදී සවස 6.30ට මරදාන අශෝක විද්‍යාලයීය එළිමහන් රංග පීඨයේදී රංගාවතරණය වීමට නියමිතය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඉන්දික ෆර්ඩිනෑන්ඩු මේ වන විට ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන අතර, එහි ප්‍රායෝගික පාර්ශ්වීය ලෙස මෙම නාට්‍ය නිෂ්පාදනය කොට තිබේ. ඉන්දිකගේ නවතම නාට්‍ය නිර්මාණය පිළිබඳව අපි ඔහු සමග කතා කළෙමු.
Q ඔබේ නවතම නිර්මාණය නම්කර තිබෙන්නේ තරමක් වෙනස් අයුරකින්. ඒ පිළිබඳව මුලින්ම කතා කරමු?
මම මේ වනවිට ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ මගේ ආචාර්ය උපාධිය හදාරමින් සිටිනවා. එහි එක් පාර්ශ්වයක් ලෙසට මගේ පර්යේෂණ ගැටලුව පරීක්ෂා කිරීමට නාට්‍ය නිෂ්පාදනයක් මම සිදුකළා.
එම නාට්‍ය ලෙස තමයි සිංඤෝ මහතාගේ වැළැක්විය නොහැකිවූ නැගීම කියන බහු සාහිත්‍ය නාට්‍ය නිෂ්පාදනය කරන්නෙ. ලංකාවේ සිංහල ජන යාතුකර්මවල ඇති රංග කලාත්මක විෂමතා සහ සමකාලීන වේදිකාවට එය කැඳවාගෙන එන්නෙ කොහොමද කියන කාරණය තමයි මගේ පර්යේෂණයට බඳුන්වන්නෙ. එහිදී මගේ මූලික අවධානය යොමුවන්නේ යාතුකර්මවලින් නිෂ්පාදනය කරන සෞන්දර්යාත්මක අනුභූතිය සහ නිෂ්පාදනය කරන තාක්ෂණික විධි ක්‍රම සමකාලීන රංග කලාවට ගෙන ඒම පිළිබඳවයි.
එහිදී මගේ මූලික අවධානය යොමුවන්නේ සියලුම ඉන්ද්‍රියන් වෙත ආමන්ත්‍රණය කරන නාටකීය අත්දැකීමක් ප්රදානය කරන්නයි.මොකද සාමාන්‍ය‘යෙන් ජන යාතුකර්මයේ තිබෙන විශේෂ ලක්ෂණයක් තමයි එය ප්‍රේක්ෂකයාගේ සියලුම ඉන්ද්‍රියන් සමග සම්බන්ධතා පවත්වනවා. ඒ නිසා නිෂ්පාදනය කරන යාතුකර්ම අනුභූතිය සඳහා ඒ සියලුම ඉන්ද්රියයන් වෙත එල්ලවන උත්තේජක බලපානවා.ඒ සියල්ල එක්ව ප්‍රබල අත්දැකීමක් උත්පාදනය කරනවා. මේ කාර්යය නාට්‍ය කලාව තුළත් කරන්න පුළුවන්ද කියායි මම මූලික වශයෙන් පරීක්ෂා කරන්නෙ.
Q මෙම නාට්‍යය රචනා කිරීමේදී විශේෂයෙන්ම බලපෑ ක්ෂේත්‍ර මොනවාද?
මගේ නාට්‍යයෙහි මූලික වශයෙන් පෙළ රචනා වීමේදී ජනශ්රැතිය ඇසුරේ වැඩුණු කතා සම්ප්රදාය බලපා තිබෙනවා. එහි ආභාසය මම ලබා තිබෙනවා. ජනකතා, මිත්‍යා කතා, බෞද්ධ ආගමික කතා ආදිය ඒ අතර වෙනවා. මේ ඇසුරෙන් තමයි මෙහි පෙළ රචනාවේ පෝෂණය ලබන්නේ.ඒ වගේම පසුගිය සමය තුළ ලංකා දේශපාලන ක්‍රියාවලිය තුළ අපි දැකපු කැපී පෙනෙන දෙයක් තමයි අපිව පාලනය කරන්න පාලකයන් වශයෙන් පැමිණෙන පුද්ගලයන් කොයිතරම් අර්බුදකාරී චරිතද යන වග. එයත් මේ තුළ දැක්වෙනවා.
පසුගිය කාලයේ දේශපාලනයේ නිකම් වූ චරිත බොහොමයක් සමහරුන් බවට පත්වුණා. Nobody බොහෝ අය Somebody. ඒ සියලු දේ එසේ සිදුවීමට මහජනතාව ලෙස ඉතසිතින් දායක වුණා.නිකමුන්ගේ සිට සමහරුන් දක්වා පරිවර්තනය වූ මේ ක්‍රියාවලිය උපමා කතාමය නාට්‍යයක් ලෙස තමයි. සිංඤෝ මහතාගේ වැළැක්විය නොහැකිවූ නැගිටීම ඉදිරිපත් කරන්නෙ.
Q නාට්‍යය තුළ දක්නට ලැබෙන චරිත පිළිබඳව කතා කළොත්?
මේ නාට්‍යය තුළදී දක්නට ලැබෙන්නේ සුරංගනා කතාවල, චරිත කතාවල දක්නට ලැබෙන චරිත. නමුත් ඒ බොහෝ චරිත සමාජයේ අපිට දක්නට ලැබෙන චරිත සමග සෘජු සම්බන්ධයක් නැහැ.නමුත් එය කාව්‍යමය සම්බන්ධයක් තිබෙනවා. අපේ සමකාලින චරිත සමග.
Q මේ නාට්‍යය වේදිකාගත කිරීමෙන් පසුව ඔබේ අපේක්ෂාව කුමක්ද?
මේ නාට්‍යයට සහභාගී වන්නන්ගේ මාර්ගයෙන් මේ නාට්‍යය තුළින් ඔවුන් ලබපු අත්දැකීම විමර්ශනය කිරීමට මම බලාපොරොත්තු වෙනවා.මගේ පර්ෂණවලදී නිගමනවලට එළැඹීම සඳහා එය ප්‍රධාන වශයෙන් මම පාදක කරගන්නවා. ඉන් එහාට මෙය අන්තර්ජාතික නාට්‍ය උලෙළවල් සඳහා ඉදිරිපත් කිරීමට අපි උත්සාහ කරනවා.දැනටමත් ඔස්ට්‍රේලියාවේ වාර්ෂිකව පවත්වනු ලබන ඇඩ්ලේඩ් උලෙළට අපිට ආරාධනාවක් තිබෙනවා.
Q ලංකාවේ නාට්‍ය නිර්මාණ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
විවිධ ස්වභාවයේ නාට්‍ය නිෂ්පාදනය වෙනවා. මේ විවිධ නාට්‍ය වල එක් ප්‍රවණතාවක් ලෙස මම දකින්නේ මේවා සංවාදය මූලික කරගත් නාට්‍ය.
විශේෂයෙන්ම බොහෝ පිරිස් මෙම නාට්‍ය වර්ගයට විශේෂ නැඹුරු බවක් දක්නට තිබෙනවා. ඒ සමගම ස්වාභාවිකවාදී සහ යථාර්ථවාදී රංගකලාව වෙත අපි බොහෝ නැඹුරු වෙනවා.
දෘෂ්ථිවාදය අපේ නාට්‍ය කලාව තුළ තිබෙනවා. දෘෂ්ථිවාදය සමග සම්මුඛ වීමට යම් විදිහක අරගල කළයුතුයි කියා මම හිතනවා. එහෙම වුණොත් තමයි අපේ නාට්‍ය කලාව ඉහළ මට්ටමකට ඔසවා තබන්න පුළුවන් වෙන්නෙ.
Q ඉදිරි නිර්මාණ පිළිබඳව මතක් කරමු?
මගේ ඉදිරි නිර්මාණ බොහෝදුරට පර්යේෂණාත්මක නාට්‍ය කලාවේ නිර්මාණ වේවි. මේ පර්යේෂණය තුළ තවත් බොහෝ පර්යේෂණ මම ඉදිරියට යෝජනා කර තිබෙනවා.ඒ වගේම මගේ පළමු සිනමා කෘතිය හෝ ගානා පොකුණ මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී තිරගත වෙනවා.